|
විජය සහ ජෝති
විජය කුමාරතුංගයන් ඝාතනය කරනු ලැබ විසි අට වසරක් ගෙවෙනුයේ මෙම මස 16 වැනිදාටය. මේ වසරේ මෙන්ම විජය ඝාතනය වූ 1988 වසරේ පෙබරවාරි 16 වැනිදා ද අඟහරුවාදාවකි. එච්. ආර්. ජෝතිපාලගේ අසූ වැනි ජන්ම දිනය යෙදෙනුවේ හෙට එනම් 12 වැනිදාටය. ජෝතිපාලයන් සමුගෙන එළැඹෙන ජූලි මාසයේ 7 වැනිදාට විසි නව වසරකි. ලාංකික සිනමාවේ කිරුළු පළන් විජය කුමාරතුංගයන් මෙන්ම එච්. ආර්. ජෝතිපාලයන් ද ගජ මිතුරන් ලෙස සැලකෙති. විජය, ජෝතිපාලයන්ට වඩා වසර නවයකින් බාලය. විජය උපන්නේ 1945 ඔක්තෝබර් 9 වැනිදාය. ජෝතිපාලයන් උපන්නේ 1936 පෙබරවාරි 12 වැනිදාය. විජය කුමාරතුංගයන්ගේ මුල්ම රංගනය රැගත් හන්තානේ කතාව තිරයට එන්නේ 1969 වසෙර්ය. ජෝතිපාලයන්ගේ ගායනයන් ඇතුළත් මුල්ම චිත්‍රපටය වන සුරතලී තිරයට එන්නේ 1956 වසෙර්ය. විජය කුමාරතුංගයන් සිනමාවට පිවිසෙන විට ජෝතිපාලයන් ගායකයකු ලෙස සිනමාවේ අංක එකට එක් වී තිබිණ. ඒ වන විට නළුවකු ලෙස ද ඔහු නමක් දිනා සිටියේය. විජය කුමාරතුංගයන් වෙනුවෙන් එච්. ආර්. ජෝතිපාලයන් මුල්වරට පසුබිම් ගී ගායනයේ යෙදෙනු අප දුටුවේ හතර දෙනාම සූරයෝ චිත්‍රපටය උදෙසාය. එහි ජෝතිපාලයන් ගයන ලද අහා අහා ආදරණීය සිනා, මේ දෑස මගේ පින්වන්තයි, කොඩි ගහ යට මම යන ගීත ත්‍රිත්වය සඳහාම විජය රංගනයෙන් දායක විය. එතැන් පටන්ම අවස්ථාවක් හෝ දෙකක් හැර විජය වෙනුවෙන් සම්පූර්ණයෙන්ම ගී ගැයුවේ ජෝතිපාලයන්ය. කොටින්ම හැත්තෑව හා අසූව දශක දෙකම විජය හා ජෝති සුසංයෝගයක් විය. 1987 දී ජෝතිපාලයන් අකාලයේ මිය ගිය අතර විජය ඉන් වසරක් ගත වන්නට මත්තෙන් ඝාතනය කෙරිණ. විජය වෙනුවෙන් ජෝතිපාලයන් ගී ගැයූ තිරගත කරන ලද අවසාන චිත්‍රපටය මමයි රජා දින දෙසීයකට අධික කාලයක් තිරගත විය. ඒ වන විට ඒ දෙදෙනාම මෙලොව හැර ගොසිනි. දශක තුනක් ඉක්ම වුව ද ජෝතිපාලයන් යනු තවමත් මෙරට ජනප්‍රිය ගායකයාය. විජය මිය ගියාට පසු උපන් තරුණයෙකු විජයගේ රුව තම ලෙයින් සිත්තම් කළ පුවතක් අද අප පුවත්පතේ පළ වෙයි. ඒ විජයගේ ජනප්‍රියත්වයේ මහිමයයි. සමස්ත ලෝකය ඇතුළත් සිනමාවේ ලෝකයේ වීරයන් පමණක් නොව නිෂ්පාදන ක්‍රම විධි සහ නරඹන ක්‍රම විධි ද මේ කාලය ඇතුළත වෙනස්ව