වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 11 වැනිදා බ්‍රහස්පතින්දා




නළු නිළියන්ට මූඩ් ගන්න මම මියුසික් ට්‍රැක් දැම්මා

නළු නිළියන්ට මූඩ් ගන්න මම මියුසික් ට්‍රැක් දැම්මා

සංගීත අධ්‍යක්ෂ භාගේ ශ්‍රී ෆොන්සේකා

සමාජයෙන් ප්‍රශ්න කරන ගීත ද්විත්වයක් මගේ ඊළඟ නිර්මාණයයි

සංගීතය නම් වූ විශ්වීය භාෂාවේ ස්පර්ශ කළ හැකි තැන් බොහෝමයි. ඔහුත් එවන් වූ නවමානයන් සොයා යන තරුණ සංගීතඥයෙකි. ස්වර්ණවාහිනී නාළිකාවේ විකාශය වන තාරා සහ බොහීමියානුවා ටෙලි නාට්‍ය ද්විත්වයේ සංගීත අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන ඔහු භාගේ ශ්‍රී ෆොන්සේකායි.

ඔබේ සංගීතයෙන් කලඑළිවුණු ටෙලි නාට්‍ය ද්විත්වයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

හොඳ ප්‍රතිචාර ලැබෙනවා. අද බිහි වෙන නාට්‍ය අතුරින් වෙනස් විදිහේ නාට්‍ය දෙකක් තමයි තාරා සහ බොහීමියානුවා කියන්නේ. ඒ වෙනුවෙන් සංගීතය නිර්මාණය කරන්න මට අවස්ථාව ලැබුණේ මා මිත්‍ර නාමල් ජයසිංහගේ ආරාධනාවකට අනුවයි.

සංගීතය ඔබේ ජීවිතයට සමීප වෙන්නේ පුංචි කාලෙම නේද?

ඔව්. මගේ මවුපියන් සංගීතයට බොහොම ලැදියි. තාත්තාට ලොකු වුවමනාවක් තිබුණා මාව සංගීත ක්ෂේත්‍රයෙන් ඉහළට යනවා දකින්න. කොළඹ ආනන්ද විද්‍යාලයෙන් කැලණිය විශ්ව විද්‍යාලයට මා තේරෙනවා. සංගීතය තමයි මගේ විෂය පථය වෙන්නේ. ඉන් පස්සේ බරණැස හින්දු විශ්ව විද්‍යාලයෙන් සහ දිල්ලි විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධිය සම්පූර්ණ කළා. ලක්නව් භාත්කණ්ඩේ විශාරද උපාධියත් සම්පූර්ණ කළා. ඇත්තටම සංගීත විෂය ධාරාව තුළ මම සමීප වුණේ ක්ලැසිකල් මියුසික්වලට.

අපේ රටට ආවාම ශ්‍රීපාලි මණ්ඩපයේ ආචාර්යවරයෙක් විදිහට වැඩ කරන්න අවස්ථාව ලැබුණා. එතෙන්දි මගේ ප්‍රධානියා විදිහට හිටියේ ධර්මසේන පතිරාජ මහත්මයා. ඔහුගේ නිර්මාණ හරහා තමයි මගේ පළමු සංගීතමය දායකත්වයත් සිදු වුණේ.

අපි කතා කරමු තාරා සහ බොහීමියානුවා නාට්‍ය ද්විත්වයට සංගීතය නිර්මාණය වුණේ කොහොමද කියලා?

ඇත්තටම මගේ කලා ජීවිතයේ තිර රචකයා නාමල් ජයසිංහ. ඔහු අපේ විශ්ව විද්‍යාලයේ දේශනවලට බාහිර කථිකාචාර්යවරයෙක් විදිහට සම්බන්ධ වෙනවා. එතනදි තමයි ඔහු මගේ හැකියාවන් දැනගෙන මේ නාට්‍ය දෙකේම සංගීත නිර්මාණ මට භාර දෙන්නේ.

තාරා කියන්නේ ගැඹුරු නිර්මාණයක්. මේ නාට්‍ය රූපගත කරන්න පෙර මම තිර රචකයත් එක්ක එකතු වෙලා සංගීතය නිර්මාණය කළා. සමහර වෙලාවට රූපගත කිරීමේදී නළු නිළියන්ට ඒ මූඩ් එකට එන්න මියුසික් ට්‍රැක් දානවා. ඒ උත්තේජනයත් එක්කම ඔවුන්ට චරිතයට පිවිසෙන්න ලේසියි. හැබැයි සාමාන්‍යයෙන් වෙන්නේ ඩී. වී. ඩී. එක දීලා සංගීතය හදන්න කියලා දෙන එකනෙ. මේ සාම්ප්‍රදායිකත්වය අපි වෙනස් කළා. තාරා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ ආනන්ද අබේනායක මහතාත් මේ වෙනසට කැමති වුණා.

