වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 11 වැනිදා බ්‍රහස්පතින්දා




මගේ පුතාගේ තුන්වැනි උපන්දිනය අදයි

මගේ පුතාගේ තුන්වැනි උපන්දිනය අදයි

උරේෂා රවිහාරි

‘උන්නා එක ගංගාවක
රන්වන් පුංචි මාළුවෝ
උන් කී ඒ කතන්දරේ
අක්කේ දැන් අහන්නකෝ’

එදා ඒ කතාව කී කෙල්ල දැන් සුන්දර තරුණියකි. බිරියකි. මවකි. මෙවැනි භූමිකා රැසකට එක්වර පිවිසෙන උරේෂා රවිහාරි තවමත් වෘත්තිය ගායිකාවකි. චිත්‍රපට පසුබිම් ගීතයට මෙන්ම ටෙලි නාට්‍ය තේමා ගීතයට සරිලන ඇගේ මියුරු ස්වරයට පසුගියදා ලැබුණේ ඇගයීමකි. ඒ රාජ්‍ය ටෙලි සම්මාන උලෙළේ දී හොඳම ගායිකාව සම්මානයයි. ඒ ඈ මෑතක දී ලැබූ තවත් එක් ජයග්‍රහණයකි. ඒ පිළිබඳ විමසන්නටත්, කාලයකට පසුව ඇගේ මතක මං පෙතට පිවිසීමේ අදහසින් අපි ඈ සොයා ගියෙමු.

ගී කිරිල්ලියක සේ සැහැල්ලුවෙන් එදා උන් ඇගේ සොඳුරු නිවහනට ම පිවිසි අපට දැනුණේ මීට ටික කලකට පෙර දිනෙක ඒ පරිසරයේ දුටු ස්වභාවය තරමක් වෙනස් වී ඇති සැටියකි. ගෙමිදුල සුන්දර කරන නිල්පැහැති තණ බිස්ස කොණක උණ ශාඛ කිහිපයක් නිදහසේ අහස්කුස සිප ගන්නට මෙන් සැරැසෙයි. ඒ අසල පිහිටි වහලේ පියස්සේ එල්ලා ඇති පහනේ තනා ඇත්තේ කුරුලු කූඩුවකි. ඒ කුරුලු කූඩුව දෙසට නෙත් හෙළාගෙන ම මම උරේෂාගේ නිවහනට ඇතුළු වීමි. එහි වූ අසුනක අප ඉඳගත්තා පමණි.

“දන්නේ ම නැතිව පුතාත් සමඟ නින්ද ගියා.”

උරේෂා එසේ පවසමින් අප අසලට පැමිණියේ සුන්දර සිනහවක් මුවඟට නඟමිනි.

“මේ දවස්වල ඔබ මොනවාද කරන්නේ?”

“මේ දවස්වල අලුතෙන් චිත්‍රපට කිහිපයකටම පසුබිම් ගායනයෙන් සහභාගි වෙන්නට ආරාධනා ලැබුණා. ඒ වගේම මගේ අලුත් ගීතයක් රසිකයන්ට ලබාදෙන්න අවශ්‍ය කටයුතු කරගෙන යනවා. ගිය වසරට වඩා මේ වසරේ ප්‍රසංගවලට ලැබෙන ආරාධනාත් වැඩිවෙලා. ඒ අතර ගෘහස්ථ ප්‍රසංග කිහිපයකටත් සහභාගි වෙන්න සූදානම් වෙනවා. මේ අතර සංදර්ශන වේදිකාවලත් ගීත ගයනවා.”

ඇගේ ස්වරය තාලයකට ගලා යයි. එහි ගැබ්ව ඇත්තේ ගීතවත් ස්වර සංකලනයකි. ඒ ස්වර සංකලනයේ මුසුවෙන් ගැයෙන අලුත් ම ගීතය උරේෂාගේ අනෙක් ගීත මෙන් රසිකයන්ගේ සිත්ගනු නියත ය.

“අලුත් ම ගීතය ආදර ගීතයක් ද?”

“මේ ගීතය ලිව්වේ ශෙහාන් ගලහිටියාවයි. සංගීතය සංඛ දිනෙත්ගේ. එහි පටිගත කිරීම් කටයුතු කරන්නට මේ වනවිට සියල්ල සූදානම් වුණත් තවමත් ගීතය මට අහන්න ලැබුණේ නැහැ. ඒත් මාර්තු මාසයේ මුලදි ඒ අලුත්ම ගීතය රසිකයන්ට රස විඳීන්න පුළුවන්. ඒ ගීතය රස විඳලා ඒ ගැන අදහස් දක්වන්න කියලත් මම ඔවුන්ට ආරාධනා කරනවා.”

