වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 11 වැනිදා බ්‍රහස්පතින්දා




සරමේ අගය

සරමේ අගය

අර ඉස්සර කතාවක් තියෙනවා හේනෙ පැලට ගිය මනුස්සයෙකුට තමන් ගෙනා පැදුර නැතිවීමෙන් ගෙදරට යා නොහැකි තත්ත්වයක් ගැන කියනවනෙ. ඇයි ඉතින් හේනෙ පැලේ පැදුර එලාගෙන එහි නිදියගෙන හිටියා නම් ඒක හොරු ගෙනියන්න විදිහක් නැහැනෙ. මිනිහා වෙන කොහේදෝ ගිහින්. ඒකනෙ පැදුර කවුරු හරි උස්සලා තියෙන්නේ. ඊට සමාන වූ කතාවක් අපට අහන්නට ලැබුණා. හැබැයි නැති වෙලා තියෙන්නේ පැදුරක් නෙවෙයි. සරමක්. ඉතින් හත් ඉලව්වේ සරම ඇඳ ගෙන හිටියා නම් මෙහෙම වෙන්නේ නැහනෙ . සරම ගලවලා තිබුණ එකයි ප්‍රශ්නෙ.

මේ අකරතැබ්බයට මුහුණ දුන්නේ අපේ ප්‍රේමදාස විතානගේ. මෙයා නිර්මාණයක් වෙනුවෙන් ගියා ගොඩගම තියෙන ලොකේෂන් එකකට. එන ගමන් ගෙනිච්ච ඔක්කොම ගත්තට සරමක් දාලා ඇවිල්ලා. අනුන්ගේ සරම් ගේන්න බැරි හින්දා නිෂ්පාදන කණ්ඩායම සරම දාලා ආවලු. ගෙදර ආවාමයි ප්‍රේම්ට දොලෝ රත් වෙලා තියෙන්නේ. හැම තැනට කෝල් කර කර සරම ගෙනත් දෙන්නව කියනවලු. ඒ ලොකේෂන් එක තියෙන්නේ ගොඩගම නගරයෙන් තරමක් ඇතුළෙ වෙන්න. ඒ හින්දම කවුරුවත් ආයේ එතනට යන්න අදි මදි කරනවලු. ඒ අතරේ ප්‍රේම්ගේ නෝනා පොඩ්ඩ බනිනවලු ඇඟේ තිබුණ නම් සරම නැති වෙන්නේ නැහැනේ කියලා.

ප්‍රේම්ගේ වදෙන් බේරෙන්න බැරිම තැන නිෂ්පාදන කණ්ඩායමේ කිහිප දෙනෙක් සමඟ ප්‍රේම්ගේ හිත මිත්‍ර රංගන ශිල්පී ලලිත් නවරත්නත් ඉදිරිපත් වුණාලු අලුතින් සරමක් අරන් දෙන්න. ඒත් ප්‍රේම් ඒ සරමම ඉල්ලනවලු. මේ වන විට ප්‍රේම්ගේ දුරකතන බිල විතරක් සරමේ වටිනාකමටත් වඩා වැඩියිලු. අන්තිමේ හොයා ගත්තලු ප්‍රේම් මේ සරමම ඉල්ලන්නේ ඇයි කියලා. ඒක ප්‍රේම්ට දීලා තියෙන්නේ අග්‍රාමාත්‍යතුමා. ඔහු ප්‍රේම්ගේ උපන් දිනයට දුන්නු තෑග්ග තමයි ඒ සරම. ඉතින් වටිනාකම අතිනුත් ඉතාම ඉහළයිනේ ඒ වගේ කෙනෙකුගෙන් ලැබුණු තෑග්ගත්. ඒකයි ප්‍රේම් ඒ සරමම ඉල්ලන්නේ. මේ වන විටත් ප්‍රේම්ට සරම නම් ලැබිලා නැතිලු.