වර්ෂ 2015 ක්වූ සැප්තැම්බර් 17 වැනිදා බ්‍රහස්පතින්දා




මම වෘත්තියෙන් ව්‍යාපාරිකයෙක් ආසාවට කලාකාරයෙක්

මම වෘත්තියෙන් ව්‍යාපාරිකයෙක් ආසාවට කලාකාරයෙක්

වසුදා, නේත්‍රාංජලී, රෝස කටු, කවඩි, තෙත් සහ වියළි හා පවනි වැනි ටෙලි නාට්‍යවල රඟපාමින් රංගන ක්ෂේත්‍රයට පැමිණි ඔහු බුද්ධික හසිත නවරත්නය. සහාය වේෂ නිරූපණ ශිල්පියෙකු හා සහාය අධ්‍යක්ෂවරයෙකු ලෙස ද කටයුතු කරන බුද්ධික සමඟ කළ කතාබහකි මේ.

මේ දිනවල කලා කටයුතු කොහොමද?

මේ දවස්වල ටෙලි නාට්‍ය ත්‍රිත්වයක රඟපානවා. හිරු ටී. වී. හි විකාශය වන ‘අදිසි‘ ටෙලි නාට්‍යයේ කොටස් කිහිපයකට සහභාගි වුණා. සිරස ටී. වී. ‘මුතු’ ටෙලි නාට්‍යයේත්, ජාතික රූපවාහිනියේ ‘සඳ විනිවිද’ ටෙලි නාට්‍යයේත් රඟපෑවා.

ඔබේ රඟපෑමට ලැබෙන ප්‍රතිචාර?

අදිසි ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණාට පස්සේ ජනප්‍රියත්වය ටිකක් වැඩි වුණා. ඒ වාගේම සැලකිය යුතු ලෙස ටෙලි නාට්‍යවලට ආරාධනා ලැබුණා.

ටෙලි නාට්‍යවලට පමණ ද ඔබ රංගනයෙන් දායක වෙන්නේ?

එහෙම විශේෂත්වයක් නැහැ. වේදිකා නාට්‍යවල චිත්‍රපටවල රඟපානවා. ප්‍රාදේශීය වශයෙන් දැනට වේදිකා නාට්‍ය දහයක පමණ රඟපාලා තියෙනවා. ඒ අතරින් රාජ්‍ය නාට්‍ය උළෙලේ අවසාන වටය නියෝජනය කළ ‘ආදරය වැඩි නිසා’ යන කෙටි වේදිකා නාට්‍යයේ පවා රඟපාලා තිබෙනවා. සොමි බෝයිස්, සංසුන් නොසංසුන්, සෙව්වන්දි වැනි චිත්‍රපටවල මම රඟපාලා තියෙනවා.

රඟපෑම පමණක් නොව කලක් චිත්‍රපට පිළිබඳ වැඩමුළු, කෙටි චිත්‍රපට උළෙල සංවිධානය කළා නේද?

ඉස්සර වගේම දැනුත් මම වැඩමුළු සංවිධානය කරනවා. ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරු සහභාගී කරගෙන සිනමා වැඩමුළු පවත්වනවා. 2013 වර්ෂයේදී මම ඇතුළු කණ්ඩායමක් ‘සල රූ’ නමින් කෙටි චිත්‍රපට උළෙලක් පැවැත්වූවා. එහි හොඳම චිත්‍රපට තෝරා සම්මාන හා සහතික පත් ප්‍රදානය කළා. ඉදිරියේදීත් මෙලෙස කෙටි චිත්‍රපට උළෙල සංවිධානය කරනවා.

දැනට ක්ෂේත්‍රයට ඇවිත් කොපමණ කලක්ද?

අවුරුදු දොළහක් පමණ වෙනවා.

ඔබ නියැලෙන වෘත්තීය ගැන විෂයබද්ධ හැදෑරීමක් කළාද?

මම මේ ක්ෂේත්‍රයට පැමිණි මුල් කාලයේදීම රූපවාහිනී ගැන, චිත්‍රපට ගැන හැදෑරුවා. මම නියැලෙන ක්ෂේත්‍රය පිළිබඳ ගුණාත්මක හැදෑරීමකුත් සමඟ කටයුතු කිරීම හොඳයි කියන මතයේයි මා සිටින්නේ. ඒ නිසා මම ටෙලිවිව් ආයතනයේ රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය ගැන පාඨමාලාවක් කළා. ජාතික චිත්‍රපට සංස්ථාවේ සිනමා ඩිප්ලෝමාකරණ පාඨමාලාව කළා. ඒ වගේම කොළොන්නාව වෘත්තීය පුහුණු ආයතනයේ ප්‍රවීණ අංග රචනා ශිල්පී ඊබට් විජේසිංහ යටතේ වේෂ නිරූපණ පාඨමාලාව හැදෑරුවා. ජාතික චිත්‍රපට සංස්ථාවේ චිත්‍රපට වැඩමුළු රැසකට මම සහභාගි වෙලා තියෙනවා.

ඔබ වෘත්තියෙන් රංගන ශිල්පියෙක් වීමටද කැමැති?

නැහැ. වෘත්තීමය ලෙස මම ව්‍යාපාරිකයෙක්. මගේ කලාවට තිබෙන කැමැත්ත නිසයි කලා කටයුතුවල නියැලෙන්නේ.

ව්‍යාපාර කටයුතු සමඟ කලා කටයුතුවල නියැලෙන්න පුළුවන්ද?

තරමක් අසීරුයි. රංගන කටයුතු නිසා ව්‍යාපාර කටයුතු අඩාල වෙන අවස්ථාත් තියෙනවා. ඒත් සමබරව කරගෙන යන්න උත්සාහ කරනවා.

මෙතෙක් ආ ගමන් මඟේ අත හිත දුන් අය සිහිපත් කළොත්?

ප්‍රවීණ සිනමාවේදිනී ඉනෝකා සත්‍යාංගනී, අදිසි ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ පරාක්‍රම ඒකනායක, චිත්‍රපට අධ්‍යක්ෂ සුනිල් ටී. ප්‍රනාන්දු හා ප්‍රසන්න විතානගේ, ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ රංජන් ප්‍රසන්න, සහාය අධ්‍යක්ෂ සුනෙත් රසාන්, නිළි රැජිනි මාලිනී ෆොන්සේකා යන මහත්ම මහත්මීන්. ඒ වගේම අම්මා සහ පුංචි අම්මා ඇතුලු මට සහාය වූ සියලු දෙනාටම මේ වෙලාවේ ස්තුතිවන්ත වෙනවා.

ඉදිරි බලාපොරොත්තු?

රංගනය දිගටම කරනවා. දක්ෂ අධ්‍යක්ෂවරයෙක් සමඟ ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කරන්න බලාපොරොත්තු වෙනවා. සිනමා මාධ්‍ය ප්‍රවර්ධනයට ඵලදායි දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේ වේෂ නිරූපණයත් දිගටම සිදු කරනවා.

බුදධිකගේ දුරකථන අංකය 0773744009. ලිපිනය, නො. 68, ධර්මපාල මාවත, රත්නපුර.