|
වින්දනීය සිනමා ප්‍රේමය සඳහා ලබන සතියේ සිට අත්වැලක්
ලබන සතියේ සිට ඉදිරි සති ගණනාව පුරාවටම සරසවිය පුවත්පත හරහා ලොව ශ්‍රේෂ්ඨතම චිත්‍රපට අධ්යක්ෂවරුන් 50 ක් ගැන ලිපි පෙළක් එක දිගට සතියක් පාසා ඔබ හමුවට ගෙන එයි. ශත වර්ෂයකට අධික සිනමා ඉතිහාසයේ ලොව පුරා දස දහස් ගණනක් නිර්මාණශීලී අධ්යක්ෂවරුන් අතරින් 50 ක් තෝරා ගැනීම පහසු කරුණක් නොවේ. එම නිසා අධ්යක්ෂවරයෙක් ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්නේ කෙසේ ද යන කාරණා 4 ක් ඇසුරෙන් එම විශිෂ්ටයින් 50 දෙනා තෝරා ගැනුණේ මෙහෙමයි. මේ 50 ලැයිස්තුවේ ඔබට හමුවන සෑම අධ්යක්ෂවරයෙකුම මේ ප්‍රභේද 4 න් එකකට හෝ කිහිපයකට අයත් වෙනවා. 1. සිනමාව සහ සිනමා කර්මාන්තයේ දියුණුවට නොමැකිය හැකි අර්ථාන්විත, සුවිශේෂීව වැදගත් සහ බලගතු දායකත්වයක් දක්වා තිබෙන අධ්යක්ෂවරුන්. 2. සිනමා දිවිය පුරාවටම ඉහළ ගුණාත්මක අගයක් නොවෙනස්ව පවත්වා ගනිමින් ශ්‍රේෂ්ඨ චිත්‍රපට කිහිපයක්ම තිළිණ කළ අධ්යක්ෂවරුන් (සාමාන්‍යයෙන් ශ්‍රේෂ්ඨ යැයි අවිවාදයෙන් සැලකෙන චිත්‍රපට 3 නිර්මාණය කිරීම විශිෂ්ට සිනමාකරුවෙකු පිළිබඳ ලකුණයි) 3. බලපෑම් කළ හැකි දැක්මක්, දර්ශනයක් සහ පදනම් බිඳිමින් නව නිම්වලලු පුළුල් කළ ශෛලියන් තුළින් අද අප දන්නා පරිදි සිනමාව නිර්වචනය කිරීමට උපකාර කළ අධ්යක්ෂවරුන් 4. චිත්‍රපට, ප්‍රභේද සහ දශක ඡේදනය කරමින් එම සීමා අබිබවා යන පරිදි ස්වකීය නිර්මාණශීලී මුද්‍රාව තබා ඇති අධ්යක්ෂවරුන්.
අක්ක - නගෝ මල්වත්ත පාරට හොරෙන් ගෙනත්
ව්‍යාජ ලෙස සකස් කොට තිබූ අක්කා නගෝ සිනමාපටයෙහි ඩී. වී. ඩී අලෙවි කළ කොළඹ මල්වත්ත පාරේ වෙළෙඳසැල් දෙකක් පසුගියදා වැල්ලවත්ත අපරාධ විමර්ශන අංශය මඟින් වටලනු ලැබිණ. එහිදී අත් අඩංගුවට ගත් වෙළෙඳසල් හිමියන් මේ වන විට ඇප පිට නිදහස් කොට තිබේ. අක්ක නගෝ සිනමාපටයෙහි වර්තමාන අයිතිය ඇත්තේ නව සිනමා අධිපති දමිත් වර්ණකුල මහතාට වේ.
සංගීතවේදීයාගෙන් අවස්ථාවක්
සංගීතවේදී ජයන්ත ගමගේ විසින් නිර්මාණය කිරීමට නියමිත ටෙලි සිතුමක් සහ ගීතමය රූප රචනා සඳහා නවක නළු නිළියන්ට අවස්ථාවක් ලබාදීමට අධ්යක්ෂවරයා අපේක්ෂා කරයි. ඒ වෙනුවෙන් සම්මුඛ පරීක්ෂණයක් මෙම මස 12 වැනිදා කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි සුදර්ශී සංස්කෘතික ආයතනයේදී පැවත් වෙයි.