ගොස් ය. ජෝතිපාලයන් මෙරට චිත්‍රපට ගායනයට පිවිසෙනුයේ අසිංහල කටහඬින් යුත් ගායකයන් ලාංකික සිනමාව අරක් ගත් යුගයකය. ඒ පිළිබඳව එවකට ගලගෙදර මන්ත්‍රී සී. එස්. එම්. මරික්කාර් විසින් පාර්ලිමේන්තුවේදී දැඩි විරෝධයක් ද නංවන ලදී. චිත්‍රපට පසුබිම් ගායනයේ යෙදෙන අසිංහල හඬ නිසා සිංහල භාෂාවේ විශිෂ්ටත්වය වැනසී යන අන්දම එදා ප්‍රසිද්ධියේ මුල්වරට පැවසුවේ ඔහුය. ජෝතිපාලයන් තරම් සිනමා තිරය සඳහා හඬ පෞරුෂයක් සහිත ගායකයකු එදා මෙදාතුර බිහි වූයේ නැත. ඉන්දියානු කලාපයේ චිත්‍රපට පසුබිම් ගායකයා යනු අදෘශ්‍යමාන නළුවකු වැන්න. චිත්‍රපට නළුවාගේ පෞරුෂය රැක ගනිමින් ඔහුටත් වඩා වාචික අභිනයේ යෙදෙන්නේ ගායකයාය. ඉන්දියානු සිනමාවේ මුල් යුගයේ චිත්‍රපට පසුබිම් රංගනයට අවතීර්ණ වූ බහුතරය රංගනයට වඩා ගායනයෙන් සමත්කම් පෑව පිරිස් ය. සංස්කෘත නාට්‍යවල බලපෑම මත බිහි වූ මුල් යුගයේ සෑම චිත්‍රපටයක්ම ගීතමය චිත්‍රපට වූ වග නොරහසකි. ඉන්දු සභා වැනි චිත්‍රපටයක ගීත 55 ක් විය. පසු කලක චිත්‍රපට පසුබිම් ගායනය සඳහා වෙනමම ගායක ගායිකාවන් අවතීර්ණ වූ පසු නළු නිළියන්ගේ කඩවසම් රංග පෞරුෂය සහ ප්‍රේමාන්විත විලාසිතා ආකල්ප ඔප මට්ටම් කළේ ඔවුන්ය. ජෝතිපාලයන් අයත් වූයේ එකී ගායන පරම්පරාවටය. ඒ වන විටත් දකුණු ඉන්දියානු සිනමා විලාසිතාවට අයත් නාරිලාලිත්‍ය ප්‍රේමවන්තයාගේ ස්වරූපයට හාත්පසින්ම වෙනස් රංගවේදයක් ද, පෞරුෂයක් ද පිරි නළුවකු ලෙස ආනන්ද ජයරත්න දොරට වඩිද්දී ඔහුට පසුබිම් ගායනයට මුල පිරුවේ ජෝතිපාලයන්ය. සුරතලී චිත්‍රපටයේ සිරියමෙ සාරා ගීතය ගයමින් කලිසම් සාක්කුවේ දෑත රුවා ආනන්ද ජයරත්න කඳු නගින දර්ශනය අද පවා නරඹද්දී ආනන්ද සහ ජෝතිපාල රූපයට එක් කළ පෞරුෂය කෙතරම් විශාල එකක්දැයි වටහා ගත හැක්කේය. විජය කුමාරතුංගයන් සිනමාවට පිවිසෙනුයේ එයින් දශකයකට පසු නව සිනමා පරම්පරාවක් ලාංකික සිනමාවේ විලිලන යුගයක් එළැඹෙද්දීය. ඒ ලාංකික සිනමාවේ ස්වර්ණමය යුගයයි. ගාමිණී ෆොන්සේකාගේ රංග පෞරුෂය සිනමාව පුරා නැඟී සිටි අවදියයි ඒ. විජය කුමාරතුංග සිනමාවට පිවිසෙනුයේ එබඳු වකවානුවකය. විජය කුමාරතුංගයන්ගේ රංග පෞරුෂයට ජෝතිපාලයන්ගෙන් ලැබුණේ අති විශාල අනුබලයකි. 