වර්ෂ 2015 ක්වූ සැප්තැම්බර් 17 වැනිදා බ්‍රහස්පතින්දා




විජේ කියන්නේ මම ම තමයි
දුක දිනූ දිවියක අමරණීය සැමරුම් සමඟ කලං...

විජේ කියන්නේ මම ම තමයි

දිරියෙන්, විරියෙන් ලොව දිනූ මිනිසුන්ගේ ජීවිත කතාව අන් අයට ආදර්ශයකි. ශක්තියකි. විටෙක ආශිර්වාදයකි. විවිධ අභියෝග හමුවේ නොසැලී, නොපසුබස්නා වීර්යයෙන් ජීවිතයේ කඳුළ, තුටු හසරැල්ලක් බවට පෙරළා ගත් එවන් දිරිය මිනිසුන් අතරට ඔහුගේ නම ද එක් වන්නේ නිරායාසයෙනි. හේ ප්‍රවීණ රංගවේදී අමරසිරි කලංසූරිය නම් වේ. ‘කලං’ යැයි කියූ විගසින් මුළු රටක් ඔහු හඳුනයි.

‘කලං’ මෙරට බිහි වූ විශිෂ්ට සිනමා නළුවන් කිහිප දෙනාගෙන් කෙනෙකි. ගතින් කුඩා වුව ද ඔහුගේ රංගන කෞශළ්‍ය ඊට වඩා කිහිප ගුණයකින් විශාලය. ප්‍රවීණ රංගවේදී රවීන්ද්‍ර රන්දෙණිය වරෙක මා හා පැවසූ මේ කතාව ඊට කදිම උදාහරණයක් නොවෙන්නේද?

‘නළුවකුට වඩා වැදගත් උස මහත ශරීරයක් හෝ කඩවසම් පෙනුමක් නෙවේ, රංගන පෞරුෂයයි. ඒකට හොඳම උදාහරණය තමයි අමරසිරි කලංසූරිය.’ කලංගේ රංගන චාරිකාවේ අක්මුල් සොයා යන්නෙකුට එකී කතාවේ සැබෑ අරුත වටහා ගැනීම එතරම් අසීරු කාර්යයක් නොවනු ඇත.

මේ අපූර්ව රංගවේදියාගේ හතළිස් පස් වසක සිනමා දිවියේ අපූරු මතකයන් මෙන්ම ඔහුගේ ජීවන අත්දැකීම් ද එක්තැන් වූ සුවිශේෂී ග්‍රන්ථයක් එළඹෙන 20 වැනිදා එළි දැක්වීමට නියමිතය. ‘දුක දිනූ දිවියක අමරණීය සැමරුම් - කලං’ එම කෘතියේ නමය. කලං අද මේ කතාබහට එක් වන්නේ එකී කාර්යය නිමිත්තක් කර ගනිමිනි.

කලං අයියට දැන් වයස කීයද?

නළුවකුගෙන් හෝ නිළියකගෙන් කිසි දිනෙක නොඇසිය යුතු එකී පැනය මා කලං අයියාට යොමු කළේ නිකමට මෙනි. ඔහු වත පුරා ඇඳී යන්නේ මන්දස්මිතයකි.

දැන් මට අවුරුදු හැත්තෑ තුනක් මල්ලී. මම ඉපදුණේ 1940 සැප්තැම්බර් 20 වැනිදා.

කලං අයියා එසේ පවසන්නේ තවමත් මුව මත රැඳි සිනහව සමඟිනි. ඒ සිනහව නිහඬව කියා පාන්නේ අව්‍යාජ මිනිසකුගේ ජීවන පුරාවෘත්තයේ සොඳුරු අඬහැරයයි. ඔහු සිය අතීත මතකයට පියමං කරන්නේ මගේ ඇරැයුමකින් තොරවමය.

මගේ තාත්තා ෆ්‍රැන්සිස් අප්පුහාමි. අම්මා බංගමගෙදර පොඩි හාමිනේ. තාත්තා ඉපදිලා තියෙන්නේ දකුණු පළාතේ මීපාවල ගමේ. විවාහයෙන් පස්සේ අම්මයි, තාත්තයි මහනුවර බහිරවකන්දේ පදිංචියට ඇවිත් ජීවත් වෙලා තියෙන්නේ පුංචි පැල් කොටයක් හදාගෙන. අපේ පවුලේ කොල්ලොම හතර දෙනයි. අයියා නිශ්ශංක. පද්මසේන, ආරියපාල කියලා මල්ලිලා දෙන්නෙක් මට හිටියා.

තාත්තාගේ ජීවිකාව වුණේ?

ඔහු ව්‍යාපාරිකයෙක්. තාත්තා මුලින්ම කරලා තියෙන්නේ ගම් දනව් පුරා ගිහින් එකතු කර ගත්තු භවභෝග බිබිල, මහියංගනය, සේරන්කඩ, පදියතලාව වගේ දුෂ්කර ප්‍රදේශවලට ගිහින් අලෙවි කරන එක. ඔහු නැවත බහිරවකන්දට එන්නේ ඒ ප්‍රදේශවලින් අඩු මුදලට මිල දී ගත් බඩු භාණ්ඩ බරබාගේ පුරවාගෙන. මේ දෙපැත්තෙම වෙළ හෙළඳාම්වලින් තාත්තාගේ අත මිට ගොඩක් සරු වෙලා තිබුණාලු. ඊට පස්සේ තාත්තා ගමේ වෙළෙඳ සැළක් ආරම්භ කළා.

