වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 11 වැනිදා බ්‍රහස්පතින්දා




දුවට මවක මිස ජීවිතයට වෙන කවුදෝ

දුවට මවක මිස ජීවිතයට වෙන කවුදෝ

ලොකු දුව ගීතා

දයාබර මැණියන් ගැන සිහිපත් කරයි

සම්මානනීය සිනමා නිළියක වන ගීතා කුමාරසිංහගේ ආදරණීය මෑණියන් වූ උදුලා කුමාරසිංහ පසුගියදා ජීවිත රඟ මඬලින් සමුගත්තා ය. දරුවන් අට දෙනෙකු මෙලොවට දායාද කර, මියයනවිට හැත්තෑ අටවැනි වියේ පසු වූ මේ දිරිය මාතාව පිළිබඳ ඇගේ වැඩිමහල් දියණිය ගීතා කුමාරසිංහ පවසන ලද තොරතුරු ඇසුරින් මේ ලිපිය සැකසිණි.

මා සිටින තැන සිට අවට බැලූ කළ බොරැල්ල කනත්තේ පෙනෙන තෙක් මානයක ඇත්තේ සොහොන් කොත් ය. ඒ සොහොන් කොත්වල මුදුන් මත්තෙන් මම අවට වූ පරිසරය දෙස විමසුම් සහගත බැල්මක් හෙළීමි. නේක හැඩවලින් හා නේක වර්ණවලින් යුත් සොහොන් කොත් මත කොටා ඇති අකුරුත්, සේයාරුවත් මගේ නෙතට දිස්වන්නේ අපැහැදිලි ඡායා ලෙසිනි. ඒවා වඩාත් පැහැදිලි වනු වස් මම දෙනෙත දෑතින් පිස දැමීමි. තවත් නොබෝ දිනකින් ඒ සොහොන් අතර සැඟවෙන ඔබේ දෙණ බලන්නට මම යළිත් වරක් හිස එසැවීමි. අපැහැදිලි ඡායාව අතරින් මගේ දෑසේ විද්‍යමාන වූයේ ඔබේ සොඳුරු උවන ය. කුළුණු බර උවන ය.

යළිත් වරක් මම දෙනෙත් විදහා අවට බැලීමි. ඔබ මෙහි ඇරලවන්නට පැමිණි ජනකායෙන් මේ මුළු කනත්ත ම පිරී ඉතිරී ගොසිණි. ඒ අතර මා සමඟ ඔබට ආදරය කරන ඔබගේ අනෙක් දූ - දරුවන්ගේ සෝබර මුහුණු මේ ජනකාය අතර එහාමෙහා යන අයුරු මා බලා සිටියේ හදවතේ නැඟ එන දැඩි ශෝකයෙනි. එමෙන්ම මේ පිරිස අතර සිටින නෑදෑ පිරිසගේත්, හිතවත් සියල්ලන්ගේමත් හේබා ගිය මුහුණු පවසන්නේ ඔබ අප අතැර ගිය වග නොවේ ද? ඒ සිහිපත් වනවිට හදවතට පිවිසෙන ඔබ පිළිබඳ ශෝකයෙන් පෑරෙන සිත සනසා ගන්නට මා හිස් අවකාශය දෙස නෙත් හෙළමි.

එවිට වරින්වර සිතට නැඟෙන නොයෙක් සිතුවිලි මා පෙළයි.

“අක්කේ, අම්මට සනීප නැහැ ආපසු එන්න.”

දින කිහිපයකට ඉහත ඔබ අසනීප වූ පුවත මා සවනත වැකුණේ ඒ අයුරිනි. එවිට මා සිටියේ බෙන්තර ගාමිණී විද්‍යාලයේ තිබුණු උත්සව කටයුත්තකට සහභාගි වී ඇල්පිටිය ප්‍රදේශයට පිවිසීමේ තිර අදිටනෙනි. හදිසියේ ම අසන්නට ලැබුණු ඔබ පිළිබඳ පුවත හෙණ පහරක් විලස මගේ හිස මත රිදුම් දුන්නා ය. නොසිතූ මොහොතක අසන්නට සිදු වූ මේ පුවත මා සිත පුදුමයට පත් කළේ මෙහි පැමිණෙනතුරුත් ඔබ සිටියේ බොහොම හොඳ සනීපයෙන් බැවිනි. පණිවුඩය ලද විගස මා ආපසු ඔබ සොයා පැමිණියේ අසුරු සැනෙකිනි. විගසින් ඇපලෝ රෝහලට රැගෙන ගිය ඔබට නියමිත වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන්නට හැකිවීම මා ලැබූ භාග්‍යයකි.

