වර්ෂ 2015 ක්වූ සැප්තැම්බර් 17 වැනිදා බ්‍රහස්පතින්දා




විජය චිත්‍රාගාරයේ උපකරණ දඬු මුගුරුවලින් පහර දී කඩා බිඳ දැම්මේ මගේ ඇස් ඉදිරිපිට

විජය චිත්‍රාගාරයේ උපකරණ දඬු මුගුරුවලින් පහර දී කඩා බිඳ දැම්මේ මගේ ඇස් ඉදිරිපිට

සංස්කරණ ශිල්පී ඩබ්ලිව්. ඩී. කේ. රූබන්

ආරම්භක සිනමාවේ යම් දසුනක් එකම කෝණයක සිට එක එල්ලේ රේඛීය ක්‍රමයට රූපගත කොට එය ජනතාවට පෙන්වීය. 1903 මෙහි වෙනසක් සනිටුහන් කරමින් වෘත්තාන්තයක් ඉදිරිපත් කිරීමට කෝණ කිහිපයකින් කැමරාවට හසු කර ගත් ජවනිකා අනු පිළිවෙළකට අමුණා ගනු ලැබීය. සංස්කරණ රීතිය සිනමා ගත වූයේ ඉන් ඉක්බිතිවය. මේ අනුව සිනමා නිර්මාණයකට තිරයෙන් පිටුපස ප්‍රධාන ශිල්පීන් තිදෙනෙක් අවැසි විය. එනම් මෙහෙයවීම නැතිනම් අධ්‍යක්ෂණය, රූපගත කිරීම නැතිනම් කැමරාකරණය හා ජවනිකා පෙළ ගැස්සවීම නැතිනම් සංස්කරණය වශයෙනි. ඔවුනගෙන් සංස්කරණ ශිල්පියා එක් පැත්තකින් බලන විට අධ්‍යක්ෂවරයාගේ සෙවණැල්ලක් බඳුය.

ලෝක සිනමාවේ කොයි හැටි වෙතත් දේශීය සිනමාවේ මෙවන් ශිල්පීන් සංඛ්‍යාත්මකව කිව හැකිය. ඒ අතරින් දැනට සිටින පැරැණිතම ශ්‍රී ලාංකික චිත්‍රපට සංස්කරණ ශිල්පියා සොයා යද්දී ඔහු හමු වූයේ පන්නිපිටියේ පැලැන්වත්ත ප්‍රදේශයෙනි. අදටත් නීරෝගි සුවයෙන් සිටින ජ්‍යෙෂ්ඨතම සංස්කරණ ශිල්පියා ඔහු යැයි කීවොත් ඊට කිසිවකුට එරෙහි විය නොහැකිය. ඉකුත් දා සිය 84 වෙනි විය සැමරූ ඔහු නමින් ඩබ්ලිව්. ඩී. කේ. රූබන්ය. අපිට ඔහු රූබන් අයියාය.

පළමුවෙන්ම අපේ කතාබහේ ප්‍රවේශයක් හැටියට ඔබ ගැන වගතුග ටිකක් කියන්න පුළුවන්ද?

මගේ පියා කැටයම් කලාවට දක්ෂයෙක්. අපේ පවුලේ වෙන කාටවත් කලාව පිහිටලා නැහැ. මගේ වයස ඉකුත් සැප්තැම්බර් 07 වෙනිදාට අවුරුදු 84 පිරුණා. පන්නිපිටිය පැලැන්වත්ත ප්‍රදේශයේ ඉපදුනේ ඩී. කේ. වැලිවත්ත නමින්. ඒ කියන්නේ දොන් කුමතේරිස් වැලිවත්ත. ඉගෙන ගත්තේ ඇරැව්වල විද්‍යාලෝක විද්‍යාලයෙන්.

එතකොට ඩී. කේ. වැලිවත්ත කොහොමද ඩබ්ලිව්. ඩී. කේ. රූබන් වුණේ?

ඒක නම් රසවත් කතාවක්. සිනමාස් සමාගමට සම්බන්ධ වුණ වෙලාවේ පත්වීමේ ලිපිය ලියන්න මගේ නම ප්‍රධාන කළමනාකාරවරයා ඇහැව්වා. ඔහු ද්‍රවිඩ ජාතිකයෙක්. ඔහුට වැලිවත්ත හරියට උච්චාරණය කරන්න බැරිව ගියා. ඒ සැරේ ඔහු මගෙන් විමසුවා වෙන නමක්. මට ගෙදර ආදරයට කියන නම කිව්වා. එය ඉතාමත් හොඳ බව පවසා මුල් නමේ ද කොටස් එකතු කොට ඩබ්ලිව්. ඩී. කේ. රූබන් කියා ලියා ගත්තා. එදා පටන් වැලිවත්ත රූබන් වුණා.

එහෙම නම් ඔබේ මුල්ම රැකියාව ආරම්භ වන්නේ සිනමාස් සමාගමෙන්ද?