තිලක කුඩාහෙට්ටිගෙන් සතිය සහ භාවනාව
නිර්වාණ දේශනා, අමරණීය ධර්මය, භාවනා අත්දැකීම් ඇතුළු පොත් රැසක් ලියූ ප්‍රවීණ පරිවර්තක තිලක කුඩාහෙට්ටි පරිවර්තනය කළ ‘සතිය සහ භාවනාව’ කෘතිය පසුගියදා එළිදැක්විණ. මේ කෘතිය තායිලන්තයේ දී භාවනාව ප්‍රගුණ කළ අමෙරිකානු ජාතික ථානිස්සරෝ තෙරුන් පැවැත් වූ ධර්ම දේශනා ඇතුළත් ‘Meditations’ ඉංග්‍රීසි කෘතිය ඇසුරෙන් සිංහලට පරිවර්තනය කර ඇත. ‘සතිය සහ භාවනාව’ සාහිත පොත් පියසෙහි ප්රකාශනයකි.
චන්ද්‍රන් රත්නම්ගෙන් ජාත්‍යන්තරයට තවත් වැඩක්
Solar Eclipse - Depth of Darkness චිත්‍රපටයේ හඳුන්වා දීමේ මාධ්‍ය හමුව පසුගිය සෙනසුරාදා (6) සන්ධ්‍යා භාගයේදී කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේදී පැවැත්විණි. නිෂ්පාදන කාර්යයන්වැඩි කොටසක් ශ්‍රී ලංකාවේ සැලසුම් කොට තිබෙන සෝලා(ර්) ඉක්ලිප්ස්- ඩෙප්ත් ඔෆ් ඩා(ර්)ක්නස් චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු මෙහෙයවන්නේ ලංකාවේ ප්‍රවීනම සිනමාකරුවෙක් වන චන්ද්‍රන් රත්නම් ප්රමුඛෆිල්ම් ලොකේෂන් සර්විසස් සමාගමේ කණ්ඩායමකි. ‘සුර්යග්‍රහණය’- ‘අන්දකාරයෙහි ගැඹුර’ අර්ථය ඇති සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවේ රූප ගත කරන්නට නියමිත මෙම සිනමාපටය ලොව පුරා ජාතීන් 25 කට අයත් ශිල්පීන් විසින් මෙහෙයවනු ලබයි. මෙහි අධ්‍යක්ෂනය ජාත්‍යන්තර සම්මාන ලාභී ප්‍රවීණ අධ්‍යක්ෂකවරයෙකු වන කරීම් ට්‍රයිඩියා විසින් මෙහෙයවන අතර නිෂ්පාදනය කරනු ලබන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ බහරේනයේ නිෂ්පාදකවරු දෙදෙනෙකු විසිනි. මෙහි කතාව ඉන්දියාවේ පශ්චාත් ගාන්ධි ඝාතන සමයේ සිදුවූ විනාශකාරී සමාජ අපරාධ, ආගමික ගැටුම් ගැන හෙලි කරන සිදුවීමක් මූලික වන අතර චිත්‍රපටය ක්‍රියාදාම ගනයේ නිර්මාණයක් වනු ඇති බවයි එහි අධ්‍යක්ෂකවරයා මාධ්‍ය හමුවේ පැවසුවේ. ඉන්දියාවේ එවකට පැවති රැවටීම මුලාව මෙන්ම ප්රජාතන්ත්රවාදය හා සෙකියුලර් රාජ්‍යයක් වෙනුවෙන් කල කැපවීම මේ චිත්‍රපටයෙන් නිරූපනය වන බවයි ඔවුන්ගේ අදහස. සියයට සියයක් ලංකාවේ රමණීය දර්ශන තල වල චිත්‍රපටය රූ ගත කිරීමට තම කණ්ඩායම සූදානම් බවත් කොළඹ, ගාල්ල, මහනුවර ආදී ප්‍රදේශ ඒ සඳහා යොදා ගන්නා බවත්චන්ද්රන් රත්නම් මාධ්‍ය හමුවේ පැවසීය. බොලිවුඩයේ ප්‍රවීණ රංගන ශිල්පී ඕම් පූරි මෙන්ම සුප්‍රකට ඇවටාර් චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට පන පෙවූ ස්ටීවන් ලෑන් මෙහි ප්‍රධාන චරිත අතුරෙන් කිහිපයකට පණ පෙවීමට නියමිතය. මෙම මාධ්‍ය හමුවට චන්ද්‍රන් රත්නම්, ජයන්ත ජයතිලක ප්රමුඛ චිත්‍රපටයේ අධ්‍යක්ෂක කරීම් ට්රියිඩියා කැමරා අධ්‍යක්ෂක, සටන් අධ්‍යක්ෂක ඇතුළු පිරිසක් සහභාගි වුණි. චිත්‍රපටය නියුජෙන් මීඩියා නිෂ්පාදනයක් වන අතර 2017 ජනවාරියේ සිට ලොව පුරා තිරගත කිරීමට නිෂ්පාදක කණ්ඩායම බලාපොරොත්තුවේ.
