|
ඕනෑම නිර්මාණයක ආරම්භකයා රචකයා යි
මේ දිනවල හිරු රූපවාහිනියේ රාත්‍රී 8.30ට විකාශය වන ‘වස්සානේ ප්‍රේමය’ ටෙලි නාට්‍යය නරඹන්නන් අතර ජනප්‍රිය ටෙලි නාට්‍යයකි. එහි පිටපත ලියන තරුණ පිටපත් රචකයා වන්නේ රංග ශ්‍රී පීරිස් ය. සුනෙත් මාලිංග ලොකුහේවාගේ ‘ස්පන්දන’ චිත්‍රපටයේ සහය තිරරචකයා මෙන්ම සහය අධ්යක්ෂවරයා ලෙස කටයුතු කළ රංග ඉදිරියේ දී වෙනස්ම නිර්මාණ කිහිපයක් සමඟ සිනමාව ඇතුළු අනෙක් මාධ්‍ය ඔස්සේ ද ඔබ හමුවට පැමිණීමට නියමිත ය. මේ රංග ශ්‍රී පිරිස් සමඟ කළ කතාබහකි. ඔබ මේ දවස්වල නියැළෙන නිර්මාණ කටයුතු මොනවාද? මේ දවස්වල දිගටම කරගෙන යන්නේ ‘වස්සානේ ප්‍රේමය’ ටෙලි නාට්‍යයේ පිටපත ලියන එකයි. ඒ වගේම චිත්‍රපට දෙකක ඉදිරි කටයුතු සඳහා සැලසුම් සකස් කරමින් තමයි කාලය ගත කරන්නේ. ඉන් එකක් ඵෙතිහාසික තේමාවක් රැගත් චිත්‍රපටයක්. එහි පිටපත, සංවාද, පර්යේෂණ කටයුතු, අධ්‍යක්ෂණය ආදී මේ හරහා කෙරෙන සංකීර්ණ ව්‍යාපෘතියකට අත තැබුවා. මේ වනවිට ඒ පර්යේෂණ කටයුතුවලට වසර ගණනක් ගෙවී ගියා. ඒ නිර්මාණය අපේ රටේ නිදහස් සටනට පුරෝගාමී වුණු එක් රාජපුරුෂයෙක් එහෙමත් නැත්නම් මේ රටේ ඵෙතිහාසික සංදිස්ථානයක් මූලික කරගෙන කරන නිර්මාණයක්. මෙහි අධ්යක්ෂවරයා වන්නේත් මමමයි. ඊට අමතරව ප්‍රහසනාත්මක චිත්‍රපටයකට අවශ්‍ය පිටපතක් සකස් කරමින් යනවා. ඔබගේ සිත පිටපත් රචනයට යොමු වන්නේ කුමන කාලයේ ද? මේ ලියන්න පුළුවන් දක්ෂතාව මට තියෙන්නේ පාසල් කාලයේදියි. අද වගේ මට මතක දෙයක් තමයි පාසලේ ගුරුවරු, ළමයින්ගෙන් අහනවා නේ කවදා හරි ඔයාලා ලොකු වුණාට පස්සේ කවුරු වෙන්නද කැමැති කියලා. එතැනදි ඉංජිනේරුවෙක්, වෛද්‍යවරයෙක් වෙන්න කියන ළමයි අතරේ මම දුන්නේ වෙනස්ම උත්තරයක්. ඒ කවදාහරි මාර්ටින් වික්‍රමසිංහ වගේ ලේඛකයෙක් වෙන්න උවමනා බවයි. එදා ඒ යටි හිතේ තිබුණු අභිලාෂය වෙන්න ඇති මාව මෙතැනට අරගෙන ආවේ. ඔබ ඒ ආරම්භය සනිටුහන් කරන්නේ මොනවගේ නිර්මාණවලින් ද ? ප්රමුඛ පෙළේ මාධ්‍ය ආයතනයකට මට මුලින්ම සහභාගි වෙන්න අවස්ථාව ලැබෙන්නේ හිරු රූපවාහිනියේ විකාශය වුණු ‘ආටක නාටක’ ටෙලි නාට්‍යයේ පිටපත් රචනයෙන්. ප්‍රහසනය සම්බන්ධයෙන් මගේ සිතේ තිබෙන්නේ පුදුම කුතුහලයක්. ඒ ඔස්සේ පිටපත් හැටකට ආසන්න සංඛ්‍යාවක් මට ලියන්න ලැබෙනවා. නිවන්ත ප්‍රසාර මහත්තයා තමයි ඊට අවශ්‍ය ඉඩකඩ ලබා දෙන්නේ. එතැනින් පස්සෙයි මා සිනමාවට යොමු වන්නේ. ඒ ‘ස්පන්දන’ චිත්‍රපටයේ සහය තිරරචකයා වගේම එක් සහය අධ්යක්ෂවරයෙක් වශයෙන්. මේ හැම දෙයකටම පෙර මා පිටපත් ලියන්න ආරම්භ කරන්නේ මගේ පර්යේෂණ නිර්මාණයෙන්. ස්වකීය නිර්මාණයක් ලෙස මගේ නම