වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 11 වැනිදා බ්‍රහස්පතින්දා




සිනහව අතරින් කතාව මගේ

සිනහව අතරින් කතාව මගේ
 

එදා සිටු කුමරියෝ තනා සනත් ගුණතිලක සිනමාවට ගෙනා
චමින්ද පෙරේරා

අසූව දශකයේ බැර පැන දරමින් චිත්‍රපට නිෂ්පාදනයට හාපුරා කියා එක් වූ ඔහු 'සිටු කුමරියෝ' සිනමාවට කැන්දාගෙන එයින් දක්ෂ නවක නළුවකු ද සිනමාවට දායාද කරනු ලැබිණි. චමින්ද පෙරේරා නම් වූ ඔහුට එදත් අදත් කලා ක්ෂේත්‍රයේ කවුරුත් ආමන්ත්‍රණය කරනු ලබන්නේ චමී කියාය. සිනමාවට මෙන්ම සංගීතයට ද ආදරය කරන චමී කැනඩාවේ පදිංචිවී සිටිය ද අදත් සිංහල සිනමාවේ දියුණුවට අත හිත දෙනු ලබන්නේ අපේ සිනමාවට තිබෙන දැඩි කැමැත්ත නිසාමය.

වසරකට වරක් දෙවරක් ලංකාවට පැමිණ චිත්‍රපට ක්ෂේත්‍රයේ තම හිතවතුන් මුණ ගැසී ලෝකයේ චිත්‍රපට ක්ෂේත්‍රයේ අධ්‍යක්ෂවරු, නිෂ්පාදකයෝ සිනමාවේ දියුණුව වෙනුවෙන් කරනු ලබන ක්‍රියාකාරකම් පිළිබඳ අදහස් හුවමාරු කරගන්නා චමී අපේ සිනමාකරුවන්ට ද ලෝක සිනමාවේ නමක් දිනා ගැනීමට ඔවුන්ගේ නිර්මාණ චිත්‍රපට සම්මාන උලෙළ සඳහා ද එක්කරලීමට උදවු උපකාර කරන්නෙකි. ටික දිනක විවේකයක් සඳහා ලංකාවට පැමිණි චමින්ද පෙරේරා මෙලෙස සරසවිය හා තතාබහට එක් වූයේ දිගු කලකට පසුවය.

අසූව දශකයේ සිනමාවට චිත්‍රපට නිෂ්පාදකයකු ලෙස එක්වන ඔබ එක් චිත්‍රපට නිෂ්පාදනයකින් පසු චිත්‍රපට නිෂ්පාදනයට සමුදෙන පුද්ගලයෙක්?

මම චිත්‍රපට නිෂ්පාදනයට එක්වෙන්නේ බොහොම බලාපොරොත්තු තියාගෙන. ඒ තත්ත්වය තුළ මා කරන මුල්ම නිෂ්පාදනය තිරගත කරන්න බොහෝ කාලයක් චිත්‍රපට පෝලිමේ තියාගෙන ඉන්න සිදුවෙන තත්ත්වයක් තුළ මට චිත්‍රපට නිෂ්පාදනය එපා වුණා.

ඔබේ මුල්ම චිත්‍රපට නිෂ්පාදනය සිටු කුමරියෝ?

ඔව්. විජය ධර්ම ශ්‍රී තමයි අධ්‍යක්ෂණය කළේ. සෝමපාල ලැනරෝල් තමයි සහාය අධ්‍යක්ෂවරයා වුණේ. කුමාරසිරි අබේකෝන්, ගාමිණී ජයසිංහ තමයි තිර රචනය ලිව්වේ. සරත් දසනායක සංගීතවත් කළා. ලාල් හරින්ද්‍රනාත් කලා අධ්‍යක්ෂ ලෙස කටයුතු කළා.

සිටු කුමරියෝ චිත්‍රපටයේ සනත්, මාලිනී

ඔබේ මුල්ම චිත්‍රපට නිෂ්පාදනය හරහා ඔබ සිනමාවට නවක නළුවෙකුත් හඳුන්වා දෙනවා?

මට ඕනෑ කළා මගේ නිර්මාණයක් හරහා නවක නළුවෙක් සිනමාවට හඳුන්වා දෙන්න. මේ බව මම අධ්‍යක්ෂ විජය ධර්ම ශ්‍රීටත් කිව්වා. අවසානයේ අපි පුවත්පත් දැන්වීමක් දාලා චිත්‍රපටයට සම්මුඛ පරීක්ෂණයක් තිබ්බා. මේ පරීක්ෂණය තිබුණේ සුදර්ශියේ. එදා විශාල පිරිසක් සම්මුඛ පරීක්ෂණයට ආවා. ඒ අතරින් එක් තරුණ පුද්ගලයෙක් මගේ ඇස ගැටුණා. මට එකපාරටම හිතුණා මෙයා මගේ නිර්මාණයට හොඳයි කියලා.

