වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 11 වැනිදා බ්‍රහස්පතින්දා




බෑ කියන්න නම් එපා කෙල්ලේ

බෑ කියන්න නම් එපා කෙල්ලේ

ආදරණීය තරුවකගේ සැබෑ ජීවිත අන්දරය ජනපි‍්‍රය චිත්‍රශිල්පී අරවින්දගේ සිතුවමින්

මානවී සියල්ල සිදු වූයේ කෙසේදැයි සිතන්නට පටන් ගත්තාය. වෑන් රථයක් 'නවාතැන'ට එබිකම් කළේ ගත වූ සැන්දෑ වරුවේය.

'නිර්මලා' යැයි පවසමින් චමින්ද ගෙට ගොඩ වූයේ එයට පෙරාතුවය. වෑන් රථයෙන් බිමට බැස ගත් සූජිත්ව දුටු මානවී විස්මයට පත් වූවාය.

'නිර්මලා ඔයාව හෙව්ව, මේ වෑන් එකේ එක්කෙනෙක්'

චමින්ද පැවසුවේ උපකාරයක් කිරීමෙන් ලැබූ සිනහවක් ඇතුවය. නිර්මලාගේ මුහුණේ වූයේ නාඳුනන කෙනෙකු දුටු විට ඇතිවන හැඟීමකි. එබැවින් ඕ චමින්දගේ මුහුණ ද අමුත්තාගේ මුහුණ දෙස ද මාරුවෙන් මාරුවට බැලුවාය. මානවී ඉදිරියට ගියේ ඒ අතරතුරය.

'එන්න සුජිත් අයියේ'

ඈ පැවසුවාය.

සුජිත් හෙමින් සීරුවේ ඉදිරියට ආවේ සිනහවෙමිනි. වෑන් රථයේ රියැදුරුට අමතරව තවත් කවුදෝ සිටිති.

'යක්කු ගස් නගින වෙලාවට ආවට සමාවෙන්න, මේ තමා එන්න පුළුවන් වෙලාව'

සුජිත් මානවී දෙස බලා පවසා එකවරම නිර්මලා දෙසට හැරුණාය. ඔහු අනතුරුව මානවීගෙන් නිහඬව විමිසුවේ 'අම්මා 'ද යන්නය. මානවී හිස සැලුවාය. අසල කාමරයේ සිටි යුවතියන් එබිකම් කරනු නිර්මලාට පෙනිණ.

'මගෙන් විස්තර ඇහුවා. මං හිතුවා හරියටම මෙහෙ වෙන්ඩ ඇති කියලා'

චමින්ද පැවසුවේ ජයග්‍රාහි විලාසයකිනි. නිර්මලාට අසරණ හැඟීමක් ඇති විය.

'අයියා කොහොමද හොයා ගත්තේ'

මානවී සුජිත් පිළිගත් අයුරු නිර්මලා බැලුවේ පුදුමයෙනි.

'මම මේ ළඟට ඇවිත් හොයද්දී තමා මෙයා පාර පෙන්නුවේ, තෑන්ක් යූ මචං'

සුජිත් චමින්ද දෙස බලමින් පැවසුවේය. චමින්ද ආපසු හැරුණි.

'මං යන්නං. මං මේ වැඩකට යන ගමන්. අහල පහල දන්න අයනේ. නිර්මලා ගැන අහපු හින්දා ගෙදරට ගෙනත් පෙන්නුවේ'

චමින්ද ආපසු යන්නට සැරසෙමින් පැවසුවේය.

'ඊයේ මට කිව්වේ නංගි කියලානේ. මං ඒකයි බැලුවේ. ඉස්සෙල්ලා මේ කට්ටිය කිව්වෙත් නිර්මලාගේ දුව කියලානේ'

නිර්මලාගේ මුහුණ රතු වුණාය. සියල්ල මැද සැඟවෙන්නට හැකි නම් ඈ එහි සැඟවෙනු ඇත. මානවී නිර්මලා දෙස බැලුවාය. ඇයට කෝපයක් හා ශෝකයක් එකවර උපන්නද එය ඇය නොපෙන්වූවාය.