සිය මව පිළිබඳ ‘කලං’ට ඇත්තේ බොඳ වී ගිය මතක සේයාවක් පමණි. ඒ සිය මව මිය යන විට කලං පුංචි කොලු ගැටයකුව සිටි නිසාය. සිය දරුවන් සිව් දෙනා යහතින් රැක බලා ගනිමින් හා ස්වාමියාගේ ව්‍යාපාරික කටයුතු සඳහා හැකි පමණ උදවු, උපකාර කරමින් දිවි ගෙවූ බංගමගෙදර පොඩි හාමිනේගේ අකල් වියෝව ඔවුන්ගේ පවුල් දිවියට ගෙන ආවේ අභාග්‍ය සම්පන්න ඉරණමකි.

අම්මා ගැන මට එච්චර ලොකු මතකයක් නෑ. කොහෙද කියලා මතක නැතත් මම දවසක් අම්මා එක්ක බස් එකක ගමනක් ගියා. මම ගියේ බස් රියේ කවුළුවෙන් එබීගෙන. හිටපු ගමන් හිස්වැසුම සුළඟේ ගසාගෙන ගියා. මම ඒක ඉල්ලලා හැඬුවා. රියදුරාට කියලා බස් රථය නවතාගෙන අම්මා දුවලා ගිහින් ආයෙත් මට හිස්වැසුම ලබා දුන්නා. ඒ මතකය කවදාවත් මගේ හිතෙන් බැහැර වෙන්නේ නෑ.

ඊට පස්සේ තාත්තා නැවත විවාහයක් කර ගත්තා?

ඔව්. ඇත්තටම තාත්තා ආපසු විවාහ වෙන්න ඇත්තේ අපි පුංචි එවුන් හින්දම වෙන්නැති. ටික කාලයක් තාත්තා අපිව සේවකයන් ගාව නවත්වලා ඈත පළාත්වල වෙළඳාම්වලට ගියා. ඒත් කැමැත්තෙන් නෙවෙයි. ඊට පස්සේ තමයි තාත්තා පුංචි අම්මා ගෙදරට කැන්දන් ආවේ. පුංචි අම්මා කිව්වාම එකවරම අපේ හිතට එන්නේ හරි නපුරු, තාත්තාට කේලම් කියන චරිතයක්නේ. ඒත් මේ පුංචි අම්මා ඇත්තටම අපට අම්මා කෙනෙක් වුණා.

පුංචි කාලේ හරිම දඟයෙක්ලු නේද?

ඒ ගැන නම් කියලා වැඩක් නෑ. දවසක් තාත්තාගේ කඩේට ආපු මනුස්සයෙක් තාත්තාට පහර දෙන්න සූදානම් වුණා, මොකක් ද ප්‍රශ්නයකට. ඊට කලින් මම ඉස්සර වුණා.

මොකද කළේ?

ළඟම තිබුණ පැණි බීිම බෝතල් ගොඩෙන් එකක් අරගෙන මම අර මිනිහගේ ඔළුවට පතබෑවා. මිනිහගේ ඔළුව පැළිලා ලේ ගලන්න පටන් ගත්තා. අන්තිමට තාත්තා තමයි කුලී රථයකින් මිනිහව ස්පිරිතාලෙට අරගෙන ගියෙත්. ඕක එකක් විතරයි.

ඔබ පාසල් ගියේ?

මුලින්ම කිරිබත්කුඹුර ශ්‍රී ස්වර්ණජෝති විදුහලට. ඊට පස්සේ තාත්තා මට ඉංග්‍රීසි අධ්‍යාපනය හොඳට ලබා දෙන්න හිතාගෙන ශාන්ත ක්‍රිස්ටෝපර් ඉංග්‍රීසි විද්‍යාලයට ඇතුළත් කළා. ඊට පස්සේ මනුවර ධර්මරාජ විද්‍යාලයට.

කොහොමද ඉගෙනීමට දක්ෂද?

වැඩිපුරම කළේ කට්ටි පැනපු එක තමා. ඒත් කොහොම හරි එස්. එස්. සී. පාස් වුණා.

පාසල් දිවියෙන් සමුගත් කලං ගත කළේ රස්තියාදුකාර ජීවිතයකි. ස්ථිර රැකියාවක් නොතිබූ ඔහුට අඟ හිඟකමින් ගහන වූ තම දිවිය රැක ගන්නට ඉතා කර්කශ රැකියාවන් කිහිපයකටම නිරත වන්නට සිදු විය. පියාගේ හදිසි වියෝව ද කලංගේ පවුලට පාත් වුූ හෙන ගෙඩියක් බඳු විය. එහෙත් ජවසම්පන්න තරුණයකු වූ කලං කවර අභියෝගයක් මැද වුව ද සිය ජීවන අරගලයට නොබියව මුහුණදීමට ඒ වන විටත් තීරණය කර තිබිණ.

රැකියා නොමැතිව සුසුම්ලන තරුණ පිරිසට මමත් එක් වුණා. එහෙ මෙහෙ ඇවිදලා කුලියක් මලියක් කරගෙන ලබා ගන්න ශත දහයෙන්, පහළොවෙන් තමයි මම එදාවේල පිරිමහ ගත්තේ. ඔය අතරේ මම ගෙවන කටුක දිවි පෙවෙත දැකලා දුරින් මගේ ඥාතියෙක් වෙන ලාල් අයියා ඔහුගේ රස කැවිලි වෙළෙඳාමට මාව හවුල් කර ගත්තා. මගේ සේවයට සරිලන වැටුපකුත් එක්ක ඔහු මට තුන් වේලටම කන්නත් දුන්නා. මමත් රෑ නිදි මරාගෙන මගේ සේවය ඔහුට උපරිමයෙන් ලබා දුන්නා.

