|
මගේ ජීවන පරමාදර්ශය තාත්තාගේ ඒ ඔවදන්
කලාසූරි සතිස්චන්ද්‍ර එදිරිසිංහ
සතිස්ට සුබ උපන් දිනයක්
කලාසූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් හට සුබ උපන් දිනයක් සමඟ චිර ජීවනය ප්‍රාර්ථනා කරමින් මෙම ලිපිය ආරම්භ කිරීම අගනේ යැයි මට සිතේ. හෙතෙම සිය දිවි මඟෙහි හැත්තෑ පස් වැනි වියට පා තබන්නේ අදය. ඉන් වසර පනස් පහක් ඔහු සිය අමිල දායකත්වය ලබා දී ඇත්තේ මෙරට කලාව වෙනුවෙනි. වේදිකා නළුවකු ලෙසින් තම අසිරිමත් සෞන්දර්ය චාරිකාව ඇරඹූ සතිස්චන්ද්‍රයෝ අනතුරුව නිර්මාණකරණයෙන් මෙන්ම නාට්‍ය නිෂ්පාදනයෙන් ද කරළිය ඔපවත් කළෝය. සම්මානනීය සිනමාවේදියකු හා සිනමා නළුවකු ද වන හේ පුංචි තිරයේ ද විවිධ ඉසව් ස්පර්ශ කළ කලාකරුවෙකි. නිෂ්පාදනයෙන්, අධ්‍යක්ෂණයෙන් මෙන්ම රංගනයෙන් ද ටෙලි සිතුවම් රැසක ඔහු සිය නාමය සනිටුහන් කළේය. මිහිඳු සංස්කෘතික පදනමේ සභාපතිවරයා වන සතිස්චන්ද්‍රයන් එම පදනම මඟින් එළි දැක් වූ කෘතීන් රැසක සම්පාදකවරයා ද වේ. ප්‍රවීණ කලාකරුවන් බුහුමනට ලක් කරමින් ඔවුනට සම්මාන හා මූල්‍යමය තිළිණ ප්‍රදානය කෙරෙන ‘සුවඳ පද්ම’ උපහාර උලෙළ සංවිධානය කරනු ලබන්නේ ද එම පදනම මඟිනි. එය කලාකරුවකු, කලාකරුවන් පිරිවරා කලාකරුවන් වෙනුවෙන් පවත්වන එකම සම්මාන උලෙළ ද වේ. මේ අසිරිමත් දිනයේ සතිස්චන්ද්‍රයන් අප හා ආදරණීය කතාබහකට එක් වන්නේ මෙලෙසිනි. ඔබේ කලා දිවියට මේ වෙන කොට පනස් පස් වසරක් සපිරී තිබෙනවා. පුංචිම තැනකින් පටන් අරගෙන බොහෝ දුරක් ආපු ගමනක් මේ? අනෙක් කලාකරුවන්ට වගේම මටත් ඉතිං කලා ජීවිතේට අඩිතාලම වැටෙන්නේ පාසලෙන්. මම පාසල් දෙකක අධ්‍යාපනය ලැබුවා. ඒ කැලණිය ධර්මාලෝක සහ ඇල්පිටිය ශාන්ත මරියා කියන විදුහල්වලින්. ඇත්ත වශයෙන්ම ඒ කාලේ මගේ වැඩිම අවධානය යොමු වුණේ රංගනයට, නාට්‍ය හා විවිධ ප්‍රසංග ආදියට. මගේ ගුරුවරු ඒ දක්ෂතාවයන් තේරුම් අරගෙන මට ඒ ශක්තිය, දැනුම ලබා දුන්නා මේ මේ විදිහට කරන්න කියලා. ඒ ලබපු පන්නරය මගේ කලා ජීවිතයට හොඳ අත්තිවාරමක් වුණා කියලා කියන්නට පුළුවන්. හැටේ දශකයේ ආරම්භයත් සමඟ තමයි ඔබේ කලා ජීවිතයට නිසි මාර්ගෝපදේශකත්වයක් ලැබෙන්නේ? මට අවුරුදු විස්ස වෙන කොට 1961 දී අපේ ලොකු අයියා මාවයි, ලොකු මල්ලි, නිමල් එදිරිසිංහවයි එක්ක යනවා කලාගුරු ජේ. ඩී. ඒ. පෙරේරා ගාවට. අයියා එතකොට ජේ. ආර්. ජයවර්ධන මහත්තයාගේ පෞද්ගලික ලේකම්වරයෙක් හැටියට වැඩ කළේ. සුනිල් මල්ලි එතකොට පොඩියි. නීතිඥ ජෝන් ද සිල්වාගේ ‘වෙස්සන්තර’ නාට්‍ය එච්. ඩී. කුලතුංගගේ නව නිෂ්පාදනයක් විදිහට කලාගුරු ජේ. ඒ. ඩී. පෙරේරා යළි නිර්මාණය කළේ ඒ අවධියේ. ඒ නාට්‍යයේ රටවැසියෙකු විදිහට ඉතා පොඩි චරිතයක් රඟපාන්න