70 දශකයේ ජනප්‍රිය සිනමාවේ පවා එයට පෙර සිනමාව විසින් ගොඩනංවන ලද අනේක ව්‍යාධී රටාවන් සුලබව තිබිණි. 1972 දී චිත්‍රපට කර්මාන්තයේ බලතල රාජ්‍ය තන්ත්‍රයට පවරා ගන්නා ලද නමුත් සිනමාව සම්බන්ධ නිර්මාණාත්මක ආකල්පවල වෙනසක් සිදූ වූයේ නැත. එහෙත් හැත්තෑව දශකයේ බිහි වූ නව පරපුරේ සෑම සිනමාකරුවකුටම විජය කුමාරතුංගයන් යනු විෂය වන නළුවකු විය. ජෝතිපාලයන් එම සිනමාකරුවන් අතරට ගියේ නැත. ඔහුගේ ගායන පෞරුෂය චිත්‍රපට පසුබිම් ගායනයට නැතහොත් නළුවාට පණදීමට පමණක් බොහෝ විට සීමා වූයේය. එවක නව පරපුරේ බිහි වූ සිනමාකරුවන් ජෝතිපාලයන් යොදා ගත්තේම නැති තරම්ය. කොටින්ම ජෝතිපාලයන්ගේ ගායන අගය බොහෝ දෙනා වටහා ගත්තේ ඔහු මෙලොව හැර ගිය පසුය. ආචාර්ය සරත් අමුණුගම විසින් විචිත්‍ර නම් සිනමා පුවත්පතට ලියන ලද බිඳ වැටුණු සංස්කෘතික බලකණුව යන ලිපිය මෙරට කලාවට අරක් ගත් බොහේ දෙනාගේ ඇස් උඩ දැමීමක් විය. එක් අතකින් එයට පෙර සුගතපාල ද සිල්වා විසින් අධ්‍යක්ෂණය කරන්නට සැරසුණු සමනළයෝ චිත්‍රපටය එළි දුටුවා නම් හැත්තෑව දශකයේ නව පරපුර සමඟ ජෝතිපාලයන්ගේ සුසංයෝගයක් ඇතිවන්නට ඉඩ තිබිණි. හැත්තෑව දශකයේ නව සිනමා පරම්පරාවේ බහුතරය ගායනය යොදා ගත්තේ ඔවුන් විසින් ගොඩ නංවන ලද රූපයේ කතා කීමේ සීමාව ඉක්මවන්නට (නැතහොත් දන්නා ප්‍රමාණය එපමණ නිසා) විනා සම්ප්‍රදායික පසුබිම් ගායනයෙහි ඇති කරුණු සලකා නෙවේ. එසේ වුව ද ජනප්‍රිය පසුබිම් ගායනයෙහි විජය - ජෝති යනු හොඳ සුසංයෝජනයක් විය. තුෂාරා, ප්‍රදීපේ මා වේවා, අංජානා, ජය සිකුරුයි, ජය අපටයි, හිතුවොත් හිතුවාමයි ආදී චිත්‍රපට රාශියක් එහිලා උදාහරණ සපයයි. අපේ සිනමවේ ජෝතිපාලයන්ගේ හඬ නළුවකු සඳහා පසුබිම් ගායනයට යොදා නොගත්තේ නම් ඒ මේ ඊයේ පෙරේදා සිනමාවට එක් වූවකු සඳහා පමණි. ජීවත්වන සමයේ ජෝතිපාලයන්ගේ හඬ සෑම නළුවකුටම පාහේ පෑහී ගියේය. එහෙත් එය වඩාත් පෑහුණේ විජය කුමාරතුංගයන් සමඟ බව නොරහසකි. එයට වඩාත්ම හේතු වන්නට ඇත්තේ මේ දෙදෙනා සතුව පැවති 'ප්‍රේමවන්ත යෞවන' ස්වරූපයයි. එය හරියට නළු රාජ් කපූර් හා මුකේෂ් අතර ඇති සබඳතාවක් වැන්න. මුකේෂ් මිය ගිය පසු රාජ් කපූර් පවසන