වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 11 වැනිදා බ්‍රහස්පතින්දා




මෝහය දුරු කරන තරමට නිර්මාණය ලස්සනයි

මෝහය දුරු කරන තරමට නිර්මාණය ලස්සනයි

‘හෝ ගානා පොකුණ’ සංගීත අධ්‍යක්ෂ

දිනේෂ් සුබසිංහ

දේශීය සිනමා සංගීත වංශය අවලෝකනය කරන කල්හි සැබෑ සිනමානුරූපී සංගීත භාවිතයන් පිළිබඳ අපට කතා කළ හැක්කේ අල්ප වශයෙනි. බොහෝ චිත්‍රපටවල අපට අසන්නට, දකින්නට ලැබුණේ මියුරු ගීතාවලියක් පමණකි. ඉතා ආකර්ෂණීය රූප රාමු මධ්‍යයේ සුපිරි තරු රඟනා විට පසුබිමෙන් ඇසෙන උන්මාදනීය ගී රාවයට අපි වසඟ වුණෙමු. පරාජිත පෙම්වතා හෝ පෙම්වතිය දුක්බර ගීයකට සංවේදී රංගනයන් ඉදිරිපත් කරන විට අපි කඳුළු සැළුවෙමු. එහෙත් එය සැබෑ සිනමා සංගීතය නොවන වග අප අද පසක් කරගෙන ඇත්තෙමු.

සිනමානුරූපී සංගීතය පිළිබඳ ලාංකේය සිනමාවෙන් උදාහරණ ගතහොත් මුලින්ම මගේ මතකයට නැඟෙන්නේ 'සත් සමුදුර' චිත්‍රපටයයි. සෝමදාස ඇල්විටිගල ඊට නිර්මාණය කළ තේමා ගීතය හා පසුබිම් සංගීතය ඒ තරමටම විශිෂ්ටය. ඖචිත පූර්වකය. ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් ගොළු හදවත, නිධානය, බඹරු ඇවිත්, තුන්වැනි යාමය වැනි චිත්‍රපට සඳහා නිර්මාණය කළ සංගීතය කෙතරම් අපූර්වත්වයෙන් යුක්තද?

එකී පරපුරේ වර්තමානිකයා මට මුණ ගැසුණේ 'හෝ ගානා පොකුණ' සිනමාපටයෙනි. මේ කුසලතා සපිරි තරුණ හාදයා එකී සිනමාපටයට නිර්මාණය කර තිබූ සංගීතය හා ගීත සැබෑ සිනමානුරූපී සංගීත භාවිතයක අද්‍යතන ලකුණය. 'හෝ ගානා පොකුණ' අධ්‍යක්ෂ ඉන්දික ෆර්ඩිනැන්ඩු තරමටම එහි සාර්ථකත්වය උදෙසා දිනේෂ් සුබසිංහද සංගීතමය පාර්ශවයෙන් ඉටු කර ඇත්තේ අනල්ප සේවාවකි.

දඟකාර තාරුණ්‍ය, සප්ත ස්වරයේ ශාන්ත රසයෙන් සමාධිගත කර ගත් මේ සෞන්දර්ය විප්ලවවාදියා 'හෝ ගානා පොකුණ' අබියස සිට ආත්මීය සංකථනයකට අප හා එක් වූයේ මෙලෙසිනි.

දිනේෂ් සුබසිංහ, පිළිබඳ වර්තමානයේ බොහෝ දෙනකු කතාබහ කරන්නේ 'හෝ ගානා පොකුණ' නිසා. මා විශ්වාස කරනවා ඒ චිත්‍රපටය හරහා ඔබ සංගීත දිවියේ කිසියම් නව මානයකට ප්‍රවේශ වී ඇතැයි කියා?

මේ වෙනකොට මම චිත්‍රපට දොළහක සංගීතය නිර්මාණය කර තිබෙනවා. එයින් හරියටම තිරගත වෙලා තියෙන්නේ චිත්‍රපට හයයි. 'හෝ ගානා පොකුණ' තමයි හයවැන්න. මේි චිත්‍රපටයට මාධ්‍යයෙන් හා ප්‍රේක්ෂකයන්ගෙන් ලැබුණ ප්‍රතිචාර හරිම ලෙන්ගතුයි. මම නිර්මාණය කළ සංගීතය වගේම ගීත ඒ අයගේ හදවතට දැනුණා වගේ හැඟීමක් මට ආවා ඇත්තටම.

