|
මෙගා නාට්‍යයක් කරනවා හැබැයි මට ඕනෑ විදිහට
‘තනි අතට යන පාර’ අධ්යක්ෂ ලලිත් රත්නායක
මෙරට වැඩිම සම්මාන ලැබූ ටෙලි සිතුවම වනුයේ අරුංගල්ය. එය ලබාගෙන ඇති සම්මාන ප්‍රමාණය හතළිස් හතරකි. ලලිත් රත්නායක අරුංගල් හි අධ්‍යක්ෂවරයාය. මේ දිනවල ඔහුගේ තෙවැනි ටෙලි සිතුවම වූ තනි අතට යන පාර (One Way) සෑම ඉරු දිනකම රාත්‍රී 8.30 ට ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වෙයි. ලලිත් පෙර අධ්‍යක්ෂණය කළ අරුංගල් සහ තෙත් සහ වියළි සේම තනි අතට යන පාර ද උසස් රසවින්දනයක් ඇති ටෙලි සිතුවමක් බව එය නරඹන බොහෝ දෙනාගේ මතයයි. ඔහු අධ්‍යක්ෂණය කළ පළමු ටෙලි සිතුවම වන තෙත් සහ වියළි ද සම්මාන 26 ක් දිනාගත් බව ද මෙහිදී සඳහන් කරන්නට කැමැත්තෙමු. අද ලලිත් පැමිණ තනි අතට යන පාර ගැන කතා කිරීමට සූදානමින් සිටියි. මේ ඔහු දැක් වූ අදහස් කිහිපයක සංක්ෂිප්ත සටහනකි.
* ලලිත්, තනි අතට යන පාර වෙනස්ම අන්දමේ නාට්‍යයක් කියලා කියන්න පුළුවන්. එහි නම පවා වෙනස්? ඔව්. මෙයට නම තිබ්බේ මමමයි. පිටපතත් මගේ. මානව හිතවාදී ගුණය පවත්වාගෙන කිසිම බාධකයකින් නොසැලී තම අරමුණ කරා යන වෙදදුරෙක් පිළිබඳයි මෙයින් කියැවෙන්නේ. ඉතින් මේ නම යොදන්න හිතුවේ ඒ චරිතයේ තනි අතට යන ගමන ගැන හිතලා. * කොහොමද මෙහි කතා පුවත ඔබේ හිතට එන්නේ? මං මගේ හිතවත් කෙනෙකුගේ වුවමනාවක් මත මානසික රෝහලට යන්න සිදු වුණා. කිහිප ගමනක්ම මං එතනට ආවා ගියා. මට එහිදී නොයෙකුත් මිනිසුන් දැක්කා. අර අපි පිස්සො කියලා කියන්නේ. අන්න ඒ අය. මනස සහ සිතුවිලි අතර තිබෙන සබඳකම ගිලිහී ගොස් තිබෙන නිසයි ඔවුන්ට එහෙම වෙලා තියෙන්නේ. එතැන ඉන්න බහුතරයකට කවුරුවත් නැහැ. සමහර අයව ගෙනත් දාලා පමණයි. ඊට පස්සේ භාරකාරයෝ කිසි කෙනෙක් ඇවිත් නැහැ. මින් සියයට අනූවක් පමණ දෙනා මිය යන්නෙත් මේ රෝහල ඇතුළේ. මේ සංසිද්ධීන් දැකලා මං සංවේගයට පත් වුණා. ඒ අය වෙනුවෙන් නිර්මාණකකරුවකු විදිහට යමක් කරන්න ඕනෑ කියලා හිතුණා. ඒ ඔස්සේ තමයි තනි අතට යන පාර හි කතා වස්තුව මගේ සිතට ඇති වන්නේ. * මෙවන් වූ මාතෘකාවක් යටතේ නාට්‍යයක් නිර්මාණය කළේ මොන අරමුණෙන්ද? මට ඕනෑ වුණා මේ මිනිස්සු ගැන කතිකාවක් ගොඩ නගන්න. අපි ඔවුනට ප්‍රේම කළ යුතුයි. වෙලා