|
ජෝ මහත්තයා තමයි මාව ගෙනාවේ
බර්ටි නිහාල් සුසිරිපාල
ක්‍රිෂ්ටි ෂෙල්ටන්ගේ පාවඩ ටෙලි නාට්‍යය රූගත කළේ කුරුණෑගල කුලියාපිටිය ප්‍රදේශයේ. පාවඩ ටෙලි නාට්‍යයේදී ජෝ අබේවික්‍රමයන් වළව්වක ජීවත්වන ප්‍රභූවරයෙක්. මේ කතාවේ ඔහුගේ තිරික්කලය දක්කන්න කෙනෙක් ඕනි වුණා. ඒකට කොළඹින් නළුවෙක් ගිහින් තිබුණා. කොහොම කොහොම හරි උත්සහ කළත් ඔහුට කරත්තය දක්කන්න නම් බැරි වුණා. මේ කාර්යය හරියට කරන්න පුළුවන් කෙනා ගමෙන් හොයා ගන්න ඕනි බව ජෝ අබේවික්‍රමයන් හොඳින් තේරුම් අරන් තිබුණා. ඒ වෙනුවෙන් යැවූ පණිවුඩයට අනුව පැමිණියේ කලින් ටෙලි නාට්‍ය වගේම වේදිකා නාට්‍යවලත් දස්කම් දැක්වූ නළුවෙක්. මේ ආරාධනයෙන් පැමිණි ගමේ නළුවාට කරත්තයෙන් ගම වටේ රවුමක් යන්න ජෝ මහත්තයා යෝජනා කළා. පොඩි පාරක ටික දුරක් ගිය ජෝ මහත්තයාට ආපහු නවාතැනට එන්න ඕනි වුණා. ඉතින් අර ගමේ නළුවා කරත්තයෙන් බැහැලා බොහොම පරෙස්සමට හරකා මෙල්ල කර ගෙන කරත්තෙත් හරවාගෙන අපසු ටෙලි නාට්‍යය රූගත කෙරුණු වළව්වට ආවා. ආපු ගමන් කරත්තෙන් බැහැපු ජෝ මහත්තයා කිව්වේ, “මිනිහා ඉන්ටවීව් එක පාස්” කියලයි. එදා ඒ කරත්තේ දැක්කුවේ බර්ටි නිහාල් සුසිරිපාල. මේ දවස්වල සත් පතිනි, රන් දම්වැල් ටෙලි නාට්‍ය වලින් ඔබට සමීප ඔහු රංගන ක්ෂේත්‍රයට අවතීර්ණ වුණේ මීට වසර තිස්පහකට පමණ කලින්. ඔහු ඒ ගැන අපට කිව්වේ මේ අයුරින්. “මාගල්ලේ වැව පිහිටලා තියෙන්නේ අපේ ගෙදර ළඟ. අපි යාළුවෝ කට්ටිය නාන්න ගියාම එතැනින් යන වැහිටියෙකුගෙන් කරත්තයක් ඉල්ලාගෙන විනෝදෙට දක්කලා ටිකක් පුරුදු පුහුණුව තිබුණා. ඒ නිසා තමයි පාවඩ ටෙලි නාට්‍යයේ චරිතය සාර්ථකව කරන්න හැකි වුණේ. ගමේ නාට්‍යවලට තමයි මම මුලින්ම දායක වුණේ. මට සංගීත හැකියාවත් සහජයෙන් ලැබිලා තියෙනවා. තබ්ලා, සර්පිනා වාදනයෙන් මට විශාල අවධානයක් දිනා ගන්න හැකි වුණා.” රංගනය නිසා සංගීතයට තියෙන උනන්දුව අඩු වුණාද? මම සරල ගී ගායකයෙක් ලෙසින් ගුවන් විදුලියට දායක වුණා. ඒ කාලයේ මගේ පියා බොහෙම දක්ෂ කලා කරුවෙක්. ප්‍රාදේශීය නළුවෙක්. මට රංගනයට ලැබුණේ ඒ ආභාසය තමයි. ග්‍රාමීය මට්ටමෙන් කලා කටයුතුවලට දායක වන විට මගේ වයස අවුරුදු හතක් අටක් විතර ඇති. පසුව සංගීතය හදාරන්න ඕිනි කියලා හිතුනා. ඒ සඳහා තැනක් හොයන කොට ජාතික තරුණ සේවා සභාවේ ගම් මට්ටමෙන් පිහිටුවා තිබූ මධ්‍යස්ථානයකට යොමු වෙන්න අවස්ථාව ලැබුණා. එහිදී මට මංගල සේනානායකගේ නාට්‍යයකට දායක වෙන්න අවස්ථාව ලැබුණා. එවිට මගේ වයස අවුරුදු විසි හයක්. මම නිරූපණය කළේ වයස අවුරුදු හැටක චරිතයක්. ගායන හැකියාවත් මේ චරිතයට උපකාරි වුණා. 