වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 11 වැනිදා බ්‍රහස්පතින්දා




ඇමැති ප්‍රේමදාස නිසා රංජිත් විජයවර්ධන මහතා මුණ ගැසීමි

ඇමැති ප්‍රේමදාස නිසා රංජිත් විජයවර්ධන මහතා මුණ ගැසීමි

'නිම්වළල්ල' චිත්‍රපටයේ අවසාන දර්ශනය ගොල්ෆේස් පිටියේ රූගත කිරීමට අපි සූදානම් වීමු. ධාරාණිපාත වර්ෂාවක ප්‍රධාන නළු නිශ්ශංක අමරසිංහ නවක නිළියක් සමඟ කුඩයක් ඉහළගෙන යන අවස්ථාවකි ඒ. අපි ගිනි නිවන හමුදාවේ ආධාරයෙන් කෘත්‍රිම වැස්සක් නිර්මාණය කර ගත්තෙමු. පාර්ලිමේන්තුව අසල බස් නැවතුම්පොළ අසල සිටි නිම්වළල්ල පිරිස නොසෑහෙන්න දිය නා ගත්හ.

'රංජිත් තාත්ත ඇවිත්. හදිසියකට කියලා එන්න කියනවා' නිෂ්පාදන කළමනාකරණය භාර නම්මුණි ද සොයිසා මගේ කනට කර කීවේය.

'සොයියෝ උඹ ලාල්ට (අධ්‍යක්ෂක) කියපං මම ගියා කියලා. තාත්තා එන්න ඇත්තේ මොකක් හරි හදිසියකට. දැන් ෂූටිං ඉවරනේ. උඹලා ඉන්නවනේ ඉතුරු වැඩ බලන්න'

'පලයං පලයං අපි බලා ගන්නම් ඉතුරු වැඩ' සොයිසා මා මුදා හරිමින් පැවසීය.

දැන් මළ හිරු බැස යන්න ආසන්නය. ඉර රතු පැහැයෙන් මුහුද ගිල ගැනීමට බලා සිටී.

'ඇයි තාත්තා . . .'

'ඉක්මනට ප්‍රේමදාස මහත්තයා එන්න කිව්වා. අපිට යන්න ජීප් එකකුත් එවලා' තාත්තා කීවේය.

තරමක් ඈතින් නවතා තිබුණේ ලෑන්ඩ් රෝවර් වර්ගයේ ජීප් රථයකි. අපි එයට ගොඩ වීමු.

'අපි යමු කොස්ගස් හන්දියට . . . ළමයා අලුත් ඇඳුමක් ඇඳගෙන යන්න එපායැ' තාත්තා රියදුරුට කීවේය.

'පුංචි මහත්තයා වතුරෙන් නෑවිලා' රියදුරු පවසමින් ජිප් රිය පදවන්නට විය. ඒ යන අතරේ චිත්‍රපටයක කෘත්‍රිම වැස්සක් මවාගත් හැටි මට ඔහුට විස්තර කරන්නට සිදු විය.

ගෙදර ගිය මම නාන කාමරයට රිංගා ඉක්මනින් නා අලුත් සුදු කමිසයක් හා සුදු කලිසමක් ඇඟලා ජීප් රථයට නැංගෙමි.

අපි කෙළින්ම ගියේ කොටුවේ හොස්පිට්ල් ස්ට්‍රිට් එක ඉදිරිපස පිහිටි හේමාස් ගොඩනැගිල්ලටය. එය අද කඩා ඉවත් කර වෙනත් ගොඩනැගිල්ලක් තනා ඇත. මේ 1969 අවසාන කාර්තුවයි. එහි ඇත්තේ පළාත් පාලන අමාත්‍ය ආර්. ප්‍රේමදාස මහතාගේ අමාත්‍යාංශයයි.

'මම රංජිත්ට එන්න කිව්වේ, ලේක්හවුස් එකට යවන්න. තාත්තා කියනවා ඔයා පත්තර කලාවට ආසයි කියලා, ඔයාට ගැළපෙන්නේ එතැන'

'ඔව් මහත්තයා (මා කුඩා කල සිට ඔහු ඇමතුවේ මහත්තයා නමිනි) මම දැනටමත් දවස පත්තරයට ලියනවා. ' කලා' පත්‍රයටත් ලියනවා'

'කෝ බලන්න'

තාත්තා ගමන යාමට කල්තියාම මා ලියූ දේ අරන් යන ලෙස කියා තිබුණි.

මා ලියූ ලිපි කපා, ලස්සන කළු පැහැති කඩදාසියෙන් තැනූ ස්ක්‍රැප් පොත අලවා දෙන ලද්දේ අල්ලපු ගෙදර මර්සි අක්කා විසින්ය. එය බලන අයගේ නෙත් සිත් ඇදී යන ආකාරයට ඇය ලිපි අතරින් පතර මෝස්තර අලවා තිබුණි.