මට අවස්ථාව ලැබුණා. සමූහ දර්ශනයක තමයි පෙනී හිටියේ? ඔව්, හැබැයි එක ඩයලොග් එකක් තිබුණා වචන අටයි තිබ්බේ. මාස අටක් පුහුණුවීම්. මරදානේ ලෝරන්ස් කොලේජ් එකේ තමයි පුහුණුවීම් තිබුණේ. සඳුදා, බදාදා, සිකුරාදා දවස් තුනම පුහුණුවීම්වලට යන්න ඕනෑ. ඒ වෙනකොට මම එච්. එස්. සී කරලා ස්ටැෆ(ර්)ඩ් එකෙයි, විද්‍යොදය පිරිවෙනෙයි ඉගෙන ගන්නවා. මම එක දවසක්වත් නොගිහින් ඉඳලා නෑ පුහුණුවීම්වලට. හවස තුනට පුහුණුවීම් තියෙන්නේ. දෙක, දෙක හමාර වෙන කොට මම ශාලාවට ගිහින් ඉවරයි. ඒ ඕනෑකම සහ උනන්දුව තිබුණා? අන්න ඒක තමයි වැදගත්ම කාරණාව වුණේ. වේදිකාව අතුගාලා, ඒ පාවිච්චි කරන පුටු එහෙම පිළිවෙලට තියලා බලාගෙන ඉන්නවා. සමහරදාට මම එන්නත් කලින් සංගීත මාස්ටර් එතනට ඇවිත්. ඔහු මාව දැකපුවාම අහනවා ‘ආ සතිස් පුතා යමුද තේකක් බොන්න’ කියලා. දැන් මාස්ටර් දවල්ට කාලා නෑ. එයා බඩගින්නේ ඉන්නේ. මගේ අතේ තියෙන්නේ සත විසි පහයි. ගෙදරින් මට දෙන්නේ සත පනහයි. කැළණියේ ඉඳන් කොළඹට එන්න සත විසි පහක් යනවා. ඉතිරි සත විසි පහ ආපහු ගෙදර යන්න. කොහොම හරි මාස්ටර්ගේ අවශ්‍යතාවය ඉටු වෙනවා? මාස්ටර්ට වඩේ එකයි, ප්ලේන්ටියයි, සිගරට් එකයි අරන් දුන්නාම ඒකට සත දහ අටක් විතර වියදම්. දැන් තියෙන්නේ හත හතයි. ආපසු ගෙදර යන්න යාළුවන්ගෙන් කීය කීය හරි ඉල්ලා ගන්නවා. හැබැයි පස්සේ ඒක දෙනවා. ඒක බොහොම භක්තියෙන් කරපු වැඩක් මං. ඉතිං අර තේ බීලා ඇවිත් එයා සිංදු කියමින් ෆුට් බැලෝ සර්පිනාව වාදනය කරනවා. එයයි මමයි විතරයි. හරිම සුන්දර මනුස්සයෙක්. හැබැයි අන්තිම දුප්පත්. කෙහොම හරි ‘වෙස්සන්තර’ ලොකු රෙකෝඩ් එකක් තිබ්බා අසංක මම හිතන්නේ ඒ රෙකෝඩ් එක තාම බිඳලා නෑ. මොකක්ද ඒ? හැව්ලොක් රඟහලේ දවස් දාහතරක් එක දිගට ‘වෙස්සන්තර’ පෙන්නුවා. 6.30 දර්ශනය. එතකොට එඩී ජයමාන්න සහ රුක්මණී දේවී තමයි ප්‍රධාන චරිත රඟපෑවේ. එච්. ඩී. කුලතුංග, බෙනී දාබරේ, ශීලා පීරිස් තමයි අනෙක් චරිත. ඕකේ ජූජක බමුණාට රඟපාපු ටවර් හෝල් නළුවෙක් එකෙළොස් වැනි දවසේ සල්ලි ඉල්ලුවා මොකක් හරි එයාගේ ගෙදර වැඩකට. නමුත් නිෂ්පාදකයෝ කැමැති වුණේ නෑ ඒ මුදල ගෙවන්න. ‘දවස් දාහතර ඉවර වුණාට පස්සේ තමයි සල්ලි දෙන්නේ. ඔයාට දුන්නොත් අනෙක් අයටත් දෙන්න වෙනවා’ කියලා නිෂ්පාදකයා කිව්වා. අර නළුවා මත්පැන් පානය කරනවා. ඇත්තටම මිනිහට කේන්ති ගියා. දැන් Show එක පටන් ගන්න තියෙන්නේ පැයක විතර කාලයක්. ‘එහෙනම් නටාගන්න’ කියලා මිනිහා තරහා වෙලා ගියා. එතකොට ධර්මදාස කුරුප්පු වේදිකා පරිපාලනය කළේ. ඔහු කලබල වුණා. ඇයි වෙස්සන්තර නටන්න බෑනේ ජූජක බමුණා නැතිව. එක පාරටම හැමෝම යෝජනා කළා මාව මේ චරිතයට දාන්න කියලා. ඒ පෙරහුරුව