1985 වසරේදී රාජ්‍ය නාට්‍ය උළෙලේ එය හොඳම නිෂ්පාදනය, හොඳම තිරරචනයට සම්මාන ලබන විට මම හොඳම නළුවා ලෙසින් සම්මානයට පාත්‍ර වුණා. මගේ ප්‍රථම ප්‍රසිද්ධ රංගන වුණෙත් මේ නාට්‍යය. රූපවාහිනියේ නාට්‍ය ආරම්භ කළෙත් ඒ කාලයේදීමයි. රංගනය නිසා ගායනය දුරස් වුණත් එය මගෙන් මඟහැරුණේ නැහැ. තවමත් ගීත කිහිපයක් එළිදක්වන්න මම උත්හය කරනවා. නමුත් රූපවාහිනියේ ඔබව දකින්න ලැබෙන්නේ ටිකක් අඩුවෙන්? රූපවාහිනි නාට්‍යයකට දායක වෙන්න ලොකුම අපහසුව වුණේ දුරස්ථභාවය යි. හැම අවුරුද්දකම මගේ ප්‍රාර්ථනය වුණේ මම කොළඹට එනවා කියන එක. නමුත් අදටත් ඒක ඉටු කරගන්න ලැබුණේ නැහැ. කොහොම වුණත් ටෙලි නිර්මාණ සඳහා දායක වෙන්න මට හැකි වුණා. ක්‍රිෂ්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු, සරත් ධර්මසිරි, ටිකිරි රත්නායක, සුදත් රෝහණ වැනි අයගේ නිර්මාණ සඳහා මට දායක වෙන්න අවස්ථාව ලැබුණා. අනුර මාධව අධ්‍යක්ෂණය කළ මහතලා හටන ටෙලි නාට්‍යයේ හාල් දණ්ඩාගේ චරිතය වෙනුවෙන් මට රාජ්‍ය ටෙලි සම්මාන උළෙලේදී කුසලතා සම්මානයක් හිමි වුණා. කොහොම වුණත් ලැබෙන අවස්ථා අනුව හොඳ චරිත නිරූපණයන් ඉදිරිපත් කරන්න මට හැකි වීම ගැන සතුටුයි. බොහෝ දුෂ්කරතා ඔස්සේ නමුත් ඔබට සුවිශේෂි රංගනයේදී එක් සීමාවකට කොටු වෙලා කියලා හිතෙන්නේ නැතිද? ගැමි පරිසරක පුද්ගලයෙක් නිසාමද දන්නේ නැහැ මට වැඩි වශයෙන් ලැබුණේ ගැමි චරිත. ඒ අභියෝගය ජය ගන්න මම ආ ගමනේදී මට ලැබුණු අවස්ථා මදි. මම 85දී හොඳම නළුවා වූ පසුත් විශේෂ අවධානයක් මට තිබුණේ නැහැ. ඒ කොහොම වෙතත් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමඟ කටයුතු කරන්න මට අවස්ථා ලැබුණා. විශේෂයෙන් සකි සඳ එළියස් ටෙලි නාට්‍යයේදී මම පිස්සෙක්ගේ චරිතයක් කළේ. ඒ අවස්ථාව මට දුන්නේ ජෝ අබේවික්‍රම මහත්තයා. ඒ රංගනයේදී ‘ඬෙඟ ඬෙඟපරි රඹුට කැකිරි’ කියමින් ගමේ හැමතැනම ඇවිදින්න මට සිදු වුණා. ඒ චරිතය ප්‍රේක්ෂකයා අතරේ ගොඩක් ජනප්‍රිය වුණා. වේදිකාව කෙරෙහි ඔබේ ඇල්ම විශේෂයි? මම මංගල සේනානායකගේ ‘අම්මාවෝ’, සරත් ධර්මසිරිගේ ‘ගෙදර යන ගමන්’, එග්බි වන්නිනායකගේ ‘සිරියහන’, කුමාරි දසනායකගේ ‘අප්පච්චී’ වැනි වේදිකා නාට්‍ය කිහිපයකටම දායක වුණා. තවත් ප්‍රාදේශීය වශයෙන් නිර්මාණය වූ වේදිකා නාට්‍ය රැසක මම චරිත නිරූපණය කළා. රොජර් සෙනෙවිරත්න, ජයලාල් රෝහණ වැනි කලාකරුවන් එදා