රිදී තිරයට තරු වරම්
වී. සිවදාසන් අධ්‍යක්ෂණය කිරීමට නියමිත ඔහුගේ නවතම සිනමාපටයෙහි යොවුන් නළු නිළියන් කිහිප දෙනෙකු රිදී තිරයට හඳුන්වා දීමට අධ්යක්ෂවරයා අපේක්ෂා කරයි. මෑතකදී ගත් පැහැදිලි වර්ණ ඡායාරූපයක් සමග අයදුම්පත්‍රයක් 'රංගන වරම' සරසවිය බාරේ, සරසවිය, ලේක්හවුස්, කොළඹ 10 ලිපිනයට එවීමෙන් මෙහි මූලික සම්මුඛ පරික්ෂණයට සහභාගී විය හැකිය. 80 වැනි ජෝති ජන්ම දිනයට සමරු මුද්දරයක් සහ මුල්දින කවරයක්
අසහාය ගායක එච්. ආර්. ජෝතිපාලයන්ගේ 80 වැනි ජන්මෝත්සවය යෙදෙන පෙබරවාරි 12 වැනිදා (හෙට) සමරු මුද්දරයක් සහ මුල්දින කවරයක් නිකුත් කිරීමට එච්. ආර්. ජෝතිපාල පදනම කටයුතු යොදා ඇත. ඒ වෙනුවෙන් වූ උත්සවය හෙට පෙරවරු 10.00ට ගංගාරාම විහාර ධර්ම ශාලාවේදී ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. මීට සමගාමීව මරදාන මාලිගාවත්තේ පිහිටුවා ඇති එච්. ආර්. ජෝතිපාල පිළිරුව අභියස උපහාර උත්සවයක්ද පැවැත්වීමට නියමිත අතර එම අවස්ථාවට සහ සමරු මුද්දරය සහ මුල්දින කවරය නිකුත් කිරීමේ අවස්ථාවට ජෝති රසික රසිකාවන්ට සහභාගිවන ලෙස ජෝතිපාල පදනම ආරාධනාකර සිටියි. 1956 දී සිරිල් පී. අබේරත්නගේ "සුරතලී" චිත්‍රපටයට "සිරියා මේ සාරා" ගීතය ගායනා කරමින් චිත්‍රපට පසුබිම් ගායකයෙක් ලෙසින් සිනමාවට අවතීර්ණ වූ එච්. ආර්. ජෝතිපාල කස්තුරි සුවඳ, තුෂාරා, ස්වීප් ටිකට්, හිත හොඳ මිනිහෙක්, කවුද රජා,හොඳට හොඳයි ඇතුළුව චිත්‍රපට සිය ගණනකට අධික සංඛ්‍යාවකට පසුබිම් ගායනයෙන් එක් වීය. ඇතුළ්වීම තහනම්, සුලලිත සොබනි, සුජීවා, සූකිරි කෙල්ල, අභිරහස, බෝනික්කා, ශාන්ති, සුමිතුරෝ සහ ඔබයි මමයි යන චිත්රපටද ඔහුගේ රංගනයෙන් විචිත්‍රවත් වූයේය.
තෙවැනි වරටත් ‘විජය ගී තරුව’ තෝරයි
විජය කුමාරතුංග අනුස්මරණ සහෘද කලා සංසදය මඟින් තෙවන වරටත් ඉදිරිපත් කරන 'විජය ගී තරුව - 2016' අවසන් මහා තරඟය සහ සම්මාන ප්‍රදාන උලෙළ මෙම මස 16 වන දින ප . ව. 5.30 ට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ආනන්ද සමරකෝන් මැදිරියේදී පැවැත්වේ. ගරු ජනමාධ්‍ය අමාත්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙහි ආරාධිත දේශනය ප්‍රවීණ නාට්‍යවේදී ජයලාල් රෝහණයන් විසින් සිදු කරනු ලබයි. අවසන් වටයට තේරුණු තරගකරුවන් දොළොස් දෙනා අතරින් විජය ගී තරුව 2016 තෝරා ගනු ලැබේ. ක්ලීටස් මෙන්ඩිස් සමඟ ශ්‍රියාණි අමරසේන යන සිනමා ශිල්ප ශිල්පිනියන් විසින් මෙහි ආරාධිත ගීත ගායනා කරන අතර නිවේදන කටයුතු අනුර ශ්‍රීනාත් හෙට්ටිආරච්චි සමඟ සංජීවනී වීරසිංහගෙනි.
