|
විජය කුමාරතුංගගේ සිතුවමක් තම රුධිරයෙන් නිමැ වූ සමීර
තමන්ගේම රුධිරයෙන් සිතුවම් මවනා සිත්තරකු පසුගියදා සරසවියට ගොඩ වැදුණා. ඔහු සමීර ශාක්‍ය රත්නායක. සමීරගේ මේ සිතුවම්කරණය එකිනෙකාගේ දෘෂ්ටිකෝණ අනුව විවිධ අදහස් දැරුවත් මේ ඔහුට අනන්‍ය වූ නිර්මාණකරණයයි. ඔබ ඇයි මෙවැනි වූ නිර්මාණකරණයකට අත ගැසුවේ? ඒක මගේ පෞද්ගලික කැමැත්ත මත සිදුවුණ දෙයක්. මම හදවතින් ආදරය කරන චරිත කිහිපයක් මේ ලෝකේ තියෙනවා. ඉන් එක් චරිතයක් තමයි අසහාය නළු විජය කුමාරතුංග. පියවි ඇසින් ඔහුව දැකලා නැති වුණත් ඒ රූපයට, දක්ෂතාවයට, මනුස්සකමට මම හැමදාමත් ගරු කරනවා. ඉතින් ඒ ගරුත්වය උපරිමයෙන් ලබාදෙන විදිහට තමයි මේ චිත්‍රය නිර්මාණය කළේ. මගේම රුධිරයෙන් තමයි සම්පූර්ණ චිත්‍රය වර්ණවත් කළේ. පැය දහ තුනක වාගේ කාලයක් ගියා මෙය අවසන් කරන්න. විජය කුමාරතුංග කලාකරුවාණන්ගේ ජන්ම දිනය සිහිපත් කරලා තමයි මේ චිත්‍රය ඇන්දේ. සරසවියෙන් එය එළිදක්වන්න මට අවස්ථාව ලැබුණා. තමන්ගේම රුධිරයෙන් සිත්තම් කළ නිර්මාණ ගැන ඔබ මීට පෙර අසා දැක තිබෙනවාද? මම දන්න තරමට නම් නැහැ. ඒත් වෙනස් විදිහේ නිර්මාණකරණවල යෙදෙන කලාකරුවෝ ඕනෑ තරම් ඉන්නවා. ඇත්තටම රුධිරයෙන් සිත්තම් කළ නිර්මාණයක් නිසා මෙයට ලැබෙන ප්‍රතිචාර කොහොම වෙයිද කියන්න මම දන්නේ නැහැ. සමහරු කියයි මේක මහ පිස්සුවක් කියලා. ඒ කොහොම වුණත් මගේ හිතේ තිබෙන ගරුත්වය වෙනුවෙන් තමයි මේ සිතුවම කළේ. ඒ නිසා මේ සිතුවමට ලැබෙන ප්‍රතිචාර දැනගන්න කැමැතියි. හොඳ හෝ නරක දෙකම භාරගන්න මම කැමැතියි. හොඳයි... සමීර සිතුවම්කරණය ඔබගේ වෘත්තීයද? දැන් මෙය මගේ වෘත්තීය බවට පත් වෙලා. මගේ ගම මොණරාගල, සියඹලාණ්ඩුව. පාසල් අවදියේ සිටම චිත්‍ර කලාව මගේ ඇඟේ තිබ්බා. පාසල් අධ්‍යාපනය නිම කරලා 2008 දී මම කොළඹ ආවා. එතැන් පටන් නිර්මාණකරණයේ නියැළිලා ඉන්නවා. ඇත්තටම ගම්වල දක්ෂතාවලින් පිරිපුන් තරුණ තරුණියන් බොහොමයක් ඉන්නවා. ඔවුන්ට ඒ දක්ෂතා එළිදක්වන්න ක්‍රමයක් නැහැ. ඔවුන්ට අතහිත දෙන්න වැඩ පිළිවෙළක් සකස් වෙනවා නම් එය අතිශය වැදගත් කාරණයක්. ඔබගේ පැන්සල් නිර්මාණ ගැනත් කතා කරමු? සිනමාව, නාට්‍ය කියන කලා මාධ්‍යවලට මම හරිම ආදරෙයි. ප්‍රවීණ නළු ජෝ අබේවික්‍රම, ඇන්ටන් ජූඩ්, මාලිනී ෆොන්සේකා ඇතුළු නළු නිළියන් රැසකගේ චිත්‍ර සිතුවම්කර තිබෙනවා. ඊට අමතරව මූර්ති නිර්මාණකරණයේත් යෙදෙනවා. ඔබේ ගමනට සහාය දැක් වූ අය ගැනත් මතක් කරමු...? මගේ පවුලේ සියලු දෙනාවම ආදරයෙන් මතක් කරනවා. කලා ක්ෂේත්රයේ මට සහාය දක්වන සියලු දෙනාටත් ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම රංගනයට මම ආදරෙයි. චිත්‍ර ශිල්පියෙක් ලෙසත්, රංගන ශිල්පියෙක් ලෙසත් ඉදිරියේදී කටයුතු කරන්න කැමැතියි. දු. ක. 0770497809 |