වේදිකාවේ මගේ සමකාලීනයන් වුණා. මම නිෂ්පාදනය කළ නාට්‍ය දෙකක් ලෙසින් 1995 වසරේදී දිවි බෑණා වේදිකා නාට්‍යත් 1998 වසරේදී බැලයා වේදිකා නාට්‍යයත් වයඹ නාට්‍ය උළෙලේ සම්මානනීය වුණා. ඒවා තව තවත් ඉදිරියට ගෙන යන්න ආර්ථික තත්ත්වය හරස් වුණා. සිනමාව ගැන උනන්දු වුණේ නැතිද? මම පොඩි කාලයේ පටන් සිනමාට තිබුණේ පුදුම ආසාවක්. චිත්‍රපට බලන්න අපට සල්ලි නැහැ. අපේ මහජන පොළ ළඟ තිබුණා විශාල සියඹලා ගහක්. හැමදාම මේ ගහේ සියඹලා තිබුණා. අපේ කට්ටියගෙන් කිහිප දෙනෙක් ගහට නඟිනවා.සියඹලා කඩලා බිමට දානවා. බිම ඉන්න අය ඒවා සුද්ද කරනවා. ඒවා විකුණලා තමයි අපි ටිකට් එකට සත පනස් පහක් හොයා ගන්නේ. අපට තිබුණේ පොඩි ලෑලි හෝල් එකක්. ඒක තිබුණේ නිකවැරටියේ. හයයි තිහ බලන්න හවස හතරටවත් එන්න ඕනි. ඒතරමට පෝලිම. සමහර ඒවා අදත් බලලා හෙටත් බලනවා. ටෝනී රණසිංහ, සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා, මාලිනි ෆොන්සේකා, විජය කුමාරණතුංග, ජෝ අබේවික්‍රමයන්ගේ රඟපෑම් බැලුවේ හරිම ආසාවෙන්. ඒ විතරක් නෙවෙයි පස්සේ ඒවා රඟදක්වනවා. සරෝජා, බඹර කාලාපය, භේරුන්ඬ පක්ෂියා, සුදු සළුව, සූරිය අරණ චිත්‍රපට වගේම සරත් ධර්මසිරිගේ සූවිසි විවරණ චිත්‍රපටයටත් දායක වෙන්න මටත් අවස්ථාව ලැබුණා. ඔබේ පවුලේ තොරතුරු? මගේ බිරිඳත් ග්‍රාමීය මට්ටමෙන් කලාවට සම්බන්ධ වෙලා හිටියා. ඇය කුමාරි තෙන්නකෝන්. අපි දෙන්නා හමුවුනෙත් නාට්‍යයක් නිසා. විවාහයෙන් පසු ඇය ඒ කටයුතුවලින් දුරස් වුණා. මගේ ලොකු දුව විවාහ වෙලා. ඇය රජයේ රැකියාවක් කරනවා. පොඩි දුවයි පුතයි දෙන්න පෞද්ගලික අංශයේ රැකියාවල නිරත වෙනවා. බාලම දියණිය උසස් අධ්‍යාපන කටයුතුවල නිරත වෙලා සිටිනවා. දෙවැනි දුව ගායනයට දක්ෂයි. ඇයත් දැනට ගීත දෙකක් නිර්මාණය කරලා තිබෙනවා. එදා සහ අද දෙස බලනවිට මොකක්ද හැඟෙන්නේ එදාට වඩා අද ගොඩක් වෙනස්. එදා වගේ නෙවෙයි ප්‍රවාහනය තියෙන නිසා අද දුරක වුණත් ඉක්මනට කොළඹට එන්න පුළුවන්. ගොඩක් අය ගමෙන් කොළඹට ඇවිත් අද හොඳ තැන්වල සිටිනවා. ඒ අය තුළ කවිය, ගීතය, නැටුම ආදි හැකියාවන් සියල්ල දකින්න පුළුවන්. ඒකට හේතුව ඔවුන් ලබන අත්දැකීම්. නව පරපුරේ දක්ෂයන් රැසක් ඉන්නවා. මගේ හැඟිම නම් ඒකාකාරිබව ඔවුන් සීමා කර ඇති බවයි. මීළඟට ඔබ ප්‍රේක්ෂකයා හමුවෙන්නේ? ටිකිරි අධිකාරිගේ හෙවණැල්ල, ලලිත් රත්නායකගේ වන්වේ ටෙලි නාට්‍ය විකාශය වෙන්න නියමිතයි. ඊට අමතරව අනුර මාධව ජයසේකරගේ නිර්මාණයකටත් ආරාධනා ලැබිලා තියෙනවා.
|