ඔබට තිබුණා? ඇයි ඉතින් මම ප්‍රොම්ටින් කරනවා. කවුරු හරි ආපු නැතිදාට ඒ චරිතය රඟපානවා. ඉගෙන ගන්න පීරියඩ් එකක් විදිහටනේ මම ඒ කාලය ගත කළේ. ඒ ගැන හැමෝම දැනගෙන හිටියා. පස්සේ කුරුප්පු අංකල් මාව එක් කරගෙන ගියා සර් ළඟට. ඔහු මගෙන් ඇහුවා ‘සතිස්ට පුළුවන්ද මේ චරිතෙ කරන්න’ කියලා. මම එක පාරට පුළුවන් කිව්වේ නෑ. ‘බලන්නම්’ කිව්වා. ඇත්ත වශයෙන්ම අසංක මම ප්‍රාර්ථනා කළා අර නළුවාට එන්න නොලැබේවා කියලා. ඒ ඊර්ෂ්‍යා සහගත සිතිවිල්ලක් නෙවේ. හැබැයි තරුණයෙක් හැටියට මේ ලැබිච්ච අවස්ථාව මට හොඳ ට(ර්)නින් පොයින්ට් එකක් කියලා තේරුණා. කොහොම හරි අවසානයේ ඔබ ජූජක බමුණා වෙනවා? මට සර් ඇඳුම් දාගන්න කියලා තිබුණේ හැන්දෑවේ 6.00 වෙන කොට. මම හයට විනාඩි දහයක් තියලා ඇඳුම් දාගත්තා. මෙන්න හයයි දහහය වෙනකෙට අර නළුවා ආවා. එයාගේ නම ගුණවර්ධන. මම අර ඇඳුම පිටින්ම සර් ගාවට ගිහින් කිව්වා ‘සර් මිස්ටර් ගුණවර්ධන ඇවිත් ඉන්නවා’ කියලා. ඒ ගමන ඔහු ඔරලෝසුව දිහා බැලුවා. ‘නෑ අද නටන්නේ සතිස්’ කිව්වා. අන්න විනය. එතකොට නීතියක් තිබුණා හවස හයෙන් පස්සේ කිසිම නළු, නිළියකට එන්න බෑ. හැමෝම 6.00 වෙන කොට ඇවිත් ඉන්න ඕනෑ. ඒ තමයි ඩෙඩ් ලයින් එක. එතනින් පස්සේ දිගටම ‘ජූජක බමුණා’ වුණේ ඔබ? අපි ලංකාවේ බොහෝ පෙදෙස්වල මේ නාට්‍යය රඟ දැක්වූවා. ලොරි දෙකක පටවගෙන යනවා වේදිකා පසුතල. ඇයි වංකගිරිය එහෙම. දර්ශන තිස් පහක රඟපාලත් මට ලැබුණේ රුපියල් තිහක මුදලක්. ඒත් මම බොහොම සතුටින් ඒක බාර ගත්තා. ඒ කාලේ හැටියට ඒ මුදල වටිනවා. නමුත් මදි. ඒත් සතුටින් බාර ගත්තා. ලැබුණ මුදල ගැන අසතුටු වූ අයත් ඉන්න ඇති? එක නළුවෙක් හිටියා. ඔහු පොඩි වැඩ වර්ජනයක් ආරම්භ කළා. එතකොට රුක්මණී දේවියට රුපියල් තුන්සිය පනහක් ගෙවනවා. එඩී ජයමාන්නට රුපියල් දෙසිය පනහයි. අරයගේ තර්කය වුණේ රුක්මණී දේවි රුපියල් තුන්සිය පනහක් වටිනවා නම් කෙල්ලෙක් 3.50 ක් වටින්නේ නැද්ද. එතකොට එඩී ජයමාන්න පැය තුනකට රුපියල් දෙසිය පනහක් ගන්නවා නම් කොල්ලෙක් 2.50 ක් වටින්නේ නැද්ද කියලයි. දැන් ඒ නවක පිරිස අතර මම නායකයෙක් වගේ. කොල්ලෝ කෙල්ලෝ හුඟ දෙනෙක් හිටියේ මගෙත් එක්ක. මටත් ඔහු කතා කළා දැන් මේ වර්ජනයට එකතු වෙන්න. මම කිව්වා ‘මම ආවේ රඟපාන්න ඉගෙන ගන්නයි, තැනක් හදාගන්නයි, ඒ නිසා මාව නම් ඕවට අල්ලගන්න එපා’ කියලා. කොහොම හරි මම ඒ වර්ජනයට එකතු වුණේ නෑ. අර වර්ජනේට මොකද වුණේ? දැන් ඉඩධඹ එක කටමුලේ තියාගෙන දහ දොළොස් දෙනෙක් විතර ගිහින් කිව්වා අපට මේ මුදල දෙන්නේ නැතිනම් අපි මේ නාට්‍යයේ රඟපාන්නේ නෑ කියලා. ඔක්කොටම යන්න කිව්වා. අන්න එතනදි මම තව දෙයක් ඉගෙන ගත්තා. ඔවුන් දෙවැනි