ඉතා දැඩි කැපවීමක් සහ මහන්සියක් වෙන්න වුණා මේ කාර්යයට?

ඉන්දික මට මේ චිත්‍රපටයට ආරාධනා කළාම මම එය බාර ගත්තේ තවත් එක් චිත්‍රපටයක් විදිහට. නමුත් වැඩ කරගෙන යන කොට ඒක ඇතුලේ වෙනම වැඩක් තියෙනවා කියලා වැටහුණා මට. චිත්‍රපටයට සංගීතය නිර්මාණය කළත් එක් එක් රූප රාමු පමණයි මම දැකලා තිබුණේ. සම්පූර්ණ චිත්‍රපටයම නැරඹුවේ එහි මංගල දර්ශනය දවසේ. එදා තමයි මම ඉන්දික ෆර්ඩිනැන්ඩු කියන චරිතය හරියට හඳුන ගත්තේ. ඒ කියන්නේ ඔහු කෙතරම් අපූර්ව සිනමාවේදියකු ද කියන කාරණය. අපි දෙන්නා ශබ්දාගාරය ඇතුළේ ගහ බැන ගන්න තත්ත්වයට පවා ඇවිත් තමයි සමහර දේවල් තෝරා බේරා ගත්තේ මේ චිත්‍රපටය ඇතුලේ. මොකද සමහර වෙලාවට ඔහු මම නිර්මාණය කරපු දේවල් ප්‍රතික්ෂේප කළා.

මම හිතන්නේ ඉන්දිකටත් කිසියම් අන්දමක දැනුමක් තියෙනවා සංගීතය පිළිබඳ?

එයා ඇතුළේ හොඳ ගාන්ධර්වයෙක් ඉන්නවා. ඒක මම අනිවාර්යයෙන්ම පිළිගන්නවා. ඒ නිසා තමයි මම සමහර තැන්වලදී තර්ක විතර්ක මැද පවා ඔහුත් එක්ක එකග වුණේ. ඒ වගේම කොන්දේසි විරහිතව ඔහුත් සමඟ එකඟ වුණ වෙලාවලුත් තිබුණා.

දැන් ඔබේ නිර්මාණ ශක්‍යතා එළියට දාන්න හදන කොට සංගීතඥයෙක් විදිහට කොහොමද එවැනි බලපෑම් විඳ දරා ගත්තේ?

ඉන්දියාවේදී ගුරුවරු ආශ්‍රය කිරීමේදී මම තේරුම් ගත්ත දෙයක් තමයි මේ 'මෝහය' කියන දේ දුරු කරන තරමට තමයි නිර්මාණය ලස්සන වෙන්නේ. ඇත්තටම මේ නිර්මාණය ඇතුලේ අපි දෙන්නාටම ඒ මෝහය තිබුණේ නෑ. එහෙම තිබුණා නම් මේක මේ තරම් ලස්සනට මිනිස්සුන්ට දැනෙන්නෙත් නෑ. දැන් එතනදි මට ඕනෑ එක විතරක් කරන්න ගියා නම් මිනිස්සුන්ට දැනෙනවා මේ දිනේෂ් සුබසිංහ මොන, මොනවා හරි බලෙන් ඔබලා කියලා. මම එතනදි නිරහංකාරව ඉන්දිකගේ තීරණවලට යටත් වුණා. ඉන්දික කියන ඇතැම් දේවල් අසාධාරණයි කියලා හිතෙන කොට වාද විවාද කරලා මම මට ඕනෑ දේ ඔබා ගත්තා.

ඒ වගේ අවස්ථාවල ඔහුත් නම්‍යශීලී වුණා?

ඔව්. බොහෝ අවස්ථාවල ඔහු එකඟ වුණා මා සමඟත්. විශේෂයෙන් අර 'කුවිනාරේ' කියන වචනය. ඔය චිත්‍රපටයේ ප්‍රධාන තේමාව මුහුදනේ. ළමයි විශ්මිත තත්ත්වයට පත් කරන රහස. ඒ මොහොතේ මට අවශ්‍ය ශබ්දය ගන්න වාද්‍ය භාණ්ඩ හෝ වාද්‍ය ශිල්පීන් මගේ ළඟ නෑ. නිර්මාණකරනයේදී සාමාන්‍යයෙන් මගේ තියෙනවා නිරායාසයෙන් මුවට නැඟෙන භාෂා ස්වරූපයක්. ඒ අදාළ රූප රාමුව දිහා බලාගෙන ඉන්න කොට තමයි මට 'කුවිනාරේ' වචනය ඉබේම ඔළුවට ආවේ. එහෙම වචන මොන මොනවා හරි එනවා.

