|
||
ප්‍රථම රංගනයෙන්ම හොඳම නිළිය වුණා
වර්ෂය - 1965 2 වැනි සරසවිය සම්මාන උලෙළ ස්ථානය - කොළඹ ග්‍රෑන්ඩ්පාස් අශෝකා සිනමා ශාලාව හොඳම නිළිය - සෝබනී අමරසිංහ 1965 වසරේ පැවති දෙවැනි සරසවිය සම්මාන උලෙළේ හොඳම නිළිය ලෙසින් සම්මාන ලැබූවේ ගැටවරයෝ චිත්‍රපටයේ කරුණාගේ චරිතයට පණ පෙවූ සෝබනී අමරසිංහ යි. තම ප්‍රථම රංගනයෙන් හොඳම නිළිය වීමේ වාසනා මහිමය ඇය සතු විය. එමෙන්ම එය වාර්තාවක්ද විය. යුග ගණනාවක් යන තෙක්ම ඒ වාර්තාව ඇය සතුවිය. 1965 වසරේ අගෝස්තු 04 වැනිදා සරසවිය පුවත්පත සෝබනී හඳුන්වා දී ඇත්තේ ද මෙලෙසිනි.
ජයටම පැවති දා සිනමා ජය රැළිය සරසවිය සම්මාන මතක තුළ සැරිසරන අතරේ මෙවර අප හමුවන්නේ ඇය යි. මීට දශක පහකට එහා අතීතයේ සුන්දර මොහොතක් වූ ඒ සම්මානනීය රාති‍්‍රයේ මතක ඔබත් සමඟින් යළිත් සිහිපත් කරන්න සෝබනී අමරසිංහ නම් වූ ඇය පැමිණි වගයි. “ඒ කාලේ සරසවිය සම්මාන උලෙළ බොහොම කලාත්මක විදියට පැවැත්වුණේ. කලා ලෝකයේ ප්‍රවීණයන් රැසක් එදා උලෙළට සහභාගි වුණා. සරස්වති දේවියටයට පහනක් පත්තු කරලා උලෙළ ආරම්භ කළ ආකාරයේ චමත්කාරය අදටත් මට මැවී පේනවා”. සරසවිය සම්මාන උලෙළකට ආරාධනා පත්‍රයක් ලැබුණාම මොකද හිතුණේ? ඒ කාලයේ සම්මාන උලෙළක් කියන්නේ ගොඩක් විශේෂිත අවස්ථාවක්. මම ඒ වෙනවිටත් රඟපාලා තිබුණේ එක චිත්‍රපටයක විතරයි. ඇත්තටම ඒනිසා ඒක ලොකු සතුටක් උණා. සාමාන්‍යයෙන් සම්මාන උලෙළට සහභාගි වෙන්න පාස් දෙකයි දෙන්නේ. ඒ වුණත් මට හතරක්ම එවලා තිබුණා. ඒක සතුට තවත් වැඩි කළා. ඒ වෙනුවෙන් මාත් එක්ක අම්මයි තව මල්ලිලා දෙන්නෙකුයි සහභාගි වුණා. එදා බොහොම සුන්දරව සැරසෙන්න ඇති? මම කොහොමත් සරල චාම් විදියට තමයි අඳීන්නේ පළදින්නේ. සම්මාන උලෙළ කියා එදා විශේෂයක් කළේ නැහැ. ඒ සරල චාම් බව එහෙමම තිබුණා. සාරියත් මම තමයි ඇඳ ගත්තේ. පළමු සරසවිය සම්මාන උලෙළත් මතකයේ තියෙන්න ඇති? ඒ කාලයේ දැන් වගේ සම්මාන උලෙළ රාශියක් නැහැනේ. 1964 වසරේ පැවැත් වූ පළමු සරසවිය සම්මාන උලෙළ ගොඩක් සුවිශේෂ වුණා. එදා පුණ්‍යා හීන්දෙණිය හොඳම නිළිය ලෙසින් සම්මානනීය වුණා. පුණ්‍යා කියන්නේ මා පි‍්‍රය කළ චරිතයක්. ඒ මතකය හරිම සුන්දරයි. දෙවැනි සරසවිය සම්මානය වෙනුවෙන් ඔබේ නම ප්‍රකාශ කරනවිට මොකද හිතුණේ? ඒක නම් මට අදහා ගන්නත් බැරි වුණා. ගැටවරයෝ චිත්‍රපටයට එදා සම්මාන රාශියක් හිමි වුණා. මගේ නම හොඳම නිළිය ලෙසින් ප්‍රකාශ කරන විට දැනුණේ පුදුමාකාර සතුටක්. සම්මාන ප්‍රදානයට ආවේ ආණ්ඩුකාර විලියම් ගොපල්ලව මහතා. සරසවිය සම්මානයේ අගය නම් කියලා නිම කරන්න බැහැ. සම්මානය අතට ගන්න තෙක් ඒ සම්මානය මොන තරම් බරද කියලා දැනගෙන හිටියේ නැහැ. ඒ නිසා සම්මානය අතට ගත් වෙලාවේ සම්මානයේ බරට මාවත් නැමුණා. ගැටවරයෝ මගේ පළමු