පෙළක් සූදානම් කරලා තිබුණේ. ‘අහවල් චරිතය මෙයා කරන්න’, ‘ඔයා ඔය චරිතය කරන්න’ කියලා සැනෙකින් ඒ චරිත සංශෝධනය කරලා නාට්‍ය රඟදැක්වූවා. එකල සිටි විශිෂ්ට නාට්‍යවේදීන්ගේ නිර්මාණවලට දායක වීමේ භාග්‍යයත් ඔබට ලැබුණා? ඔව්. ඇත්තටම ගුණසේන ගලප්පත්ති. හෙන්රි ජයසේන, දයානන්ද ගුණවර්ධන, සුනන්ද මහේන්ද්‍ර, රංජිත් ධර්මකීර්ති, ජී. ඩී. එල්. පෙරේරා, ධර්මසිරි වික්‍රමරත්න වැනි ඉහළම පෙළේ නාට්‍යකරුවන්ගේ මෙහෙයවීම යටතේ මට රඟපාන්න ලැබීම භාග්‍යයක්. විශේෂයෙන්ම දැන් ගුණසේන ගලප්පත්ති වගේ නාට්‍යකරුවෙක් අනුගමනය කළේ රුසියානු නාට්‍යය න්‍යායාචාර්ය කොන්ස්ටන්ටයින් ස්ටැනිස්ලව්ස්කිගේ රංග රීතිය. කිසි යම් චරිතයක් නිරූපණය කිරීමේදී නළුවා එකී චරිතයට භාවාත්මකව ප්‍රවේශ විය යුතු බවයි ඔහුගේ රංග මූල ධර්මය වුණේ. නළුවෙකු ලෙස වේදිකාවට සම්ප්‍රාප්ත වූ ඔබ වැඩිකල් නොගොස් වේදිකා නාට්‍ය නිර්මාණකරණයටත් පිවිිසෙනවා? ‘බක තපස්’ තමයි මම මුලින්ම නිර්මාණ්‍ය කළ වේදිකා නාට්‍යය. එහි මමත් සමඟ ප්‍රධාන චරිතය රඟපෑවේ ‘මාලිනී ෆොන්සේකා. එතකොට ඇය සිනමාවට පිවිසිලත් නෑ. ඒ 1963 වසරේ. 1964 දී මම ‘අට්ටික්කා මල් පිපිලා’ නාට්‍යයත්, 1966 දී ‘හොටබරි යුද්දෙ’ත් වේදිකාවට ගෙන ආවා. ‘සොක්කානෝ රජානෝ’ නිර්මාණය කළේ 1983 දී. ඊට පස්සේ 1985 දී ‘අපායේ අවුරුදු’ කළා. ඒ තමයි මම අවසන් වරට නිර්මාණය කරපු වේදිකා නාට්‍යය. ‘අට්ටික්කා මල් පිපිලා’ නාට්‍යය ඇසුරෙන් තමයි මම ‘මාතර ආච්චි’ තිර පිටපත සකස් කළේ. ඒකයි විශේෂත්වය. ‘අට්ටික්කා මල්’ සහ ‘මාතර ආච්චි’ සංගීත අධ්‍යක්ෂණය සඳහා ඔබ තෝරා ගත්තේ වික්ටර් රත්නායක. වේදිකා නාට්‍ය හා සිනමා සංගීතයේ වික්ටර්ගේ ඇරඹුම සනිටුහන් වන්නේ එතැනින්. ඒ යටගියාව සිහිපත් කළොත්? වික්ටර් එතකොට රජයේ සංගීත විද්‍යාලයේ ඉගෙන ගන්නා ශිෂ්‍යයෙක්. අපේ ලොකු මල්ලි නිමල් තමයි මට මුලින්ම වික්ටර් හඳුන්වා දුන්නේ. ‘පොඩි අයියේ වික්ටර් කියලා කොල්ලෙක් ඉන්නවා, වයලින් ගහනවා මාර විදිහට, අමරදේව මහත්තයත් දැන් එක්කරගෙන යන්නේ එයාව‘ කියලා නිමල් මල්ලී වික්ටර් ගැන මාර වර්ණනාවක් කළා. පස්සේ වික්ටර් අපේ මහ ගෙදරට එක්කරගෙන ආවා. එයා එතකොට විවාහ වෙලාවත් නෑ. සංගීතේ ඉගෙන ගන්න ශිෂ්‍යයෙක්. ‘අට්ටික්කා මල් පිපිලා’ නාට්‍යයට වික්ටර් සම්බන්ධ වුණේ ඒ විදිහට. ඒ නාට්‍ය පිටපත ඇසුරෙන් තිර රචනය කළ ‘මාතර ආච්චි’ චිත්‍රපටයටත් මම වික්ටර්ව තෝරා ගත්තා. වික්ටර් වගේම ඔබේ මළණුවන් වූ සුනිල් එදිරිසිංහත් ගායන ලොවට හඳුන්වා දෙන්නේ ‘මාතර ආච්චි’ චිත්‍රපටයෙන්? ඔව්. සුනිල්ගේ ගායන හැකියාවට අත්වැලක් සපයන්න ඕනෑය කියන කාරණය මගේ හිතේ කාලෙක ඉඳන් තිබුණා. ඒ අනුව තමයි මම වොලී