තියෙන්නේ ඔවුන්ව කොන් කොට තිබෙන එක. * තනි අතට යන පාර සඳහා ඔබ රංගනයෙන් දායක කරගෙන තිබෙන්නේ නිතර දෙවේලේ පෙනෙන්නට සිටින නළු නිළියන් නෙවෙයි? සාමාන්‍යයෙන් පිටපතක් ලියද්දී මගේ ඔළුවට නළු නිළියෝ මැවෙනවා. මෙහි වෙදදුරාගේ චරිතය සඳහා යටි පෙළෙහි රංගනයක් තිබිය යුතු නළුවකු ගැන දිගු කාලයක් තිස්සේ මා සොයමින් සිටියා. මං එම චරිතය බාර දුන් පුබුදු චතුරංග එයට මනාව පණ පෙව්වා. ඔහු විතරක් නෙවෙයි සංජීව උපේන්ද්‍ර ඇතුළු නිළු නිළියෝ සියල්ල තමන්ගේ වගකීම මනාව ඉටු කළා. මං විශ්වාස කරන නළු නිළියන්වයි මගේ නාට්‍යවලට ගන්නේ. ඔහු හෝ ඇය කොතරම් ජනප්‍රිය ද කියන කාරණය මට අදාළ නැහැ. වැඩේ කළා නම් ඇති. * මේ දිනවල අතිශය ජනප්‍රිය නළු නිළියන් කිහිප දෙනෙක්ම නිතර දෙවේලේ නාට්‍යවලින් අප දකිනවා. අමිල, කාවිංග, මහේෂි, තිසුරි, විශ්ව ඊට උදාහරණ. නමුත් ඔබ ඔවුන්ව මේකට අරගෙන නැහැ? ඒකට ප්‍රධාන හේතුව මං ඔවුන්ගේ රංගන පරාසය නොදැන සිටීම. ඒ වගේම ඔවුන් වැඩ කරන පිළිවෙළ මං දන්නේ නැහැ. මං ඒ අයව වැඩිය දන්නේ නැත්තේ මං ටී. වී. නොබැලීම. * ඒ කියන්නේ මෙගා නාට්‍යවල ඉන්න අය ඔබගේ නාට්‍යවලට නොගන්නා ප්රතිපත්තියක ඔබ ඉන්නේ? නැහැ. එහෙම නැහැ. මෙගා නාට්‍යයක වුණත් හොඳ නළුවෙක් හිටියොත් මං එයාව ගන්න පෙළඹේවි. * ඔබ පළමු නාට්‍යයම සම්මානනීය එකක් කර ගන්නවා. කොහොමද එහෙම වුණේ? මට ආවේණික ක්‍රමයකට නාට්‍ය නිර්මාණය කිරීම එයට හේතුව වන්නට ඇති. මට දැනෙණ දෙයයි මං රූපයට නඟන්නේ. ඒ වගේම මගේ නාට්‍යවල තියෙන රූප රාමු සෙමින් චලනය වන රිද්මයකටයි ගලා යන්නේ. ඒ වගේම නාට්‍යයක සෑම අංශයක්ම උසස් විදිහට වැඩ කටයුතු කරගෙන යනවද කියලා මං හොඳට හොයලා බලනවා. මේ වගේ කරුණු කාරණා මත මගේ නාට්‍යය සම්මාන ලබන්නට නිර්දේශ වෙනවා. * ඇයි ඔබගේ නාට්‍යවල සංගීතයට වැඩි තැනක් දෙන්නේ? ඒක මගේ චොයිස් එක. තෙත් සහ වියළි එකේ සිංදු පවා තිබුණා. මං කැමැතියි සංගීතමය ආකෘති මගේ නාට්‍යවල තියෙනවට. * ඔබ තෙත් සහ වියළි රූපයට නඟන්නේ අදින් අවුරුදු දොළහකට පමණ පෙර. මේ කාලයටම ඔබ නිර්මාණය කරලා තියෙන්නේ නාට්‍ය තුනයි? ඒකට ප්‍රධානම හේතුව මං නාට්‍යවලින් පමණක් යැපෙන්නෙකු නොවීම. මගේ වෘත්තීය වෙළෙඳ දැන්වීම්කරණය. තවමත් මං ඒ ක්ෂේත්රයේ තමයි ඉන්නේ. ඒ අතරතුරදියි ටෙලි නාට්‍ය නිර්මාණය කරන්නේ. * ඒ කියන්නේ ඔබේ ඊළඟ නිර්මාණය දකින්නට තව බොහෝ කලක් යාවි? නැහැ, නැහැ. ඒකට නම් තව කල් යවන්නේ නැහැ. මට හිතුණේ ටෙලි නාට්‍ය ක්ෂේත්රයට වැඩි බරක් දෙන්න. ඒ හින්දා තව නොබෝ දිනකින් ඊළඟ නිර්මාණය ආරම්භ කරනවා. * තනි අතට යන පාර රූගත කරද්දී වෙච්ච අමතකම නොවන අත්දැකීම මොකක්ද? නාට්‍යය රූගත කළේ අප හැමෝම සහෝදර බැඳීමෙන්. අන්තිමේ රූගත කිරීම් ඉවර වෙලා පිරිසට ගෙදර යන්න බැහැ කිව්වා. මං කට්ටියට පිටත්වෙන්න කිව්වට ගියේම නැහැ. මගෙත් එක්ක පහුවෙනිදත් ඉඳලා වැඩ කරලා තමයි නාට්‍ය කණ්ඩායම විසිර ගියේ. ඒක නම් අමතක වෙන්නේ නැහැ. * තනි අතට යන පාර නාට්‍යයේ කොටස් කීයද? හතළිස් පහක් විතර. * ඔබ අතින් කොටස් සීයට වැඩි මෙගා නාට්‍යයක් නිර්මාණය නොවේවිද? මෙගා නාට්‍යයක් කරනවා. හැබැයි මට ඕනෑ විදිහට. * ඒ කිව්වේ? මට එක්තරා චැනල් එකකින් කොරියන් කතාවක් වගේ රජ කතාවක් කරලා දෙන්න කියලා ඉල්ලීමක් කළා. මං ඇහැව්වා බජට් එක කීයද කියලා. එයාලා කියපු ගාන කියන්න ලැජ්ජයි. ඒ මුදලට කරන්න පුළුවන් කතාවේ රජතුමාට අමුඩයක් ඇන්දීම පමණයි. එහෙම අන්දලා රජ පුටුව වෙනුවට මැස්සක් ගහලා තමයි නාට්‍යය නිර්මාණය කරන්න වෙන්නේ. ඒත් එයාලා ඒ සොච්චම් මුදල දීලා බලාපොරොත්තු වන්නේ කොරියන් කතාවක්. එහෙම කරන්න බැහැනෙ. * ඔබේ ටෙලි නාට්‍යය විකාශය වන්නේ සතිපතා. නමුත් ප්‍රේක්ෂකයෝ පුරුදු වෙලා ඉන්නේ දිනපතා නාට්‍ය බලන්න? අන්න ඒක මං වැනි නිර්මාණකරුවෝ මුහුණ දීපු දරුණු ව්‍යසනයක්. මේ වන විට මිනිස්සුන්ව ඒ තත්ත්වයට හුරු කරලා ඉවරයි. නමුත් මං හිතනවා ඒ අතරේ හොඳ රස වින්දනයක් තියෙන අයත් ඉන්නවා. ඒ අය තනි අතට යන පාර බලාවි. * මොනවද අවසන් කොට කියන්න තියෙන්නේ? තනි අතට යන පාර සෙරනිට් එන්ටර්ටේනර් වෙනුවෙන් නිෂ්පාදනය කළ එච්. ඩී. ප්‍රේමසිරි, බන්දුල ඒකනායක, චන්න ප්‍රනාන්දු සහ බණ්ඩාර ඇහැළියගොඩව මතක් කරන්නම ඕනෑ. ඒ අය මට පූර්ණ නිදහස දුන්නා නිදහසේ නාට්‍ය කරගෙන යන්න. ඔවුන්ව මට මුහුරත් උළෙලින් පසුව නැවත හමු වුණේ රූගත කිරීම් ඉවර වුණාට පසුව. එතරම්ම ඔවුන් මාව විශ්වාස කොට මුදල් දුන්නා මට අවශ්‍ය හැටියට නාට්‍ය කරන්න. ඒ නිදහසේ ප්‍රතිඵළ ඉතාම හොඳයි.
|