වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 11 වැනිදා බ්‍රහස්පතින්දා




bollywood

දිල්වාලේ දුන් දුක

දිල්වාලේ චිත්‍රපටය පසුගිය දෙසැම්බර් 18 වැනිදා සිට ලොවපුරා තිරගතවීම ආරම්භ කළා. ආරම්භක සති අන්තයේ ඉහළම ආදායම් අතරේ තෙවන ස්ථානය දිනාගත් එය මේ වන විට උපයා ඇති මුදල ඉන්දිය රුපියල් කෝටි 394ක්. කෙසේ නමුත් දිල්වාලේ ගැන බොහෝ දෙනා සිටින්නේ එතරම් සතුටකින් නම් නොවෙයි.

ඉන්දියාව තුළ දිල්වාලේ තිරගත කිරීමත් එතරම් සාර්ථක වුණේ නැහැ. ඒ නිසාමද දන්නේ නැහැ වරුන් ධවාන් නම් මේ සඳහා සහභාගිවීම ගැනත් හිතන්නේ කළකිරීමෙන්. ඔහු එහි රංගනයට දායකවීම ගැන කනගාටුවන බව පසුගිය දවසක ප්‍රකාශ කළා.

දිල්වාලේහි රංගනය තමන්ගෙන් පොඩි උදව්වක් ගත්තා වගේම තමන් එහිදි පසුබස්වා ඇති බවත් දැනෙන බවයි ඔහු පවසන්නේ. පසුගිය වසරේ බෑඩ්ලපූර් හා ඒබීසීඩි 2 චිත්‍රපටවල ප්‍රධාන චරිත කළ නිසා මෙහි පොඩි චරිතයකට පණ පෙවීම ගැනත් දැන් වරුන් දුක් වෙනවා.

කොහොම වුණත් චිත්‍රපටය තිරගත වෙන්න කලින් නම් වරුන් දිල්වාලේ රංගනය සේම ශාරුක් සමඟ රංගනයට අවස්ථාව ලැබීම ගැනත් කතා කළේ මහ ඉහළින්.

වරුන් විතරක් නොවෙයි කාජලුත් දිල්වාලේ ගැන පැහැදීමක් නැති බව බොලිවුඩයෙන් ආරංචි වෙනවා.

සුජෝයි ගෝෂ්ගේ විප්ලවවාදී කාන්තා චරිතය තිබූ චිත්‍රපටය තෝරා නොගෙන රෝහිත් ෂෙට්ටිගේ විහිළු චිත්‍රපටය තෝරා ගැනීම ගැන ඇයත් දුක් වෙනවා.

දිල්වාලේ නිසා දුක් වෙන තෙවැන්නා ශාරුක්. ඔහු දුක් වෙන්නේ දිල්වාලේ ඉන්දියාවේ එතරම් සාර්ථක ආදායමක් වාර්තා නොකිරීම නිසා.

අභිෂේක්ගේ 40 වැනි උපන් දිනය

පසුගිය 05 වැනිදා බච්චන් පවුලට සුවිශේෂ දිනයක් වුණා. ඒ එදිනට අභිෂේක් බච්චන්ගේ 40 වැනි උපන්දිය යෙදී තිබීමයි. ඒ වගේම අභිෂේක් - ඓශ්වර්යා කියන්නෙත් බොලිවුඩයේ සාර්ථක පවුල් ජීවිතයකට උරුමකම් කියන යුවළක්.

අභිෂේක් නිවාඩුවක් ගත කරන්න මාලදිවයිනට ගිය අවස්ථාවේ උපන්දිනය වෙනුවෙන් පුදුම කරන්න ඓශ්වර්යා කටයුතු සූදානම් කළා.

ඒ ඔහුගේ විශේෂ උපන්දින සැමරුම මාලදිවයිනේ සිට සමරන්න ඇයත් අභිෂේක්ට නොකියාම මාලදිවයිනට යාමයි. පුංචි ආරාධ්‍යා මේ දිනයේ සතුට තවත් වැඩි කළා. විවාහය කියන්නේ ජීවිතයේ විශේෂිතම සුන්දරම අවස්ථාවක්. ජීවිතයටම ගත් මේ තීරණය නිවැරදිම තීරණය වූ බව ඓශ් පවසනවා.

සිද්ධාර්ත් රන්බීර්ගේ අඩි පාරේ

තරුණියන් සමඟින් සබඳකම් පැවැත්වීම ගැන රන්බීර්ට ඉහළ ප්‍රසිද්ධියක් හිමිවී තියෙනවා. යොවුන් නළු සිද්ධාර්ත් මල්හෝත්‍රාත් දැන් රන්බීර්ගේ අඩි පාරේ යන බව ආරංචියි. සිද්ධාර්ටත් මේ සඳහා උපදෙස් දීලා තියෙන්නේ රන්බීර්. කොහොම වුණත් ආලියා භාත් නම් මේ ගැන එතරම් සතුටකින් නෙවෙයි සිටින්නේ කියලත් ආරංචියි.