නානායක්කාරට කියලා රචනා කර ගත් ‘සඳකඩ පහනක කැටයම් ඔපළා’ ගීතය වික්ටර්ගේ සංගීතයට අනුව සුනිල් මල්ලි ලවා ගායනා කෙරෙව්වේ. වික්ටර්ගේ වගේම සුනිල්ගේත් සංගීත දිවියට හොඳ පදනමක් වැටුණා මේ ගීිතයෙන්. ‘සඳකඩ පහන’ ගීතයට රංගනය ඉදිරිපත් කරන්නේ ඔබ? එයත් සුවිශේෂී දෙයක්. ඇත්තෙන්ම මගේ හැකියාවන් පෙන්වන්නයි මම ‘ මාතර ආච්චි’ කළේ. හැබැයි චිත්‍රපටය සැළසුම් කරන කොට මට තේරුණා නිෂ්පාදනය, අධ්‍යක්ෂණය, රඟපෑම ඔක්කොම එකට කරන එක පහසු වැඩක් නෙවෙයි කියලා. මම එක්තරා ප්‍රසිද්ධ නළුවකුට කතා කළා මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට. ඒ වෙනකොට ප්‍රධාන චරිතයට ස්වර්ණා මල්ලවාරච්චි තෝරා ගෙන ඉවරයි. අර නළුවා කිව්වා ස්වර්ණා ඉන්නවා නම් චිත්‍රපටයේ රඟපාන්න එයා එන්නේ නෑ කියලා. මට දැන් වෙන කෙනෙක් හොයාගන්න වෙලාවකුත් නෑ. ඊට පස්සේ තමයි මම පෙළඹුණා ඒ චරිතය රඟපාන්න. ජෝ අබේවික්‍රම, මාලිනී ෆොන්සේකා, දෙනවක හාමිනේ, පර්ල් වාසුදේවි, දොන් සිරිසේන, එඩී ජූනියර්, රූබී ද මැල්, නීටා ප්‍රනාන්දු, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, බන්දු මුණසිංහ ඇතුළු විශාල නළු, නිළි පිරිසක් මේ චිත්‍රපටයට රංගනයෙන් දායක කර ගත්තා. අද නැවත හැරී බලන කොට ඔබේ ප්‍රථම සිනමා නිර්මාණය ගැන මොකද හිතෙන්නේ? ගොඩක් සතුටුයි. අද හැදෙන සමහර චිත්‍රපට තියෙනවා ඒ තත්වෙවත් නෑ. ඇත්ත වශයෙන්ම සිනමාව දැනගෙන නෙවෙයි මම ‘මාතර ආච්චි’ කළේ. ඒත් පොඩි දැනුමක් තිබ්බා. අභ්‍යාසායක් නැතිනම් අත්හදා බැලීමක් විදිහට කරපු වැඩක් මේක. චිත්‍රපට නැරඹීම, පොඩි, පොඩි චරිත රඟපැම සහ පොත් පත කියැවීමෙන් තමයි ඒ දැනුම මට ලැබී තිබුණේ. ඒ කාලේ කොහේ හරි දේශනයක් තිබුණොත් මම යනවා. තිස්ස අබේසේකර, නීල් අයි. පෙරේරා, රෙජී සිරිවර්ධන, ඒ. ජේ. ගුණවර්ධන වැනි අයගේ දේශනවලට මම නිතරම කන් දෙනවා. එතකොට ඒ කාලේ සිංහල, ඉංග්‍රීසි සියලුම පුවත්පත්වල සිනමාව පිළිබඳ ඉතාම හොඳ ලිපි පළ වුණා. විචාර, විවෘත සංවාද පළ වුණා. සමහර ඒවා අදටත් මා ළඟ තියෙනවා. ඔබ ‘මාතර ආච්චි’ මුලින්ම පෙන්නුවේ තිස්ස අබේසේකරයන්ට කියන කතාව සත්‍යයක්? ඒක ඇත්ත. ඔහුයි මමයි විතරයි සරසවි චිත්‍රාගාරයේදී ඒ චිත්‍රපටය නැරඹුවේ. ඒ කාලෙම මම දැනගෙන හිටියා අනාගතයේදී මෙයා හොඳ සිනමාවේදියකු වන බව. චිත්‍රපටය බලලා තිස්ස කිව්වා මම චිත්‍රපටය කළා නම් මෙතනින් ඉවර කරනවා කියලා. මගේ End එකට එයා කැමැති වුණේ නෑ. ඉන් පසු ඔබ ‘රජගෙදර පරෙවියෝ’, ‘ශ්‍රී මධාරා’, ‘සතර දිගන්තය’, ‘අධිෂ්ඨාන’, ‘වදුල’ යන චිත්‍රපට ප්‍රේක්ෂකයන් හමුවට ගෙන එනවා. මේ අතරින් වඩාත්ම සාර්ථක චිත්‍රපටය හැටියට ඔබ දකින්නේ? ‘අධිෂ්ඨානය’ චිත්‍රපටය. එය O.C.I.C සිනමා උලෙළේදී තරග වැදුණේ සුමිත්‍රා පීරිස්ගේ ‘ගැහැනු ළමයි’ චිත්‍රපටය එක්ක. එතකොට ‘අධිෂ්ඨාන’ මෑන්හයිම් සිනමා උලෙළ නියෝජනය කළානේ. ඒකෙදි මට ඩිප්ලෝමා සහතිකයක් ලැබුණා. ජේ. එච්. ජයවර්ධනට සම්මාන ලැබුණා. සුගත් සමරකෝන්ට සම්මානයක් හිමි වුණා. එයාගේ පළමුවැනි සිනමා රංගනය, ඒ වගේම දයා ආනන්ද රණසිංහගේ තිර නාටකයටත් සම්මාන හිමි වුණා. ඔබේ සිනමා රංගන ජීවිතයේ සුවිශේෂ සළකුණක් තමයි ‘කොටි වලිගය’ චිත්‍රපටය. එහි තත්පර අනූවක දර්ශනයක් රඟපාලා ඔබ හොඳම සහාය නළුවා ලෙස සම්මානයට පාත්‍ර වෙනවා? ඔව්. මම එහි රඟපෑවේ භික්ෂුකගේ චරිතය. ‘සිංහල ලේද, දෙමළ ලේ ද කියලා කොහොමද දන්නේ’ කියන දෙබස විතරයි මට කියන්න තිබුණේ. විනාඩි එකහමාරයි. ‘සරසවිය’ සම්මාන උලෙළේදී මට ඊට කුසලතා සම්මානයක් පිරිනැමුණා. කොහොම හරි ඒ සම්මාන උලෙළේ නිවේදන කටයුතු කළේ මම. මම එතකොට සේවය කළේ මහවැලි අමාත්‍යාංශයේ. එක පාරටම එවකට ‘සරසවිය’ කර්තෘවරයාව සිටි ග්‍රැන්විල් සිල්වා පෝඩියම් එකට ඇවිත් මගෙන් මයික්‍රෆෝනය ලබා ගත්තා. මට ඔබේ නිවේදන කටයුතු මොහොතකට නතර කරන්න වෙනවා කියලා ඔහු කිව්වාම මම අප්සට් ගියා. මට මොකක් හරි වැරදීමක් වුණාද කියලා. ඒත් ග්‍රැන්විල් මගේ නම එනවුස් කරලා අර සම්මානය ලබා දුන්නා. එදා ප්‍රධාන ආරාධිතයා වුණේ මහවැලි අමාත්‍ය ගාමිණී දිසානායක මහතා. එතුමා අතින් මම සම්මානය ලබා ගත්තා. ඒ දවස මගේ ජීවිතයේ අමරණීය මතකයක්. බොහෝ නළු නිළියන් දිග, පළල මැනලා තමයි චරිත තෝරා ගන්නේ. ඒ සම්ප්‍රදායෙන් මිදී ඔබ මේ චරිතය රඟපෑම එක්තරා විදහක පූර්වාදර්ශයක්? නළුවකුට, නිළියකට විශිෂ්ට රංගනයක් ඉදිරිපත් කරන්න පැය ගාණක් රඟපාන්න ඕනෑ නෑ. එක රූප රාමුවකින්, තත්ත්පර ගාණකින් ඒ හැකියාව පෙන්වන්න පුළුවන්. නළු නිළියන් චිත්‍රපටය පුරාම රඟපෑවට විනිශ්චය මණ්ඩලය සම්මාන සඳහා චරිතයක් තෝරද්දී ඒ රංගනයෙන් බොහොම සිත් ගත් තැන් එකක් දෙකක් නේ ඒගොල්ලන්ට වදින්නේ. චරිතයක් ගත්තාම එක දිගටම ඒක පවත්වාගෙන යන්න ඕනෑ. නමුත් සතර අභිනයෙන්ම හොඳට භාව ප්‍රකාශය වෙන තැනක් තියෙනවානේ. මම හිතන්නේ ඒක අර විනාඩි එකහමාරේ දර්ශනය තුළ තිබුණා. රංගනයෙන් වගේම අර්ථපති දායකත්වයෙන් හා නිර්මාණකරණයෙන්ද ඔබ පුංචි තිරයට දායක වෙනවා. සමාජමය සද්කාර්යයක් ලෙසයි ඔබ මේ ටෙලි නාට්‍යය කලාව භාවිතයට ගන්නේ? මම මුලින්ම නිෂ්පාදනය කළේ ‘ටිකිරි නිළමේ’ ටෙලි නාට්‍යය. ඊට පස්සේ ‘නාමල් ගොල්ල’, ‘ගිරිකුල අන්දරය’, ‘නිසල විල්තෙර’ ටෙලි නාට්‍යය නිෂ්පාදනය කළා. ‘සත්මහල’, ‘කෝකිල ගින්න’, ‘සව්සිරි උයන’, ‘සුවඳ පද්ම’, ‘මොණරවිල’, ‘දියවඩන මළුව‘ වැනි ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කළේ මම. ඒවා නිෂ්පාදනය කළේත් මා විසින්මයි. ඇත්ත වශයෙන්ම අද නිර්මාණය වන බොහෝ ටෙලි නාට්‍යය බාල, බොළඳ, හරසුන් ඒවා. වේදිකාවට හා සිනමාවට වෙලා තියෙන්නෙත් ඔය ටිකමයි. අපි ටෙලි නාට්‍ය නිර්මාණය කළේ පිරිපුන් සමාජයක් බිහි කරන්න. මිනිසුන්ගේ සාරධර්ම, මිනිසත්කම් වැඩි දියුණු කරන්න. ඒත් අද බොහෝ නාළිකා සිදු කරන්නේ මුදල් දීලා ප්‍රේක්ෂකයා බලෙන් හරසුන් ටෙලි නාට්‍යය නැරඹීමට පොලඹවන එක? හිඟන්නෙකුට රුපියල් පහක් දෙන්නේ නැති මිනිස්සු ප්‍රචාරක මාධ්‍යයේදී සල්ලි දෙනවා දහස් ගණනින්. ඇනුවත් සල්ලි, බැල්වත් සල්ලි කියලා. මේවාට ලැජ්ජා වෙන්න ඕනෑ ඔවුන්. දැන් අල්ලස් දෙන අය අල්ලනවා. මේක අල්ලන්නේ නෑ. මම නම් බාල, අවර ගනයේ ටෙලි නාට්‍යවලට එදා ගියෙත් නෑ. අද යන්නෙත් නෑ. මොකද බඩගිනි හැදුණා කියලා ඉඳුල් කන්න බෑනේ. අනෙක සිංහයෝ තණකොළ කන්නෙත් නෑනේ. මගේ අරමුණ වුණේ මිනිස්සු දැනුම්වත් කිරීම. දැන් ඔය සම්මාන ගොඩක් හම්බ වුණා ‘දියවඩන මළුව‘ට. ඒක කරන්න හේතුව කන්තලේ වැව් බැම්ම පුපුරලා, වතුර කාන්දුවක් සිද්ධ වෙනවා. ඒත් බර වාහන ඒකෙන් නිතර එහා මෙහා යනවා. මේකට එරෙහිව ගොවි සංවිධාන පුදුම අරගලයක් කළා. ඒත් බලධාරීන්වත්, රජයවත් ඒකට කන් දුන්නේ නෑ. ඔය ප්‍රවෘත්තිය තමයි ඒ ටෙලි නාට්‍යයට පාදක කර ගත්තේ. කලාකරුවා තම ප්‍රකාශන මාධ්‍ය හරහා එබඳු සමාජීය, දේශපාලන ප්‍රශ්න පිළිබඳ අවධානය යොමු කළ යුතු වගයි ඔබ විශ්වාස කරන්නේ? ඇත්තෙන්ම, මොකද සැබෑ කලාකරුවාගේ යුතුකම තමයි තමා ජීවත් වෙන සමාජයේ කාලීන ප්‍රශ්නයක් අරගෙන ඒක සාකච්ඡා කරන එක. මගේ පිටපත් රචකයා වූ කේ. බී. හේරත්ට කියලා මට අවශ්‍ය විදිහට එය රචනා කර ගත්තා. ඔය අතරේ මම වාරි කර්මාන්තය ගැන ලියපු පත පොත කියෙව්වා. ඊට පස්සේ මම හීන් සීරුවේ අර තිර පිටපත ඇතුළට එය කා වැද්දුවා. රූපවාහිනිය කියන්නේ ප්‍රබල මාධ්‍යයක්. විශේෂයෙන්ම ටෙලි නාට්‍ය වගේ ආකර්ෂණීය මාධ්‍යයක් හරහා අපට සමාජයට විශාල බලපෑමක් කළ හැකියි. අනවශ්‍ය සංස්කෘතික ප්‍රශ්නවලට මැදිවෙලා සමාජය අංජබජල් වෙලා තියෙන කාලෙක ටෙලි නාට්‍යය මඟින් නිවැරදි ආකල්පමය වෙනසක් ඇති කරන්න පුළුවන්. වැඩිපුරම ඔබ රඟපෑවේ සමාජයට ආදර්ශමත්, ඒ වගේම අභිමානවත්, තේජස් ගුණයෙන් යුත් චරිත. කිසියම් ශික්ෂණයක්, විනයක් හිතාමතාම ඔබේ රංගන දිවියට ආරෝපණය කරගත්තාද? ඒකේ යම් සත්‍යතාවයක් තියෙනවා. මොකද මට ලැබුණ හැම චරිතයක්ම බාර ගන්නේ නෑ. ඇත්තෙන්ම මේ ශික්ෂණයට මුල් බීජය වැපිරුවේ අපේ තාත්තා. එතුමා මුල් කාලේ ගුරුවරයෙක්. ගුරු සේවයේ යෙදී සිටියදීම තාත්තාට උසස්වීමක් ලැබුණා. ඒ තනතුර තමයි ගෘහ කර්මාන්ත දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පරීක්ෂක