එතකොට කලං අයියා හමුදා සේවයට සම්බන්ධ වුණේ කොයි කාලෙද?

ඒ කාලෙම තමයි. දවසක් රසකැවිලි හදන්න බඩුමුට්ටු ගේන්න නුවර කඩ මණ්ඩියට ගිය වෙලාවක මට අහම්බෙන් අපේ කැඩෙටින් සර් හමු වුණා. ඔහු මගේ තොරතුරු විමසද්දී සියල්ලම නොවලහා ඔහුට හෙළි කළා. එක පාරටම ඔහු මගෙන් ඇහුවා ‘තමුසේ කැමැති නැද්ද හමුදාවට බැඳෙන්න’ කියලා. මම කැමැති වුණා. මගේ ඇඟට අමුතු ශක්තියක් ලැබුණා වගේ. ඉතින් ලාල් අයියාගේ විරුද්ධත්වය මැද මම හමුදාවට ඇප්ලිකේෂන් එකක් දැම්මා.

ඊට පස්සේ?

ඉන්ටර්වීව් එකට ගියා. එතන හිටපු සේරටම වඩා සුදුසුකම් තිබුණත් මගේ උස පොඩ්ඩක් මදි වුණා. ඒත් කැඩෙටින් සර් මට එතනදි උපකාර කළා. ඔහු මේජර් දොරේ රාජ් මහතාට මගේ සියලු විස්තර කියලා යුද හමුදා සේවයට සම්බන්ධ කළා. දෙවැනි සිංහ රෙජිමේන්තුවේ සාමාන්‍ය සෙබළෙක් විදිහට හමුදා සේවයට එක් වෙන්න මට අවස්ථාව ලැබුණේ ඒ විදිහට. දියතලාව හමුදා කඳවුරේ පුහුණුවෙන් පස්සේ දියතලාවේම ටික කලක් සේවය කරලා ඊට පස්සේ පලාලි හමුදා කඳවුරට අනුයුක්ත කළා. එතනින් නාගර්කෝවිල්වලට.

කොහොම හරි හමුදා ජීවිතේ එපා වෙනවා?

ඔව්. පොඩි පෙම් පළහිලව්වක් නිසා හමුදා ජීවිතේ මට එපා වුණා. ඒක දිග කතාවක්. කොහොම හරි මම හමුදාවෙන් පැනලා ආවා. ආයෙත් තැන තැන ඇවිදිමින් රස්සාවක් හොයන්න පටන් ගත්තා. ඒ අතර තමයි මට හිතවතකුගේ මාර්ගයෙන් දැනගන්න ලැබුණේ මහනුවර නගරයේ ලියෝන්ස් ආපන ශාලවේ මුළුතැන්ගෙයි රැකියාවක් තියෙනවා කියලා. වෙන කෙනෙක් එන්න කලින් මම ගිහින් රැකියාව ලබා ගත්තා.

මොනවද කරන්න තිබුණ වැඩ රාජකාරි?

ආපන ශාලාව පිරිසුදු කිරීම වගේම මුළුතැන්ගෙයි සුළු සුළු වැඩත් මට පැවරුණා. මගේ ප්‍රියතම රාජකාරිය වුණේ හොඳ බිත්තර හා බිඳුණු බිත්තර වෙන් කිරීම. අන්තිමට ගණන් හැදෙන්නේ හොඳ බිත්තර දෙක, තුනක් බිඳුණු බිත්තර ගොඩට දමලා. ඒ බිත්තරවලට වුණ දේ දන්නේ මම විතරයි. හෝටලෙන් මට හොඳට කෑම ලැබෙනවා. ඊට අමතරව දවසකට බිත්තර දෙක තුනකින් සප්පායම් වෙනවා. ඇඟට නිකං අමුතුම ෆිට් එකක්. හෝටලේ වැහුවට පස්සේ Y. M.C.A එකට ගිහින් බොක්සිං ප්‍රැක්ටිස් කරනවා. මොකද පාසලේදීත් මම බොක්සිං කළානේ.

පුංචි කාලේ චණ්ඩිකම් ආයෙත් ඉස්මතු වුණේ නෑ?

නැත්තේ මොකද? හෝටලේ ඩ්‍රයිවර් බණ්ඩයියා එක්ක දවසක් පොඩි වචන හුවමාරුවක පැටලුණා. වැඩේ දුර දිග ගිහින් අන්තිමට මේක ගුටි කෙළියක් වුණා. මටත් තිබුණේ බොක්සිං උණනේ. ෂොට් එකක් වැදිලා බණ්ඩයියාට තුවාල වුණා. එයා හෝටලේ පැරැණි සේවකයා නිසා මුදලාලි මාව අස් කළා.

එකී අමිහිරි සිදුවීමෙන් පසු කලංගේ දිවිමඟේ තවත් කටුක කාල සමයක් උදා වූයේ දෛවයේ නියමයට අනුව මෙනි. හිතවතකුගේ මාර්ගයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ රැකියාවක් ඔහුට ලැබුණ අතර සේවා ස්ථානය පිහිටියේ මහියංගනය, හසලක ප්‍රදේශයේය. රැකියාව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වූ බැවින් ඔහු සිතා සිටියේ තමන්ට කරන්නට ඇත්තේ ඊට අදාළ යමක් බවය. එහෙත් ඔහුට ලැබුණේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් කළුගල් වලක රැකියාවකි.

