|
අත්තික්කා ගහ උඩ වඳුරු විප්ලවය
අත්තික්කා ගසේ ගෙඩි අනුභවය කිරීමට අයිතිය පවතින්නේ කාටද කියා පළමුව දැන සිටිය යුතුය. ඒ දැන සිටින්නට වඳුරු දේශපාලනය සුළුවෙන් හෝ දැන සිටිය යුතුය. රජු කවුදැයි ටක්කෙටම දැන සිටිය යුතුය. රජුගේ බිසෝවරු සහ පරිවාර ස්ත්‍රීන් ඇතුළු වඳුරු පැටවුන් සියල්ලෝම ගැන දැන සිටිය යුතුය. රැහේ 50ට ආසන්න ප්‍රමාණයක් සිටින විට එය දැන සිටීම එතරම් අපහසු නොවේ. තමන්ගේ සමාජ තරාතිරම අනුව රාත්‍රී නිදා ගන්නා ගසේ තීරණය වන බවද සිහියේ තබා ගත යුතුය. වැසි නොවැටෙන සුව පහසු උඩ අතු මෙන්ම හොඳම පලවැල ලැබීමේ අයිතිය ඇත්තේ තරාතිරමෙන් උඩ අයටය. වැස්සේ තෙමෙමින් නිදන්නට, පහළ අතුවල නොපැසුණු පල මෙන්ම රසින් අඩු කොළ ආදිය ආහාරයට ගැනීමට සිදු වන්නේ තරාතිරමෙන් අඩු වඳුරන්ටය. අත්තික්කා ගස මුදුනේම 'රාජා'ය. ඒ වඳුරු රැළේ නායකයාය. කදිමට කැපූ කොණ්ඩය, පැහැදිලි දෑස සහ තිත් කිහිපයක් සහිත මුහුණ මෙන්ම ප්‍රචණ්ඩකාරී හැසිරීම රාජා ගේ කැපී පෙනෙන ලක්ෂණයි. වඳුරු රැළේ රජු ට සාත්තු සප්පායම් කිරීමට පරිවාර සේවිකාවන් බොහොමයකි. සේවකයෝද , යුද භටයෝද රාශියකි. මුහුණු රතු වඳුරු ළමාතැනීලා තිදෙනා නම් ඔබේ මතකයේ තදින් ම රැඳී සිටින බවට සැකක් නැත. ඒ අයට ඕනෑ දේ ඒ අයට ලැබෙන්නේ 'සීසර් ගේ දේ සීසර්ට දීපල්ලා' කියා කවුරුත් කීමෙන් නොවේ. අනෙකා තලා පෙළා ප්‍රචණ්ඩත්වයෙන් ලබා ගැනීමෙනි. මේ පසුගිය දා සිනමාශාලා වෙත නිකුත් වූ 'මංකි කිංඩම්' චිත්‍රපටයේ වීරයන් ගැනය. මාර්ක් ලින්ෆීල්ඩ් සහ ඇලස්ටයර් ෆොදර්ගිල් අධ්‍යක්ෂණය කර නිෂ්පාදනය කළ 'මංකි කිංඩම්' සිනමාශාලා වෙත නිකුත් වූයේ 2015 අප්‍රේල් 17 වැනිදාය. වෝල්ට් ඩිස්නි ස්ටූඩියෝව සහ මෝෂන් පික්චර්ස් විසින් ලොව පුරා බෙදා හරින ලද 'මංකි කිංඩම්' හි වීරවරිය 'මායා' ය. ඈ ඉන්නේ වඳුරු රැහේ අවසන් ස්ථරයේය. ඈට වයස අවුරුදු 08කි. පහළම ස්ථරයේ ඉන්නා විට එක්කෝ ඔබ අදෘශ්‍යමානය. එසේත් නැත්නම් හිරිහැරයකි. මිනිස් සමාජය තරම්ම සංකීර්ණ මේ වඳුරු සමාජය ඔබෙන් ඉල්ලා සිටින්නේ සම අයිතීන් ය. වඳුරෙකුට උරුම සාමාන්‍ය ජීවිතයකි. 'මායා' ගැහැනු වඳුරෙකු පමණක් ම නොවේ. ඈ හුදෙකලා කැරැල්ලක නිරත වන්නියකි. රාජා විෂයෙහි බය පක්ෂපාතකම් පෙන්වන අතරම ඔහුගේ සෙවනැල්ල යට අකමැත්තෙන් පසුවන්නියකි. මේ හිරිහැරය ඉතා සූක්ෂමය. 'මායා' වැන්නවුන් ඉහළ ස්ථරයේ කුඩාවුන්ගේ පවා හිරිහැර-කරදරවලට ලක් විය යුතුය. ඒවා පහන් සිතින් ඉවසිය යුතුය. රැවුමකින් පවා ප්‍රතික්‍රියා නොදැක්විය යුතුය. ඒ නීතිය මේ වඳුරු රැහේ සම්මතියයි. ගල් කුළක් මත තැනුණු ස්වාභාවික ගල් ලෙන රාජා ඇතුළු රජ පරම්පරාවේ අයගේ නවාතැනයි. වැස්සෙන්, අව්වෙන් සහ සතුරු කරදරවලින් තොර මේ නවාතැන එක් රාජ වංශයක අග නගරය බඳුය. ආහාර සොයා යාමේ ක්‍රියාදාමය සිත් ගන්නා සුළුය. අත්තික්කා ගස උඩ රාජ පරම්පරාවේ ආඩම්බරය