සමහර විට අර්ථයකුත් නැතුව ඇති?

ඔව්. දැන් ඔය 'කුවිනාරේ' කියන වචනයට අර්ථයක් නෑ. ඉන්දිකට ප්‍රශ්නයක් ආවා දැන් කවුරු හරි ඇහුවොත් අපි උත්තර දෙන්නේ කොහොමද කියලා. මොකක්ද මේ වචනය. අර 'දොංතක, දොංතක' කියන වචනයත් එහෙමයි. කොහොම හරි අර 'කුවිනාරේ වචනය අපි දාලා බැලුවා රූපෙට. ඒක නියමෙට ගැළපුණා. හරි ආදරණීය බවක් ඇති වෙනවා ඒක තුළින්. ඉන්දික කිව්ව හරි අපි එහෙනම් මේක දාමු කියලා. කවුරු හරි ඇහුවොත් කියමු මේක ශබ්ද රසය ඉස්මතු කරන්න දාපු වචනයක් කියලා. හැබැයි චිත්‍රපටය බලපු මනුස්සයෙක් ඒ ගැන මාර කතාවක් කිව්වා.

ඒ මොකක්ද?

චිත්‍රපටය ආරම්භයේ ඉඳලාම මේ කුවිනාරේ කියලා වචනයක් ඇහෙනවා. මොකක්ද මේ. කොතැනක හරි මේ වචනයට තේරුමක් ඒවි කියලා ඔහු හිතුවලු. අර අන්ධ දැරිය ඇවිත් මූදෙ රැල්ල පාගද්දී, කිසිමදාක ආලෝකය නොදැකපු, මූද කියන එක මොකක්ද කියලා නොපෙනෙන ළමයෙකුට ඒ වතුර ටික පෑගෙද්දී ඇති වුණ හැඟීම තමයි ඒ 'කුවිනාරේ' කියන වචනය ඇතුලේ තිබුණේ කියලා කිව්වානේ ඒ මනුස්සයා.

මම හිතන්නේ එය චිත්‍රපටයේ ඉතාම සංවේදී දර්ශනය?

දැන් ඇත්තටම යම් ශබ්දයක්නේ මම එතනට මේ ඔබන්නේ. වචනයේ තේරුමක් නැති වුණත් ඒ ශබ්ද රසය සමස්ත චිත්‍රපටයටම ආලෝකයක් වුණා.

වචනයට ගෙවා යා හැකි දුර අවසන් වන තැන සංගීතයේ උපත සිදුවෙන බවට ප්‍රකට කියමනක් තිබෙනවා. ඔබ ඒ මතය හා එකඟ වෙනවාද?

මම හැමදාමත් ඒ කියමනත් එක්ක එකඟව සිටි කෙනෙක්. නමුත් 1900 දී පමණ අමෙරිකාවේ ජෑස් සංගීතය ජනප්‍රිය වෙන්න පටන් ගැනීමත් එක්ක ගායකයා ප්‍රබලත්වයට පත් වෙනවා. නමුත් ගායනය උත්පාදනය වෙන්නේ සංගීතය ඇතුළෙමනේ. එතකොට සංගීතය තමයි මූලික අත්තිවාරම. නමුත් වර්තමානය වෙන කොට ගීතය තමයි රසිකයා අතර වඩාත් ජනප්‍රිය වෙලා තියෙන්නේ. ඒ කියන්නේ වචන සහිත සංගීතය.

සංගීතය දැවැන්ත වෘක්ෂයක් නම් එහි කුඩා ශාඛාවක් තමයි ගීතය කියන්නේ?