රන්බීර් කෙල්ලන්ගේ නම් පිරිමි නම්වලින් තම ජංගම දුරකථනයේ සටහන් කරගැනීම ගැනත් හරි ප්‍රසිද්ධයි.

ආලියා සිද්ධාර්ත් ගැන බොහොම උනන්දුවෙන් සිටින නිසා ඔහු හොඳින් බලා ගන්නා ලෙස කරන් ජොහාර්ටත් කියලා. ඒ වුණත් රන්බීර් දුන් උපදෙස් අනුගමනය කරන්න ඕනි කියලා සිද්ධාර්ත් කියලා තියෙන්නේ කොෆි විත් කරන් නම් සුප්‍රසිද්ධ වැඩසටහනේදීයි.

ආලියා සහ සිද්ධාර්ත් මුලින්ම හමු වුණේ කරන්ගේ ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර් චිත්‍රපටයේදීයි. දැන් මේ දෙන්නා කපූර් ඇන්ඩ් සන්ස් චිත්‍රපටය නිසා කාර්යබහුල වෙලා සිටින්නේ.

ෆර්හාන්ගේ අලුත් කතාව

2016 වසර බොලිවුඩ් යුවළවලට එතරම් හොඳ අවුරුද්දක් නොවන බවයි පේන්නේ. ආදර සම්බන්ධතා නැති වෙනවා වගේම විවාහ සබඳතාත් බිඳි යන්න පටන් අරන්.

ෆර්හාන් අක්තාර් – අධූනා විවාහ අවසන් කෙරෙන බව ඔවුන් පසුගියදා නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා.

ඒ වගේම දික්කසාදය ලැබුණු විගසින් ෆර්හාන් තමන්ගේ අලුත් සබඳකම ගැනත් නිල නිවේදනයක් නිකුත් කරාවි කියලා බොලිවුඩයෙන් ආරංචි වෙනවා. මේ වෙන්වීමට හේතුව ශ්‍රද්ධා කපූර් කියල කටකතාවක් පැතිර ගියා.

අදිති රාඕගේ නමත් මේ කටකතාවට සම්බන්ධ වෙලා. ෆර්හාන් සහ අදිති දෙදෙනා එකට ගමන් බිමන් යනවා බොහෝ දෙනෙකු දැක තිබුණා. දැනට දික්කසාදය වෙනුවෙන් වු නීතිමය කටයුතු සිදු කෙරෙමින් තිබෙන නිසා ෆර්හාන් නිහඬව සිටියත් නීති කටයුතු අවසන් වූ විගස අලුත් කතාව කියන්න සූදානමින්ලු සිටින්නේ.

රිතික්ගේ හොඳම මිතුරිය

මේ දවස්වල රිතික් රෝෂන්ගේ අලුත් යෙහෙළිය කවුද දන්නවාද? ඒ වෙන කවුරුවත් නොවෙයි සුරූපි නිළි කත්‍රිනා කායිෆ්. රිතික් සුසෑන්ගෙන් වෙන් වුණු දා පටන් ඔහුගේ හිත හදන්න ළඟින් සිටි මිතුරු කැළ අතරේ කත්‍රිනාත් හිටියා.

රිතික්ට උදව් අවශ්‍යම අවස්ථාවල ළඟින්ම සිටි කෙනෙක් විදියටක් කත්‍රිනා විශේෂයි. පසුගිය කාලයේ ඇය රිතික්ට ධනාත්මක චින්තනය ගැන ලියවුණු පොත් දුන්නේ ඇයගේම අත් අකුරින් ලියන ලද පුංචි සටහන්ද සමඟින්.

සින්දගී නා මිලේගී දෝබරා සහ බැන්ග් බැන්ග් චිත්‍රපටවලදී ද කත්‍රිනා රිතිකට වෘත්තිමය වශයෙන් උපකාර කළ මිතුරියක්.

චිත්‍රපටයේ රූගත කිරීම්වලින් නිදහස් වූ අවස්ථාවල මේ දෙන්නා බොහොම නිදහසේ කතාබහ කරමින් සිටි බවත් ඒ කතාබහ රන්බීර් – කත්‍රිනා ආදර කතාව ගැනත් වෙන්න ඇති බව බොලිවුඩයෙන් ආරංචි වෙනවා.‍