|
අද ඕනෑම පොඩි එකෙක් මේ ජිල්මාට් දාන විදිහ දන්නවා
‘ආත්ම වර්ෂා’ තුළින් යළිත් සිනමාවට ආ චන්දි රසිකා
ඔළුව මගේ, කඳ වෙන කාගෙද මගේ ජනප්‍රියත්වය බිඳුවකින්වත් අඩු වෙලා නෑ
රසිකයන් ඉල්ලන චරිත මට දෙන්න අමාරුයි
අමරනාත් ජයතිලකගේ අරුණට පෙර චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ජනාධිපති සම්මාන උළෙලේදී හොඳම නිළිය වශයෙන් අභිසෙස් ලැබුවේ චන්දි රසිකාය. ඇය ඇගේ වෛරය චිත්‍රපටයේ රඟපෑමෙන් මහත් ආන්දෝලනාත්මක චරිතයක් බවට පත් වූවාය. මේ දිනවල චන්දි රඟපාන සිනමාපටයක් ප්‍රදර්ශනය වේ. ඒ. කුසුම් චන්ද්‍ර ගමගේ ගේ ආත්ම වර්ෂාය. එහි ඇය මවකගේ චරිතයක් නිරූපණය කරන්නීය.
චන්දි බෙහෝ කලකට පසුවයි ඔබේ සිනමාපටයක් තිරගත වන්නේ? ඒක තමයි. ඒ විතරක් නෙවෙයි මං එම චරිතයේ වැඩිහිටි කාලය මෙන්ම තරුණ කාලය ද නිරූපණය කරනවා. ගොඩ කාලයකින් සෑහෙන්න වෙනස් චරිතයක් කළා. හැබැයි, මේ චිත්‍රපටයේ රූගත කිරීම් පටන් ගත්තේ වසර ගණනාවකට කලින්. කඩින් කඩ රූපගත කිරීම් කළේ. ඉතින් බොහෝ කලකට පසු මගේ චිත්‍රපටයක් හෝල් එකක දක්නට ලැබුණා කියලා මගේ රසික රසිකාවෝ කියනවා. ඒවා ඇහෙද්දී අතීතයත් මතක් වෙනවා. ගොඩක් අය හිතාගෙන ඉන්නේ චන්දි රංගනයෙන් ඈත් වෙලා කියලා? මං කවදාවත් රංගනයෙන් ඈත් වන්නේ නැහැ. සෑහෙන දෙනෙක් මාව රංගනයෙන් අයින් කරලා තියන්න මාන බලනවා. එහෙම කරන්න බැහැ කාටවත්. මං පසුගිය කාලෙම කළේ ගෙදර අයව බලා කියා ගත්තු එක. මේ දවස්වල මගේ අක්කට සනීප නැහැ. ඉතින් එයාගේ සාත්තු කටයුතු සියල්ල කෙරෙන්නේ මගේ අතින්. ඒක නිසා රංගනය ගැන හිතන්නවත් අමාරුයි. අනික රසික රසිකාවන් බලාපොරොත්තු වන චරිත මට දෙන්න අමාරුයි. ඒ කිව්වේ? මිනිස්සු මගෙන් නිතරම බලාපොරොත්තු වුණේ මගේ මුහුණ ලස්සනට පෙනෙන චරිත. තවත් විදිහකින් කිව්වොත් චිත්‍රපටයක කෙල්ලගේ චරිත. මට එවන් වු චරිත කරන්න බැහැනෙ මගේ වයසත් එක්ක. මට කරන්න පුළුවන් චරිත මොනවද කියලා මං දන්නවා. හැබැයි මට දැන් වුවමනා කරන්නෙ වෙනස් වෙනස් චරිත ඔස්සේ ප්‍රේක්ෂකයන් හමුවන්න. හොඳම උදාහරණය ආත්ම වර්ෂා. ඒකේ මගේ චරිතය බලන්න. ඒක කොතරම් වෙනස් ද කියලා. ඔබ ඔහොම තෝරා බේරා ගෙන රංගනයේ යෙදෙන කොට ඔබේ ජනප්‍රියත්වය අඩු වෙනවා නොවෙද? මම නම් එහෙම හිතන්නේ නැහැ. ජනප්‍රිය වෙන්න නිතරම රූපවාහිනියේ ඉන්න ඕනෑ කියන කතාව බොරුනේ. ඊයේ පෙරේදා දිනෙක අරුණට පෙර සහ යුවතිපති කියන චිත්‍රපට විකාශය වුණා. බුදු අම්මේ මට ආව ඇමතුම් තොගය. ඒ වගේම මගතොටදී සෑහෙන දෙනා කතා කළා. අන්න එතකොට මට හිතුණා මගේ ජනප්‍රියත්වය බිඳුවකින්වත් අඩු වෙලා නැහැයි කියලා. ඒ කියන්නේ ආත්ම වර්ෂාවලට වඩා වැඩියෙන් ඔබට ඒවට ප්‍රතිචාර ලැබුණා? මං ඒක නෙවෙයි කිව්වේ. ආත්ම වර්ෂා චරිතයට ප්‍රතිචාර ලැබෙනවා. එම චිත්‍රපටයත් හොඳ එකක්. අනික ඒකෙන් සමාජයට පණිවුඩ තුන හතරක්ම දෙනවා. හැබැයි ඒකට පබ්ලිසිටි මදි. මං දන්නේ නැහැ ඒකට