චමින්ද වෑන් රථය අද්දරින් ආපසු යනු නිර්මලා බලා සිටියේ අසරණ හැඟීමකිනි. දියණියට ආගන්තුකයන් සමඟ රිසිවක් කර ගන්නට ඉඩ හරිනු විනා වෙනත් පිළිසරණක් නැති වග ඇයට දැනිණ.

'අම්මා, මේ සුජිත් අයියා. අපිට එහා ගමේ. මේ අයියා තමා අර ටෙලි නාට්‍යයට මාව ගත්තෙත්'

මානවී කියාගෙන ගියාය. වැටුණු වලෙන් ගොඩ එන්නට ලද අවස්ථාව අසීරුවෙන් ප්‍රයෝජන ගන්නට නිර්මලාට හැකි වූවා සේය. ඈ ආගන්තුක තරුණයාට, සුජිත්ට සිනහවකින් සංග්‍රහ කළාය. ගෙහිමි ගැහැනිය නිර්මලා දෙස බැලුවේ අවේලාවේ ආ ආගන්තුකයා හඳුනා ගන්නට මෙනි.

'අපේ ගමේ'

නිර්මලා සියල්ලන්ටම ඇසෙන්නට පැවසුවාය. ගැහැනිය ආපසු ගේ ඇතුළට නොගොස් සාලයේ වාඩි වූවාය.

'මානවී කොහොමද?'

සුජිත් ඇසුවේ මානවී සමඟ දිගු කතාවකට මුල පිරීමට මෙනි.

'ඇයි මෙයා හදිස්සියේ ගමෙන් ආවේ'

අනතුරුව ඔහු ඇසුවේ නිර්මලාගෙනි.

'අනේ දන්නෑ මල්ලියේ එක පාරටමනේ ආවේ'

නිර්මලා කතා කළේ හඬ නොනගාය. වෑන් රථයෙන් බැස ගත් තවත් තරුණයන් දෙදෙනෙක් රියදුරු සමඟ කතාබහකය. අඩ අඳුරේ ඔවුන්ගෙන් එකෙකු අත ඇති සිගරට්ටුව එහා මෙහා යනු නිර්මලාට පෙනිණ.

'කවුද එතැන ඉන්නේ'

ඇය සුජිත්ගෙන් ඇසුවාය.

'අපේ කොල්ලො ටිකක්. අනේ හදිසියේ ආවේ බෑ කියන්ට බැරි උදව්වක් ඉල්ලන්න'

නිර්මලා මෙන්ම මානවී ද විමසිලිමත් වූවාය.

'මානවී මගෙන් ඇහැව්වනේ ජොබ් එකක්. අපි අලුත් ටෙලිඩ්‍රාමා එකක් පටන් ගන්නවා එනවාද?'

මානවී නිර්මලා දෙස බැලුවේ ඇගේ ප්‍රතිචාරය අසන්නටය.

'බෑ කියන්ට නම් එපා කෙල්ලේ. මට කතා කළොත් නම් මා හා කියනවා'

අඩ අඳුරේ සිටි ශ්‍යාමා එලියට ආවාය. ඈ මේ අඳුරේ සිටිතැයි කවුරුවත් හෝ සිතුවේ නැත. සුමිත් ඇගේ කතාව තැකීමකට නොගත්තාය.

'ඒ වුණාට ඔය වගේ තැන්වලට ළමයෙක් යවන්නේ කොහොමද? තනියම'

නිර්මලා එකවරම පැවසුවාය.

'මට ප්‍රශ්නයක් නෑ'

මානවී එකවරම උත්තරයක් දුන්නාය. එය නිර්මලා බලාපොරොත්තු වූවක් නොවූවාය. තම දියණිය තම සීමාවෙන් එපිටට ගමන් කර ඇත්තේය යන හැඟීම ඇයට වැටහිණි.

'එහෙම කොහොමද යවන්නේ. ඔය ළමයා කොහොමද මෙහෙට ආවේ'

නිර්මලාගේ ස්වරයේ හැඬුම් ලකුණක් විය. ඇය ඇසුවේ සුජිත්ගෙනි. දියණිය ඉදිරියේ තමා හෑල්ලු වන ලකුණක් ඇයට පෙනිණ.