‘ජෝති’ සැමරුමක් අතුරුගිරියේදී
හෝකන්දර කලා සිත් රූ කලා පදනම, සිවිල් ආරක්ෂක බල මණ්ඩලය හා අතුරුගිරිය පොලිස් වසම එක්ව සංවිධානය කරන අසහාය ගායක එච්. ආර්. ජෝතිපාලයන්ගේ 80 වැනි ජන්ම දින සැමරුම හෙට (12 වැනිදා) පස්වරු 2.00ට අතුරුගිරිය සමෘද්ධි මන්දිර ශාලාවේදී පැවැත්වීමට නියමිතය. මෙහිදී ජෝති උපහාර ගී ප්‍රසංගයක් පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර ප්‍රවීණ කලාකරුවන් සහ සමාජය සේවකයන් කිහිප දෙනෙකුහට උපහාර පිරිනැමීමක්ද සිදු කෙරේ. මෙය දේශමාන්‍ය රෝහණ කොස්තා, එස්.ඒ.බෙනට්ගේ සංවිධානයකි.
ධර්මරාජ විද්‍යාලයීය සිසුන්ගේ ‘සුසර’ සංගීත ප්‍රසංගය හෙට
විශාරද එඩ්වඩ් ජයකොඩි, විශාරද චරිතා පීරිස් සහ මිත්‍ර කපුගේ ගී ගයන සංගීත ප්‍රසංගයක් මේ මස 13 වැනිදා සවස 6.30ට වයඹ පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙයි. මෙහි සංගීතය මෙහෙය වීම සංගීතවේදී රෝහණ ධර්මකීර්තිගෙනි. ඉදිරිපත් කිරීම ඇතුගල් පුර රොටරි සමාජය විසිනි.
ලෝක සිනමාව හා සිනමා අධ්යක්ෂවරුන්පිළිබඳ වාර්තා වැඩසටහන් පෙළක්
පියෝ ටී.වී 94 - සරණ ටී.වී. නාලිකාවෙන් සෑම සති අන්තයකම අඟහරුවාදා, බදාදා, ප්‍රහස්පතින්දා යන දිනවල රාත්‍රි 7.30ට ලෝක සිනමාව හා සිනමා අධ්යක්ෂවරුන් පිළිබඳ වාර්තා වැඩසටහන් පෙළක් විකාශය වෙයි. මේ සතියේ ඒ ඒ අන්තර්ගතය මෙසේ ය. පෙබරවාරි - 16 ලෙජන්ඩ් ඔෆ් පෙබරවාරි - 17 - ශ්‍යාම් බෙනගල් පෙබරවාරි - 18 චාලි චැප්ලින් - තිලානි
මල් රේණු වරුසාවේ ගී සිසිල අද
සෂිත චන්ද්‍රතිලකගේ ‘මල් රේණු වරුසාවේ’ කුළුදුල් ගී එකතුව එළි දැක්වීම හා ‘මල් රේණු වරුසාවේ’ සංගීත ප්‍රසංගය අද (11 වැනිදා) සවස 6.30ට පන්නල පුරහලේ දී පැවැත්වෙයි. චන්දන ලියනාරච්චි, ශෂිකා නිසංසලා, සෂිත සමඟ ගායනයෙන් එක්වෙති. අරෝස්ටාර් සංගීත කණ්ඩායම මේ ප්‍රසංගයට සංගීතය සපයයි. ළමා චිත්‍රපටයකට ළමයින් අවශ්‍යයි
ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂ සෝමරත්න දිසානායකගේ නවතම ළමා චිත්‍රපටයක් සඳහා අවුරුදු 8 - 18 අතර වයස්වල ළමයින් අවශ්‍ය වී ඇත. ඒ සඳහා ඔබ ළඟදී ගත් ඡායාරූපයක් සමඟ රේණුකා බාලසූරිය, 'සරසවිය', ලේක්හවුස්, කොළඹ 10 යන ලිපිනයෙන් විමසන්න. |