වර්ෂ 2015 ක්වූ සැප්තැම්බර් 17 වැනිදා බ්‍රහස්පතින්දා




ෆිල්ම් ෆෙයාර් උලෙළට ගිය මුල්ම ලාංකික නළුවා

ෆිල්ම් ෆෙයාර් උලෙළට ගිය මුල්ම ලාංකික නළුවා

ලාංකික රූපණ කලාවේ ස්වකීය අනන්‍යතාවක් ගොඩනංවන ලද මහා රංගධරයකු අප අතරින් වෙන්ව ගොස් සිව් වසරක් සපිරෙන්නේ මේ 21 වැනිදාටය. සිව් වසරකට පසු ඔහුගේ කාර්යය අප විසින් විමසා බැලිය යුත්තේ කෙලෙසද?

මේ රංගනවේදියා ගම්මන පටබැඳිගේ දොන් ජෝන් අබේවික්‍රමය. උපන්නේ රත්නපුරයේ ලෙල්ලුපිටියේය. ඉගෙන ගත්තේ දිප්පිටිගල කනිෂ්ඨ විද්‍යාලයේ සහ රත්නපුරයේ සීවලී විද්‍යාලයේය. මෑත භාගයේදී මැණික්වලට වඩා යමක් රත්නපුරේ ඇති වග කියා පෑ ලොකුම සාධකය ඔහුය.

ලෝක සිනමාව ආරම්භ වී වසර විසි පහක් පමණ වනතුරු රූපණවේදය යනු හැදෑරිය යුතු දෙයක් යැයි බොහෝ දෙනා විශ්වාස කළේ නැත. ශරීර හැඩරුව පමණක් එයට ප්‍රමාණවත් යැයි බොහෝ දෙනා විශ්වාස කළහ. එහි සීමාවන් අතික්‍රමණය කරන්නට නම් එය මැනවින් හැදෑරිය යුතු වග වටහා ගත්තේ සිනමාව අලුත් මංපෙත් සොයන විටදීය. දශක හතකට පමණ පසුව වුව ද රංගනය යනු එතරම් හැදෑරිය යුත්තක් යැයි තවමත් අපේ බොහෝ දෙනා කල්පනා කරන වගක් නොපෙනේ. ඔවුන් බොහෝ විට මෙයින් ලිස්සා යන්නට තෝරා ගන්නා උත්තරය නම් ගාමිණී ෆොන්සේකා හෝ ජෝ අබේවික්‍රම රංගනය විෂයයක් කොට හැදෑරුවේ ද යන්නය. හැදෑරුමකින් තොරව විනයක් පැවැතිය නොහැකිය. එසේ නම් ගාමිණී හෝජෝ අබේවික්‍රමයන් රංගනය හැදෑරුවේ කෙලෙසද? කොතැනද?

දකුණු ඉන්දියානු රංගනය මුල් ගුරු කොටගෙන රඟපෑම හරි යැයි පසක් කරගත් රටක එහෙව් චිත්‍රාගාරයක රංගෝත්පත්තිය ලබන ජෝ අබේවික්‍රමයන්ට ස්වකීය රංගන මුද්‍රාව තැබීමට හැකි විය. මුල් යුගයේ ඒ සීමාවන් අතික්‍රමණය කොට නොවූව ද තම මහේශාක්‍ය රංග පෞරුෂය යොදවා තම අනන්‍යතාව ගොඩනැඟූ නළුවන් කිහිප දෙනෙකු මගේ මතකට එයි. ඩොමී ජයවර්ධන, ලැඩී රණසිංහ, ඩේවිඩ් ධර්මකීර්ති මේ අතර ප්‍රමුඛස්ථානයේ ලා ගැනේ. 'සුජාතා' චිත්‍රපටයේ 'සුමධුර වේ සුපිරි සිදු වේ' යනුවෙන් ඉන්දියානු නිළියන් අබිබවා අනුකාරක රංගනයක යෙදුණු ශාන්ති ලේඛා ගම්පෙරළියේ මාතර හාමිනේ වූයේ ද ඒ ආකාරයටමයි. දොන් ජෝන් අබේවික්‍රම නමින් 'දේව සුන්දරී' චිත්‍රපටයේ මුර සෙබළකුග් සුළු පෙනී සිටීමකට ඉන්දියාවට යන අපේ කතානායකයා එහිදී එයට පසු 'සරදම්' චිත්‍රපටයේ රඟපාන්නේ තමන්ගේම අනන්‍යතාව සලකුණු කරමිනි. ඔහු නැවත ආපසු ලංකාවට එන්නේ ද ජෝන් නම ජෝ යනුවෙන් කෙටි කර ගනිමිනි. ජෝ අබේවික්‍රමයන්ගේ රංගන පාසල කුමක්දැයි විමසා බලන කළ ඔහු හැම විටම ජීවිතයෙන් ඉගෙන ගත් බව පැහැදිලිව පෙනෙන්නකි. එයටත් වඩා ඔහු විවිධ සමාජ පද්ධති ඉතා සමීපව ඇසුරු කළ ද, 'අසේවනා ච බාලානං - පණ්ඩිතානං ච සේවනා' යන්න ප්‍රායෝගික ජීවිතයේදී න්‍යායක් ලෙස මැනවින් භාවිත කළ වගක් පළ වෙයි. එමෙන්ම ජීවිතයේ ලැබෙන හැම ඉඩකඩක්ම යළි දෙවරක් නොසිතා බාරගත් බවක් පෙනෙන්නකි.

සිනමාව ආරම්භ කරන්නේ දකුණු ඉන්දියානු සම්ප්‍රදායේ ගුරු කුලයක් වුව ද මිය යන තෙක්ම මෙරට සිනමාවේ සියලු සිනමාකරුවන් සමඟ රංගනයේ යෙදීමට තරම් ඔහු භාග්‍යවන්ත වූයේය. එය හුදු වාසනාව පමණක් නොවේ. මයික් විල්සන්, ටයිටස් තොටවත්ත, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, ජී. ඩී. එල්. පෙරේරා, ධර්මසේන පතිරාජ, ඩී. බී. නිහාල්සිංහ, එම්. මස්තාන්, ධර්මසිරි බණ්ඩාරනායක, යසපාලිත නානායක්කාර, ලෙනින් මොරායස්, ගාමිණී ෆොන්සේකා එච්. ඩී. ප්‍රේමරත්න, කේ. ඒ. ඩබ්. පෙරේරා, ප්‍රසන්න විතානගේ, බෙනට් රත්නායක, ජැක්සන් ඇන්තනී, කපිල සූරියආරච්චි ඇතුළු පරම්පරා ගණනාවක් නියෝජනය කරන සියල්ලන්ම සමඟ කටයුතු කරන්නට ජෝ අබේවික්‍රමයන්ට හැකි විය. මේ සෑම පරම්පරාවක් හරහා ම යාවත්කාලීන වන්නට ඔහු වග බලා ගත්තේය. එපමණක් නොව වර්තමාන ටෙලිවිෂන් පරම්පරාවේද ජෝ අබේවික්‍රමයන් අලුත් කොල්ලන් සමඟ හරි හරියට කරනම් ගැසුවේය.

