වර්ෂ 2015 ක්වූ සැප්තැම්බර් 17 වැනිදා බ්‍රහස්පතින්දා




ඉන්දියාවේ රහ්මාන්ට ඉරානයේ  මජීඩ් අන්තවාදින්ගෙන් ‘මරණ’ වරෙන්තු

ඉන්දියාවේ රහ්මාන්ට ඉරානයේ  මජීඩ් අන්තවාදින්ගෙන් ‘මරණ’ වරෙන්තු

ඉන්දියාවේ ක්‍රියාකාරී මුස්ලිම් කණ්ඩායමක් විසින් සංගීතඥ ඒ. ආර් රහ්මාන් සහ සම්භාවනීය ඉරාන සිනමාකරු මජීඩ් මජිඩිහට ෆත්වා වරෙන්තු නිකුත් කර තිබේ. සුන්නි මුස්ලිම් කණ්ඩායමක් වන රාසා ඇකඩමි විසින් මෙලෙස රහ්මාන් සහ මජිඩ් වෙත වරෙන්තු නිකුත් කර තිබෙන්නේ Muhammad : The Messenger of God  (මුහම්මද් : ද මැසෙන්ජර් ඔෆ් ගෝඩ්) චිත්‍රපටය සම්බන්ධයෙනි.

මෙම චිත්‍රපටයට මුහම්මද් නම භාවිත කිරීම සම්බන්ධයෙන් චෝදනා කර සිටින ඔවුන් ඒ හේතුවෙන් චිත්‍රපටය පිළිබඳ විවේචන දැක්වීමේදී මුහම්මද්තුමාට කෙරෙන අපහාස ලෙසින් වැරදි ආකල්පයක් ඇති බව චෝදනා කරනවා. රහ්මාන් සහ මජිඩ් වෙත නිකුත් කර තිබෙන වරෙන්තුව මරණ වරෙන්තුවකට සමාන බව හැඟවෙන අතර නිකුත් කළ පුද්ගලයා අනුව එහි බලවත් බව රඳා පවති. මීට පෙර නවකතාකරුවෙකු මෙන්ම චිත්‍රපට නිර්මාණකරුවෙකු වූ සල්මන් රශ්ඩිහටද වසර ගණනාවක් සැඟවී ජීවත් වන්නට සිදු වූයේ, මෙවැනි වරෙන්තුවක් හේතුවෙනි. එය ඉරානයේ අයතුල්ලා රුහොලා කොමෙනි විසින් 1989 වසරේදී නිකුත් කෙරිණි. The Stanic Verses කෘතිය රචනා කිරීම සම්බන්ධයෙන් රශ්ඩි මෙම වරෙන්තුවට තීන්දු විය.

රාසා ඇකඩමිය සඳහන් කරන්නේ ඉන්දීය රජය වගකීම ගෙන මෙම චිත්‍රපටය ඉන්දියාවේ තිරගත කිරීම තහනම් කළ යුතු බවයි. අභ්‍යන්තර කටයුතු අමාත්‍ය රජ්නාත් සිං සහ බාහිර කටයුතු අමාත්‍ය ශුෂ්මා ස්වරාජ් වෙත ඔවුන් කියා සිටින්නේ ‘මුහම්මද් : ද මැසෙන්ජර් ඔෆ් ගෝඩ්’ චිත්‍රපටය තිරගත කිරීම තහනම් කරන ලෙසයි. රාසා ඇකඩමි නායක සයේඩ් නූරි පවසා සිටින්නේ, ඉස්ලාම් ජනතාව රිදවීම වෙනුවෙන් නීති පියවර ගැනීමටද ඔවුන් සූදානම් බවයි.