කවුද ඒ පුද්ගලයා?

වෙන කවුරුවත් නොවෙයි, සනත් ගුණතිලක. අනිත් අය ඉන්ටව් කළත් මගේ හිතේ ඇඳිලා තිබුණ කොලිටිය තිබුණේ සනත් ළඟ. මම ඔහුව සුදුසුයි කියලා තෝරා ගත්තා. මම තමයි සනත්ව සිනමාවට හඳුන්වලා දෙන්නේ. සනත්ගේ මුල්ම චිත්‍රපටය මගේ මුල්ම චිත්‍රපට නිෂ්පාදනය වූ සිටු කුමරියෝ.

ඔබ සනත්ව සිනමාවට ගේන්නේ ගිවිසුම්සහගතව. ඔබේ නිර්මාණ විතරක් රඟපාන්න?

මමත් සනතුත් අතර ගිවිසුමක් තිබුණා. මගේ චිත්‍රපට ගිවිසුමත් එක්ක එයා මා එක්ක විතරක් රඟපාන්න. ඒත් දවසක් මට ලෙස්ටර් සුමිත්‍රා යුවළ කතා කරලා කිව්වා ගඟ අද්දර චිත්‍රපටයට සනත්ව ගන්න එයාගේ ගිවිසුමෙන් සනත්ව නිදහස් කරලා දෙන්න කියලා. මම ගිවිසුම කොහොම වෙතත් සනත්ට ගඟ අද්දර චිත්‍රපටයේ රඟපාන්න යන්න මගේ කැමැත්ත දුන්නා. මම කවදාවත් ඔහුව ගිවිසුම්ගතව කොටු කරගෙන ඉන්න උත්සාහ කළේ නැහැ.

චිත්‍රපට පෝලිමත් සමඟ සිනමාව පිළිබඳ කලකිරෙන ඔබ කැසට් පට නිෂ්පාදනයට අත ගහන්නේ ඉන් අනතුරුව නේද?

ඔය වකවානුවේ මොහිදීන් බෙග්ගේ කැසට්වලට හොඳ ඉල්ලුමක් තියෙන වකවානුවක්. මා තෝරා ගත්තා එච්. ආර්. ජෝතිපාලව. ඔහුත් සමඟ මම කළ මුල්ම කැසට්පටය 'සිරියමේ සාරා' කැසට් එක. ස්ටැන්ලි පීරිස්, ක්ලැරන්ස් විජේවර්ධන, අජන්තා රණසිංහ ආදී බොහෝ සංගීත ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ මගේ මිත්‍රයෝ වුණා. ඒ නිසා මට මේ ක්ෂේත්‍රයේ කටයුතු වඩාත් පහසු වුණා.

'ජෝති රාත්‍රිය' ඔබේ අදහසක්?

ඇත්තෙන්ම සංකල්පය මගේ. ජෝති රාත්‍රියේ සියවෙනි ප්‍රසංගයට මට ආරාධනාවක් ලැබුණා ජෝතිපාලගෙන් කොහොම හරි මගේ සියවෙනි ප්‍රසංගයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වන්න කියලා. කොහොම හරි මට එයට සහභාගි වෙන්න බැරිව ගියා. ඒත් ජෝතිපාල මට කරන ගෞරවයක් ලෙස සලකා එදා මා වෙනුවෙන් වෙන් කර තිබූ අසුනෙහි වෙන කෙනෙකුට වාඩිවීමට අවසර නොදී ඒ අසුන හිස්ව තිබ්බා. එහෙම කරලා එදා ඒ ෂෝ එක කරලා තිබුණා කියලා මට පැවසුවෙත් ස්ටැන්ලි පීරිස්.

පසු කලෙක තව කැසට් කීපයක්ම ඔබ නිෂ්පාදනය කළා?

සිටු කුමරියෝ චිත්‍රපටයේ ගීත පටිගත කළ දා,වමේ සිට නිෂ්පාදක චමින්ද පෙරේරා, සංගීත අධ්‍යක්ෂ සරත් දසනායක, ගායිකා නිරංජලා සරෝජිනි, ගීත රචක කුලරත්න ආරියවංශ, ගායක ටී.එම්.ජයරත්න, අධ්‍යක්ෂ විජය ධර්ම ශ්‍රී

ඉතිං ඊට පස්සේ, ප්‍රියාදර ප්‍රියා ස්්පෙට්රා ලේබලය යටතේ නිෂ්පාදනය කළා කැසට්පට සඳහා. එදා හොඳ ඉල්ලුමක් තිබුණා. මම තමයි වේග රිද්ම ගායිකාවක වූ මරියසෙල් ගුණතිලක රන් කුරුමිනියෝ ගීතය තුළින් ඇයට සරල ගීත ගායනා කරන්න පුළුවන් ගායිකාවක් කියලා හඳුන්වලා දුන්නෙත්.