මේ වරම ලබන්නට වාසනව තිබුණේ ද නම්‍යශීලී වූයේ ද ලාංකේය සිනමාවේ තවත් එක් තැනැත්තියක් පමණි. ඇය නිළි රැජින මාලිනී ෆොන්සේකාය. පුදුමය නම් ඇය ජෝ අබේවික්‍රමයන්ගේ සොයා ගැනීමක් වීමය. මේ ඇතැම් නිර්මාණයන්ට ජෝ මහත්තයා දායක වූයේ මන්දැයි කිසිවකුට හෝ සිතෙන්නට බැරිකමක් නැත. සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා නම් එබඳු ඇතැම් නිර්මාණවලදී තම පෞරුෂය හා නිර්මාණ ශක්තිය හේතුවෙන් චිත්‍රපටය අතට ගත් අවස්ථා තිබිණි. ජෝ මහත්තයා කිසි කලෙකත් එලෙස චිත්‍රපටයක් හැසිර වූ වගක් පෙනෙන්නට නැත. වහල හෙවිල්ලන්ට ආවා නම් වත්තේ හතර මායිම කුමකටදැයි ඒ ප්‍රශ්නයට ජෝ මහත්තයාගේ පිළිතුරයි. ඒ නිසා ජෝ මහත්තයාගේ චරිතයට සාධාරණය ඉෂ්ට කර ගත්ත ද සමස්තයක් ලෙස ගත් කළ ඇතැම් චිත්‍රපටයක් ඔහුගේ ලෙස සලකා බැලීම හෝ කරන අගෞරවයකි.

ඔහු සම්භාව්‍ය සංගීතය රස විදීමේ රසවතෙකි. ඉංග්‍රීසි භාෂාව ඉතා ඉහළය. ලෝකයේ රාජ රාජ මහාමාත්‍ය ආදීන් සමඟ කරට කර සිටීමට ඔහුට හැකියාව තිබිණි. කතා කරන්නට හොඳ දේ මෙන්ම අසා සිටින්නට හොඳ කනක් ජෝ මහත්තයාට තිබිණි. සම්භාවනීය පොතපත පමණක් නොව සකල කලාවන් ඇසුරු කිරීමට ඔහු මැළි වූයේ නැත. මේ සියල්ල වසාගෙන සරමක් බැනියමක් හැඳ කරත්තයක බෝන් ලීය මතට නැග සීපදයක් ගජරාමයට කියන්නට ජෝ මහත්තයාට පුළුවන්කම තිබිණි. මේ රංගන පසුබිම ඉතා හොඳින් ග්‍රහණය කරගත් ඊළඟ පරම්පරාව ලෙස මා දකින්නේ ආචාර්ය ජයලත් මනෝරත්නය. හේතුව ලෝකයෙන් නෙළා ගත් සියලු දේ අපේ මහ පොළවේ රෝපණය කරන්නට තරම් ඔවුන්ට වැටහීමක් තිබීමය.

ඉන්දියානු සිනමා ඉතිහාසයේ වඩාත්ම ජනප්‍රිය කලා මංගල්ලය 'ෆිල්ම් ෆෙයාර්' සම්මාන උළෙලයි. එය ඉන්දීය සිනමාවේ සමකාලීන ලක්ෂණ උකහා ගන්නා අවස්ථාවයි. මෙම සිනමා උළෙලට සහභාගී වීම බොහෝ ඉන්දියානුවන්ට ද සිහිනයකි. මේ සිනමා උළෙලට සහභාගිවීමේ මුල්ම ශ්‍රී ලාංකික නළුවා ජෝ අබේවික්‍රමය.

1965 - 1970 දක්වා කාලයක සරසවිය සම්මාන උළෙල පවත්වන විට ඉන්දියානු නළු නිළියෝ එයට සහභාගීවීමද එමෙන්ම මෙරට නළු නිළියෝ විශේෂ ආරාධිතයන් ලෙස ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලට සහභාගි වීම සාමාන්‍ය කරුණක් විය. ඒ අනුව 1966 වසරේදී ජෝ අබේවික්‍රමයන් ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලට සහභාගී වූයේය. ජෝ මහත්තයාගේ සිනමා රංගනය නැවත සලකා බැලීමේදී මයික් විල්සන් වැනි සිනමාකරුවෙක් අතට පත්වීමත්, ඉන් අනතුරුව එම්. මස්තාන් විසින් ඔහු 'අල්ලපු ගෙදර' චිත්‍රපටය සඳහා තෝරා ගැනීමත්, තිස්ස ලියනසූරිය ඒ සමඟම 'සාරවිට' චිත්‍රපටයේ සාරයියා ලෙස ගොඩනැංවීමත් එක් අතකින් දෛවෝපගතය.