හරියට හරි. සම්භාව්‍ය සංගීතය වෙනම දෙයක්. ඒත් සිනමා සංගීතයේදී මම විශ්වාස කරන දේ තමයි ගීතවලට වඩා සංගීත ඛණ්ඩ මඟින් තමයි අපට ඒ රූපවල අර්ථය මැනවින් ඉස්මතු කළ හැක්කේ. සාමාන්‍යයෙන් චිත්‍රපටයක ගීතයක් හෝ දෙකකට නැතිනම් ඊට වඩා වැඩි ප්‍රමාණයකට අවස්ථාව දෙනවා. චිත්‍රපටයේ සමස්ත රිද්මය ඔසවාගෙන යා යුත්තේ සංගීතයයි.

ආචාර්ය ප්‍රේමසිරි කේමදාස මෙරට සිනමා සංගීතයේ අප දකින විශිෂ්ටතමයායි. 'හෝ ගානා පොකුණ' චිත්‍රපටයේ සංගීතය පිළිබඳ සවිඥානක වෙද්දී මට හිතුන දේ තමයි ඔබ කේමදාසයන් වෙතින් කිසියම් අනුප්‍රාණයක් ලබා ඇති බව?

ඔව්, පැහැදිලිවම, කේමදාසයන් සමඟ 2000 වසරේ සිට එතුමා මිය යන තෙක් මගේ සමීප ඇසුරක් තිබුණා. ඒ කියන්නේ 'අග්නිදාහය' චිත්‍රපටයේ වාද්‍ය ශිල්පියෙක් විදිහට තමයි මම ඔහු සමඟ මුලින්ම නිර්මාණ කටයුත්තකට යොමු වුණේ. අවසානයේ ඔහුගේ 'අග්නි' ඔපෙරාව මෙහෙයවන්න මට ඔහු අවස්ථාව ලබා දෙනවා. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පවත්වපු අවසානම 'අග්නි' මහා ප්‍රසංගයේ සංගීත අධ්‍යක්ෂවරයා මම. සිනමා කෘතියක යටිපෙළ අරුත ගැන කිසියම් ඉවකින් හඳුනා ගන්න මාව පෙලඹෙව්වේ කේමදාසයන්. ඒ.ආර් රෙහෙමාන්ගේ සංගීත පාසලට ඇතුළු වුණාට පස්සේ මට ඒ කේමදාසයන් වෙතින් ලබා ගත් ඉව පිළිබඳ දැනුම තිරයට යොමු කිරීමේ කලාව හඳුනා ගන්න ලැබෙනවා. අර කේමදාස කියන නන් ඇකඩමික් මිනිසා තමයි තර්කානුකූලව රූපයට යමක් එකතු කිරීම මට කියා දුන්නේ.

රෙහෙමාන්ගේ විශ්වීය සංගීත ඥානය ලබා ගන්නට තරම් ඔබ වාසනාවන්තයෙක් වීම සුවිශේෂී කාරණයක්?

1996 මම ඔය හෝටල්වල ර්‍ථතචර කරන්න පටන් ගන්න කලේ මම ළඟ පුංචි පොතක් තිබුණා. එල් සුබ්‍රමනියම්, රෙහෙමාන්, යානී, ශක්ති සංගීත කණ්ඩායම, ස්ටැන්ලි පීරිස්, ආනන්ද දාබරේ, මර්සලීන් ජයකොඩි පියතුමා වැනි අයගේ පින්තුර තමයි ඒ පොතේ මම අලවා තිබුණේ. මර්සලීන් ජයකොඩි පියතුමා හැර සෙසු අය සමඟ සංගීතමය වශයෙන් යම් දායකත්වයක් තිබුණා මගේ. ඒ තමයි මගේ තිබුණ සිහින. හැබැයි ජයකොඩි පියතුමා ඇසුරු කරන්න නොලැබුණත් අදටත් මා ළඟ තියෙන්නේ ජයකොඩි පියතුමාගේ වයලීනය.

ඔබේ සංගීත කටයුතු සඳහා එය භාවිත කරනවා?

ඔව්. ඇතැම් පටිගත කිරීම් සඳහා මම යොදා ගන්නේ ඒ වයලීනය. ඒ වයලීනය පාවිච්චි කරන්න සුදුසුම පුද්ගලයා මමයි කියන අදහස ඇතුව එතුමාගේ ඥාතියෙක් එය මට ලබා දුන්නා. ඉතින් ඔබ ඇහුවේ රෙහෙමාන් ගැනනේ. ඔහු මගේ ජීවිතයේ පරමාදර්ශී චරිතයක්. මගේ වීරයෙක්. ඉලෙයිරාජා ජය ගත් සිනමාවට ලෝක සංගීතය එකතු කරලා රෙහෙමාන් නව රාමුවක් හදන්න හදනවා ආපහු.