“අම්මගේ මොළේ ලේ කැටියක් හිරවෙලා.”

ඔබව පරීක්ෂා කළ වෛද්‍යවරුන් පැවසුවේ අප කිසිවකු අසන්නට බලාපොරොත්තු නොවූ වදනකි. ඔබව බේරා ගැනීමට නොපමාව ඔවුහු කළ යුතු සියලු දේ කළහ. එහෙත් දිනෙන් දිනම ඔබගේ තත්ත්වය අසාධ්‍ය වග හෙළිවන විට දැනුණු හැඟීම මේ යැයි කෙසේ නම් ඔබට පවසන්න ද?

අම්මේ,

අප එකිනෙකා මාරුවෙන් මාරුවට ඔබ අසලට ම වී සිටි අයුරු ඔබගේ මතකයේ ලියැවී ඇතිදැයි මම නොදනිමි. එක් දිනෙක මමත්, ධම්මිකාත් ඇඳ දෙපසට වී ඔබගේ දෙඅත් අල්ලා ගෙන සිටි අයුරු මට සිහිපත් වෙයි. එවිට ඔබ අපේ අත් තදින් අල්ලා ගත්තේ යළිත් කිසිදිනෙක අප අතැර නොයන වග පවසන්නට මෙනි. මේ වනවිටත් කිසිවක් පවසන්නට නොහැකිව සිටි ඔබ මියයන මොහොතේ ‘අක්කා.... අක්කා....’ යැයි ජීවත්ව සිටි කළ දී ඔබ මා ඇමතූ නාමයෙන් ඇමතීම මා අද ද පුදුමයට පත්කරයි. මියගිය පසුව වුවද මගේ සුරත, ඔබගේ සුරත මත තැබූ කළ දැනුණු සීතලේ පහස මේ දැනුදු මගේ ගත හිරිගඩු නංවයි. ඔබ අහිමිව යෑම හරියට මගේ සිරුරෙන් එක් පැත්තක් අහිමිව ගියා වැනි යැයි මට හැඟෙයි.

ඒ අහිමිව යෑම වඩාත් දැනෙන්නේ මට නොවේදැයි සිතෙන වාර අනන්ත ය. අප්‍රමාණ ය. මන්ද හදිසියේ ම ඇතිවූ ගැටලුවකට පිළිතුරක් සෙවීමට මට නොහැකි වූ කළ ඔබගේ උකුළේ හිස හොවා ඒ ගැන කතා කිරීම තරම් තවත් සහනයක් වෙත්දැයි මම නොදනිමි. එවිට මගේ හිස අතගාමින් ඔබදෙන ඔවදනේ ඒ සියලු ගැටලුවලට පිළිතුරු ගැබ්ව ඇති වග මම දනිමි. කිසිදිනෙක ඒ පිළිතුරේ ගතානුගතිකත්වයක් මම නොදුටීමි. එතැනින් එහා ගිය නූතනයේ මොඩන් අම්මා කෙනෙකු එහිදී මම, ඔබගෙන් දුටිමි. මෙලෙස මට පිළිතුරු දෙන්නටත්, වෙනදා මෙන් ඔබ උකුළේ හොවා මා සනසන්නටත් ඔබ නොමැති බැව් දැනෙනා හැඟීම තව තවත් මා විස්සෝපයට පත් කරයි.

තවත් වරෙක මගේ පස්වැනි උපන්දිනය දා ඔබ දුන් උපන්දින තෑග්ග අද මෙන් මගේ මතකයේ ලියැ වී තිබෙන්නේ කිසිදා නොමැකෙන ලෙසිනි. කහ පැහැති ගවුමේ ඉදිරිපස සාක්කු දෙකේ උන් ලැවැන්ඩා ගර්ල්ගේ සිතුවම මගේ සිහියට නැඟෙයි. අද ත් ජීවත්ව සිටින, හබුරුගල ගම්මානයේ වෙසෙන ඥාන නැන්දාට පවසා, එදා අම්මේ ඔබ මසාදුන් ඒ සිතුවම මා මියනතුරාවට මට අමතක නොවේ. මන්ද ඒ කාලයක් යනතුරුත් එවැනි සිත්ගත් ප්‍රියතම ගවුම් පොඩියක් මට කිසිදිනෙක හමුනොවුණු බැවිනි. එමෙන්ම උපන්දිනයක දී ඔබගේ සිතේ පුහු ආටෝප කිසිවක් නොවුණු වග මට වැටහෙන්නේ අද ය. උපන්දිනය දා අලුයම ඉදෙන කිරිබතේ සුවඳ මට මේ මොහොතේ ද දැනෙන්නා සේ ය. කිරිපිඬුත්, බුලත් අතක් අරගෙන අපව ද කැටුව පන්සල වෙත දුවන ඔබ එහි වතාවත් ඉටු කරන්නේ උපන්දිනයකට කළ යුත්තේ මෙවැනි උතුම් දෙයක් යැයි අපට සිහිපත් කරමිනි. අද ද උපන් දිනයක් එළැඹුණු කළ ඔබගේ ඒ උගැන්ම අනුව කටයුතු කරන්නට මට සිහිපත් වන්නේ එබැවිනි.