මුල්ම ජීවන වෘත්තීය හැටියට මම මහරගම නගරයේ සිල්ලර කඩයක් සමඟ ආපන ශාලාවක් පවත්වා ගෙන ගියා. ඔය අතරේ සිනමාව කෙරෙහිත් දැඩි ඇල්මක් හිතේ මෝරා එමින් තිබුණා. මේ නිසාම හිතවතුන්ගේ මාර්ගයෙන් සිනමාස් අධිපති කේ. ගුණරත්නම් මුණ ගැසී එහි රැකියාවකට පත් වුණා. 1951 සැප්තැම්බර් 10 වෙනිදා පටන් සිනමාස් කාර්යාලයේ මාසයක් පමණ ලිපිකරුවකු හැටියට වැඩ කෙරුවා. ඊට පස්සේ මගේ ඉල්ලීමකට කන් දුන් පාලක පක්ෂය සහාය චිත්‍රපට පිටපත් පරීක්ෂක ලෙස පත්වීමක් දුන්නා. ඒ වන විට සිනමාස් සමාගමේ චිත්‍රපට ගබඩා කර තිබුණේ මහරගම අනූෂා ගොඩනැගිල්ලේ. එම චිත්‍රපට පිටපත්වල තත්ත්ව පරීක්ෂාව තමා මගේ කාර්යය වුණේ. එහිදී ප්‍රදර්ශනයට සුදුසු නම් Good කියාත්, ප්‍රදර්ශනයට සාමාන්‍ය තත්ත්වයෙන් සුදුසු නම් Fair හෝ Removeble කියාත්, ප්‍රදර්ශනයට නුසුදුසු නම් Damage කියාත් සඳහන් කළ යුතුයි. මේ තනතුරේ ප්‍රධානියා වශයෙන් 1958 ස්ථිර කළා. ඔය කාලයේ චිත්‍රපට ගබඩාව කොළඹ බාබර් වීදියට ගෙන ගියා. එහි එක් පැත්තක සිනමාස් සමාගමේ රසායනාගාරය පවත්වාගෙන ගියා.

ඔබට සංස්කරණ ශිල්පියකුවීමට අවස්ථාව උදා වුණේ කොහොමද?

සංදේශය චිත්‍රපටය සිනමාස්ගේ දැවැන්ත නිෂ්පාදනයක්. ඔය චිත්‍රපටයේ සංස්කරණ ශිල්පියා ටයිටස් තොටවත්ත. ඔහුට සහායකයෙක් වුවමනා වුණා. ඊට නිර්දේශ වුණේ මාව. චිත්‍රපට පිටපත් තත්ත්ව පරීක්ෂකවරයකු හැටියට ලබා තිබුණ පළපුරුද්ද හා අත්දැකීම් ඊට විශේෂ වුණා. රජයේ චිත්‍රපට අංශයෙන් කුලියට ගත් සංස්කරණ යන්ත්‍රයකින් මුලින් වැඩ කළා. එය මාස තුනකින් කැඩුණා. ඉන් පස්සේ නවජීවන චිත්‍රාගාරය සංස්කරණ කටයුතුවලට යොදා ගත්තා. එහිදී සංදේශය චිත්‍රපටය සඳහා රූප ගත කළ දළ සේයා පට අඩි 1,25000 පමණකින් චිත්‍රපට කතාව ගෙතීමට යෝග්‍ය ජවනිකා අඩි 16,000 සොයා ගත්තා. අවුරුද්දකට කිට්ටු කාලයක් චිත්‍රපටයේ වැඩ කළා.

සංදේශය චිත්‍රපටයේ වැඩ නිමවීමෙන් අනතුරුව ඔබේ ඉදිරි වෘත්තීය කටයුතු කෙබඳු තත්ත්වයකට පත් වුණාද?

සංදේශය තිරගත වුණේ 1960. ඔය කාලයේ සිනමාස් සමාගම තමන්ටම චිත්‍රාගාරයක් ඉදි කිරීමට සැලසුම් කළා. ඒ අනුව හැඳල ප්‍රදේශයේ විජයා නමින් එය 1962 විවෘත කෙරුවා. විජය නමින් වඩාත් ප්‍රසිද්ධියට පත් එය සියල්ලෙන් පරිපූර්ණ චිත්‍රාගාරයක්. එහි සංස්කරණ මැදිරි භාරකරු හැටියට මට උසස්වීමක් ලැබුණා. මෙහි සංස්කරණ කටයුතු සඳහා පැමිණි ප්‍රවීණයන්ගෙන් වගේම දක්ෂ ඉන්දීය අධ්‍යක්ෂවරුන්ගේ ආභාසය මට උකහා ගැනීමට ලැබුණා. ඒ අතරේම සංස්කරණයටත් අත්වැලක් ලබා දුන්නා.

ඔබ තනිවම සංස්කරණය කටයුතු කළ මුල්ම චිත්‍රපටය මතකද?