සිහිපත් කරවන්නේ මිනිසුන්වය. මැති, ඇමැතියන්වය. සුළු ජීවිත ගත කරන අවශේෂ වඳුරු දාසයෝ භක්තිමත්ව සිටින්නේ ඉඳුල් ලැබෙන තෙක්ය. මායා ගේ අත පතා පැමිණෙන කුමාර් මෙන්ම කුමාර්ගෙන් මායා ආරක්ෂා කරන රාජා ද යළිත් සිහිපත් කරන්නේ මිනිසුන්වය. මේ වඳුරු රැළක කතාවක් නොව මිනිසුන් කණ්ඩායමක් කතාවක් බව මට යළිත් කීමට සිතෙයි. දුරු කතරක සිට වඳුරු රැහැට පැමිණෙන කුමාර්, මායා වෙත කොකම්පාන ආකාරය, රාජා දුටු විට කිසිත් නො වූවා සේ අහක බලාගන්නා ආකාරය සිනහා උපදවයි. පොළොන්නරුවේ නටබුන් දර්ශනතල ලෙස ගනිමින් රූගත කළ 'මංකි කිංඩම්' හි ළයාන්විත පසුබිම්හඬ සපයන්නේ ටීනා ෆේ විසිනි. ඩිස්නි නේචර් කණ්ඩායමේ අටවැනි සිනමාපටය වූ 'මංකි කිංඩම්' හි පසුතලයෙන් කිරි වෙහෙර, රන්කොත් වෙහෙර සහ මැණික් වෙහෙර පෙනී සිටියි. පොලොන්නරුව දුම්රිය ස්ථානය, පොළොන්නරුව නගරයේ වෙළෙඳපොළ ආදිය වරින් වර පෙනී සිටියි. අති දුෂ්කර රූගත කිරීම් බොහෝමයක එකතුවක් ලෙස අවසානයේ පෙනී සිටින මේ සිනමාපටය විසින් ඔබව සිනහ ගස්වයි. ශෝකයටද පාත්‍ර කරයි. තවත් විටෙක අත්‍යවශ්‍ය ත්‍රාසයක්ද ජනිත කරවයි. 'මායා' ගැබ්බර වීමත්, කුමාර් ව රැහෙන් පන්නා දැමීමත්, මායා ට පුත්‍රයකු ලැබීමත් මේ කතන්දරය උඩු-යටිකුරු කරයි. ඉන් පසුව ගෙවෙන ජීවිතයේ ඇති දුෂ්කරබව මෙන්ම පුතු ට කිරි දීමට ආහාර සොයා යාමට ඇයට සිදු වෙයි. අන්තරායකාරී ලෙස වැවට බැස නෙළුම් පොහොට්ටු කඩන මායා අපට පෙන්වන්නේ තම වරිගයාට කදිමට පිහිනන්නට හැකි බවයි. අනතුර දැන ආහාර සොයන ඈ ඇතුළු පහළ ස්ථරයේ කිහිප දෙනෙකු අවසන කබරගොයෙකුට එකෙකු බිළි දෙයි. ඒ ශෝකී මරණය මායා ව තිගැස්සවන අයුරු බැලීමට වටී. අවසන භූමියේ අයිතිය පිළිබඳ ඇති වන සටනින් රාජු ගේ රාජ්‍යත්වය අහිමි වී ඔවුන්ව ටවුමකට පලවා හැරෙයි. මේ ටවුමේ ගෙවන ජීවිතය ද හරිම විචිත්‍රය. අන්සතු දේ ගනිමින් දුරකතන කුළුණක් උඩ රැය පහන් කරමින් කෙටි කලක් දිවි ගෙවන වඳුරු රංචුව යළිත් පොළොන්නරුවට යන්නේ තම උරුමය වෙනුවෙන් සටන් කිරීමටය. හරියට සොලී ආක්‍රමණයක් නිසා වෙනත් පෙදෙසකට පලා ගිය රාජ පරම්පරාවක් වැනිය. මුහුණේ කැපුම් පහර ඇති රාජ්‍ය අල්ලාගත් අලුත් රජා චණ්ඩි පාටය. අණක්-ගුණක් නැතිම සැටියකි. ටවුමේ සිට කඩ කෑම කමින් ශක්තිය උපයා ගෙන මේ යන්නේ අලුත් රජෙකු සමඟය. ඒ කලින් රැහෙන් පන්නා දැමූ කුමාර් ය. අලුත් රජුන් බලවත් වන ආකාරය සහ එක සටනකින් පැරැණි රජුන් නොසලකා හැරෙන ආකාරය යළිත් සිහිපත් වීම වැලැක්විය නොහැකිය. හුදෙකලා කැරැල්ලක කූටප්‍රාප්තිය සිද්ධ වීමට ආසන්නය. මායා, පහළම ස්ථරයේ සිට උඩම ස්ථරයට පැමිණීමට ආසන්නය. අලුත් රජෙකු සමඟ පොළොන්නරුවේ නටබුන් උඩ අලුත් රාජධානියක් පිහිටුවන්නේ කුමාර් ය. දැන් අත්තික්කා ගසේ ඉහළම අත්තේ ගෙඩි කඩා කන්නේ මායා ය. ඇගේ පුත්‍රයා ය. ඒ සියල්ල 'මංකි කිංඩම්'ය. වඳුරු දේශපාලනය ය.
|