රංගනය. ඉතිං පළමු රංගනය සම්මානනීය වෙයි කියලා මම හීනෙකින්වත් හිතුවේ නැහැ. සම්මානය ලැබුණු ගමන් පුණ්‍යාම වගේම අනුලා කරුණාතිලක සුබ පැතුවා. මගේ රංගන පරාසය කෙටි නිසා මට ගොඩාක් සම්මාන ලැබුනේ නැහැ. නමුත් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් වූ ගාමිණි ෆොන්සේකා, තිස්ස ලියනසූරිය, ශේෂා පළිහක්කාර, මයික් විල්සන් වැනි අයත් සමඟින් සම්මානනීය වෙන්න ලැබීත් වාසනාවක්. ගැටවරයෝ රංගනයට අවස්ථාව ලැබුණේ කොහොමද? මම පොඩි කාලයේ පටන්ම ශේෂා පළිහක්කාගේ නැටුම් ඉගෙන ගත්තා. ඒ කාලයේ ශේෂා පළිහක්කාර රන්මුතු දූව චිත්‍රපටය කළා. රන්මුතු දූව මංගල දර්ශනයටත් අපේ නැටුම් කණ්ඩායමේ ළමයි සහභාගිකරවා ගත්තා. එයින් පසුව ගැටවරයෝ ආරම්භ කරන්න තිර පරීක්ෂණයකට පන්තියේ ළමයි හැමෝටම එන්න කිව්වා. අනේ මම නම් ඒකට ගියේ නැහැ. මොකද මම හරි ලැජ්ජාකාරියක් නිසා. පාසල් කාලයේදීත් එකම එක නාට්‍යයකට හිටියා මතකයි. ඊට පස්සේ දවසක පන්තියට ගියාම ශේෂා පළිහක්කාර ඇහුවා ඇයි ආවේ නැත්තේ කියලා. සීයාට සනීප නැතුව බලන්න ගිය නිසා එන්න බැරි වුණා කියලා මම බොරුවක් කිව්වා. තවත් ආපු නැති ළමයි කිහිප දෙනෙකුටයි මටයි ඒ වෙලාවේම තිර පරීක්ෂණයක් තිබ්බා. ගුරුවරයා නිසා බැහැ කියන්නත් බැහැනේ. මම ඒ වෙලාවේ තිර පරීක්ෂණයට පෙනී හිටියා. තිස්ස ලියනසූරිය, මයික් විල්සන් එහෙමත් එදා ඇවිත් හිටියා. මාව එක්කරගෙන යන්න අම්මා පන්තියට ආවම ගැටවරයෝ චිත්‍රපටයට මාව තෝරා ගත් බව අම්මට කිව්වා. බොහොම හොඳ චරිතයක් කියලා පිටපතත් දුන්නා. ඒක ගැමි චරිතයක්. අම්මා නම් කැමැති වුණා. ඉගෙනීමට මුල් තැන දීලා වැඩ කරන්න කියලා තාත්තා කිව්වා. ෂූටිංවලටත් අම්මා ඇවිත් මා එක්කම හිටියා. පළමු රංගන අත්දැකීම කොහොමද දැනුණේ? කරුණා නම් වූ මගේ චරිතයට රෙද්දයි හැට්ටෙයි තමයි අඳීන්න තිබුණේ. ඉතිං පළමු වැනි දවසේ රෙද්දයි හැට්ටෙයි අඳීන්න කියලා මේක්අප් එහෙම දාලා ඉන්න කිව්වා. හැබැයි රඟපාන්න කිව්වේ නැහැ. ඊට පස්සේ තමයි රූගත කිරීම් කළේ. කතාවේ හැටියට මම හැදෙන්නේ වැඩෙන්නේ අයියායි නෑනයි ලඟ. අයියා මට බණින අවස්ථාවක් තමයි මුලින්ම රූගත කළේ. මට තිබුණේ කොණ්ඩේ පීරමින් ඉන්න දර්ශනයකට මුහුණ දෙන්නයි. ගාමිණි ෆොන්සේකා, ජෝ අබේවික්‍රම ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්. දැවැන්තයන්. මගේ මුල්ම රංගනය තිබුණෙත් ඔවුන් සමඟින්. මට ඔවුන් සමඟ කතා කරන්නත් බය හිතුණා. තිස්ස ලියනසූරිය රංගනයට බොහෝ උපදෙස් දුන්නා. වැලිගම මුහුදු තීරයේ රූගත කිරීම්වලදී ගාමිණි ෆොන්සේකා බලන්න ආපු සෙනග පාලනය කරන්න පොලිසිය ගෙන්නන්න වුණා. ඒ වෙනකොට කවුරුවත් මාව වැඩිය හඳුනන්නේ නැහැ. හැබැයි චිත්‍රපටය තිරගත වුණාට පස්සේ බෙහෙතක් ගන්නවත් යන්න හරිම අමාරු