වර්ෂ 2015 ක්වූ සැප්තැම්බර් 17 වැනිදා බ්‍රහස්පතින්දා




ආදරයේ සහ යුද්ධයේ ගැටුම

ආදරයේ සහ යුද්ධයේ ගැටුම

ප්‍රසන්න විතානගේ ගේ 'ඔබ නැතුව ඔබ එක්ක' චිත්‍රපටයට පාදක වන්නේ ප්යෝදර් දොස්තයෙව්ස්කිගේ 'කීකරු තරුණිය' නම් වූ කෙටි කතාවයි. පිටු සියයකට ආසන්න කතාවක් බැවින් මෙය දිග කෙටි කතාවක් ලෙස මෙන්ම කෙටි නවකතාවක් ලෙස වුව ද ගත හැකිය. තරමක් විස්තීර්ණ කතා පුවතකින් යුක්ත බැවින් සාහිත්‍ය මූලධර්මවලට අනුව ගත් විට මෙය දිග කෙටි කතාවකටත් වඩා කෙටි නවකතාවක් ලෙස හැඳින්වීම වඩාත් යුක්තිසහගත යැයි මම සිතමි.

තිර රචකයකු හා අධ්‍යක්ෂවරයකු ලෙස ප්‍රසන්න සාර්ථක වන්නේ දොස්තයෙව්ස්කිගේ කතාවෙන් කැඩී ස්වාධීන මඟක් ගැනීිම හේතු කොට ගෙනය. විශේෂයෙන් ප්‍රධාන චරිත දෙක සිංහල හා දෙමළ බවට පත් කිරීමත් කෙටි කතාවේ තුන්වැනි චරිතය ලෙස තීරණාත්මකව ප්‍රවිෂ්ට වන යෙපිමෝවිච් මෙහිදී හමුදා සෙබළකු බවට පත් කිරීමත් නිසාය. එය වඩාත් අර්ථවත් වන්නේ පශ්චාත් යුද පසුබිමක් තුළය. ගාමිණී නම් වූ හමුදා සෙබළ මිතුරා තීරණාත්මක දෙබස් කීපයක් කියා කතා පුවතින් බැහැර වෙයි. (බැහැර කරයි).

සරත්සිරි (ශ්‍යාම් ප්‍රනාන්දු) රත්තරන් බඩු උකස් ගන්නා මැදුම් වියට එළැඹෙමින් සිටින මිනිසෙකි. සෙල්වි (අංජලි පාටිල්) රත්තරන් බඩු උකස් තැබීමට නිරන්තරව පැමිණෙන දෙමළ තරුණියකි. සරත්සිරි ඇගේ අනුරාගී දෑසට, ගිනිගෙන දැවෙන්නාක් බඳු මහත දෙතොල්වලට ලොල්ව ඇය විවාහ කර ගනී. ගැඹුරු මානවීය ප්‍රේම බන්ධනයක් එහිලා මම නොදකිමි. ඔවුනොවුන්ගේ ලිංගික දර්ශනය ද එය වඩාත් සාක්ෂාත් කරවයි. දෙදෙනා අතර ප්‍රේමයක් ජනිත වී එය වැඩෙන්ට පටන් ගන්නේ අනුක්‍රමයෙනි. එහෙත් අවාසනාවකට මෙන් එය කෙටිකාලීන වන්නේය.

තම සැමියා හිටපු හමුදා සෙබළකු බව දැනගන්නා සෙල්වි තදබල ලෙස සසල වෙයි. ඇයට විවාහයේදී තම සැමියා සිංහල වුව, බෞද්ධ වුව ප්‍රශ්නයක් නොවුණේය. එහෙත් ඔහු හමුදා සෙබළකු වීම දරාගත නොහැකි මමෝභාවයකි. ඊට සාධාරණ හේතු ඇත. ඇගේ සොහොයුරා යුද්ධයේදී හමුදාව අතින් මැරුම් කා ඇත. මව්පියන් අතුරුදන්ව ඇත. ඇය පවා මෙසේ ඥාති නිවසක අවතැන් වූත්, අන්ත අසරණ වූත් ජීවිතයක් ගත කරන්නේ යුද්ධයේ ඵලවිපාක වශයෙනි. සෙල්විගේ මේ මනෝභාවය වඩාත් දරුණු තත්වයකට ඇද හෙලන්නේ සැමියා අවංක හා විවෘත හැඟීමකින් කරන පාපොච්චාරණයකිනි. හමුදාවෙන් අස්වන්නට බලපවත්වන හේතු ඔහු අනාවරණය කරයි. තම මිතුරන් තිදෙනකු (තමා සොයා නිවෙසට පැමිණෙන ගාමිණී එක් අයෙකි) දෙමළ තරුණියක් දූෂණය කර මරා දැමූ බවත් ඔහු ඔවුන් බේරා ගන්ට උපායශීලිව ඉදිරිපත් වූ බවක් හෙතෙම කියා සිටී. ආදරය ක්‍රම ක්‍රමයෙන් ඔවුන්ගේ ජීවිත සුපුෂ්පිත කරන්ට පටන් ගත් තැනම රුදුරු හෙණයක් සේ මේ ව්‍යාසනය කඩා පාත් වෙයි. සෙල්වි ආදරයත් මේ යථාර්ථයත් අතර ප්‍රබල මානසික අරගලයකට මුහුණපායි. ඇය දිවි තොර කරගන්ට පවා පෙලඹෙන්නේ මේ ගැටුමයි. මෙය වැළැක්වීමට උකස් බඩු කඩය විකිණීම හෝ ඇය ඉන්දියාවට කැටුව යැම ප්‍රමාණවත් නැති සේය. සියල්ලේ අවසානය ඛේදවාචකයකි.

