වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 11 වැනිදා බ්‍රහස්පතින්දා




සමාජයේ අපි ඔක්කොම සුමානයයි
සියලු සිනමා ප්‍රදර්ශක සමාගම් සිනමාව සුරැකීමේ සියලු සිනමා සංගම් සහ බලමණ්ඩල ඇතුළු සියලුම සිනමාකරුවන් වෙතටයි

සමාජයේ අපි ඔක්කොම සුමානයයි

චිත්‍රපට අධ්‍යක්ෂ දිනේෂ් ප්‍රියසාද් විසිනි

මෙම ලිපි මාලාව සංවාදයට විවෘතයි

චිත්‍රපට සංස්ථාවේ විධානය පරිදි ප්‍රවර්ධන මුදල වෙනුවෙන් ඔළු ගෙඩි ක්‍රමවේදය අනුමත කිරිම තාවකාලිකව නිෂ්පාදකයාට මහත් අස්වැසිල්ලක් විය. එනම් 8645/- මුදලින් පුරවා තවදුරටත් සිනමාහල තුළ නොදුවන චිත්‍රපටය රඳවා ගැනීමට නම් රුපියල් 30/- බැල්කනි ප්‍රවේශපත් 290 ක් අඩු තරමින් කැඩිය යුතුය.

දැන් නව සංශෝධිත ක්‍රමය අනුව අදාල සිනමාහලේ ප්‍රවර්තන මුදල ඔළුගෙඩි ගණනින් 635 ක් යැයි සිතමු. ඒ අනුව ප්‍රේක්ෂකයින් (ඔළු ගෙඩි ) 635 දෙනාම ඉතා ලාබෙට 'ගැලරියේ' සිට ඉහළට පිරවීමට 'පිච්චර් කාරයා' උත්සුක වූහ. එනම් 'ගැලරිය' රුපියල් 6/- යේ ටිකට් ද මදිනම් පමණක් දෙවෙනි පන්තියේ රුපියල් 15/- වේ. ටිකට්පත් කිහිිපයක් ද අවශ්‍ය ඔළුගෙඩි ප්‍රමාණය, ඉක්මවා යෑම පිණිස පමණක් කඩන ලදී.

දිනෙන් දින පිරිහී යන ආදායමට අතුරු පිළියම් සොයන සිනමාහල් හිමියා චිත්‍රපටකාරයාට මතක හිටින පාඩමක් ඉගැන්වීමේ පරමාභිලාශයෙන් තමන් සතු වූ ශූර බුද්ධිය භාවිතා කරමින්, පහත මාලය එකම පොදු පන්තියක්, නැතහොත් 'ගාලක්' බවට පත් කොට 'සමාජයේ අපි ඔක්කොම සමානයි' යනුවෙන් බෙර ගසා සම ගාස්තු ටිකට් පතක් රුපියල් 60/- කට නිකුත් කළේය. දැන් රුපියල් 60/- ගන්නේ ඔළුගෙඩි 635 ක් චිත්‍රපටකාරයා විසින් පිරවිය යුතුය. එනම් මුදලින් රු: 38,100 කි. දැන් චිත්‍රපට දවසින් දෙකෙන් ගැල වී යන්නේ සමාජයේ අපි ඔක්කොම - සුමානයයි යනුවෙන් මැසිවිලි නඟමිනි.

චිත්‍රපටකාරයාට තරු විසි විය.

විසි වී ගිය තරු සමඟ සිංහල සිනමාවේ ස්වර්ණමය යුගය ද අවසන් විය.

අප අභිමානවත් ප්‍රේක්ෂකයා කිසි කලෙකවත් සම ගාස්තු හෙවත් FLAT RATE රැල්ලට අසුවිමට කැමති නොවන බව සිනමා උපදේශකවරුන් සිහි කල්පනාවට ගත යුතුය. මන්ද මානව වර්ගයා සෙනඟ ගැවසෙන තැන්වලට ඒමටත්, සෙනඟ අතර හැසිරෙමින්, තමන් විසින්ම නඩත්තු කරගන්නා තත්ත්වය සහ පන්තිය විදහා පෑමටත් ඔවුන් ප්‍රධාන වශයෙන් සිනමාහල උපයෝගී කර ගන්නේ, විවිධ තරාතිරම්වල 'පුද්ගල චරිත' සිනමාහල් කරා පැමිණෙන බැවිනි.

සියලු ටිකට්පත් මිල එක හා සමාන නම් අනෙකා අතරින් කැපී පෙනීමේ 'ආටෝපය' ඉහළ ප්‍රේක්ෂකයාගෙන් ගිලිහී යනු ඇක. එබැවින් සම ගාස්තු ආසනයෙන් ඔවුන් ඉවත්ව යනු නියතය.