සිනමාස් නිෂ්පාදනයක. චිත්‍රපටයේ නම අල්ලපු ගෙදර. තෝරා ගත්තේ අධ්‍යක්ෂ එම් මස්තාන් සර්. ඊට පසු ඔහුගේම සූර චෞරයා, අට වෙනි පුදුමය, ආත්ම පූජා යන චිත්‍රපටත් සංස්කරණය කළා. නමුත් මට විජය චිත්‍රාගාරයේ ප්‍රධාන සංස්කරණ ශිල්පී තනතුරේ පත්වීම් ලිපිය ලැබුණේ 1971 නොවැම්බර් 01 වෙනිදා. මම අවසන් වරට සංස්කරණය කළ සිනමාස් චිත්‍රපටය ඔන්න මාමේ කෙල්ල පැනපි. අධ්‍යක්ෂවරයා ලෙනින් මොරායස්.

ඔබ සිනමාස් සමාගමෙ ස්ථිර සේවකයකු නිසා පිටස්තර නිෂ්පාදනවලට සම්බන්ධවීමට අවකාශ ලැබුණාද?

ඇයි නැත්තේ. නීල් රූපසිංහගේ චිත්‍රපට හතත්, සුනිල් ආරියරත්නගේ චිත්‍රපට හතරක් හා බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නගේ, ජෝ මයිකල්ගේ, අරුණ ශාන්තිගේ, දයානන්ද රොඩ්රිගෝගේ, නිහාල් ඒ. ජයසිංහගේ, ඊ. රත්නම්ගේ, හර්බට් රංජිත් පීරිස්ගේ, ගාමිණී ෆොන්සේකාගේ චිත්‍රපට එක බැගින් සංස්කරණය වුණේ මගේ අතින්. කහ බළල්ලු තවත් චිත්‍රපටයක්.

සිනමාවේ රැඳී සිටි කාලවකවානුව ගැන පෙරලා සිහිපත් කරන විට ඔබ තෘප්තිමත්ද?

ඇත්තෙන්ම ඔව්. එදා සිනමා ශිල්පීන් අතර සුහද බැඳීමක් පැවතුණා. දුකේදීත්, සැපේදීත් එකිනෙකා වෙනස් වුණේ නැහැ. කතා කළේ ළෙන්ගතු සහෝදරත්වයෙන්. වැඩිහිටි නළු නිළියන්ට ලැබිය යුතු ගෞරවය ලබා දුන්නා. මෙය ඉන්දියාවෙන් ලැබුණු ආභාසයක් කියලා මට හිතෙනවා.

ඔබේ සිනමා දිවියේ බිඳ වැටීම නැතිනම් පසුබෑම ඇරැඹෙන්නේ කෙසේද?

මගේ ජීවිතය පුරාවට දරාගත නොහැකි දුක්ඛිත කාලයට මුල පිරුවේ 83 ජූලි මාසයේ දී. උග්‍ර ජාතිවාදී කලබල සමයේ මගේ ඇස් පනාපිට විජය චිත්‍රාගාරයේ උපකරණ දඬු මුගුරුවලින් පහර දී කඩා බිඳ දැම්මා. ඒ වේදනාව කියා නිම කරන්න බැහැ. ප්‍රදේශයේ ජනතාව ජාතික අපරාධයක් කරන්න එපා යැයි බැගෑපත් වෙද්දී පවා ප්‍රදේශයෙන් පිට පිටස්තරයන් චිත්‍රපට ගබඩාවට ගිනි තැබීම අමතක කරන්න මම මියැදෙන්න ඕනෑ. එදා ගින්නෙන් දැවී අළු වී ගියේ පොදු ජනතාවගේ සිනමා රස වින්දනයයි. ඊටත් වඩා මේ අවාසනාවන්ත සිදුවීම නිසා සහාය අධ්‍යක්ෂවරයෙක් හෘදයාබාධයකින් මිය ගියා. කැමරා අංශයේ කිහිප දෙනෙක් මානසික රෝගීන් බවට පත් වුණා.

විජය චිත්‍රාගාරයේ චිත්‍රපට ගබඩාව ගිනි තියද්දී එහි ප්‍රදර්ශිත හා ප්‍රදර්ශනය නොකළ චිත්‍රපට කොපමණ තිබුණාද?

සංඛ්‍යාත්මකව කියන්න අපහසුයි. සිනමාස්ගේ චිත්‍රපට සියල්ලම වගේම මම වැඩ කරමින් සිටි අලුත්ම චිත්‍රපට තුනක් තිබුණා. එකක් මායා මන්දිර. ජනප්‍රිය පාතාල භෛරවී දෙමළ චිත්‍රපටය ඇසුරෙන් නිර්මාණය කළ එහි නිෂ්පාදන කටයුතු අවසන් අදියරේ පැවතියා. අග්‍රා චිත්‍රපට සමාගමේ පතිභක්ති හා තවත් චිත්‍රපටයක් ද ඒ අතරේ තිබුණා. එස්. රාමනාදන්ගේ උම්මග්ග ජාතකය, ධර්මසේන පතිරාජගේ සිර කඳවුර, ෂෙල්ටන් සහ කාන්ති ජාතිවාදී ගිනිදැල් අතරින් දැවී ගිය අගනා චිත්‍රපට කිහිපයක්.