සඳහන් වෙන්නේ මේ දවස්වල විකාශනය වන ‘වස්සානේ ප්‍රේමය’ ටෙලි නාට්‍යයේ දී. ‘වස්සානේ ප්‍රේමය’ ටෙලි නාට්‍යයේ පිටපත් රචනයට ඔබට ආරාධනා ලැබෙන්නේ කොහොමද ? ‘වස්සානේ ප්‍රේමය’ අධ්‍යක්ෂණය කරන සංජය නිර්මාල් හා එහි නිෂ්පාදක ප්‍රභාත් රෝෂන් තමයි මට මේ කටයුත්තට ආරාධනා කරන්නේ. ඒ වගේම හිරු නාලිකාවේ විරාජ් වැලිවත්ත මහතාත් ඒ කටයුත්තට සහභාගි වී තිබුණා. මෙහිදී ඔහුවත් සිහිපත් කළ යුතුයි. තිරපිටපත් රචකයෙක් වෙන්නට පෙර ඔබ ඒ පිළිබඳ හදාරලාද ඊට පිවිසියේ ? තිරපිටපත් පිළිබඳ පරිචය මා ලබා ගන්නේ මගේ ස්වයං අධ්‍යයනයෙන්. පොතක් ලියන ලේඛකයෙකුට වඩා පිටපත් රචකයෙකු වෙනස් වෙන්නේ මෙන්න මේ කාරණයෙන්. පොතක් ලියන ලේඛකයා සිදුවීමක් ලියන්නේ සාහිත්‍යමය ස්වරූපයෙන්. පිටපත් රචකයෙක් නිතරම ලියන්නේ රූපයයි. ඒ වගේම පිටපත් රචකයාටත් තමන් ලියන රූප රාමුව ඇතුළේ තමන්ට අවශ්‍ය ජීව ගුණය කැටි කරලා, ගැබ් කරලා ඉදිරිපත් කිරීමේ හැකියාවක් තිබිය යුතුයි. මේ සඳහා අධ්‍යයනයක් අවශ්‍යයයි. ලියන්න පුළුවන් හැමෝටම තිරපිටපතක් රචනය කරන්නත් බැහැ. තිරපිටපත් ලියනවා කියන්නේ යම්කිසි විද්‍යාවක්. ඒක ගැඹුරින් හදාරන්න අවශ්‍ය බව මා අවසන් වතාවටත් පවසනවා. වර්තමානයේ තිරපිටපත ලියැවෙන්නේ ලහිලහියේ. අද තිබෙන නිර්මාණවල සාර්ථක අසාර්ථක බවට බලපාලා තියෙන්නේ මේ කාරණයම නේද? ඔබගේ අදහසට මා සියයට සියයක්ම එකඟ වෙනවා. ඕනෑම නිර්මාණයක ආරම්භකයා වන්නේ තිරපිටපත් රචකයායි. ඔහුට ඒ කාර්යය නිසි අයුරින් කරන්න ලැබුණේ නැත්නම් අවසාන ප්‍රතිඵලයේ දි යම්කිසි ආකාරයෙන් ගුණාත්මක බව අඩු වෙනවා. වර්තමානයේ තිබෙන වාණිජ රැල්ලත් එක්ක මේ තත්ත්වය ඇතිවෙලා තියෙනවා. එහෙම වුණත් ‘වස්සානේ ප්‍රේමය’ මේ කාරණාවලින් වෙනස් වූ ටෙලි නාට්‍යයක්. න සමහර මෙගා ටෙලි නාට්යයලදි හිටපු ගමන් යම් යම් චරිත එකතුවීමත්, හිටපු ගමන් යම් යම් චරිත අතුරුදන් වීමත් සුලබ කාරණයක්. මේ සෑම දෙයක්ම කෙරෙන්නේ අධ්‍යක්ෂගේ හෝ නිෂ්පාදකවරයාගේ අනුදැනුම ඇතිවයි. මෙවැනි ගැටලුවලට ඔබටත් මුහුණ දෙන්නට සිදුවුණා ද ? කියන්න සතුටුයි ‘වස්සානේ ප්‍රේමය’ නාට්‍යයේදි මේ වනතුරුත් එහෙම බලපෑමක් ඒ දෙපළගෙන් මට ලැබිලා නැහැ. මේ කාරණා නිසා වෙන්න ඇති බොහෝ ප්‍රතිචාර මේ නාට්‍යය සඳහා අපට ලැබෙන්නේ. අවසාන වශයෙන් නිතරම වගේ ‘වස්සානේ ප්‍රේමය ගැන අදහස් දක්වන සැමටත්, මට මෙතැනට එන්නට උදව් කළ නම් කියූ නොකී සියලුමදෙනාටත් මා ස්තූති කළ යුතුයි. ඔබටත් රංග ශ්‍රී පිරිස්ට කතා කිරීමට අවශ්‍ය නම් හා මේ නාට්‍ය ගැන අදහස් පළකරන්න කැමැත්තක් දක්වනවා නම් 0772014717 යන දුරකථන අංකයට ඔහු ඇමතිය හැකියි.
|