මම බලාපොරොත්තු වුණේ එහෙම රැකියාවක් නෙවෙයි. ඒත් නිකරුණේ කාලය කා දමනවාට වඩා කළුගල් කඩලා හරි අතට මුදලක් හොයා ගන්නවයි කියන චේතනාවෙන් මම Job  එක බාර ගත්තා. කළු ගල් වලේ සේවකයකුගේ දවසේ වැටුප වුණේ රුපියල් 1.75 යි. අව් කාෂ්ඨකේ පිච්චි පිච්චි, අතේ දියපට්ටා එනකල් ගල් කඩලා ඒ ගන්න මුදල මහන්සියේ හැටියට කොහෙත්ම සාධාරණ වුණේ නෑ. හැබැයි ඒ අසරණ මිනිස්සු ඒකට විරුද්ධව කටක් හෙල්ලුවෙත් නෑ. කොහොම හරි එතන වැඩ පරික්ෂකවරයෙක් එක්ක ආරාවුලක් වෙලා මිනිහටත් දෙකක් ඇනලා මම රස්සාව අතෑරලා ආයේ කිරිබත්කුඹුරට ආවා.

ඉන් පසු කලං හට මහනුවර සුප්‍රසිද්ධ ‘මල්ලිකා’ ඡායාරූප ශාලාවේ සේවය කිරීමට අවස්ථාව උදා විණ. ඒ සිය පැරැණි හිතවතකු වු ජයවීර නැමැත්තකුගේ රෙකමදාරුව මතය. ඔහු මෙතෙක් නිරත වූ රැකියාවන් අතරෙන් වඩාත් සුවපහසු රැකියාව මෙය බව කලංට හැඟුණේ තමාට පැවරී තිබුණ රාජකාරිය වැඩි බරක් පතළක් නොවූ බැවිනි. ආයතනය අතු පතු ගා පිරිසුදු කිරීම, හිමිකරුගේ වුවමනා එපාකම්වලට කඩපිලට යාම වැනි සුළු වැඩ කොටසක් ඔහුට පැවරී තිබුණි. කලං පවසන පරිදි ඔහුගේ රංගන දිවියේ පදනම වැටෙන්නේ ද මේ අවධියේමය.

කිංස්වුඩ් කොලේජ් එකේ ආදි ශිෂ්‍යයෙක් හිටියා රංජිත් පෙරේරා කියලා. ඔහු නිතරම ස්ටුඩියෝ එකට එනවා. ඡායාරූප ශිල්පියෙක් වුණත් මිනිහට සිනමාව ගැන ලොකු ඇල්මක්, උනන්දුවක් තිබුණා. එහෙත් ඒ කාලේ බොහෝ තරුණයන්ට වගේම රංජිත්ටත් මුදල් තිබුණේ නෑ තමන්ගේ ආශාව මුදුන් පමුණුවා ගන්න. ඒත් වාසනාවට වගේ ඔහුට අවස්ථාව ලැබුණා කෙටි චිත්‍රපටයක් නිර්මාණය කරන්න. මටත් පුළුවන් වුණා ඔහුට ඒ සඳහා යම් ආකාරයකට උදව් කරන්න. ඒක අහම්බයෙන් සිදු වූ දෙයක්.

මොකක්ද ඒ අහම්බය?

දවසක් Studio  එක අස්පස් කරන කොට මට මුල්ලකට ගොඩ ගසා තිබූ මි. මී. 16 යේ දළ සේයාපට තොගයක් හම්බ වුණා. එක පාරටම මට මතක් වුණේ රංජිත්ව. මම Studio  එකේ අයිතිකාර මහත්මයාටත් කියලා රංජිත්ට ඒ දළ සේයාපට ටික ලබා දුන්නා. රංජිත් ඒ දළ සේයා පට යොදාගෙන තමයි ‘රැයත් දවාලත්’ කෙටි චිත්‍රපටය නිර්මාණය කළේ. මම කරපු උදව්වට ප්‍රතිඋපකාරයක් විදිහට රංජිත් මට කතා කළා ඒ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට. ප්‍රධාන නිළිය වශයෙන් යොදා ගත්තේ අනෝමා වත්තල්දෙණිය. ඇය එතකොට කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයේ ශිෂ්‍යාවක්.

කැමරාව ඉස්සරහට ගියාම චකිතයක් දැනුණේ නැද්ද?

මට රඟපාන්න තිබුණේ පාපන්දු ක්‍රීඩකයකුගේ චරිතයක්. මම කැමරාවට මුහුණ දුන් ප්‍රථම වතාව වුණාට රඟපෑම මට අලුත් දෙයක් වුණේ නෑ. මොකද මම පාසල් ශිෂ්‍ය භට කඳවුරකදී මිතුරන් එක්ක ඉදිරිපත් කරපු ඉංග්‍රිසි නාට්‍යයක ‘මැක්වීටා’ කියන ස්ත්‍රී චරිතය රඟපා තිබුණා. ඒ පාසල් නළුවා නැවත ජීවමාන කළේ රංජිත්. ඔහු මට රඟපෑම ගැන නොයෙක් ගුරුහරුකම් ලබා දුන්නා.