ඔබේ එදා කැසට් නිෂ්පාදනවල තිබූ ගීත සමහරක් අද වෙන කොට වෙනත් පුද්ගලයෝ නැවත රීමික්ස් කරලා?

ඔව්. මගේ කිසිම අවසරයක් නොමැතිව තමයි එහෙම කරලා තියෙන්නේ. මටත් මෑතකදී ඕනෑ කළා එදා ජනප්‍රිය වූ මගේ කැසට් සිංදු ආයෙත් රීමික්ස් කරන්න. එතකොට තමයි මට දැනගන්න ලැබුණේ ඒවා වෙනත් අය රීමික්ස් කරලා කියලා. එයාලා ඒවා එහෙම කළත් මට ස්තූතියක්වත්, මා ගැන සඳහනක්වත් කරලා නම් නැහැ. ප්‍රියා සූරියසේන, දමයන්ති ජයසූරිය ගායනා කරන ප්‍රියාදර ප්‍රියා ගීතය එදා සංගීතවත් කළේ ක්ලැරන්ස් විජේවර්ධන. මේ ගීතයත් මේ වෙන කොට මටත් හොරා රීමික්ස් කරලා ඉවරයි.

ඔබ සතුව අදටත් ජෝතිපාලයන්ගේ රෙකෝඩ් කළ කවදාවත් රසිකයන් අතරට නොආපු ගීත එකතුවක් තියෙනවා කියන්නේ ඇත්තක්ද?

මට මතක හැටියට ස්ටැන්ලි පීරිස්, ප්‍රේමසිරි කේමදාස සංගීතවත් කරපු ගීත හතරක් පහක් ග්‍රේෂන් ආනන්දගේ එවැනිම ගීත දෙකක් අදටත් මා සතුයි.

කැසට් නිෂ්පාදනයත්, චිත්‍රපට නිෂ්පාදනයත් අතහැර ඔබ කැනඩාවේ පදිංචියට යනවා?

මගේ බිරිය ඉන්ග්‍රිඩ් ද අල්විස්. ඇය ශ්‍රී ලාංකික කාන්තාවක් වුණත් ඇය පදිංචි වෙලා හිටියේ කැනඩාවේ. ඒ නිසා මටත් එහෙට යන්න සිද්ධ වුණා.

සිනහව අතරින් චිත්‍රපටයේ කතාව ඔබේ?

ඔව්. මේක මම කළේ ඇත්ත කතාවක් ආශ්‍රයෙන්. මට මේ චිත්‍රපටය මුලදි කරන්න ඕනෑ කළේ කැනඩාවේ. ඒ සඳහා යන වියදම ගත්තහම මම ඒ අදහස අතහැරලා දැම්මා. මම කැනඩාවේ හිටියත් මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ සනත් ගුණතිලකත් මමත් දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කර ගනිමින් තමයි මේ චිත්‍රපටය කළේ. මගේ කතාවේ තිර රචනය මට කැනඩාවට ගෙනත් දුන්නෙත් ජයලත් මනෝරත්න මහතා. මට මතකයි මනෝරත්න තිර පිටපත ගෙනත් දීලා කිව්වා චමී ඔන්න මම මේක ගෙනාවට මටත් සීන් එකක් ඕනේ කියලා.

සිනහව අතරින් චිත්‍රපටයේ සනත්, සේමිණී

'සිනහව අතරින්' චිත්‍රපටය වුණත් ඔබටම නිෂ්පාදනය කරන්න තිබුණනේ?

මම දැන් චිත්‍රපට නිෂ්පාදනය කරන්න කැමැති නැහැ. චිත්‍රපට කතා ලිවීම නම් මම කරනවා. මා ළඟ ඒ වගේ කතා කීපයක්ම ලිව්ව ඒවා තියෙනවා. මම අද බලාපොරොත්තු වෙන්නේ මනි කියන එක නෙමේ. හොඳ ප්‍රඩක්ෂන් එකක් තමයි මගේ බලාපොරොත්තුව.

අපේ සිංහල සිනමාව ගැන අද මොකද ඔබට හිතෙන්නේ?