'නෑ, නෑ අක්කේ. අර මානවී එක දවසක් වැඩ කළේ ටෙලි නාට්‍යය. එදා අපි කතා වුණා මේ නංගිට ඇට් කරන්න පුළුවන් කියලා. ඒකයි අද මෙහෙ ඉන්නවා කියලා දැනගත්තම අවේ. මගේ පැත්තෙනුත් ලොකු උදව්වක්'

'නිර්මලා කෙල්ලට ආපු චාන්ස් එක අත අරින්න එපා. මේ මටත් මුකුත් ඇට් කරන්න දෙන්න බැරිද?'

ශ්‍යමා යළිත් ඇසුවාය. ඇය සුජිත්ට වදයක් වනු ඇතැයි නිර්මලාට සිතිණ.

'මට කෙල්ලව තනියම යවන්න බෑ. මං කල්පනා කරලා කියන්නං'

නිර්මලා පැවසුවාය.

'බෑ. හෙට අපි පටන්ගන්න ඕනෑ'

'දුව රඟපාන්නේ මොන වගේ එකක්ද? මොකක්ද මේ කවුද? කොහෙද කරන්නේ. ඒවා ඒකක්වත් අපි දන්නේ නෑනේ'

නිර්මලා සුජිත්ට පැවසුවේ ගැලවෙන්නට මෙනි.

'ඒ ඔක්කොම මම බලාගන්නම්, නංගිට තියෙන්නේ සුදර්ශනාගේ යාළුවට ඇට් කරන්න. මම හෙට උදේ ඕනෑ සීන් කියන්නං'

සුදර්ශනා ගැන විස්තරයක් අම්මා ළඟ පත්තරයක තිබුණා මානවීට මතකය. ඇය දිවැස් සළු නමින් ටෙලි නාට්‍යයක රඟපාන වග නම් දන්නීය.

'මේ සුදර්ශනා ද අනේ මට බලන්ට ආසයි'

ශ්‍යාමා වෙව්ලමින් පැවසුවාය. ඒ සැණින් ඇය සිය කාමරයට දිව ගියාය. මෙතුවක් එහි වැද සිටි යුවතියන් ද එතැනට දිව ආහ.

'නිර්මලී කෙල්ලට ආපු චාන්ස් එක'

එකියක පැවසුවාය.

'මම කොහොමද දුවත් එක්ක හෙට යන්නේ. මට නිවාඩු ගන්න බෑ'

නිර්මලා කෝපයක් ආරූඪ කර ගත්තාය.

'නිර්මලා උඹට යන්න බැරි නම් මං යන්නං තනියට'

ශ්‍යාමා ඉදිරිපත් වූවාය.

සුජිත් ඇය දෙස බැලුවේ සියල්ල විසඳුණේ යැයි සිතමිනි.

'කවුරුවත් මොකටද, මං යනවා. උදේට එන්න සුජිත් අයියේ'

මානවී තීරණයකට එළැඹ සිටිමින් පැවසුවාය. ඇයගේ ස්වරයේ වූයේ ස්ථිර හඬකි. නිර්මලා කිසිවක් කියාගත නොහැකිව සේ හැසිරුණාය.

'එහෙනං අපි උදේ එනවා'

සුජිත් ආපසු හැරුණේ ජයග්‍රාහි විලාසයෙනි. ඔහු ආපසු එනු දුටු සෙස්සෝ වාහනයට ගොඩ වැදිණ. රථ්‍ය සැණෙකින් පසුපසට ගොස් මාර්ගය දිගේ නොපෙනී ගියේය.

නිර්මලා කාමරයට වැදිණ. මානවී ඈ පසුපසින් ගියාය. කාමරයේ දොර තදින් වැසෙනු ඊළඟ මොහොතේ ඇසිණ.

'හෙට උදේම යන්න යමං ගමට'

නිර්මලාගෙන් නැඟුණු හඬ ඊළඟට ඇසිණ.

ලබන සතියේ මානවී ගමට යන්නේද?