 අල්ලපු ගෙදර' සඳහා නිෂ්පාදකගේ තෝරා ගැනීම එඩී ජයමාන්න වුව ද අධක්ෂ මස්තාන්ගේ තෝරා ගැනීම ජෝ අබේවික්‍රමය. ඒ වන විට පැපොල රෝගය වැලඳී කැළැල් සහිතව සිටි ජෝ අබේවික්‍රමයන් යළි සුවපත් වනතුරු රූගත කිරීම් කල් දමන්නට තරම් මස්තාන්ට ඔහු අවශ්‍යව තිබිණි. 'සාරවිට' චිත්‍රපටයේ 'සාරයියා' හාස්‍ය යටින් මතුවුණු මනුස්සකම තිරයේ ඉස්මතු කළේය. කොමඩියන් සහ ජෝකර්ලා වෙනුවට නැතහොත් කොමික් කැලි වෙනුවට හාස්‍ය රංගවේදය අපේ සිනමාවට එක් වූයේ ඒ අකාරයටය. ඩී. බී. නිහාල්සිංහ ගේ 'වැලිකතරේ' ගෝරිං මුදලාලි හරියට අංශක 180 ක් මේ රංගවේදියාණන්ගේ රූපණය වෙනස් කළේය. ජෝ මහත්තයා කවර හෝ චිත්‍රපටයක රඟපෑවේ ලාංකික පොළවේ ඉස්මතු වූ චරිතය. ඒ සමහර චිත්‍රපට මේ පොළවට අයිති නැති වුව ද ගාමිණීට, මාලිනීට, ජෝට, ටෝනි රණසිංහට එම චරිත මේ පොළොවේ රෝපණය කරන්නට හැකියාව තිබිණි.

ජෝ මහත්තයාගේ ගමන් මඟ විල්ලුද එළූ එකක් නොවීය. හපුතලේ කන්ද දැක බඩ දනවා යැයි කියන කරත්තකරුවන් ඊට දවස් කිහිපයකට මත්තෙන් ලෙල්ලුපිටිය කන්ද අදින අයුරු ජෝ මහත්තයා දැක තිබිණි. කරත්තකරුවන් පසු කොට එයට වඩා සැර දමා බඩු පටවා ගත් ලොරි ඉහළ නඟින අයුරු ජෝ මහත්තයා දැක්කේය. මහ පොළවට බරක් නොදී සද්දයක් ද නොකර ඉහළ යන අලුත් වාහනවලින් ජෝ මහත්තයා ඒ සියල්ල පසු කොට ගියේය. ඒ යන හැම විටම කරත්ත කවියක් ලොරියේ දුම් පාරත් ඔහුගේ මතකයේ තිබිණ. අනුරාධපුරයේ ඈත ගම්මානයක මිනිසකුගේ විලාසය ඔහුගේ මනසේ කුඩා තැනක රැඳී තිබිණි. වන්නිහාමි නමින් ප්‍රති නිර්මාණය වී රට රටවල බහුමානයට පාත්‍ර වූයේ එකී චරිත නිරූපණයයි. වර්තමාන පරම්පරාව අධ්‍යයනය කළ යුත්තේ ජෝ මහත්තයාගේ රංග විලාසය පමණක් නොවේ. ඔහු ඇසූ දුටු ලෝකය ග්‍රහණය කර ගත්තේ කවර ආකාරයෙන් ද එමෙන්ම යළි එය ප්‍රතිනිර්මාණය කර ගත්තේ කවර ආකාරයෙන් ද යන්නය. එය හැදෑරිය යුතු රංගන පාඨමාලාවකි. ජෝ අබේවික්‍රමයන් වෙනුවෙන් කළ හැකි මහා ගෞරවය එය නොවන්නේද?