වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 19 වැනිදා බ්‍රහස්පතින්දා




අර්ජුන්ගෙන් අහන්න

අර්ජුන්ගෙන් අහන්න

කොළඹ බෙදා ඇති කලාප පහළොව අතරින් කලාප කීයක සිනමාහල් තියෙනවාද අර්ජුන් මහත්තයෝ?

කරු මන්දාවල – නාත්තන්ඩිය.

කොළඹ එක, කොළඹ පහ සහ කොළඹ එකොළහ හැර අනෙක් කලාප දොළහෙම සිනමාහල් තියෙනවා. සමහර කලාපවල සිනමාහල් දෙක තුන තියෙනවා කරු.

අපේ සමහර නළු නිළියන් වෙළෙඳ දැන්වීම්වල පෙනී සිටීම ගැන ඔබේ අදහස කුමක්ද?

සුනිල් චන්ද්‍රසේකර - කොටුගොඩ.

දැන්වීම් තමාට ගැළපෙනවා නම්, හොඳ මුදලක් ලැබෙනවා නම් දැන්වීමක පෙනී සිටියාට එහි ඇති කිසිම වැරැද්දක් නැහැ. ලෝකයේ කොයිතරම් නළු නිළියන් වෙළෙඳ දැන්වීම්වල පෙනී සිටිමින් අතිවිශාල ලෙස මුදල් උපයනවාද? දැන්වීම්වලට විරුද්ධව කතාකරන අය දන්නවද දන්නේ නැහැ කලාකරුවන්ගේ ගෙවල්වල බත ඉදෙන බව.

ශිවාජි ගනේෂන් සිංහල චිත්‍රපටවල රඟපා තිබේද?

ජයම්පතී නවරත්න – රාහුල මාවත, මාතලේ.

ඔහු ශ්‍රී ලංකා ඉන්දීය හවුල් නිෂ්පාදනයක් වූ ‘ෆයිලට් ප්‍රේම්නාත්’ චිත්‍රපටයේ රඟපෑවා. එය සිංහලෙන් හඬ කවා මෙරට ප්‍රදර්ශනය කළා.

අපේ සිත්ගත් චිත්‍රපටයක් වූ ‘රන්මුතු දූව‘ චිත්‍රපටයේ කැමරාකරණය, තිර රචනය හා අධ්‍යක්‍ෂණය කළ මයික් ජේ. විල්සන් දැන් කෝ ?

ආතර් ද සිල්වා - මාතලේ.

ඔහු මීට වසර පහළොවකට පමණ පෙර මිය ගියා.

’සමනල සංධ්වනිය’ චිත්‍රපටයේ යශෝධා විමලධර්ම ගේ රංගනය පිළිබඳ ඔබගේ අදහස් දැනගැනීමට කැමැත්තෙමි?

අසංක විතානගේ – රත්නපුර.

එය මෑත කාලයේ මා දුටු ඉතා විශිෂ්ටතම සිනමා රංගනයක්. ඇය භාවනාවකට සමවැදුනාක් මෙන් ඉතා සංයමයකින් යුතුව හරි අපූරුවට එම චරිතය නිරූපණය කළා. කාල පරාසයන් දෙකක විහිදෙන මේ චරිතය දක්‍ෂ නිළියකට හැර සෙසු කෙනෙකුට පහසුවෙන් අනුගත විය හැක්කක් නොවේ. යශෝධා එම චරිතයේ වගකීම මැනවින් ඉටුකරනවා.

චිත්‍රපට නළු රාජු ගමගේ ගේ දුරකථන අංකය සොයා දෙන්න.

මනහර මහින්ද - බෙලිගල.

අනේ මනහර, රාජු ගමගේ ගැන ඔයා කියනකම් මම නම් අහලා නැහැ.

ධනංජය සිරිවර්ධන ගේ ලිපිනය ලබා දෙන්න.

දයා නාඩකන්ද – ‘දයාජී’, කිලිරිලිපන, මොනරාගල.

29/4, රේල්වේ ඇවනිවු, නුගේගොඩ.

සිනමාවේ සක්විති ලෙස කිරුළු පලන් ගාමිණී ෆොන්සේකා නමින් මාවතක් නම් කර තිබේද?

අතුල රම්‍යසිරි – පානදුර.

මා දන්නා තරමින් තවම නෑ.

තිරගත වූ චිත්‍රපට කිහිපයක චරිත නිරූපණය කළා වූ කරුණාරත්න හඟවත්ත නමැති සිනමා ශිල්පියා දැන් කෝ?

මිල්ටන් ප්‍රනාන්දු – උතුරු මූදුකටුව.

ඔහු වර්තමානයේ ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති හැටියට අපේ මවුබිමට අමිල මෙහෙවරක් ඉටුකරනවා.

උමයංගනා වික්‍රමසිංහ ගේ ලිපිනය ලබාදෙන්න?

නිල්මිණි – කලල්ගොඩ පාර – පන්නිපිටිය.

29/ඩී, මංගල මාවත, බෝ සෙවණ, කොළඹ 08.

‘කෝරලේ මහත්තයා 2’ ටෙලි නාට්‍යයේ දර්ශන තල කොහේද?

එස්. චන්ද්‍රසේකර - කොටුගොඩ.

ඒ අපේ රන්මිහිතැන්න ටෙලි සිනමා ගම්මානයේ පසුතල නේ.

මෙතෙක් හින්දි සිනමාවේ අධික වියදමක් දරා තැනූ ගීතමය ජවනිකාව රැගත් චිත්‍රපටය කුමක්ද?

සරත් රණසිංහ – කපුගොඩ, මාළිඳ.

තිරගත වීමට නියමිත ඩූම්–3 චිත්‍රපටයේ එන ගීතයකට සරත්. එය රුපියල් කෝටි ගණනක් දරා නිර්මාණය කර තිබෙනවා.