වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 19 වැනිදා බ්‍රහස්පතින්දා




එඩ්නාගෙන් පරිත්‍යාගයක්

එඩ්නාගෙන් පරිත්‍යාගයක්

එඩ්නා සුගතපාල කියන්නේ අපේ රංගන ක්ෂේත්‍රයේ කලකට ඉහත බොහොම ඉහළ ජනප්‍රියත්වයක් දරාගෙන සිටි රංගන ශිල්පිනියක්. 1966 වසරේදී සිය කලා ජීවිතය ආරම්භ කරමින් ක්ෂේත්‍රයට පිවිසි ඇය සැනසුම කොතැනද, සූරයන්ගෙත් සූරයා, මිරිගුව, හිත හොඳ කොල්ලෙක්, වීදුරු ගෙවල් ඇතුළුව චිත්‍රපට රැසක වගේම දත් කැකුළුපාලා, කළු හංසයා, එකට ගැටුම, කුමාරිහාමි වැනි ටෙලි නාට්‍ය තුළින්ද ඔබ හමුවට පැමිණියා.

ලාංකේය සිනමා ඉතිහාසයේ ජ්‍යෝතිෂ්‍ය ශාස්ත්‍රය හදාරා ඇති එකම නිළිය ලෙස නමක් තබා ඇති ඇය හවායන් ගිටාරය, විදුලි ඕගනය, පියානෝව, පියානෝ එකෝඩියන් යන සංගීත භාණ්ඩ වාදනයේද දස්කම් දක්වමින් සංගීත ගුරුවරියකද වන්නීය. එඩ්නා සුගතපාල නම් වූ මේ ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනිය විසින් පසුගියදා ඉඩම් පරිත්‍යාගයක් සිදු කෙරුණා.

මෙහිදී ඇය අලුත්වත්ත සුබසාධක සංගමයට ක්‍රීඩා පිටියක් වෙනුවෙන් පර්චස් පහක ඉඩමක් පරිත්‍යාග කළා. ඒ පිළිබඳ එඩ්නා සුගතපාල සඳහන් කළේ මෙවැනි අදහසක්. “මම බෞද්ධ දර්ශනය අනුව ආගමානූකූලව ජීවිතය ගත කරන කෙනෙක්. මෙවැනි පරිත්‍යාගයක් මට කරන්න ආවස්ථාව ලැබීමත් මගේ ජීවිතයේ සුවිශේෂ අවස්ථාවක්.

මගේ ඉඩමක නඩුවක් වසර දොළහක් පුරා උසාවියේ තිබුණා. අවසානයේදී මට එහි ජයග්‍රහණය ලැබුණා. ඒ මම කාටවත් වරදක් කරලා නැති නිසා. ඒ වගේම කවදාහරි අපේ ජීවිතයට වටින්නේ අපි කරන හොඳ නරක විතරයි.”