වුණා. මං කොතැනට ගියත් එතැනට සෙනග රොක් වෙනවා. අදටත් බොහෝ දෙනා ඒ රංගන මතකයන් සිහිපත් කරනවා. මම හැමදාම ෂුටින් ගියේ අම්මා එක්ක. ගැටවරයෝ මුලින්ම තිරගත කළ දවසේ අම්මයි තාත්තයි දෙන්නම ආවා බලන්න. තාත්තා මගේ රංගනය හොඳයි කිව්වා. සම්මානය ලැබුණට පස්සේ ඒ සතුට තවත් වැඩි වුණා. මේ සම්මානයත් සමඟින් තවත් රංගන ආරාධනා රැසක් ලැබෙන්න ඇති? සම්මානය ලැබුණට පස්සේ රංගනයට ආරාධනා කිහිපයක්ම ලැබුණා. ශේෂා පිළිහක්කාර මට පළමු දවසෙම දුන් උපදේශය වුණේ පිටපත කියවන්නේ නැතුව කිසිම නිර්මාණයකට එකඟ වෙන්න එපා කියලයි. ඒක අම්මයි තාත්තාත් තදින්ම අවධාරණය කළා. මුදල් බලන්න එපා. තිර නාටකය හොඳ නම්, තමන්ට ගැළපෙනවා නම් අදාළ චරිතය තෝරා ගන්න කියලා ඔවුන් දුන් උපදෙස් අනුව මට බොහෝ චිත්‍රපට ප්‍රතික්ශේප කරන්න සිදු වුණා. සාරවිට, හන්තානේ කතාව, ලක්සෙට කොඩිය චිත්‍රපටවලට දායක වුණා. ගැටවරයෝ චිත්‍රපටයෙන් පස්සේ සාරවිට රඟපානකොට මගේ හිතේ තිබුණු බිය නැති වෙලා තිබුණේ. ලක්සෙට කොඩියෙන් පසුසේ මට විවාහ යෝජනා රාශියක් ආවා. ඊට පසුව මගේ විවාහය සිදු වූණේ ලලිත් හීන්ගම සමඟ. සැමියා එවකට උප දිසාපතිවරයෙකු ලෙසින් සේවය කළේ කුරුණෑගල. මට සැමියා සමඟින් කුරුණෑගල පදිංචියට යන්න සිදු වුණා. ඒ නිසා රංගනයෙන් දුරස් වෙන්න මට සිදු වුණා. පළමු රංගනයෙන්ම හොඳම නිළිය වී කෙටි කාලයකින් රංගනයෙන් දුරස්වීම ගැන දුකක් හිතුනේ නැතිද? පවුලට ප්‍රමුඛත්වය දෙන්න ඕනි. සැමියාට දරුවන්ට මගෙන් අඩුපාඩුවක් වෙන්න දෙන්න හොඳ නැහැ. සිනමා නිර්මාණයකදී දුර පැතිවලට යන්න සිදු වෙනවා. ඒක කරන්න තරමක අපහසු වුණා. මගේ පවුල ගැන හිතුව නිසා පවුලට ඇති ආදරේ නිසා දුකක් දැනුණේ නැහැ. දරුවන් උසස් පෙළ අධ්‍යාපනය හදාරණ කාලයේදී අපි ආයෙමත් කොළඹට ආවා. ඒ කාලයේදී ටෙලි නාට්‍ය රංගනයට ආරාධනා කළත් මම බොහොම කාරුණිකව ඒ ආරාධනා ප්‍රතික්ෂේප කළා. ඉන්පසුව ඔබ සරසවිය සම්මාන උලෙළවලට දායක වුණේ නැතිද? රංගනයට නොපැමිණියත් කුරුණෑගල සිට මම ඉන් පසු සරසවිය සම්මාන උලෙළවල විචිත්‍රත්වය බලන්න නම් ආවා. කලාත්මක බවෙන් පිරි ඒ සරසවිය සම්මාන උලෙළ සිහිපත් වෙනකොටත් මට ලොකු සතුටක් දැනෙනවා. ඉදිරියටත් ඒ කලාත්මක බව සරසවිය සම්මාන උලෙළෙන් දකින්න ආසයි. එදා සිනමාවේ බැබළුණු නිළියක ලෙසින් වර්තමාන සිනමාව ඔබ දකින්නේ කෙළෙසින්ද? එදත් අදත් අතර විශාල වෙනසක් තියෙනවා. ඉස්සර ක්ෂේත්‍රයේ හැමෝම අතරේ හොඳ එකමුතුවක් තිබුණා. දැන් නම් එහෙම එකමුතුවක් දකින්න අපහසුයි. නවකයන්ට වැඩිහිටි පරපුරෙන් හොඳ අවවාද ලැබීම වගේම නවකයන් ඒවා පිළිපැදීමෙන් මීට වඩා සාර්ථක ගමනක් යන්න හැකි වේවි යැයි හිතෙනවා. කොහොම වුණත් අපේ සිනමාවේ එදා තිබුණු කලාත්මක බව නම් දැන් අඩු වේගෙන යන බවයි පෙනෙන්නේ.
|
||