දෙවරක් ඔස්කාර් සම්මානයට පාත්‍රවී සිටින රහ්මාන් ඉන්දියාවේ පමණක් නොව ලොවපුරා අවධානය දිනා ගත් සංගීත අධ්‍යක්ෂවරයෙකි. ඔහු සංගීත අධ්‍යක්ෂණය කළ චිත්‍රපට සංඛ්‍යාව දෙසියකට වඩා අධික වේ. ඔහු බෙහෙවින්ම ජනප්‍රිය වූයේ මනිරත්නම්ගේ චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණයෙනි. ‘රෝජා’, ‘බොම්බේ’, ‘ඉරුවාර්’, ‘දිල්සේ’, ‘ගුරු’, ‘තාල්’, ‘රාවන්’, ‘කාදල්’ වැනි චිත්‍රපට සේම ‘ලගාන්’, ‘රන්ගීලා’, ‘මංගල් පාණ්ඩේ’, ‘ජෝදා අක්බර්’, ‘ගජිනි’, ‘ජබ් තක් හේ ජාන්’, ‘කොච්චඩ්යාන්’, ‘රන්ජානා’, ‘හයිවේ’ ආදි වූ අතිශය ජනප්‍රිය සිනමා නිර්මාණ රැසකට පසුබිම් සංගීතය නිර්මාණය කළේය.

චෙන්නායිහි උපත ලද රහ්මාන්ගේ පියා, ආර්. කේ ශේකර් මලයාලම් චිත්‍රපට සංගීත අධ්‍යක්ෂවරයෙකි. කීබෝඩ් වාදනයෙන් ඇරඹි සංගීත දිවියේ රහ්මාන් ඉන්දීය චිත්‍රපට සේම හොලිවුඩ් සහ තවත් චිත්‍රපට රැසකට දායක වෙමින් වර්තමානයේ සංගීත ක්ෂේත්‍රයේ ඉහළ සාර්ථකත්වයක් ළඟා කර ගෙන ඇත. ඉරානීය සිනමාවට විශාල ළෙංගතුකමක් දක්වන ඔහු මජිඩ් අධ්‍යක්ෂණය කළ ‘චිල්ඩ්රන් ඔෆ් ද හෙවන්’ සහ ‘ද කලර් ඔෆ් පැරඩයිස්’ චිත්‍රපට බෙහෙවින් ප්‍රිය කරන්නේය. පසුගිය දිනෙක රහ්මාන් ‘මුහම්මද් : ද මැසෙන්ජර් ඔෆ් ගෝඩ්’ චිත්‍රපටය පිළිබඳ අදහස් දක්වමින් කියා සිටියේ, එය තමන්ට ඉතාම සමීප ලෙසින් දැනෙන බවයි. “එහි කතා තේමාවට මම ඉතාම කැමැතියි. මට එය ළඟම දෙයක් ලෙස හැඟෙනවා. එහි සංගීතයත් බොහොම සැනසිලි දායක ලෙසින් මට දැනෙනවා. මම ඒ වෙනුවෙන් යොදා තිබෙන්නේ එයට උචිතම සංගීතය යි” යනුවෙන් ඔහු පැවසීය. රහ්මාන්ගේ පියා දෙමළ ජාතිකයෙකු වුවන් මව ඉස්ලාම් ආගම අදහන කාන්තාක වුවාය. රහ්මාන්ද සිය පළමු චිත්‍රපටය රෝජාහි සංගීත අධ්‍යක්ෂණයට පෙර ඉස්ලාම් ආගම වැළඳ ගත්තේය.