සිනමාහලේ පන්ති පද්ධතිය අහෝසි කර දැමීම අප සිනමාවේ මේ මහා ඛේදවාචකයේ ආරම්භය ලෙස මම ලකුණු කරමි. නමුත්, ඒ සමඟම බිහි වූ රූපවාහිනී චැනල ද සහ ඒවායේ සිංහල චිත්‍රපට විකාශනය කිරීමට ද විරුද්ධව මම කිසි කලෙක ඇඟිල්ල දිගු නොකරමි.

සිනමාහලේ පන්ති පද්ධතිය අහෝසි කර දැමීමෙන් පැන නැගුණු දරුණු ආබාධ ඇතුළුව ඊට එකතු වූ, සිනමා ව්‍යාකරණය නොහඳුනන අධ්‍යක්ෂවරුන්ගේ දුර්වල චිත්‍රපට ද - සිනමාව කඩා වැටීමට ප්‍රබල හේතු සාධකයක් විය.

ශ්‍රී ලංකාවේ ජනගහනය, දශ ලක්ෂ විසි දෙකෙන් චිත්‍රපට නරඹන ප්‍රතිශතය 15% කි. දශ ලක්ෂ පහළොවකට වැඩි අති බහුතරය ඇඟලුම් සේවකයින්, වරාය, රේල්වේ කම්කරු ජනතාව, ගොවි ජනතාව, ධීවරයින්, වතු කම්කරුවන්, පතල්කරුවන්, වැලිගොඩ දමන්නන්, ප්‍රවාහන සහ කුලී රථ රියදුරන්, හෝටල්, කඩ සාප්පු සේවකයින්, කුලී බර උසවන්නන් ඇතුළු මෙරට සියලුම සුළු රැකියාවන්හි නියුක්ත ප්‍රජාව සහ ඔවුන්ගෙන් යැපෙන්නන් සමඟ මධ්‍යම පාන්තික රැකියාවල යෙදෙන්නන් ද ඇතුළු සියලුම දෙනාට අද සිංහල සිනමාහල සපුරා තහනම් කලාපයක් කොට ඇත.

මේ වන විට අපේ රටේ, මධ්‍යම පාන්තික යම් ප්‍රතිශතයක් නිර්ධන පංති කුලකයට ස්වයංක්‍රීයව ඇද වැටී ඇති බව නොකියාම බැරිය. මධ්‍යම පන්තියේ තවත් කොටසක් ධනය නැතත්, ධනවාදී වැඩතල පමණක් ආරූඪ කර ගනිමින් - ධනපති සමාජයට රහසිගතව රිංගා, ධනපති ලේබලය අලවාගෙන ඇත.

ඉතිරි නිර්ව්‍යාජ මධ්‍යම පන්තිකයාට සහ රටේ අඩු අදායම්ලාභින්ගේ රසාස්වාදය උදෙසා සිනමාහලේ දෙවෙනි සහ තුන්වෙනි පන්තීන් අනිවාර්යෙන්ම නැවත විවාත විය යුත්තේ, යටත් පිරිසෙයින් ඩී. බී නිහාල්සිංහ මහතා විසින් සිනමාහලට ගෙන් වූ ලක්ෂ 700 ක ප්‍රේක්ෂක ජනතාවත් නැවත ගෙන්වා ගැනීමේ පරම අභිලාශයෙනි.

සිනමා රසිකයා තම බිරිඳ සමඟ හෝ දරුවන් සමඟ දෙවෙනි පන්තියට ගොස් බයක් හැකක් හෝ චකිතයකින් තොරව සිනමාපටය රස විඳින්නේ තමන්ට වඩා පහළ මට්ටමේ තුන්වෙනි පන්තියක්, තමන් ඉදිරියෙන් ප්‍රේක්ෂකාගාරය තුළ පිහිටා ඇති බැවිනි. එයින් ඔවුනගේ මානසිකත්වය සතුටුදායක මට්ටමකට පැමිණෙන බව පුන පුනා කිව යුතුද?

පිටුපසින් පිහිටා ඇති පළමුවෙනි පංතියේ නරඹන්නාගේ සුවදායක මානසිකත්වය දෙගුණ - තෙගුණ වන්නේ, දෙක සහ තුන යන පහළ පන්තීන් දෙකක්ම ඔවුන් ඉදිරියෙන් පිහිටා ඇති බැවිනි. පසු පෙල සිටින රසිකයා සිනමාහල තුළදී - ඔවුන් ඉහළ පන්තියේ ලොකු මුදලක් දී - චිත්‍රපට නරඹන - HIGH CLASS ප්‍රජාව බව සිනමාහල විසින්ම ලකුණු කොට පෙන්වා දී ඇත.