කුඩාකල ඔබ මා නැළ වූ අයුරු මට සිහිපත් කළ එක් අවස්ථාවක් වූයේ මගේ දියණිය උපන් දවසයි.

“පුංචි රුවන් පුංචි රුවන් පුංචි කළේ

ටිකකට මට දෙනවද නුඹෙ පුංචි කළේ”

අද වනවිට වසර ගණනක් ගත වී ඇති ද මේ නැළවිලි ගීතය මගේ මතකයෙන් ගිලිහී නොයයි. මා නැළ වූ ඒ කවිය මගේ දියණිය ද නළවන්නට ඔබ ගැයූ අයුරු මට මේ ඇසෙන්නා වැනි ය. අම්මේ, මිහිරි ලෙස ගැයීමේ හපනියක වූ ඔබ, මා නැළ වූ කාලයේ සිදු වූ සිදුවීමක් පැවසූ අයුරු මගේ මතකයට පිවිසෙන්නේ ඉබේම ය. සුන්දර යුවතියක ලෙස සිනමාවට පිවිසි මා රඟ පෑ ‘ජීවන කඳුළු’ සිනමා පටය හා මේ සිදුවීම බැඳී පවතියි. මෙහි එක් කොටසක දී හන්තානයේ තිබුණු රූගත කිරීමක දී ලිස්සා වැටීම නිසා මට ඇති වූ අනතුරට බෙහෙත් කරන්නට ඔබ මා රැගෙන ගියේ සිංහල වෛද්‍යවරයකු අසලට ය. ඔහු මට නියම කළ පත්තු ඔබගේ අතේ බඳීණු දුටු මගේ සිතට ඇතිවූයේ කුහුලකි.

“මේ ඇඟිල්ල මේ විදියට ඇඳවුණේ ඔයාව නළවලා ම තමයි.”

ඈ පැවසූයේ මගේ සිතේ නැඟි කුහුල සංසිඳුවමිනි. මා නැළවීම නිසා ඇඳ වී තිබුණු ඇඟිල්ලේ ඇති ආබාධයට ඒ තරම් කාලයක් ප්‍රතිකාර නොගන්නට තරම් ඈ අප නිසා කාර්යබහුල වූ බව වැටහෙන්නට මට වැඩි වෙලාවක් නොගියා ය. ඒ සිතුවිල්ලත් සමඟ මගේ හදවතේ හටගත් සිහින් රිදුම මේ දැන් දැනෙන්නා වැනි ය. අවසානයේ ඒ පත්තු බැඳීල්ලෙන් ම අම්මාගේ ඇඟිල්ලගේ ආබාධය සුවවීම සැනසීමට කාරණයක් විය.

මේ අතීත මතකය අතර එක්වරම මගේ සිත දිව යන්නේ බෙන්තර - ඇල්පිටියේ හබුරුගල පිහිටි අපේ මහගෙදරට ය. කාමර පහ, හයක් ඇති මේ නිවෙසේ වූ මැද මිදුල අද මෙන් මට මතක ය. කුඩා දැරිවියක ලෙස එහි ගෙවූ ඒ කාලය තරම් මගේ ජීවිතයේ සොඳුරු කාලයක් තවත් එළැඹේ දැයි මම කිසිදිනෙක නොදනිමි. ඒ එක් දිනෙක රාත්‍රියේ මුළුතැන්ගෙයි සිට මැද මිදුල හරහා කාමරය දෙසට යන්නට මා දැක් වූ දැඩි බිය මගේ සිතට මේ මොහොතේ ද සිහිපත් වෙයි. ඒ බිල්ලන් පිළිබඳ සිතුවිල්ල කුඩා දැරියක වූ මගේ යටි සිතට තදින් කා වැදී තිබූ බැවිනි.

“බිල්ලෙක් ඇත්තේ නැහැ. අර තියෙන්නේ අහසේ හදයි, තරුයි විතරයි. කවුද ඔය වගේ බොරු කියලා ඔයාව රැවැට්ටුවේ.”