'හෝ ගානා පොකුණ' සංගීතය නිර්මාණය සඳහා ඔබ විවිධ සංගීත සම්ප්‍රදායන්හි ආභාෂය ලබා තිබුණත් ඒ සම්මිශ්‍රණය තුළ පවා ඔබේ අනන්‍යතාවය, ස්වීයත්වය අපට විද්‍යාමාන වෙනවා?

එතනදි මගේ ස්වාධීනත්වය රැකගන්න පුළුවන්කම ලැබුණා කියා මමත් විශ්වාස කරනවා. ඒකට හේතු කීපයක් තිබ්බා. මගේ ප්‍රතිපත්තියක් හැටියට කේමදාස ගුරුතුමාගෙන් හෝ රෙහෙමාන් ගුරුතුමාගෙන් හෝ උපුටා ගැනීම් කළේ නෑ. මම ඔවුන්ගේ දේශපාලනය, ඔවුන් මේ සමාජය ජයගත් අන්දම පිළිබඳ ආදර්ශය ගත්තා මිසක් ඉන් ඔබ්බට ගියේ නෑ. 'ස්වර' කියන එකේදී මම ආත්මාර්ථකාමියි සහ ස්වාධීනයි. මේ චිත්‍රපටයේදී ළමුන්ගේ තිබෙන ආදරණීය බව සහ අහිංසකකම ප්‍රතිනිර්මාණය කිරීමේදී අවුරුදු පහළොවක පමණ අත්දැකීම් මට තිබුණා. ඒක තමයි මම 'හෝ ගානා පොකුණ'ට පාදක කර ගත්තේ.

 ඒ කිව්වේ?

මම සතියකට වරක් 'රොබින්හුඩ්' වගේ චිත්‍රපටයක් නරඹනවා. ඒ වගේම ලෝකයේ විශිෂ්ට ළමා චිත්‍රපට අටදාහක් විතර වන මගේ ඩී. වී. ඩී. ගොන්නේ ලේන්කූඩු හතරක් විතර හදලා තියෙනවා. මම ඔවුන්ගේ චලනත් එක්ක ජිවත් වෙනවා. ඒ විතරක් නෙවේ බල්ලන්ගේ, පූසන්ගේ, කූඹින්ගේ පවා චලනත් එක්ක මගේ දෛනික ජීවිතය ගෙවෙනවා. දැන් මේ චලනවල තියෙන රිද්මයන් තමයි මට ඔය වචනයකින් දෙකකින් නිරායාසයෙන් සිතට නැගෙන්නේ. මම ලේනුන්ට කෑම දාපුවාම කතා කරන ස්වරූපයක් තියෙනවා. ඒ වගේ දේවල් මම මගේ නිර්මාණ අස්සේ ගේනවා. මම භාවනාව පිළිබඳ යම් යම් දේ හොයාගෙන යනවා. ඒ කියන්නේ මගේ සංගීත නිර්මාණවලට කොහොමද එය උපයෝගී කරගන්නේ කියන අදහස ඇතුව. සිත සමාධිගත කිරීම තුළ මිිනිසුන් වශී කරන්න පුළුවන් සංගීතයක් නිර්මාණය කළ හැකි ද කියා මම පර්යේෂණය කරගෙන යනවා. ඊට මා මෙහෙය වන අධ්‍යාත්මික ගුරුවරු ඉන්නවා. එතකොට එයාලා මෝහය කියන සංකල්පය මගෙන් දුරු කිරීම නිසා සංගීත නිර්මාණයේදී මිනිසුන්ගේ මනසට ආදරණීය යමක් එකතු කරන්න පුළුවන් වුණා කියා මම හිතනවා.

හොඳ ළමා ගීත නිර්මාණය නොවනා යුගයක ඒ අභියෝගය ජය ගන්නටත් ඔබ මේ චිත්‍රපටය හරහා යම් උත්සාහයක් දරා ඇති බව පෙනෙනවා?

