|
වෙසතුරු රජුගේ මිරිවැඩි හා රංචාගොඩ ළමයාගේ සෙරෙප්පු
අද පසු වේදිකාවට එකතු වෙන්නේ අපේ නාට්‍ය වංශ කතාවේ විශිෂ්ටයෝ දෙන්නෙකුගේ නාට්‍ය රංගනයට එක් වුණු නළුවෙකුගේත්, නිළියකගේත් අපූරු කතා දෙකක්. නාට්‍ය දෙක තමයි මහාචාර්ය සරච්චන්ද්‍රගේ වෙස්සන්තර ගීතාංග නාටකයත් (1980) දයානන්ද ගුණවර්ධනගේ ගජමන් පුවත (1975) නාට්‍යයත්. අපේ කතා නායකයා ජයලත් මනෝරත්න, කතා නායිකාව චන්ද්‍රා කළුආරච්චි. වෙස්සන්තර නාට්‍යයට නම් මගේ සම්බන්ධයක් තිබුණට අංග රචනයට සම්බන්ධව, ගජමන් පුවතට නම් එහෙම සෘජු සම්බන්ධයක් තිබුණේ නෑ. ඒත් මේ කතා දෙකම ඒ කාලේ ඉඳලා අහල තිබුණු හිනා කතා වුණත් මේ ගැන තවත් සහසුද්දෙන්ම දැනගත්තේ වෙස්සන්තර සැණකෙළියට යන පුරවැසියො අතර හිටපු පුෂ්පා රම්ලනීගෙන් හා ගජමන් පුවතේ ඇලපාත මුදලි නිශ්ශංක දිද්දෙණියගෙන්. මනෝ වෙස්සන්තර රජු වගේම ගජමන් පුවතෙ කටුවානේ මුහන්දිරම්, පුයිඅප්පු, ගජමන්ආරච්චි චරිත රඟපෑවා. වෙස්සන්තර නාටකයේ පුරවැසියන්ට, කරුණා රත්නසීලි, කුමාරි පෙරේරා, කිසාගෝතමී ආදීන් හිටියා. මනෝ රජු වෙන කොට දිද්දෙණිය සක්දෙව් රජු වෙනවා. මාලිනී රණසිංහ, මැණිකේ අත්තනායක, නීල් අලස්, ලක්ෂ්මන් විජේසේකර, චාලි ජයවර්ධන, ෂෙල්ටන් ද සිල්වා, ලාල් කුලරත්න, සමන් බොකලවෙල, ගුණරත්න රංහොටි, නිහාරි සෝමසිරි, යසෝදරා, විල්මන් සිරිමාන්න, නන්දා රත්නතුංග, සේනක පෙරේරා, ප්‍රේමතිලක පේරුකන්ද හා තවත් බොහෝ දෙනා සිටි බව මතකයි. රංහොටිත්, සමන් බොකලවෙලත්, සේනක පෙරේරාත් අද අප අතරේ නෑ. ගජමන් පුවතෙ මනෝ, දිගා, ජයශ්‍රී, නීල්, බිංදුහේවා, රෝහණ බැද්දගේ නළු කණ්ඩායම සමඟ රත්මලී ගුණසේකර, චන්ද්‍රා කළුආරච්චි, නන්දා රත්නතුංග, චිත්‍රා කුමාරි කළුබෝවිල වගේ නිළි පිරිසකුත් හිටියා. වේදිකාවේ රඟපාන කොට තමන්ගේ චරිතයට අදාළ රංග වස්ත්‍ර (ඇඳුම්) අංග රචනය කළාට පස්සේ ඒ ඒ චරිතයට අයිති අනෙක් ආබරණ, පළඳින එක සිරිතක්. රජු, බිසෝ චරිත නම්, ඔටුණු, අසිපත්, මාල, වළලු, මිරිවැඩි වගේ ආබරණ. වෙස්සන්තර නාටකයේ රජු තපසට යන්න පෙර රජෙකුට සුදුසු වස්ත්‍රාභරණයෙන් තමයි සැරසිලා ඉන්නේ. වේදිකාවට යන්න පෙර, නළු නිළියන් තමන් ඇඳ පැළඳ ඉන්න ආභරණ, පාවහන්, අත් ඔරලෝසු ආදිය ගළවල යාම සිරිතක් වුණත් සමහර අවස්ථාවල අමතක වීමෙන් ඒවා පැළඳගෙන ගිහින් ප්‍රේක්ෂකයන්ගේ හිනාවටත් ලක් වෙච්ච අවස්ථා එමටයි. නිකමට හිතන්නකෝ සිංහබාහු කුමාරයා ඔර්ලෝසුවක් පැළඳගෙන ගියොත් කියලා, එහෙමත් නැත්නම් මනමේ කුමාරි නියපොතුවල කියුටෙක්ස් ගාගෙන හිටියොත් කියලා. පාසල් නාට්‍යවලදී නම් මේ වගේ දේවල් අනන්තව සිදු වෙනවා