'හොඳයි මේක දැන් යවන මහත්තයාට පෙන්වන්න. එයා ලේක්හවුස් එකේ චෙයාර්මන්. රන්ජිත් විජයවර්ධන මහත්තයා ගැන අහලා තියෙනවාද?' ප්‍රේමදාස මහතා ඇසීය.

'අහලා තියෙනවා. ඒ මහත්තයාගේ පින්තූර පත්තරේ වැඩිය යන්නේ නෑ. මීමන ප්‍රේමතිලක මහත්තයා ලියපු පොතක ලියලා තිබුණා 'සරසවිය' පත්තරේ එතුමාගේ සංකල්පයක් කියලා'.

'ඔව් ඒ මහත්තයා තරුණ වුණාට ප්‍රචාරයට අකැමැති කෙනෙක්. ඩී. ආර්. විජේවර්ධන උන්නැහැගේ පුතා' ප්‍රේමදාස මහතා කීවේය.

ප්‍රේමදාස මහතා ඔර්ලෝසුව බැලීය. මේ අතර උණුම උණු කිරි කෝප්ප දෙකක් අපට ලැබිණ.

'දැන් වේලාව හත පහුවෙලා විනාඩි විස්සයි. තව විනාඩි හතළියක් තියෙනවා විජේවර්ධන මහත්තයා ඒ වෙලාවට කන්තෝරුවේ ඉන්නවා. ඔයා කිව්ව වේලාවට විනාඩි 5 කටවත් කලින් ඉන්න ඕනෑ. මෙතැන ඉඳලා ලේක්හවුස් එකට ජීප් එකෙන් යන්න විනාඩි දෙක තුනයි යන්නේ' කී ප්‍රේමදාස මහතා මා දෙස ඕනෑකමින් බැලුවේය.

'මොකද? හරියට කොණ්ඩේ පිරලා නැත්තේ. ඉන්ටවීව් එකකට යන කොට හොඳට හිස පීරලා යන්න ඕනෑ. අවුල් හිස දැක්කාම හිතනවා අවුල් මිනිහෙක් කියලා. අනික පිරිසුදුවට යන්න ඕනෑ. ඔය පෑන හරියට කමිස සාක්කුවේ ගහගන්න. උඩ සාක්කුවේ වෙන මුකුත් දාගන්න එපා. නෑවට හරියට හිස පීරල නෑ' ප්‍රේමදාස මහතා අමුතු පාඩමක් කියා දුන්නේ ඔර්ලෝසුව විටින් විට බලමිනි.

'පනාවක් තියෙනවාද?'

'නෑ'

අසල තිබූ එතුමා භාවිතා කරන නාන කාමරයට කැඳවා ගෙන ගිය ප්‍රේමදාස මහතා මුහුණ බලන කණ්ණාඩිය අසල තිබූ පනාවක් ගෙන මගේ හිස පීරුවේය. තාත්තා සිනාසෙමින් ඒ දෙස බලා සිටියේය. ඔහු එසේ කළේ මා පුංචි කාලයේ සිටම හොඳින් දන්නා හඳුනන, ඔහු වෙනුවෙන් මා පාසල් යන කාලේ ඡන්ද වැඩට උර දුන් නිසාය. ඔහු කළ ගුණ හඳුනන, නිහතමානී පුද්ගලයෙකි. මගේ හිස පීරමින් ප්‍රේමදාස මහතා තාත්තාට අතීත කතාවක් මතක් කළේය.

'මෙයා පුංචි සන්දියේ දඟයා. ඇඩ්මන් අයියට මතකද? මෙයා දර කෑල්ලකින් අයියා කෙනෙකුගේ ඔළුවට ගහලා, හොඳ වෙලාවට මම ඒ වෙලාවේ ආවේ. ඒ ළමයාගේ ඔළුව පැලිලා ලේ ගලනවා. මට එතකොට තිබුණේ මොරිස් මයිනර් කාර් එකක්. අපි අර ළමයා සුලෙයිමාන් හොස්පිට්ල් එකට අරං ගිහින් මැහුම් පහක් දැම්මා.'

මට මේ සිද්ධිය වැඩිහිටියන්ගෙන් අසා ඇතත් මතක නම් නැත. මා හුඟක් කුඩා අවදියේ සිටින්නට ඇති.

'හරි . . . . දැන් හිටියට වඩා ටිකක් හොඳයි. 'ජයසිරි' යයි ප්‍රේමදාස මහතා කිසිවෙකුට කතා කළේය.

ඔහු ප්‍රේමදාස මහතාගේ පුද්ගලික ලේකම්වරයකු වූ ජයසිරි පෙරේරා මහතා (ඔහු මෑතකදී මිය ගිය බව දැනගන්නට ලැබිණ.) සමඟ යළිත් තාත්තාත්, මාත් ජීප් රථයෙන් විනාඩි 2 ක් ඇතුළත ලේක්හවුසියට ගියෙමු.