මේ චිත්‍රපටයට ගීත තුනක් අන්තර්ගතයි. ඒ ගීත තුනම රචනා කළේ ඉන්දික සහ මේ චිත්‍රපටයේ නිෂ්පාදකවරයෙක් වන කුසුම්සිරි ලියනාරච්චි. ඇත්තෙන්ම ඒ ගී පදමාලවලම කිසියම් අපූර්වත්වයක් තිබුණා. ළමා මනසට ගෝචර බොහොම සරල බස් වහරකින් තමයි ඒ ගීත රචනා කර තිබුණේ. සුනිල් කොස්තා අධ්‍යක්ෂණය කරපු 'සිරි සිරි මල් ' ටෙලි නාට්‍යයේ මගේ සංගීත නිර්මාණය දැකලා තමයි ඉන්දික මේ කටයුත්තට මට ආරාධනා කළේ. 2009 වසරේ පැවති 'සිග්නීස් 'සම්මාන උළෙලේ හොඳම සංගීත අධ්‍යක්ෂවරයාට හිමි සම්මානයත් ලැබුණා මට මේ නිර්මාණ දායකත්වය වෙනුවෙන්. ‘සිරි සිරි මල් ‘සංගීත නිර්මාණය මම කළේ 2005 දී. එතකොට ‘හෝ ගානා පොකුණ’ ට මියුසික් කළේ 2012 දී. අවුරුදු හතක ගැප් එකක්. ඒ කාලය ඇතුළත බඩ වියත රැක ගැනීම සඳහා මම නිර්මාණ රැසකට දායක වුණා. මම ඒවා පහත් කොට සලකන්නේ නෑ. නමුත් ඉන්දිකත් එක්ක මේ නිර්මාණය කරන්නට ලැබීම මට සුවිශේෂී දෙයක් වුණා. මොකද ඉන්දික කියන්නේ අපේ පරම්පරාවේ රැඩිකල් කලාකරුවෙක්. එතනදි මම එයාට ධනවත් සංගීතයක් නිර්මාණය කර දුන්නා කියා විශ්වාස කරනවා. විශේෂයෙන් ඕකේ නිර්මාණය කරපු සංගීත ඛණ්ඩ හතරක් ඒ. ආර්. රෙහෙමාන්ගේ ශබ්දාගාරයේ පටිගත කළේ.

වත්මන් ලාංකේය සිනමාවේ ඔබ සමඟ තවත් තරුණ සංගීතඥයන් දෙදෙනෙක් සිය ප්‍රතිභාව ප්‍රකට කරමින් සිටිනවා. ඒ දර්ශන රුවන් දිසානායක හා නදීක ගුරුගේ. ඔවුන් ඔබට සිනමා සංගීතය තුළ යම් අභියෝගයක් නෙවෙයිද?

තමනේගේ භාව ප්‍රකාශනයන් මඟින් නිර්මාණයට සාධාරණයක් ඉටු කරනවා නම්, එය ප්‍රේක්ෂකයාට දැනවිය හැකි නම් කාටවත් තව කෙනෙක් අභියෝගයක් වෙන්නේ නෑ. සමහර වෙලාවට පොඩි තරගයක් තියෙනවා. අපි එකිනෙකා අභිබවා යන්න නිර්මාණාත්මක අතින් තරග කරනවා. ඒත් අපි අමතක නොකළ යුතු දෙයක් තියෙනවා. සංගීතය ඉපදෙන්නේ හදවතින්. අපි තව කෙනෙක් පැරදවීමේ අරමුණකින් ද්වේෂ සහගත ලෙස නිර්මාණයක් කළොත් වස තමයි ප්‍රේක්ෂකයන්ට දෙන්නේ. ඒත් අපි අතරේ එහම අවුලක් නෑ. ඔබ ඔය සඳහන් කළේ මම හරිම ආදරය කරන සංගීතඥයෝ දෙන්නෙක්. අපි එකට වැඩ කරලත් තියෙනවා. ඔවුන් මගේ කාලයේ සංගීතඥයන් දෙදෙනෙක් වීම නිර්මාණකරණයේදී මට ලොකු හයියක්. මොකද පොඩි හැප්පිල්ලක් තියෙන්න ඕනැ. ඒක බොහොම සුන්දර, අහිංසක තරගයක්. එහෙම වුණාම තමයි වඩා හොඳ නිර්මාණ බිහි වෙන්නේ.