ධූරය. තාත්තා තමයි මගේ ජීවිතයට යෝධ සෙවනැල්ල වුණේ. ‘අපේ තාත්තා’ නමින් එතුමාට ගෞරව පිණිස මම පොතකුත් ලිව්වා. ඔහු මට දුන්න උපදෙස් සහ අවවාදය තමයි ‘කොහෙද ගියේ කියලා කවුරු හරි ඇහුවොත් කියන්න පුළුවන් තැනකට යන්න, මොනවද එහෙදි කළේ කියලා ඇහුවොත් කියන්න පුළුවන් දෙයක් කරන්න, මොනවද එහෙදි කතා කළේ කියලා ඇහුවොත් කියන්න පුළුවන් දෙයක් කතා කරන්න’ කියන එක. මගේ මුළු ජීවිතය පුරාම ආදර්ශ පාඨය වුණේ තාත්තාගේ ඒ මහඟු ඔවදනයි. මේ වෙන කොට ඔබ සෑහෙන පොත් සංඛ්‍යාවක් ලියා පළ කළ ග්‍රන්ථ කතුවරයෙක්. ඒ හරහාත් ඔබ උර දී සිටින්නේ පුළුල් සමාජ සත්කාර්යයකට. ඒ පිළිබඳ සුළුවෙන් හෝ කතා නොකළොත් ලොකු අඩුවක්? ඔව්. මේ වෙන කොට මම ළමා පොත් අටක් ලියා තිබෙනවා. ‘අපේ තාත්තා’ ගැන වගේම ‘අපේ අම්මා’ ගැනත් පොතක් ලිව්වා. ‘රත්තරං දරුවෙක්’, ‘ එළුවාගෙන් පාඩමක්’, ‘වඳුරු නුවණ’, ‘නරක මිතුරන් පිළිගන්න එපා’, ‘හොඳ පුතා’, ‘මසුරන් ඔවදන්’ තමයි ඒ ළමා පොත්. ඊට අමතරව විවිධ විෂයයන් අළලා තවත් ග්‍රන්ථ කිහිපයක් රචනා කළා. ‘අප සතු මිනි මුතු’ , ‘ආහාර’, ‘සතුට ලැබීමට නම්, ‘මිනිසා හා පරිසරය’, ‘යහපත’, ‘කාර්ය සාධක නායකත්වය’, ‘සාර්ථක ජීවිතයකට සාරවත් සිතුවිලි‘ , ‘ ඔබ තවත් ප්‍රමාද නැත’, ‘ජලය සහ මිනිසා’ ඒ ග්‍රන්ථ අතරින් කිහිපයක්. දයාබර සැමියෙක්, ආදරණීය පියෙක් සහ යහපත් පුරවැසියෙක් කියන වටිනාකම් එක්ක බැලුවොත් ජීවිතය ගැන නිසැකයෙන්ම ඔබට දැනෙන්නේ සාඩම්බර හැඟීමක් විය යුතුයි? අනිවාර්යයෙන්ම. මේ ගමන එන්න මට ශක්තිය, ධෛර්ය දුන්නේ මගේ බිරිය ශ්‍රියා. අපි දෙන්නා විවාහ වුණේ 1965 වසරේ. විවාහ වෙනකොට මම වේරහැර ඩිපෝවේ ඉන්ධන ලිපිකරුවෙක්. වැටුප දවසට රුපියල් පහයි. ඊට අවුරුදු විස්සකට පස්සේ මම කළමනාකාරවරයෙක් විදිහට තමයි විශ්‍රාම ගත්තේ. විවාහ වෙන අවධියේ මම නිර්මාණය කර තිබුණේ ‘බකතපස්’ සහ ‘අට්ටික්කා මල්’ කියන නාට්‍ය දෙක විතරයි. පවුල් ජීවිතය ආරක්ෂා කරගෙන කලා ලොවේ මේ තරම් දිගු කලක් රැඳෙන්නට හැකි වීම නම් විශාල භාග්‍යයක් කොට මා සලකනවා. සාර්ථක විවාහ ජීවිතයක රහස තමයි දෙදෙනාගෙන් ප්‍රධානියා කවුදැයි දැන ගැනීම. පිරිමියා කියන්නේ සම්පූර්ණ කෙනෙකුට නෙවෙයි. ගැහැනිය කියන්නෙත් සම්පූර්ණ එක් කෙනෙකුට නෙවෙයි. ගැහැනියයි, මිනිසායි සම්පූර්ණ වෙන්නේ විවාහයෙන් පස්සේ. ශ්‍රියාත් මමත් අවබෝධයක් ඇතිවයි මේ පනස් එක් වසර එකට ජීවත් වුණේ. අපේ දරුවන් තිදෙනාටත් ඒ එකමුතුකම ලොකු ආශිර්වාදයක් වුණා ඔවුන්ගේ ජීවිතවලට. මුනුබුරු මිනිබිරියන් හත් දෙනෙකුගේ සීයා කෙනෙක් විදිහට අද මම ජීවිතයේ සැඳෑසමය ගෙවන්නේ ඉතාමත් සතුටෙන්, සැහැල්ලුවෙන්.
|