එකල ලේක්හවුසියේ ආරක්ෂක නිලධාරින් හෝ ආරක්ෂක කපොලු නොවීය. ප්‍රධාන දොරටුවේ සිටියේ කාකි කෝට් ඒකක් හා සුදු සරමක් හැඳ ගත් ආරච්චි කෙනෙකි. මා නිතර ලේක්හවුස් එකට යන නිසා ඔහු හොඳින් දැන හැඳින සිටියේය. ඔහු අපට සභාපතිතුමාගේ කාර්යාලයට කැටුව ගියේය. කාමරය ඉදිරිපිට තිබූ පුටු දෙකක අප හිඳුවා ආරච්චි ජයසිරි පෙරේරා මහතා සමග කාමරයට ගියේය.

විනාඩි කිහිපයකින් මට ආරච්චිගෙන් කැඳවීමක් ලැබිණ. මම අතේ තිබූ ස්ක්‍රැප් පොත අසල පුටුවක තබා දෑත් එක්කොට ආචාර කළේය.

'ගුඩ් ඊවිනිං සර්'

'ගුඩ් ඊවිනිං. වාඩිවෙන්න'

'නම මොකක්ද? එතුමා මුහුණ පුරා සිනාසෙමින් කීවේය.

මම නම කීවෙමි. පාසල තවම ඉගෙන ගන්නවාද ප්‍රශ්න වැලකි. විජයවර්ධන මහතා ඉදිරියේ තවත් පුටුවක මහතෙකු හිඳගෙන සිටියේය. ඔහු සෝමා ධර්මරත්නම් නම් එතුමාගේ මිතුරෙකු බව පසුව දැනගන්නට ලැබිණ. ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදිනී ආනන්දි බාලසිංහම්ගේ සොහොයුරෙකි.

'අපි දෙන්නම රංජිත්ලා' කී විජයවර්ධන මහතා මගේ ස්ක්‍රැප් පොත බලා ටෙලිෆෝනයෙන් කිසිවෙකුට කතා කළේය.

ඉන් පසු ඔහු මා ආරච්චි සමඟ තවත් මහතෙකු ළඟට යැවීය. ජයසිරි මහතා හා තාත්තා මා එනතුරු පහත මාලයේ ප්‍රධාන දොරටුව අසල අසුන් ගත්හ.

'අපි දැන් කොහේද යන්නේ' මම ආරච්චිගෙන් ඇසුවෙමි.

'දිනමිණ කර්තෘ මහත්තයා ළඟට'

'ඇයි විමලසිරි මහත්තයා ගාවට නෙවේද?'

'විමලසිරි මහත්තයා මේ වෙලාවට ගෙදර යනවා. ආරච්චි කී විට මගේ සිතට දුකක් දැනිණි. මා කැමති 'සරසවිය'ට බැඳීමටය.

'දිනමිණ' කර්තෘ ධර්මපාල වෙත්තසිංහ මහතා පත්‍රයක් කියවමින් සිටියේය. ඔහු මට පුටුවක් පෙන්නා වාඩිවීමට සන් කළේය.

මා ගැන තොරතුරු විමසූ ඔහු මෙසේ කීය.

'ළමයා පත්‍ර රස්සාව බොහොම අමාරු දෙයක්. කැප වෙලා ඉගෙන ගන්න වේවි'

'ඔව් සර්'

'රස්තියාදු වෙන්න වෙනවා. රැයක් නෑ. දවාලක් නෑ'

'ඔව් සර්'

'ඇනුම් බැනුම් අහන්න වෙනවා'

'ඔව් සර්'

'මේ රස්සාව ඉක්මනට එපා වෙන්නත් පුවළුන්'

'ඔව්'

'දැන් අර මේසය උඩ තියෙන ඩේලි නිවුස් පත්‍රය අරං ඒකේ එඩිටෝරියල් එකේ මුල් පැරා එක සිංහලට පරිවර්තනය කරන්න කී වෙත්තසිංහ මහතා සීනුව නාද කොට සේවකයකු කැඳවා කඩදාසි ටිකක් මට දෙන්නැයි කීවේය.

මම හැකි තරම් ඉක්මනට එය පරිවර්තනය කොට වෙත්තසිංහ මහතා වෙත ගෙන ගියෙමි.

'තේ එක බීලා ඉන්න' මගේ පරිවර්තනය බලන ගමන් ඔහු කීවේය. ඔහු ද තේ කෝප්පයක් පානය කරයි.