හේතුව මොකද කියලා. චිත්‍රපටයකට පබ්ලිසිටි නැතිව දුවන්න අමාරුයිනෙ. ඔබට ඒ වග නිෂ්පාදකට කියන්න තිබුණනෙ? ලංකාවේ තියෙන වාතාවරණයත් එක්ක නිෂ්පාදකවරුන් හිර වෙනවා. මොකද මේ චිත්‍රපටයත් ප්‍රදර්ශනය වූයේ වසර ගණනාවකට පසුවනෙ. මේ වගේ වෙලාවන්වලදී රජය සහාය වන්නට ඕනෑ කියලා මං හිතනවා. හැමදේම පෞද්ගලිකවම කරන්නත් අමාරුයිනෙ. රාජ්‍ය මැදිහත්වීමක් අවශ්‍යයි. මේකට වුණේ එවන් වැඩක්. ඔබට අද හිතෙන්නේ නැති ද ඇගේ වෛරය චිත්‍රපටයට දායක නොවුණා නම් හොඳයි කියලා? ඇගේ වෛරය චිත්‍රපටයට මුලින් සල්ලි දැම්මේ මම. ඊට පසුව මං හිර වෙලා අතින් අතට ඒක ගියානෙ. එහෙම වෙද්දී එක්තරා අයකුට අවශ්‍ය පරිදි ඒකට නිරුවත් දර්ශන දැම්මා. ඔළුව මගේ, කඳ වෙන කාගෙද. ඒ කාලේ එහෙම කළේ කොහොමද කියන එක මිනිස්සුන්ට හරි ප්‍රශ්නයක්. ඒත් අද ඕනෑම පොඩි එකෙක් මේ ජිල්මාට් දාන විදිහ දන්නවා. ඒකත් අවාසියක් වුණා මට. ඔබ ඔය කියන්නේ ඇගේ වෛරය හොඳ සිනමා කෘතියක් කියන එකද? ඇත්තටම ඔව්. ඇගේ වෛරය මම පටන් ගනිද්දි ඒක පොඩි ළමයකුට වුණත් බලන්න පුළුවන් චිත්‍රපටයක්. එච්චරටම ඒක හොඳයි. නමුත් ක්‍රම ක්‍රමයෙන් විනාශ වුණා. ඔබේ නමත් විනාශ වුණා ඒකෙන්? ඒක ඉතින් අපේ මිනිස්සු හිතන විදිහනෙ. ඇගේ වෛරය හරහා මං කතා කළේ ස්ත්‍රී ප්රචණ්ඩත්වය. මං ඊට එරෙහි වුණා. මේවා ඉවසා ගන්න බැරි උදවිය මට තර්ජනය කළා. නඩු දැම්මා. ඇගේ වෛරය ඔච්චරටම අප්සට් නම් ඒකට පරික්ෂණ මණ්ඩලයකින් අනුමැතිය ලබා දෙන්නේ නැහැනෙ. අන්තිමේ වුණේ අනුනට යහපතක් කරන්න ගිහින් මං දුක් විඳපු එක. පසුගිය කාලේ බැසිල් ද සේරම්ගේ මරණයත් සමඟ ඔබ ආයෙත් දුක් කම්කටුලුවලට මුහුණ දුන්නා? තවමත් ඒවා ටික ටික තියෙනවා. බැසිල් අයියගේ නීත්‍යානුකූල බිරිය මගේ අක්කා. බැසිල් අයියා අසනීප වුණාට පස්සේ බලාගත්තෙත් මං. ඒත් අවසාන මොහොතේ මට සිදු වූ දේවල් කියන්නත් ලැජ්ජයි. කොහොම හරි ඒවා මාධ්‍යයෙන් හෙළි වුණේ වැරැදි විදිහට. මට බැසිල් අයියාගේ පවුලේ කවුරුවත් හිරිහැර කළේ නැහැ. ඔබ සෑහෙන්න අභියෝගවලට මුහුණ දුන් ගැහැනියක්. වෙලාවකට හිතෙනවා ඔබ වන් අයකු තවත් මේ ක්ෂේත්රයේ ඉන්නවදත් කියලා? ඇත්ත. ජීවිතේ හරිම දුෂ්කරයි. නිතරම එන්නේ බාධක. නමුත් මගේ හිත හයියයි. ඒකනේ මං තවමත් නොසෙල් වී ඉන්නේ. ඒ විතරක් නොවෙයි අක්කවත් බලාගන්නේ මමනෙ. ඇතැම් අවස්ථාවල කොච්චර දුක ලැබුණත් ධනාත්මකව හිතන නිසා සතුටින් මං ඉන්නවා. ඔබට ආදරය කරන රසික රසිකාවෝ ඔබව ටෙලි නාට්‍යයකින් දකින්නට ආසාවෙන් පසු වෙනවා ඇති? මට ටෙලි නාට්‍යවලට කතා කළා. ඒත් විවිධ හේතූන් මත යන්න බැරි වුණා. අන්තිමට කතා කරපු නාට්‍යයේ ෂූටිං තියෙන්නේ අනුරාධපුරයේ. ඉතින් කොහොමද අක්කව දාලා යන්නේ. ඒක මෙගා නොවන නාට්‍යයක් හින්දා හිතටත් දුකයි. ඒත් මක් කරන්නද. ඔබ මෙගා වලට යන්නේ නැතිද? එහෙම වාරණයක් නැහැ. අවස්ථාව අනුව හොඳ චරිතයක් ලැබුණොත් නිතැතින්ම ඒකට යනවා.
|