රංජිත් හා හා පුරා අධ්‍යක්ෂණය කළ කලංගේ කුලුඳුල් රඟපෑම රැගත් ‘රැයත් දවාලත්’ කෙටි චිත්‍රපටයේ මංගල දර්ශනය ප්‍රදර්ශනය වූයේ මහනුවර රීගල් සිනමා ශාලාවේය. රංජිත් සිය කුලුඳුල් චිත්‍රපටය ඩී. බී. නිහාල්සිංහට පෙන්වූයේ රූප මාධ්‍ය පිළිබඳ දැනුමැත්තකු වූ ඔහුගෙන් යම් උපදේශයක් ලබා ගන්නා අටියෙනි. රංජිත්ගේ ව්‍යායාමය පිළිබඳ මෙන්ම එහි ප්‍රධාන චරිතය රඟපෑ ගැටවර නළුවා කෙරෙහි ද නිහාල්සිංහගේ සිත්හි ඇති වූයේ ප්‍රසාද පූර්වක හැඟීමකි.

ෆිල්ම් එක බලලා නිහාල්සිංහ සර් රංජිත්ට කියලා තියෙනවා ‘කවුද මේ හාදයා, හොඳට රඟපාලා තියෙනවා. මිනිහට හොඳ සිනමැටික් මූණක් තියෙනවා’ කියලා.

ඔය කාලේ නේද ඔබ ඇඳුම් ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ?

ඔව්. ඒ වෙනකොට මම ‘මල්ලිකා’ ඡායාරූප ශාලාවෙන් අයින් වෙලා. දැන් හරි හමන් රස්සාවකුත් නෑ. අනෙක මම Studio  එකෙන් එළියට බැස්සේ ආයේ කිසිම දවසක අනුන් යටතේ රක්ෂාවක් නොකරන බවට ස්ථිර අධිෂ්ඨානයක් ඇති කරගෙන. ඒ නිසා මගේම කියලා පුංචියට හරි බිස්නස් එකක් කරගෙන පාඩුවේ ඉන්නයි මට ඕනෑ වුණේ.

අන්තිමට ඒ අදහස ඉෂ්ට වෙනවා?

දවසක් මම නුවරඑළියේ ඇවිදගෙන යනවා. අර පරෙස්සම් කරගත් පුංචි මුදලක් මගේ ළඟ තිබුණා. මට අවශ්‍ය වුණේ රෙදිපිළි ව්‍යාපාරයකට අත ගහන්න. බොහොම හිතලා මතලයි මම ඒ තීරණය අරගෙන තිබුණේ. මම ගියා එඩ්මන් රෙදි සාප්පුවට. ඒකේ තිබුණා විදේශිකයන් ඇඳපු පරණ ඇඳුම්. රෙදිපිළි පට්ට ගහන සිරිතක් නෑනේ සුද්දන්ට. ඒවා පිරිපහදු කරලා අලෙවි කළේ ‘බේල් සූට්’ කියලා. ඒ රෙදි පිළි නිමි ඇඳුම් තිබුණේ කන්දක් වගේ ගොඩ ගහලා. රෙදි කන්ද එහෙට, මෙහෙට පෙරළලා පෙනුමෙන් හොඳ කලිසම් හතරක් එකක් රුපියල් 15.00 ගණනේ මිලට ගත්තා.

ඊට පස්සේ මොකද කළේ?

ගෙදර ඇවිත් අර කලිසම් ටික හොඳට මැදලා වෙන වෙනම කවරවලට දාලා නුවරඑළියෙන්ම ගත්තු ලාභ සුවඳ විලවුන් කුප්පියෙන් බිංදු කීපයක් ඒවාට දැම්මා. මම මේවා මිලදී ගත්තේ මල්ලිකා ස්ටුඩියෝ එකේ අයිතිකාරයාගේ පුතාට දෙන්න. මොකද මිනිහ හරි ජැන්ඩියට අඳින්න, පළදින්න කැමැති කෙනෙක්.

ඉන් පසු එදිනම හවස ඔහු සිය කුලුඳුල් ව්‍යාපාරය ආරම්භ කිරීමේ අටියෙන් ඡායාරූප ශාලා හිමිකරුගේ නිවසට ගොඩ වැදුණේය. අදාළ තරුණයා හට කලිසම් රැගත් පාර්සලය දිගු කරමින් කලං මෙසේ පැවසුවේ වෙළෙඳාමට ඇවැසි සියුම් උපායශිලී ගුණාංගය ද ඔහු සතු සහජ හැකියාවක් බව විදහා දක්වමිනි.

බිස්නස් එක පත්තු කරපු හැටි ඔබේම වචනවලින් කියන්නකෝ?

‘මහත්තයා, මම දන්න කියන සුදු මහත්තයෙක්ගෙන් කලිසම් වගයක් හම්බ වුණා. මෙච්චර වටින කියන ඇඳුම්වලින් මට වැඩක් තියෙන එකක්යැ. මහත්තයා කැමැති නම් මේවා අරගෙන මට සාධාරණ ගානක් දෙන්න’ කියලා මම කිව්වා. මිනිහා අර කලිසම් හතරට වහ වැටුණා. මට ලොකු නෝට්ටුවක් දික් කළා. ඉස්ඉස්සෙල්ලාම වෙළඳාමෙන් හිතුවටත් වඩා ලොකු මුදලක් මට ලැබුණා.

අඩු මිලට ලැබෙන පරණ ‘බේල් සූට්වලට’ පින්සිදු වන්නට කලංග් අතමිට දිනෙන් දිනම සරුවන්නට විය. අහල පහල තමන් දන්නා කියන බොහෝ දෙනෙකු හට ‘බේල් සූට්’ අත්දවන්නට ඔහුට හැකියාව ලැබුණේය. දැන් අලුතෙන් ගනුදෙනුකරුවන් සොයා යා යුතුය. එහෙයින් ඊළඟ වාරයේ ගෙනා රෙදි පොට්ටනිය පාපැදියක තබාගෙන පාරක්, තොටත් ගානේ ඇවිදිමින් හේ සිය වෙළෙදාම් කටයුතු කරගෙන ගියේය.