යුද්ධය මනුෂ්‍ය ජීවිතය කෙරෙහි බලපාන ආකාරය ගැන ප්‍රසන්න මීට ඉහත චිත්‍රපට දෙකක් නිර්මාණය කළේය. ඒ 'පුරහඳ කළුවර' හා 'ඉර මැදියම'ය. මෙය චිත්‍රපට ත්‍රිත්වයක් ලෙස ගන්නකුට 'ඔබ නැතුව ඔබ එක්ක' එහි තුන්වැනි කොටස ලෙස නම් කළ හැකිය.

යුද්ධය මිනිසා මොන තරම් ප්‍රකම්පිත කරන්නේ ද යන්න ගැන කියැවෙන චිත්‍රපට රැසක් ලෝක සිනමාවේ බිහිව ඇත. එකිනෙකට වෙනස් චිත්‍රපට තුනක් ගැන සඳහන් කරන්නේ නම් ඔලිවර් ස්ටෝන්ගේ 'බෝන් ඔෆ් ද ෆෝත් ඔෆ් ජුලයි' චිත්‍රපටය යුද්ධය නිසා මානසික කැළඹිල්ලකට ලක් වූ යුද සෙබළකු ගැන කියයි. ඔහු අතින් වැරදීමකින් තම පාර්ශ්වයේම සෙබළකු මිය යයි. ඉන් ඇතිවන පශ්චාත්තාපී මානසිකත්වය මුළු ජීවිත කාලය පුරාම ඔහුට බලපායි.

අකිර කුරෝසාවාගේ 'I Live In Fear' චිත්‍රපටය පරමාණු බෝම්බයෙන් තම රට විනාශ වෙතැයි සිතන මිනිසෙක් රටින් පලායන්ට තැත් කරයි. අවසානයේ ඔහු එයින්ම උන්මත්තකභාවයට පත් වෙයි.

ලෙවිස් මිලෙස්ටෝන්ගේ 'ඕල් ක්වායට් ඔන් වෙස්ටර්න් ෆ්රන්ට්' චිත්‍රපටයේ යුද භටයා සතුරු පාර්ශ්වයේ භටයකුට කිනිස්සකින් අනී. ඔහුගේ මුදල් පසුම්බිියේ බිරිඳ හා දියණියගේ ඡායාරූපය දකින භටයා ඉන් කම්පාවට පත් වෙයි.

මේ සියල්ලම අතිශයින් සංවේදීය. ඉන් පිළිබිඹු වන්නේ ලිහා විසඳා ගත නොහැකි ගැටලු සහිත ගොරබිරම් ජීවිතයයි.

'ඔබ නැතුව ඔබ එක්ක' චිත්‍රපටයේ එන්නේ ප්‍රධාන චරිත හතරකි. ඒ අතරින් සෙල්වි සුවිශේෂ වන අතර එම චරිතය රඟන අංජලී පාටිල් ද සුවිශේෂී වන්නීය. ඇගේ චරිතාංග නිරූපණය අග්‍රගණ්‍යය. මුළු චිත්‍රපටයම රඳා පවතින්නේ මේ නිළිය මතය. ඇය අසාර්ථක වූවා නම් අධ්‍යක්ෂවරයා චිත්‍රපටයෙන් දෙන අර්ථ කථනය මැනවින් මතු නොවන්ට ඉඩ තිබිණි.

මේ රංගනය හැරුණු කොට චිත්‍රපටයේ මා දුටු විශිෂ්ටතම අංශය වන්නේ එම්. ඩී. මහින්දපාලගේ කැමරාකරණයයි. ඔහු වැඩි අවධානයකින් රූපයට හසුකර ගන්නේ චරිතවල මුහුණය. ඒ මුහුණුවලින් පාන සියුම් ඉරියව්ය. ඒ හැරුණු කොට වැසි සහිත නගරයේ වීදි, තේවත්ත, මීදුම් ගහන කඳු වැටි ඔහු රූප රාමුවට ග්‍රහණය කරයි. ආලෝකකරණය ද එපරිදිමය. චරිතවල මනෝභාවයන්ට උචිත වර්ණ රටාවක් යොදා තිබීම ද කැපී පෙනෙන්නකි.

'ඔබ නැතුව ඔබ එක්ක' භාවනාවක් සේ විඳිය හැකි සිනමා කෘතියකි. එය විඳීමෙන් අපට ජීවිතයේ හැටි මේ යැයි පසක් කර ගත හැකිය. ඉන් අපේ බුද්ධි මණ්ඩලය පෘථුල වෙයි.