මම තේ බොමින් අවට සිසාරා බැලුවෙමි. ප්‍රවෘත්ති කර්තෘ එඩ්මන්ඩ් රණසිංහ, ආනන්ද වීරවර්ධන, එඩ්වින් ආරියදාස, සිසිර කුමාර මානික්ක ආරච්චි මහතුන් කිසියම් වැඩක යෙදී සිටිති. මා ඔවුන් සමඟ කතාකොට නැතත් දැන සිටියෙමි.

වෙත්තසිංහ මහතා මට යාමට අවසර දුන්නේය. මගේ හිතට මදිය. මා කැමති සරසවියටය.

මම ආරච්චිත් සමඟ යළිත් විජයවර්ධන මහතාගේ කාමරයට ගියෙමි.

'මොකද? සතුටුදැයි' මගෙන් විමසීය.

'සර් මම කැමති සරසවියට. මම හුඟක් ලියලා තියෙන්නේ සිනමාව ගැන'

'ඇයි කලින් නොකිව්වේ. එහෙනං හෙට 11 ට ඇවිත් මාව හම්බ වෙන්න. මම විමලසිරිට කියන්නම්'

පසුදා මම ප්‍රේමදාස මහතා කී ලෙස කොණ්ඩය කපාගෙන නිරවුල්ව විමලසිරි පෙරේරා මහතා හමුවීමට ආරච්චි වෙත ගියෙමි. මා සරසවියේ හඳුනන නියෝජ්‍ය කර්තෘ ලක්ෂ්මන් වික්‍රමසිංහ, සෝමවීර සේනානායක, කුමාරදාස වාගිස්ට හා සුළු වේලාවක් කතා කළේ කර්තෘතුමා ටෙලිෆෝනයෙන් කතා කරමින් සිටි නිසාය.

'යන්න යන්න, ලොක්කා ගාවට. අපි ආවම උදව් කරන්නම්' ලක්ෂ්මන් කීවේය.

'හාමු මහත්තයා එව්වේ' ආරච්චි මා පෙන්වමින් කීවේය.

'මට හාමු මහත්තයා දැන් කතා කළා. මෙයා අපි කලින් දන්නවා. නිතර මෙහේ එනවා නේද?'

'ඔව් අපි ආනන්දේ චිත්‍රපටයක් කළා නිම්වළල්ල කියලා. ඒකේ නිවුස් දාගන්න එනවා. ඇයි ඔබතුමා ඉස්කෝලේ පත්තරේට බ්ලොක්ස් දුන්නේ' මම කීවෙමි.

'මට මතකයි, ඔහොම වාඩිවෙලා දැන් හිතන්න සත්‍යජිත් රායි ලංකාවට ඇවිත් කියලා. රායි ගැන අහලා තියෙනවාද'

'ඔව් රායිගේ පාතර් පංචාලි, අපරාජිතෝ, අපූර් සංසාර් බලලාත් තියෙනවා'

'දැන් හිතන්න මම සත්‍යජිත් රායි කියලා. දැන් දන්න ඉංග්‍රීසියෙන් මගෙන් ප්‍රශ්න අහන්න'

මම ප්‍රශ්න වැලක් අසාගෙන ගියෙමි. මාත්, කුමුදු කුසුම් කුමාරත් සංස්කරණය කළ 'සමීප රූප 'සඟරාවේ රායි හා මාරි ස්ටින් සමඟ කළ සාකච්ඡාවේ ප්‍රශ්න මතකයට ආවේය. මා අසන ප්‍රශ්නවලට කතුවරයා උත්තර නොදෙයි.

'අර මේසේ ඉන්න ලක්ෂ්මන්ව අඳුනනවා නේද?'

'ඔව්'

'එයා ගාවට යන්න' විමලසිරි මහතා ලක්ෂ්මන් තමා වෙත කැඳවා 'චෙයාමන් මෙයාව එවලා' මා ඔහු වෙත භාර කළේය.

මා ලක්ෂ්මන්ගේ මේසය ඉදිරිපස පුටුවේ ඉඳ ගත්තේ ඉබ්බා දියේ දැම්මාක් මෙන් සතුටින්ය.

'කවුද එව්වේ, මිස්ටර් රොබට් සේනානායකද?' ලක්ෂ්මන් ඇසූ ප්‍රථම ප්‍රශ්නය එය විය.

'නෑ . . . ප්‍රේමදාස මහත්තයා'

'අපි ඉස්සෙල්ලාම සම්මුඛ සාකච්ඡාවක් කරලා ලිපියක් ලියමු. කා ගැන ද ලියන්න සතුටු'

'තිස්ස අබේසේකර ගැන'

'හොඳයි අහන්න ඕන ප්‍රශ්න සෝමවීරගෙන් අහගන්න'

සෝමවීර සේනානායකගෙන් මට උපදෙස් ලැබිණ. ඔහු ඉතා ආදරෙන් මට හැම දෙයක්ම කියා දුන්නේය.