සාමාන්‍ය ජනතාව අතර ගැවසීමට නොහැකි හෝ ගැවසීමට අකමැති අප රටේ ව්‍යාපාරික ප්‍රජාව ඇතුළු ධනපති පැලැන්තිය සහ ධනපති බව - ආරූඪ කරගත් නරඹන්නාට බැල්කනිය වෙන් වී ඇත. බැල්කනි ප්‍රවේශ පත්‍රයක් අද දින රුපියල් දහකට - දෙදහසකට වුව ද විකිණිය හැක. එවන් ඉහළ පෙළේ 'බිල්ගේට්ස්' පන්තියක් අප අටේ ද වෙසෙන බව ද අප අමතක නොකළ යුතුය.

අප රටේ මෑත කාලයේ ආරම්භ කළ 'සුපිරි මාරකැට්' දෙස අද මොහොතක් හැරී බලන්න. ඒවායේ අද තත්ත්වය, පොල් ගෙඩිය 45/- සීනි 500 45/- කිරිපිටි මිල 175/- (කුඩා) යනුවෙන් දැන්වීම් පුවරු ද පිටතට පෙනෙන අයුරින් එල්ලා තැබීමට සිදු වී ඇත. එහත් 'සුපිරි' වචනය භාවිත කරමින් සුපිරි මාරකැට් ආරම්භ කළේ සුපිරි ප්‍රජාව වෙනුවෙන් බව නොරහසකි.

එහෙත්, පසුම්බිය නොපිරි මිනිහා නොමැතිව 'සුපිරි මාරකැට්' තවදුරටත් පවත්වාගෙන යැම අසීරු බැව් ඔවුන්ගේ සමීක්ෂණ වාර්තා අනුව පෙනී යන බැවින්, පොඩි මිනිහාව අද ඉතා ඉහළින් පිළිගැනීමට සිදු වී ඇත. සිංහල සිනමාහලද එබන්දකි.

2014 වසරේත් - 2015 වසරේත් අධික වියදමක් දරමින් සංවිධානය කළ 'කොළඹ ජාත්‍යන්තර චිත්‍රපට උලෙළ' පිළිබඳ මොහොතක් මෙනෙහි කරන්න.

එහි, ගිය අවුරුද්දේ ද - පසුගිය නොවැම්බරයේ ද 'ඔබ ඇවිත් පිරෙන්න' යන පාඨයට සහාය දක්වමින් අතුරු සිදුරු නැතිව සියලු දර්ශන වාරයන් මහජනයාගෙන් පිරී ඉතිරී ගියේ චිත්‍රපට නොමිලයේ තිරගත වූ නිසා නොවේද? එහි රස රහස කුමක්ද? එයින් අප ඉගෙන ගත යුතු පාඩම් - ධාරණය කර ගන්නේ නම්, 'ජාතික සිනමාවට' හොඳ කලක් ලබනු ඇත. එසේ නොමැතිව උසස් බයිස්කෝප්වත්, කබල් සිනමා කෘතිවත් නැරඹීම ඔවුන්ගේ අභිප්‍රාය නොවේ. ඔවුන්ගේ එකම බලාපොරොත්තුව සිනමාහලේදී 'චිත්‍රපට නැරඹීමයි.

සිනමාහලේ 'තිරය' වෙත ළංවෙන්න - ළංවෙන්න නරඹන්නාට පහසුවන පරිදි ටිකට් මිල පහත දැමිය යුතුයි යන ධර්මතාවය අමතකද? නැතිනම් හිතාමතා අමතක කළාද?

සරම අඳින රසිකයාත්, යුරෝපීය ඇඳුම අඳින රසිකයාත් කොතැන හෝ අසුන් ගෙන නරඹන්නේ එකම චිත්‍රපටයක් බැව්, ගාමිණී ෆොන්සේකා මහතා වරෙක පැවසීය. ඉන් කියැවෙන්නේ රසාස්වාදයට පන්ති පරතරය නොතකන බැවින්, ලොකු පොඩි භේදයකින් හෝ පන්ති භේදයකින් තොරව, රසාස්වාදය එක හා සමානව බෙදී යන බවත්, පුද්ගල විෂමතාවය අනුව පන්ති පරතරයක් අත්‍යාවශ්‍ය බවත්ය.

එබැවින්, රුපියල් 30 කට චිත්‍රපටය නැරඹීමට අපේක්ෂිතව ළතවෙන ප්‍රේක්ෂකයාවද, මුදල් විසිකර නරඹන ප්‍රේක්ෂකයාව ද සිනමාහල විසින් රැකගත යුතුය.

සිංහල සිනමාහල සිනමා පග්ලාගෙන් බොක්ස් ඔෆිස් - හවුස් ෆුල්

05 වෙනි කොටස - ලබන සතියට...