මම දැකලා තියෙනවා. අද කතාවේ පළමුවෙනි සිදුවිම අපි දැක්කේ වෙස්සන්තර කටුගස්තොට සාන්ත අන්තෝනි විදුහලේ රංග ශාලවේදී. වෙස්සන්තර පස් වෙනි ජවනිකාව පටන් ගන්නේ මද්‍රි දේවි හා රජුගේ දෙබසකින්. මද්‍රි දේවිය සංවාදය අරඹනවා. ඔබතුමා ඈත යන්න ඇති නේද ඊයේ රෑ? පිළිතුරු දෙන්න රජු නෑ. වේදිකා පාලකයෝ කො මනෝ කියමින් ඒ මේ අත දුවනවා. සෙන්ට් ඇන්තනීස් රඟහලේ නේපථ්‍යාගාරේ තියෙන්නේ වේදිකාවෙන් බැහැල ගියාම තියෙන බේස්මන්ට් එකේ. මනෝ මොහොතකට කලින් වොෂ් රූම් එකට ද කොහේද ගිහින්. කොහොම හරි දුවගෙන ඇවිත් බිසවට පිළිතුරු දෙනවා. වේදිකාවේ පැති තිර අස්සෙන් ඉන්න අපිට හිනා රජතුමා පැළඳගෙන හිටපු රබර් සෙරෙප්පු දැකලා. මනෝ ඔය ස්ලිපර්ස් ස්ලිපර්ස් කිව්වම අපූරුවට කෙටි වටයක් ඇවිල්ලා සෙරප්පු දෙක වීසි කරලා කිසි දෙයක් නොවුණු විදියට ආපහු රඟපෑවා. නාට්‍යයේ හැටියට මිරිවැඩි නොතිබුණොත් එදා වෙස්සන්තර රජ්ජුරුවෝ රබර් සෙරෙප්පු ජෝඩුවක් මිරිවැඩි විදියට ඇඳගෙන රඟපෑවේ. ගජමන් පුවත ස්වභාවික රංග රීතියෙන් නිෂ්පාදනය වෙච්ච වාර්තා රංගනයක්. ජවනිකා අංක 5 මාතර කඩ වීදිය. තාමත් මාතර යනකොට අපි නූපේ කඩ වීදිය දකිනවා. කඩ වීදියේ වෙළෙන්දෝ, වෙළෙන්දියෝ, විදානෙ, පුයිඅප්පු, ඩිංගිරි මුදලාලි, හැමෝම රංචාගොඩ එනකල් බලාගෙන ඉන්නේ. රංචාගොඩ ළමයා ඔවුන්ගේ ඉල්ලීමට කවි හදල කියනවා. පුයිඅප්පු ඔලොක්කුවට වාගේ රංචාගොඩට මෙහෙම කියනවා. කෝක වුණත් ගජමන් නෝන වගේ රංචාගොඩ ළමය, එළු පාලි සංස්කෘත ඉගෙන ගෙන නෑනේ. රංචාගොඩ ගජමන් නෝනට ඒතරම් කැමැති නෑ. මෙන්න ඇගේ පිළිතුර. අපේ පැත්තේ වැඩිය එළුවො නෑ. ඒක හින්දා අපිට එළුපාලි ඉගෙන ගන්න බැරි වුණා අප්පුහාමි. ඕලන්දක්කාරයා විදානෙ රංචාගොඩ අතරේ සංවාදෙදි විදානෙ මෙහෙම කියනවා. මාරුවෙන්ට ඉස්සරවෙලා මේ රට හූරා කාපුවාට වන්දි ගෙවහල්ලා කියලා. රංචාගොඩ උත්තර දෙන්නෙ මෙහෙමයි. ඕලන්දේසි විතරක් ද වන්දි ගෙවන්න ඕනෑ විදානෙ මහත්තයා එව්වට? පන්දන් අල්ලල ඒ මුවාවෙන් දුප්පත් අපිව සූරාකාපු මුදලි මුහන්දිරම්ල? ඒ මුදලි මුහන්දිරම්ලට පන්දම් කවි ලියාපු මහ ලොකු නෝනලා (රංචාගොඩ අදහස් කරන්නේ ගජමන් නෝනා ගැනයි) ඕලන්දේසින්ට සමාව දුන්නත් ඒ අයට සමාව හම්බ වෙන්නෙ නෑ ලේසියෙන් කියලා මේ අවසාන වාක්‍යය කියලා රංචාගොඩ හයියෙන් තමන්ගේ කකුල පොළොවෙ හප්පනවා. පුදුමෙ කියන්නේ කකුල තදින් පොළවෙ හප්පන සද්දෙ ඇහුණේ නෑ. බැලින්නම් චන්ද්‍රා දුවගෙන ඇවිත් තියෙන්නේ ඇඳගෙන හිටපු බාටා රබර් සෙරෙප්පු දෙක දාගෙන. රංචාගොඩගේ සෙරෙප්පු සීන් එක ගජමන් පුවත මුල් දර්ශනයකදී ලුම්බිණියෙදි අපි දැක්කෙ.
|