බස්පොළක්, පින්කම්පොළක්, සැනකෙළියක්, පෙරහැරක් කොටින්ම කිව්වොත් සෙනඟ ටිකක් පිරිලා ඉන්න හැම තැනකටම මම ගියා. මම අරගෙන යන මාදිලියේ ඇඳුම්, පැළඳුම් වෙනත් කිසිදු තැනකින් සොයා ගන්නට නොහැකි නිසා ඒවාට හොඳ ඉල්ලුමකුත් තිබුණා. සමහරු මඟ බලාගෙන හිටියා මම ‘බේල් සූට්’ අරගෙන එනකල්.

කලං අයියා ඒ අතීතය සිහිපත් කරන්නේ කිසියම් වූ ආහ්ලාදයකින් විය යුතු යැයි හැඟෙන්නේ එක පොකුරට මුහුණේ නළියන සිනහ රැළි නිසාවෙනි. තත්පරයෙන්, තත්පරය, මොහොතින්, මොහොත ජීවිතයට නැවුම් ප්‍රාර්ථනාවන් එකතු කරගන්නා අධිෂ්ඨානශීලී මිනිසකුගේ ජීවිත ඉරණම විසඳාලීමට සොබා දහම පවා ආශිර්වාද කරනා සැටියකි.

දැන් රෙදිපිළි වෙළෙඳාමෙන් අතමිට ටිකක් සරුයි. මේ කාලේ තමයි මම මහනුවර වඩුගොඩපිටිය වීදියේ පුංචි කඩ කාමරයක් අරගෙන පදිංචියට ආවේ. මගේ හිතට දැනුණේ මගේම නිවහනකට ආවා වගේ හැඟීමක් ආවේ. පුංචි අඟුරු කැටයක් අරගෙන මම බිත්ති වාටියේ ‘My Inn’ ’ (මගේ නිවහන) කියා කුරුටු ගෑවා. පස්සෙදි ඒ නම ලොකු නාම පුවරුවක ඇඳලා සාර්ථක වෙළෙඳ ව්‍යාපාරයක් පවත්වාගෙන යන්න මට පුළුවන්කම ලැබුණා.

1969 වසරේ තිරගත වූ සුගතපාල සෙනරත් යාපාගේ ‘හන්තානේ කතාව‘ කලංගේ සිනමා රංගන දිවියේ ආරම්භයයි. ‘රැයත් දවාලත්’ කෙටි චිත්‍රපටයේ රඟපා තිබුණ ද හේ වෘත්තාන්ත සිනමාවට පිවිසියේ හන්තානේ කතාවෙනි.

‘හන්තානේ කතාව‘ට නළු, නිළියන් තෝරා ගන්න සම්මුඛ පරික්ෂණය තිබුණේ ජුබිලි ශාලවේ. මාව ඒකට යොමු කළේ ධර්මසේන පතිරාජ. පති ධර්මරාජ විද්‍යාලයේ මට වඩා ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෙක්. ඒ වුණාට අපි අතරේ තිබුණේ දැඩි මිත්‍රත්වයක්. ඉතිං පතී කියූ නිසාම මමත් ගියා.

සෑහෙන පිරිසක් ඇවිත් ඉන්න ඇති?

මොනවද කියන්නේ, එකම හිස් ගොඩක්. ඒ අය ඇවිත් හිටියේ ඒ කාලේ හිටපු ජනප්‍රිය නළුවෝ විදිහට හැඳ පැළඳ ගෙන. බම්ප් එක තියලා. කොන්ඩේ පස්සට පීරලා, ගිනිකූරු කට් එක තියලා. මේ වගේ නොයෙක් මෝස්තර. හැබැයි හැමෝම හිටියේ ජැන්ඩියට ඇඳලා.

ඔබේ පෙනුම, ඇඳුම ඊට සහමුලින්ම වෙනස්?

මම ගියේ පොකට් දෙකේ කමිසයයි, ඩෙනිම් කලිසමයි ඇඳගෙන. රබර් බුෂ් සපත්තු කුට්ටමකුත් දාගෙන. මාව කවුරුත් ගණන් ගත්තේ නෑ. ඒත් එතන හිටපු කොණ්ඩය වවා ගත් සුදු, උස, හීන්දෑරි තරුණයෙක් මාත් එක්ක කුළුපඟ වුණා. කොහොම හරි එදා ඔහුත් මමත් දෙන්නම ඒ සම්මුඛ පරීක්ෂණයෙන් තෝරා ගෙන තිබුණා චිත්‍රපටයේ රඟපාන්න. ඔහු ප්‍රධාන නළුවා. මම සහාය නළුවා. ඒ තමයි විජය කුමාරණතුංග. මට මේ චිත්‍රපටයේදී කැමරාව ඉදිරියේ වැඩි කාලයක් රැඳී ඉන්න නොලැබුණාට සුගතපාල සෙනරත් යාපා, විජය ධර්ම ශ්‍රී, පතිරාජ, බර්ටි ගුණසේකර, විජය, ස්වර්ණා මල්ලවාරච්චි වගේ අය එක්ක වැඩ කිරීමට ලැබීම ලොකු පන්නරයක් වුණා. මම ඒ චරිතය රඟපෑවෙ අර සම්මුඛ පරීක්ෂණයට ඇඳපු සූට් එකෙන්ම තමයි.