මේ වනවිට පනස්හය වැනි වියේ පසුවන සිනමා අධ්‍යක්ෂ මජීඩ් මජිඩි කලා ක්ෂේත්‍රයට පිවිසියේ වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයෙනි. ඒ වයස අවුරුදු 14දීය. ඉන්පසුව කෙටි සහ වාර්තා චිත්‍රපට රැසක් නිර්මාණය කළ ඔහුගේ ප්‍රථම වෘතාන්ත චිත්‍රපටය වූයේ, Badud (1992) චිත්‍රපටය යි. ඉන්පසුව Father, Children of Heaven, The Color of Paradise, Baran, The Willow Tree, Song of Sparrors  වැනි චිත්‍රපට රැසක් අධ්‍යක්ෂණය කළේය. 1998 වසරේදී අධ්‍යක්ෂණය කළ Children of Heaven ඇකඩමි සම්මාන උළෙලේ හොඳම විදෙස් චිත්‍රපටය වෙනුවෙන් නාම යෝජනා ලැබීය. එය ඇකඩමි සම්මාන උළෙල නියෝජනය කළ ප්‍රථම ඉරාන චිත්‍රපටය යි. 1999 වසරේ අධ්‍යක්ෂණය කළ The Color of Paradise  චිත්‍රපටය මොන්ට්‍රියල් සිනමා උළෙලේ හොඳම චිත්‍රපටය ලෙසින් සම්මාන ලැබු අතර එම වසරේ ලොව නිර්මාණය වූ හොඳම චිත්‍රපට 10 අතරටද ඇතුළත් විය.

මජීඩ් මජිඩි අධ්‍යක්ෂණය කළ ‘මුහම්මද් : ද මැසෙන්ජර් ඔෆ් ගෝඩ්’ චිත්‍රපටය, චිත්‍රපට ත්‍රිත්වයකින් යුතු නිර්මාණ පෙළක පළමු වැන්නයි. එය ඉරානියානු ඉස්ලාමීය වීර චිත්‍රපටයකි. අධ්‍යක්ෂ මජීඩ් මජිඩි සහ කම්බුසියා පාර්තෝව් විසින් එහි තිරරචනය කර තිබේ. 6 වැනි ශත වර්ෂය පසුබිම් වූ මෙහි කතාව ඉස්ලාමීය අනාගත වක්තෘ මුහම්මද්ගේ ළමා කාලය වටා ගෙතී ඇත. මේ වෙනුවෙන් පසුතල වී තිබෙන්නේ, ටෙහෙරානය ආශ්‍රිත ප්‍රදේශ සහ දකුණු අප්‍රිකාවේ ස්ථාන කිහිපයකි. ‘මුහම්මද් : ද මැසෙන්ජර් ඔෆ් ගෝඩ්’ චිත්‍රපටය ඉරානයේ මෙතෙක් නිෂ්පාදනය වූ චිත්‍රපට අතරින් ඉහළම පිරිවැයක් දරා නිම කළ චිත්‍රපටයද වේ. අමෙරිකානු ඩොලර් මිලියන 40ක් ඒ වෙනුවෙන් වැයකර තිබේ. මිනිත්තු 171ක් පුරා දිවෙන එය පර්සියානු, අරාබි සහ ඉංග්‍රීසි භාෂාවලින් නිකුත් කර ඇත. පසුගිය අගෝස්තු 27 වැනිදා මොන්ට්‍රියල් ලෝක සිනමා උළෙලේදී එය තිරගත වීම ආරම්භ කළේය.

‘මුහම්මද් : ද මැසෙන්ජර් ඔෆ් ගෝඩ්’ චිත්‍රපටයට ඉරාන ජාතික සිනමා විචාරකයන්ගේ සාර්ථක පැසසුම් ලැබී ඇත. මුස්තාපා සෙයා ඩබාබ් නම් විචාරකයා පවසන්නේ, මෙම චිත්‍රපටය සඳහා වර්ණ සහ ආලෝකකරණය විශ්මයජනක අයුරින් යොදා ගෙන ඇති බවයි. එමෙන්ම ඇතැම් විචාරකයන් මේ වෙනුවෙන් අසාර්ථක බව හඟවන ප්‍රතිචාරයන්ද පළ කර ඇත. සුන්නි මුස්ලිම් රටවල් බලකර සිටින්නේ මෙම චිත්‍රපටය තිරගත නොකරන ලෙසයි. එසේම මෙම චිත්‍රපටයේ ඇතැම් ස්ථානවල මුහම්මද්තුමාගේ මුහුණ සහ සිරුර දැක්වීම ලෝක මුස්ලිම් සංගමයේද උදහසට ලක් වී තිබේ.