ඔබ සංගීතය තුළ යම් පෙරළියක් කරන්න සූදනමින් ද ඉන්නේ?

මෙහෙමයි, සංගීතය තුළ අපට හසු නොවුණු සියුම් තැන් අප්‍රමාණව තිබෙනවා. දැන් ටෙලි නාට්‍යයක් ගත්තහම නළු නිළියන් ඉන්නවා. ඔවුන් හැඟීම් ප්‍රකාශ වෙන විදිිහට රඟපානවා. හැබැයි මේ නාට්‍ය අතරතුර යම් යම් හිස්තැන් තියෙනවා. ඒ වගේ තැන්වලදී සංගීතයට කතා කරන්න පුළුවන් බොහෝ දේවල් තියෙනවා. තාරා ටෙලි නාට්‍ය තුළ මම දකින සුවිශේෂීම ලක්ෂණයක් තමයි නිර්මාණකරුවා සමාජ සම්මතයන් කිසියම් ආකාරයේ ප්‍රශ්න කිරීමකට ලක් කිරීමයි. ඒ වගේ නිිර්මාණයක් ඇතුළේ සංගීත අධ්‍යක්ෂවරයාට ලොකු අභියෝගයක් තියෙනවා.

තාරා කියන නිර්මාණය ඇතුළේ හදපු අම්මා ළඟ ද, වදපු අම්මා ළඟ ද ඇත්තම ආදරය තියෙන්නේ කියන කාරණය ගැන විවෘතව කතා කරනවා. මේ නිර්මාණයට සංගීතය නිර්මාණය කරන්න පෙර අදාල රූගත කිරීම් කරන්නට නියමිත ස්ථානවලට පවා මම ගියා. ඔවුන් එහිදී දැඩිව ග්‍රහණය කරගෙන තිබුණේ පල්ලියේ කොරිඩෝව, මුහුද, කුඩා දැරිය වැනි දේවල්. ඒ හැමදේටම ගැළපෙන්න තමයි සංගීතය නිර්මාණය කළේ.

ඒ සඳහා සුවිශේෂී සංගීත භාණ්ඩත් යොදා ගත්තාද?

බොහීමියානුවා ටෙලි නාට්‍ය ප්‍රංශයෙන් ආව කතා තේමාවක්. ආදරය මෙහි මූලිකම වෙනවා. බොහීමියානුවන්ටම වෙන් වෙච්ච සංගීතයක් තිබුණා. එතෙන්දි ගිටාරය, මවුත්ඕගන් එක, චෙලෝ එක මේ සියල්ල භාවිතා කරන අතරේ සිතාරයෙන් ද සංගීතය මුසු කළා.

ඔබේ ඉදිරි නිර්මාණ කර්තව්‍යයන් මොනවාද?

දැනට ගීත දෙකක් නිර්මාණය කරගෙන යනවා. මීට පෙර සමිතා මුදුන්කොටුව ගායන ශිල්පිනියට ගීතයක් නිර්මාණය කළා. හැබැයි එය ෆැන්ටසියට බරවුණු ගීතයක්. මෙවර මම නිර්මාණය කරන්නේ සමාජයෙන් ප්‍රශ්න කිරිමක් සහිත ගීත ද්විත්වයක්.

ඔබේ සංගීත දිවිය සාර්ථක කරගන්නට දිරිය දුන් අය ගැනත් මතක් කරන්න?

මම සංගීතය ඉගෙන ගත්තා ගරුවරුන් කිහිප දෙනෙක්ගෙන්. ආචාර්ය නිර්මලා රුද්‍රිගෝ, වී. හේමපාල ගුරුවරුන් ආදරයෙන් මතක් කරනවා. ඒ වගේම ප්‍රවීණ තිර රචක නාමල් ජයසිංහට විශේෂයෙන් ස්තුති කළ යුතුමයි. ඒ වගේම මගේ මවුපියන්වත් මතක් කරනවා. ඔහුගේ දු: ක: - 0718384089