ඒ හමුවීමෙන් පස්සේ විජයත්, ඔබත් අතර දැඩි මිතුරුදමක් ගොඩ නැඟෙනවා?

ඒ මිත්‍රත්වය කොයි තරම් බලවත් වුණාද කියනවා නම් මම විජයවත් මගේ බිස්නස්වලට හවුල් කර ගත්තා. ඒ කියන්නේ ‘බේල් සූට්’ ව්‍යාපාරයට. පොලීසියේ රස්සාවකට කැඳවීමක් ලැබිලා ඒක එපා කියලා රඟපාන්න ආවට විජයට ඒ කාලේ නිශ්චිත ආදායමක් තිබුණේ නෑ. විජයත් එක පයින් කැමැති වුණා මගෙත් එක්ක මේ වැඩේට හවුල් වෙන්න.

නුවරඑළියට ගොස් බස් රියක වහලය මත රෙදි මිටිය පටවා ගන්නා විජය හා කලං නැවත මහනුවරට විත් එම රෙදි මිටිය බසයෙන් බා ගනිති. ඉන් පසු සුපුරුදු පරිදි වෙළෙඳාමේ කටයුතුවලට යන්නේ අර පාපැදියේ රෙදි මිටිය තබාගෙනය.

සමහරදාට විජය වෙළෙඳාමේ යන්න එන්නේ නෑ. නොයෙක් සවාරි යනවා ඒ ඇඳුම් ඇඳගෙන. ඊට පස්සේ මම කරන්නේ ඒවා හෝදලා නැවුම් දාර තියලා, මැදලා අලෙවි කරන එක. ‘හන්තානේ කතාව‘ චිත්‍රපටය ප්‍රදර්ශනය වීමත් එක්ක විජය හුඟක් කාර්යබහුල වුණා. ඊට පස්සේ එයාට වෙලාවක් තිබුණේ නෑ මගේ ව්‍යාපාර කටයුතුවලට එක් වෙන්න. හැබැයි මම දිගටම ඒ කාර්යයේ රැඳිලා හිටියා. අර මම කුලියට අරගත්ත වඩුගොඩපිටිය වීදියේ අංක 32 දරණ ස්ථානයේ මම‘My Inn’නමින් රෙදිපිළි සාප්පුවක් විවෘත කළා.

කොල්ලා කාලේ නිසා කෙල්ලන්ගේ ඇල්ම, බැල්ම එහෙම නොවැටුණා වෙන්න බෑ?

එහෙම ඒවා තිබුණා. ඒත් මට අවශ්‍ය වුණේ ව්‍යාපාරික කටයුතු හොඳින් කරගෙන යන්න. ඒ නිසා වැඩිපුර එව්වා ඔළුවට ගත්තේ නෑ. හැබැයි නිතරම වෙළෙඳසැලට ආපු එක්තරා යුවතියක් ගැන නම් මට ලොකු ඇල්මක්, උනන්දුවක් ඇති වුණා. මෙයා මහනුවර පුෂ්පදාන විද්‍යාලයෙන් පේරාදෙණිය සරසවියට තේරීපත් වූ යුවතියක්. යෙහෙළියන් කීප දෙනෙක් එක්ක නිතරම වගේ සාප්පුවට එනවා. යනවා. අපි අතරේ ආදර සම්බන්ධයක් ගොඩ නැඟුණා.

ඒ ආදර සම්බන්ධය කෙළවර වුණේ විවාහයෙන්?

ඔව්. ඇත්තටම එයාගේ ගෙදරට හොරෙන් අපි විවාහ වුණේ. එයා තරමක ප්‍රභූ පවුලක කෙනෙක්. පස්සේ අපට පුළුවන් වුණා ඒ වැඩිහිටියන්ගේ ආශිර්වාදය ලබා ගන්න. අදටත් මගේ ජීවිතයේ සෙවනැල්ල වගේ ඉන්න ඇගේ නම අජන්තා තලතා කුමාරි ඒකනායක.

එක්තරා සවස් යාමයක කලංගේ සාප්පුවට ධර්මසේන පතිරාජ පැමිණියේ සුවිශේෂ කටයුත්තක් පිළිබඳ සාකච්ඡා කර ගැනීමට අවශ්‍ය බව පවසමිනි. ඒ වන විට ඔහු ‘අහස් ගව්ව‘ චිත්‍රපටය නිර්මාණය කිරීමට සැළසුම් කොට තිබූ අතර දිනෙන් දින එම කටයුත්ත ප්‍රමාද වූයේ නිෂ්පාදකයකු හොයා ගැනීමට නොහැකි වූ නිසාය.

ඒ වෙනකොට පතීට ආර්ථික වශයෙන් උදවු කරන්න මට පුළුවන්කමක් තිබුණේ නෑ. මොකද මම මගේ ව්‍යාපාර කටයුතුවලට මුදල් යොදවා තිබූ නිසා. ඒත් මට පුළුවන් වුණා මිත්‍රරත්න හේරත් මේ වැඩේට සම්බන්ධ කරගන්න. ඔහු ධර්මරාජ විදුහලේ අධ්‍යාපනය ලබන කාලේ ඉඳන් මගේ හිතවතා. ඒ වෙනකොට ඔහු හසලක ප්‍රදේශයේ සාර්ථක ව්‍යාපාරයක් කරගෙනයි හිටියේ. පතී මට කිව්වේ චිත්‍රපටයට යන්නේ රු. 30,000 යි කියලා. ඒත් අන්තිමට රුපියල් 72,000 ක් ගියා ‘අහස් ගව්ව‘ හදන්න.