එදා ඔබ කියූ ඒ වැකිය අදත් මට කටපාඩම් ය. ඒ නිසා ම දුරු වූ මගේ බිය මතුයම් දිනෙක මා දිරිමත් ගැහැනියක් කළා ය. එදා මෙන් අද ද ඉදිරියට පා නඟන්නට පාර පෙන්වූයේ අම්මේ, ඒ ඔබේ වදන බව මා ප්‍රකාශ කරන්නට දෙවරක් නොසිතමි. කලා කාරියක ලෙස දිගු ගමනක නිරත වීමේ මුල් පියවර තබන්නට මා සූදානම් වනවිට ම මුළු නෑදෑ වරිගයක් ම යුද ප්‍රකාශ කරද්දී මා අසල නොසැලී සිටි පහන් ටැඹවූයේ අම්මේ, ඔබ ය.

වරක් මා කුඩා ළදැරියකව සිටි අවධියේ එකල බෙහෙවින් ජනප්‍රිය වැඩසටහනක් වූ ‘හඳමාමා’ වැඩසටහනට මා යොමු කළේ ඔබ ය. වසර හයක් තරම් කුඩා වයසක සිටි මගේ දක්ෂතා ඔබ මැනවින් හඳුනා ගෙන සිටියා ය. ඒ සඳහා වන පරීක්ෂණයට මා රැගෙන ගියේ ඔබ ය. ඉන්පසුව ඒ වැඩසටහන ඔබ ගමේ ම අය සමඟ රේඩියෝවෙන් ඇසූ අයුරු සිතුවම් පෙළක් සේ මගේ සිතේ ඇඳී ඇත. මේ සිදුවුණු කිසිවකටත් තාත්තාගේ සිතේ තිබුණේ වැඩි කැමැත්තක් නොවේ. විදුහල්පතිවරයකු වුවද අම්මාටත් වඩා කලාවට නෑකම් කිව්වේ තාත්තා ය. ඔහු ඒ යුගයේ ශාන්ති ලේඛාත් සමඟ නාට්‍ය කළ අයෙකි. පිටපත් රචකයෙකි. ‘සිංහල බෞද්ධයා’ පුවත්පතේ උප කර්තෘවරයකුව සිටි බව දිනක් අම්මා කියනු මා අසා තිබේ. එහෙත් වසර පනස් හතරක් වනවිටම, අම්මාගේ උරමත පවුලේ සියලු බර හොවා ඔහු මොලොව හැර ගියේ ය. ඒ වනවිට මා නිළියක ලෙස සිනමාවට පැමිණ හමාර ය.

නිළියක ලෙස සිනමාවට පැමිණීමේ කැමැත්ත වර්ධනය වීමට බලපෑ සිදුවීම වූයේ තාත්තාගේ කොළඹ සිටි අක්කාගේ මැලිබන් නිවෙසේ දී ය. එහි නිතර ආ ගිය අපට දක්නට ලැබුණේ එහි ‘රන්සළු’ චිත්‍රපටය රූගත කරමින් තිබුණු බව ය. එහි උන් පුණ්‍යා හීන්දෙණියගේ රුව හා ඇගේ පැවතුම් ළදැරියකව සිටි මගේ සිතේ ඇති කළේ අපූරු වෙනසකි. ඒ රූගත කිරීම් නොබලා ගමට යෑමට අකැමැතිව මා හැඬූ අයුරු මේ මෑතකදී ද අම්මේ, ඔබ මතකයට නැඟූ අයුරු මට මතක ය. දෛවය කුමන අයුරකින් නිර්මාණය වී තිබුණේ ද යත් පසු කලකදී එහි ප්‍රධාන චරිතය රඟපෑ ටෝනි රණසිංහ සමඟ රඟපාන්නට ද මට හැකියාව ලැබිණි. ඒ දෛවයේ ඇරැඹුම පසුපස මගේ ජීවිතයේ සිටි යෝධ සෙවණැල්ල වූයේ අම්මේ, ඔබ ය.

කනත්තට පැමිණි පිරිසේ එකා, දෙන්නා සෙමෙන් ගමන් කරනු පෙනෙයි. මේ වනවිටත් සැඳෑ අඳුර අවට වෙලා ගනිමින් සිටී. ඒ ඔබ අතැර යන්නට කාලය පැමිණි ඇති වග අපට ඉඟි කරමිනි. ඒ අතීත මතක අතර සක්මන් කරමින් සිටි මම ද ඔබේ මතකය හදවත පත්ලේ සඟවා තබා ගනිමින් ඔබට සමුදුනිමි.