ඇගේ නිර්මාණවලට කවදත් ආදරය කරන රසිකයන්ට උරේෂා ආදරණීය ආරාධනාවක් කරන්නී ය. ඒ අතර මගේ දෙනෙත නතර වූයේ සම්මාන පිරුණු රාක්කයක් අසල ය. මීට ටික දිනකට කලින් ඈ ලැබූ හොඳම ගායිකාව ලෙස දිනූ සම්මානය ද ඒ අතර තිබුණේ දිලිහි දිලිහී ය.

“ළඟදි ලැබුණු සම්මානය ගැන මොකද සිතන්නේ?”

“රාජ්‍ය සම්මානය ලැබුණේ හොඳම ගායක - ගායිකාවන් විදියට මට වගේම දුමාල්ටයි. ඒ සඳරුවන් වික්‍රමසිංහගේ ‘රණා’ ටෙලි නාට්‍යයේ තේමා ගීත ගායනයටයි. මෙහි සංගීතය කළේ දර්ශන රුවන් දිසානායකයි. පද අමිල තේනුවරගෙයි. මම බොහොම කැමැත්තෙන් ගැයුව ගීතයක්. ඒ වගේම මම කොහොමත් සඳරුවන් අයියගේ ටෙලි නාට්‍යවලට කැමැතියි. අද යන අනෙකුත් ටෙලි නාට්‍යයත් එක්ක ගත්තොත් වෙනස්ම නිර්මාණයකුයි ඔහු අරගෙන එන්නේ. දර්ශන අයියාගේ සංගීතයත් ඒ තරම්ම සුන්දරයි. ඔහුත් සමඟ මීට පෙර කිහිප අවස්ථාවකදිම මා වැඩ කරලා තියෙනවා. මගේ හඬට දුමාල්ගේ ස්වරයත් අපූරුවට ගැළපුණා.”

උරේෂාට මේ තරගය සඳහා පෙනී සිටින්නට සිදුවන්නේ ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලනී සමඟ ය. ඈ වැනි ගීත කෝකිලාවක පරදා තමාට ජය අත්වේ යැයි ඈ කිසිදිනෙක නොසිතුවා ය.

“ඒ අවස්ථාවේ මොනවගේ හැඟීමක් ද දැනුණේ?”

“ ‘රණා’ ටෙලි නාට්‍යයේ ගීතය මේ සම්මානයට තරග කරන්න තේරුණා කියලා දැනුණාම සතුටක් ඇතිවුණා. මම සිතන්නේ අවසන් වටයට තේරීමත් එක්තරා ජයග්‍රහණයක්. ඒ ජයග්‍රහණය අර්ථවත් කරමින් මට එදා සම්මානය ලැබුණා. ඒ ගැන සතුටුයි. මේ වනවිට සම්මාන දහයකටත් වඩා ගණනක් ලබාගෙන තිබුණත් මා රාජ්‍ය සම්මානයක් ලැබුව පළමුවැනි වතාවයි. එහි ජයග්‍රහණයේ සතුට මට එතැනට වෙලා සමරන්න ලැබුණේ නැහැ. ඒත් සමඟම ප්‍රසංගයකට සහභාගි වීමට යන්න මට සිදුවුණා. මේ සම්මානය මගේ වගේම ‘රණා’ ටෙලි නාට්‍යයේත් ජයග්‍රහණයක්. ඒ ජයග්‍රහණය පසුපස සඳරුවන් අයියා ඇතුළු මේ නිර්මාණයට දායක වුණු සියල්ලන්ම ඉන්නවා. ඔවුන් සියලුදෙනා ම සිහිපත් කිරීමටත් මා මෙය අවස්ථාවක් කර ගන්නවා.”

කෘතවේදීව ඇය සිය නිර්මාණයට දායක වූ අනෙක් අයවත් සිහිපත් කිරීමට අමතක නොකළා ය. ඒ අදහස පවසන මොහොතේ උරේෂාගේ නෙත යොමුව තිබුණේ සම්මාන රාක්කය දෙසට ය. එහි තිබූ සම්මාන අතර සරසවිය සම්මාන කිහිපය ද කැපී පෙනිණි.

“නැවතත් ළඟදිම සරසවිය සම්මාන උලෙළ එනවා”

“ගොඩක් කාලයකට පස්සේ සරසවිය සම්මාන උලෙළ එනවා කියන්නේ සතුටට කාරණයක්. මේ උලෙළේ දි මා සම්මාන තුනක් ලබාගන්න තරම් වාසනාවන්ත වුණා. 2006, 2007, 2008 කියන වසර තුනේදි ම දිගටම හොඳම ගායිකාව ලෙස සම්මාන ලබා ගැනීම මගේ ජීවිතයේ අමතක නොවන සිදුවීමක්. එක්වරක් එක් වසරක හොඳම ගායිකාව ලෙස සම්මානය අරගෙන ආවත් සමඟම අනෙක් වසර සඳහාත් සම්මානය හිමිවුණේත් මටයි. එත් සමඟම නැවත වරක් මා ඒ සම්මානය ගන්න වේදිකාවට නැග්ගා. ඒ සිදුවීම නම් මගේ ජීවිතයේ දි කොහෙත්ම අමතක වන්නේ නැහැ.”

සිය ගායන දිවියට නිවැසියන්ගෙන් මෙන්ම සිය සැමියා වන රුචිර නදීරගෙන් ද උරේෂාට ලැබෙන්නේ නොමඳ සහයෝගයකි. ඔහු අධිකරණ වෛද්‍ය විශේෂඥවරයෙකි.

“රුචිර මට වඩා කාර්යබහුල කෙනෙක්. ඒත් මගේ කටයුතුවලට සහයෝගය දෙන්න එයා ඒ කාර්යබහුල දින චර්යාවේ ඉඩක් වෙන්කර ගන්න අමතක කරන්නේ නැහැ.”

සසේන් ප්‍රවිවේක් පුතු උරේෂාගේත් රුචිරගේත් ජීවිතයයි. කාලයක් පුතා නිසා උරේෂා සිය ගායන දිවියෙන් ද ඈත්ව සිටියා ය.

“පුතා ඇවිදින නිසා ඉදිරියේදි නැවතත් සංගීත අංශයට යොමු වෙන්නද කල්පනා කරන්නේ?”

“මේ මාසේ 11 වැනිදා එනම් අදයි පුතාගේ උපන්දිය යෙදිලා තියෙන්නේ. එදාට පුතාට අවුරුදු තුනක්. පුතාට අවුරුදු තුනක් වන නිසා ඉදිරියේදි වැඩිපුර සංගීත කටයුතුවලට සිත යොමු කරන්නයි මා සිතාගෙන සිටින්නේ. පුතා මගේ අම්මත්, තාත්තාත් එක්ක බොහොම එකමුතුයි. ඒ දෙන්නාටත් එක දවසක් පුතාව නොබලා ඉන්න බැහැ. ඒ නිසා එයාලා ළඟ තියලා මට මගේ නිර්මාණ කටයුතුවලට යන්න පුළුවන්. ඒක මට සහනයක්.”

“පුතා තාත්තා වගේ ද අම්මා වගේ ද?”

“ඒක නම් තවම සිතා ගන්න බැහැ. සමහර වෙලාවට මම පුංචි කාලයේ වගේ. සමහර වෙලාවට අපේ තාත්තාගේ පුංචි කාලයේ හැඩහුරුකම් තිබෙනවා කියලා සිතෙනවා. තවත් සමහර විට මහත්තයා වගේ කියලත් සිතෙනවා. ඒ කොහොම වුණත් එයා සංගීතයට බොහොම කැමැති කෙනෙක්. සිංදුවලට නටන්න බොහොම දක්ෂයා. එයා බොහොම දඟකාරයි. අදටත් එයාට ගීතයේ පද ඔක්කොම ගයන්න බැරි වුණත් ඒ ගීතයේ තාලය අල්ලන්න පුළුවන්. සමහර කවිවල පද අමතක නම් ලාලාලා කියලා හරි එයා ගයනවා. මගේ හඬ පුතා හොඳට හඳුනනවා. කොයි වෙලාවක හරි මගේ ගීතයක් රූපවාහිනියේ හෝ ගුවන්විදුලියේ හරි යනවා නම් පුතා අම්මා.... අම්මා..... කියලා කෑ ගහනවා. එයාට ඒ හැකියාව නම් තිබෙන්නේ අවුරුදු එකහමාරේ විතර ඉඳලා. ඇත්තටම ජීවිතය බොහොම තෘප්තිමත්. එය සුන්දරව ගලාගෙන යනවා.”

උරේෂා සිය සොඳුරු කැදැල්ලේ තොරතුරු අප සමඟ පැවසුවේ ආදරණීය බවක් හදවතේ කොණක හංගාගෙන ය. ඒ ආදරණීය බව සමඟින් ගත කළ සොඳුරු හෝරා කිහිපය අවසානයේ අපි ඈට සමුදුනිමු. ඒ පියගැටපෙළ බැස එන සසේන් පුතාගේ පැමිණීමත් සමඟනි.