ලද්දේ තම කටහඬ අහිමි වූ බවකි. විජය සහ ජෝති සුසංයෝගය පවතිනුයේ දාහත් වසරක් පමණ කෙටි කලකි. ජෝතිපාලයන්ගේ අභාවය වන විට විජය මෙරට සිටියේ නැත. අකාලයේ මියගියහොත් අවමඟුලට හෝ සහභාගි වන්නේ නැතැයි විජය ජෝතිපාලයන්ට පැවසූ බව එකල පුවත්පත්වල සඳහන් විය. කෙසේ හෝ දෛවෝපගත පරිදි විජයට ජෝතිපාලයන්ගේ අවමඟුලට සහභාගි වන්නට ඉඩ ලැබුණේ නැත. විජය විසින් ජෝතිපාලයන්ගේ අවමඟුලේදී ප්‍රකාශයට පත් කරන ලෙස දන්වා එවන ලද කතාව එම අවස්ථාවේදී අදෘශ්‍යමාන ලෙස වලකනු ලැබිණ. ඊළඟ වසරේ එළැඹි ජෝතිපාලයන්ගේ 52 වැනි ජන්ම දිනය ආසන්න වන විට විජය කුමාරතුංගයන් සිටියේ මධු සිහින චිත්‍රපටයේ අවසන් රූ ගැන්වීම්වලට සහභාගි වෙමිනි. ඒ බගවන්තලාව ආශ්‍රිත ප්‍රදේශයේය. එහි රූ ගැන්වීම් වහ වහා නිමා කරන ලද්දේ ද ජෝතිපාලයන්ගේ ජන්ම දින සමරු උත්සවයට විජය සහභාගි වීම අත්‍යාවශ්‍ය වූ හේතුවෙනි. රූ ගැන්වීම් නිම කළ විජය කොළඹ ආවේ ද එහෙයිනි. විජය ඝාතනය වනුයේ ඉන් සිව් දිනකට පසුවය. ජෝතිපාලයන් සිය මරණයට දින හතරකට පෙර ගායනා කරන ලද අවසන් චිත්‍රපට ගීතය ඇතුළත් වූයේ සිතු දේ නොම වේ, නොසිතු දෙයක් වේ චිත්‍රපටයටය. චිත්‍රපටයේ නමේ පරිදිම එය කිසි කලක එළි දුටුවේ නැත. එදා ජෝතිපාලයන් සිය ජීවිතයේ අවසන් වරට පසුබිම් ගී ගැයුවේ ද විජය වෙනුවෙනි. රමණීය කමනීය අපේ ආදරේ නොමැකේය සොමි ලපය සේ අම්බරේ එම ගීතයයි. ගීතය ගයා සිව් දිනකින් ජෝතිපාලයන් මිය ගියේය. චිත්‍රපටයේ නිෂ්පාදක පර්ල් වාසුදේවි හදිසියේ මිය ගියාය. ගීත රචක බෙනඩික්ට් ප්‍රනාන්දු ද මිය ගියේය. සම නිෂ්පාදක අනුර අබේසේකර ආරක්ෂාව පතා රට හැර ගියේය. අනතුරුව විජය කුමාරතුංගයන් ද ඝාතනය විය. යළි වසර ගණනාකට පසු මව් රටට පැමිණි අනුර, පද්මසිරි කොඩිකාර හා එක්ව සුපිරි බලවතා චිත්‍රපටය නිපදවා එම ගීත අලුත් චිත්‍රපටයට එක් කළේය. මුල් චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නට සූදානම්ව සිටියේ දිනේෂ් ප්‍රියසාද්ය. ජෝතිපාලගේ මරණයෙන් පසු විජය ජීවත් වූ ඉදිරි කෙටි කාලය ඇතුළත ඔහු තිරණයක් ගෙන තිබුණේ ජෝතිපාල නැති හෙයින් වෙනත් කිසිවකු තමා වෙනුවෙන් පසුබිම් ගායනය නොකළ යුතු වගය. එබැවින් තමාගේ චිත්‍රපට සඳහා විජයම ගායනා කළේය. එහෙත් පසුබිම් ගායකයකු චිත්‍රපටයක නළුවකුගේ පෞරුෂය උදෙසා කවර මෙහෙයක් කරන්නේ ද යන්න විජය තමා වෙනුවෙන්ම ගී ගැයූ චිත්‍රපට හා ජෝතිපාල පසුබිම් ගී ගැයූ චිත්‍රපට සැසඳීමේදී වටහා ගත හැකිය. විජය දක්ෂ ගායකයකු වුවත් චිත්‍රපට පසුබිම් ගායනයේදී ඔහුට වඩාත් ගැළපුණේ ජෝතිපාලයන්ගේ හඬය. එකවර තිරගත වූ මමයි රජා හා නොම්මර 17 චිත්‍රපට යුගලෙහි ගීතම එයට ප්‍රමාණවත් උදාහරණයක් යැයි මගේ විශ්වාසයයි. විජය කුමාරතුංගයන් හා එච්. ආර්. ජෝතිපාලයන් මිය යන විට මෙරට සිනමාවේ ස්වර්ණමය යුගය බිඳ වැටී තිබිණි. තවදුරටත් එහි ආකර්ෂණීය තරු ලෙස වැජඹුණේ ද විජය හා ජෝතිපාලයන් පමණි. වසර ගණන් දිග චිත්‍රපට පෝලිම් සමඟ බොහෝ අයෝජකයන් එය හැර ගොස් තිබිණි. කෙසේ හෝ විජය යොදා චිත්‍රපටයක් තනා ගැනීමට නිෂ්පාදකවරු කල් ගත්තේ සිය ආයෝජනය කෙරෙහි විශ්වාස කළ හැකි ප්‍රධාන සාධකය විජය වීමය. නව පරපුරේ සිනමාකරුවන්ගේ චිත්‍රපට සඳහා ද විජය ප්‍රමාණාත්මකව දායක විය. හදිසියේ සිදු වූ ඔවුනගේ මරණ දේශීය සිනමාවට සෘජු බලපෑමක් එල්ල කළේය. එය ඊට වසර කිහිපයකට පෙර 1983 දී සිදු වූ විනාශයට වඩා බලවත් විය. විජය හා ජෝතිපාලයන්ගේ අවමඟුල් සඳහා සහභාගි වූ ජන සංඛ්‍යාව එදා මෙදාතුර කිසිම කලාකරුවකුගේ අවමඟුලකදී දැක ගත හැකි වූයේ නැත. සැබැවින්ම මිය යන විට මෙරට ජනප්‍රියම ගායකයා ජෝතිපාල වූ අතර නළුවා විජය විය. එබැවින් එය කර්මාන්තයේ පැවැත්මට අහිතකර ලෙස බලපෑවේය. ජනප්‍රිය සිනමාවේ පොදු සාධකයක් එකවරම අහිමිවීම අසාමාන්‍ය සිදුවීමකි. එයට මුහුණ දෙන්නට මෙරට රසිකයන්ට සිදු විය. එය දරාගත නොහැකිව දිවි හානි කර ගත්තෝ ද සිටියහ. විජය හා ජෝති යනු පරම්පරාවක ආදරය දිනාගත්තවුන්ය. ඔවුන් විදියට අඳින්නට, පළඳින්නට, හැසිරෙන්නට කැමැති පිරිසක් ඔවුන් සතු වූහ. විජය හා ජෝති වෙතින් ලාංකික සිනමාවට අහිමි වූ තරු ගුණය දශක දෙකකට පසුව ද යළි ඒ ආකාරයෙන්ම ලැබුණේ නැත. ඒ විජය හා ජෝති යුගයක ජීවත් වූ අප තරම් ඊළඟ පරම්පරාව පින් නොකළ වගක් හැඟෙන නිසාදැයි මම නොදනිමි. එසේ නැතිනම් ඒ දෙදෙනාම අසමාන ගති ලක්ෂණවලින් යුත් නිසාදැයි මම නොදනිමි. |