මම පිළිගන්නවා අපේ සිනමාව බැහැලා කියලා. හැබැයි හොඳ නිෂ්පාදනයක් මිනිස්සුන්ට දීලා නැහැ කියලත් මම පිළිගන්නවා. ලෝකයේ බොහෝ සිනමා නිර්මාණ හැදෙන්නේ නිෂ්පාදකයාගේ තනි මූල්‍යමය දායකත්වයෙන් නොවෙයි. එක් කෙනෙකුගේ නම තිබුණට එයාට සල්ලි යොදන්නේ විශාල කම්පැණි අධ්‍යක්ෂවරු. නිෂ්පාදකවරු චිත්‍රපටයේ මුහුරත් එක පවත්වන්නේ සමහර විට චිත්‍රපටයට යන මුදලවත් අතේ නැතිව. ඒත් මුහුරත් උලෙළට ආරාධනා ලැබෙනවා චිත්‍රපට ක්ෂේත්‍රයේ මහා නිෂ්පාදන සමාගම්වලට. ඒ අය චිත්‍රපටයේ මුහුරත් උලෙළට ඇවිත් රඟපාන නළුවෝ, නිළියෝ, සංගීතඥයෝ, අධ්‍යක්ෂක පිළිබඳ තක්සේරුවෙන් ඒ චිත්‍රපටයේ නිෂ්පාදක සමඟ අත්වැල් බැඳ ගන්නවා චිත්‍රපටය කරන්න.

කැනඩාවේ ඉඳන් ඔබ අපේ සිනමාකරුවන්ට උදව් කරන්නේ කොහොමද?

මම කැනඩාවේ කැනේඩියන් ෆිල්ම් ස්ටිටියුට් එක මඟින් සංවිධානය කරන සිනමා උලෙළ සඳහා අපේ රටේ සිනමාකරුවන්ගේ චිත්‍රපට ඉදිරිපත් කරන්න අවස්ථාව උදා කරලා දුන්නා. දැනට අවුරුදු හතරක් මේ අවස්ථාව අපේ රටේ සිනමාකරුවන්ට උදා කරලා දෙන්න මට හැකි වුණා. සැප්තැම්බර්, ඔක්තෝබර් මාසවල පැවැත්වෙන මේ සිනමා උලෙළට පස්වෙනි වතාවටත් මේ වසරේ අපේ සිනමාකරුවන්ට නිර්මාණ පෙන්වන්න උදවු කරන්න තමයි මගේ බලාපොරොත්තුව.

එවැනි උලෙළක් වෙනුවෙන් අපේ නිර්මාණ ඉදිරිපත් කිරීම තුළ ඔබ බලාපොරොත්තු වන්නේ?

අපේ සිනමාකරුවන් ලෝක සිනමාවට සම්බන්ධ කර ගැනීම සහ අපේ සිනමාවට ලෝක වෙළෙඳපොලක් ඇති කරලීම.

ඔබ හිතනවාද අපේ සිනමාකරුවන්ට ලෝක සිනමාව ජයගන්න හැකියි කියලා?

ඔව්. හොඳ චිත්‍රපටයක් හදන්න නම් හොඳ දක්ෂ ස්්ටාර්ස්ලා ගන්න ඕනෑ. තරුණ ජවය මේ කර්මාන්තයට එක් වෙන්න ඕනෑ. හොඳ ටැලෙන්ටඩ් මියුසික් ඩිරෙක්ටර්ස්ලා අපට ඉන්නවා. මේ වගේ හොඳ ලොකේෂන් තියෙන වෙන රටක් ලෝකේ කොහේවත් නැහැ. හොඳ චිත්‍රපට හැදෙන්නේ නැත්නම් අපේ සිනමා ශාලා ඩිජිටල් කළාට වැඩක් නැහැ. මිනිස්සු හෝල් එකට එන්නේ හොඳ චිත්‍රපටයක් රස විඳින්න. ගුණාත්මක බවින් ඉහළ විනෝදාස්වාදයක් දුන්නොත් විතරයි අපේ සිනමාව වුණත් ඉදිරියට ඇඳී තියෙන්නේ කියන විශ්වාසය මා තුළ තියෙනවා. ඒ නිසාම තමයි මම අද චිත්‍රපට නිෂ්පාදකයෙක් නොවී චිත්‍රපට කන්සල්ට් කෙනෙක් වෙලා ඉන්නේ.

කොහොමද ඔබේ පවුලේ තොරතුරු?

මට ඉන්නේ එක පුතයි. එයා සජීව් පෙරේරා. එයා ගුවන් නියමුවෙක්. පුතාට ඕනෑම සංගීත භාණ්ඩයක් වාදනය කරන්න පුළුවන් හොඳ රසඥතාවක් තියෙන මියුෂියන් කෙනෙක් මගේ පුතා.