වර්ෂ 2015 ක්වූ සැප්තැම්බර් 17 වැනිදා බ්‍රහස්පතින්දා




අර්ජුන්ගෙන් පිළිතුරු

අර්ජුන්ගෙන් පිළිතුරු

ප්‍රශ්නය - ජනප්‍රිය නිළියක් වූ ලීනා ද සිල්වා සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා ගේ පෙම්වතිය වී චිත්‍රපටවල රඟපා තිබෙනවාද? එසේ නම් ඒ මොන චිත්‍රපටවලද?

ඊ. එම්. එස්. පද්මකාන්ති ද සිල්වා

සෙල්ලකන්ද, මීගමුව

අර්ජුන් - මා දන්නා තරමින් රඟපා නැහැ.

ප්‍රශ්නය - පෙරකදෝරු බෑණා චිත්‍රපටයට අයත් මොහිදීන් බෙග් හා ජී. එස්. බී. රාණි ගායනා කරන ආදර නදිය ගලා ආවා දෙගොඩ තලා යන ගීතයට රංගනයෙන් දායක වූ නළු නිළි යුවල කවුද?

සුදත් නිශාන්ත

මීගමුව

අර්ජුන් - සිසිර පියසේන හා රුක්මණී දේවි.

ප්‍රශ්නය - අපේ සමහර නළු නිළියෝ කුලල් කා ගන්නේ ඇයි?

වියානි ගුණවර්ධන, ශීලා වැන්ඩර්ලන්

පල්ලිය පාර, වෙන්නප්පුව

අර්ජුන් - වෙන වැඩක් නැති නිසා.

ප්‍රශ්නය - 50 දශකයේ සිනමාවට ආ නළුවන් අතරේ දක්ෂ කඩවසම් නළුවෙකු වූ ආනන්ද ජයරත්න මහතාව ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ සංදේශය චිත්‍රපටයෙන් පසු ඔහුගේ කිසිදු සිනමා නිර්මාණයකට වැඩිහිටි චරිතයකටවත් නොගන්නේ මන්ද? මේ ගැන ඔබේ අදහස කුමක්ද?

ජානක ඉලුක්කුඹුර

කඩවත

අර්ජුන් - ඔහුට ගැළපෙන චරිත තිබෙන්නට නැතිව ඇති.

ප්‍රශ්නය - සිනමා ශාලා යනු සමාජයේ පන්ති භේදය දැඩිව පවතින තැනක් නේද?

චාමර හේමනාත් විජේසිංහ

පිළියන්දල

අර්ජුන් - අපොයි ඔව්. එහෙම හිතෙනවා නම් චිත්‍රපට බලන්න යන්නේ නැතිව ඉන්න.

ප්‍රශ්නය - මී පිරුණු සුවඳ මල් වනේ ගීතයේ මුල් ගායනය කාගේද? එම ගීතය ඇතුළත් චිත්‍රපටය කුමක්ද?

පී. වයි. අනුලාවතී

කුඩාගම, අවිස්සාවේල්ල

අර්ජුන් - ගායනය එච්. ආර්. ජෝතිපාල. චිත්‍රපටය සංගීතා.

ප්‍රශ්නය - එදා සෙවන් නයිට් ඉන් ජපෑන් චිත්‍රපටය තුළින් අප දුටු මයිකල් යෝර්ක් පිළිබඳ විස්තරයක් දෙන්න.

ආනන්ද වික්‍රමආරච්චි

ඉහළ තල්දූව

අර්ජුන් - බ්‍රිතාන්‍ය ජාතික විශිෂ්ට ගණයේ වේදිකා නළුවෙකු වන මයිකල් යෝර්ක් මහ රැජනගෙන් නයිට් පදවියක් අතපත් කරගත් නළුවෙක්. දැනට 73 වෙනි වියේ පසුවන ඔහු මුලින්ම රඟපාන්නට එන්නේ ටෙලිවිෂන් නිර්මාණයක් වූ ෆෝසයිට් සාගා ටෙලියෙනි. සිනමාවට පිවිසෙන්නේ ශේක්ෂ්පියර්ගේ ටේමින් ඔෆ් ද ශෲ රඟපෑමෙන්. ඔහු රෝමියෝ ජුලියට්, ලෝගන්ස් රන්, දී අයිලන්ඩ් ඔෆ් ඩොක්ටර් මොරීශු ඔහු රඟපෑ චිත්‍රපට කිහිපයක්. ට්‍රාන්ස්ෆෝමර් චිත්‍රපටයේ දෙබස් කැවීමකටත් නිරත වුණා. 1968 දී ප්‍රැට්ෂියා මැකලම් සමඟ විවාහ වුණා. මේ විවාහය අද වනතුරු පවත්වා ගෙන යනවා. මේ දිනවල ඔහු ඇට මිදුලු පිළිකාවකින් පීඩා විඳින බව වාර්තා වෙනවා.

ප්‍රශ්නය - හින්දි සිනමාවේ සිටින දක්ෂ චරිතාංග නිළියක වන විද්‍යා බාලන් මේ වන විට රංගනයෙන් දායක වූ සිනමා නිර්මාණ පිළිබඳව යමක් සඳහන් කරන්න.

එන්. සලිත දිල්මින්

එල්ලාවල

අර්ජුන් - 2003 වසරේදී බාලෝ තෙකෝ නම් බෙංගාල චිත්‍රපටයෙන් සිනමාවට පිවිසෙන විද්‍යා, පරිනීතා චිත්‍රපටයෙන් ලෝකය පුරා අවධානය දිනා ගන්නවා. වන්ස ෆොනර් ටයිම් ඉන් බොම්බායි, කහානි, ඩර්ටි පික්චර් ඇය රගපෑ විශිෂ්ට චිත්‍රපට අතරින් කිහිපයක්.

ඔබේ සිනමා පැන විසඳුම්
අර්ජුනගෙන් පිළිතුරු. සරසවිය, ලේක්හවුස්, කොළඹ 10