‘අහස් ගව්ව’ පතීගේ වගේම ඔබේ සිනමා දිවියේත් හැරවුම් ලක්ෂ්‍යක්?

පතී ‘අහස් ගව්ව‘ චිත්‍රපටයෙන් කතා කළේ එකල සමාජයේ දැවෙන ප්‍රශ්නයක් වූ තරුණ විරැකියාව ගැන. චිත්‍රපටය ගොඩ නැඟෙන්නේ විජේ නමැති පීඩිත පන්තියේ තරුණයෙක් වටායි. පතී ඒ චරිතය බාර කළේ මට. ඇත්තම කිව්වොත් ඒ විජේගේ චරිතය හා මගේ අතර වෙනස තිබුණේ නාමමාත්‍රිකව විතරයි. ඒ ජීවන අත්දැකීම් මම විඳලා තිබුණා. ඒ රැකියා විරහිත තරුණයා, ඒ අඟහිකම්වලින් හේබා ගිය තරුණයා, ඒ සමාජය විසින් පාගා තූ කොට දැමූ තරුණයා අනෙකෙක් නොව මේ අමරසිරි කලංසූරියමයි කියලා මට හිතුණා.

‘අහස් ගව්ව‘ රංගනය වෙනුවෙන් කලං ප්‍රථම වරට සම්මානයෙන් පිදුම් ලැබීම ද විශේෂත්වයකි. 1975 වසරේ හත් වැනි ලේඛක හා විචාරක සම්මාන උලෙලේදී ඔහුට හොඳම නළුවාට හිමි සම්මානය ලැබුණේ ‘රංගනයේ සුගම බව, රම්‍යතාවය හා අව්‍යාජත්වයෙන් රඟපෑමෙහි ලා ප්‍රකට කර ඇති යෞවන ලාලිත්‍ය හා සියුම්, හැඟීම්බර ජීව ශක්තියත් හේතු කොට ගෙන’ ආදී වශයෙන් හේතු පාඨ දක්වමිනි.

ඒ සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටයට, හොඳම අධ්‍යක්ෂණය, හොඳම කැමරාකරණයට ‘අහස් ගව්ව‘ සම්මාන ලැබුවා. තිර රචනය වෙනුවෙන් ධර්මසේන පතිරාජත් සම්මානයෙන් පිදුම් ලැබුවා. රංගනය සඳහා ගෞරව සහතිකයක් විමල් කුමාර් ද කොස්තාටත්, සංගීතය සඳහා කුසලතා සම්මානයක් ප්‍රේමසිරි කේමදාසටත් ලැබුණා.

මට හිතෙන්නේ ඔබ මුලින්ම ආදරවන්තයකු බවට පත්වෙන්නේ ‘අපේක්ෂා’ චිත්‍රපටයෙන්. ඒත් අපි එතෙක් සිනමාවේ දැක හුරුපුරුදු සුකුමාර පෙම්වතාගෙන් මිදුණු අලුත් ආරක පෙම්වතෙක් තමයි ඔබ නිරූපණය කළේ?

මම ඒ වෙන කොට අධ්‍යක්ෂවරුන් ගණනාවක් යටතේ රඟපෑම් ඉදිරිපත් කර තිබුණත් මගේ රංගන දිවිය නව මාවතකට යොමු කළ අධ්‍යක්ෂවරයා වුණේ එච්. ඩී. ප්‍රේමරත්න. නිමල් නමැති ඒ පෙම්වතාගේ චරිතය මට රඟපාන්න තිබුණේ මාලිනී ෆොන්සේකා සමඟ. ඇත්තටම මම නිමල් හරහා ඉදිරිපත් කළේ සුපුරුදු බොළඳ පෙම්වතාගේ චරිතය නෙවෙයි.

ඒ කියන්නේ ඔබට අනන්‍ය වූ යථාර්ථවාදී රංග විලාසය මේ චරිතයටත් යොදා ගත්තා?

එහෙම කිව්වොත් හරි. එතනදි නිමල්ගේ චරිතය ගොඩ නඟා ගන්න මට මාලිනීගෙන් ලැබුණේ ලොකු සහායක්. වාණිජ සිනමාවේ දොරටුව මට විවර වුණේ ‘අපේක්ෂා’ චිත්‍රපටය හරහා කිව්වොත් හරි.

ඔබ කිසිදාක අධ්‍යක්ෂවරුන් පසුපස ගොස් චරිත සිඟාකෑ නළුවෙකු නොවන බව ප්‍රකට කාරණයක්?

ඒක ඇත්ත. මම සමාජයේ ජනප්‍රිය වුණේ නළුවෙක් හැටියට වුණත් රඟපෑම මගේ ජීවනෝපාය කරගන්න මට අවශ්‍ය වුණේ නෑ. මම හැම වෙලාවෙම මුල් තැන දුන්නේ ව්‍යාපාරික කටයුතුවලට සහ පවුලේ කටයුතු වෙනුවෙන්.

ඒ නිසාමද ඔභ සංඛ්‍යාත්මකව එතරම් සිංහල චිත්‍රපට ගණනක රඟ නොපෑවේ?

වෙන්න ඇති. මම හිතන්නේ මම රඟපෑ චිත්‍රපට සියල්ල ගත්තත් පනහකට අඩු ප්‍රමාණයක් වෙන්න ඇති. හැබැයි ඒ සෑම චරිතයකටම මම සාධාරණය ඉෂ්ට කළා කියා හිතනවා. බඹරු ඇවිත්, අනුපමා, පොඩි මල්ලි, පරිත්‍යාගය, වජිරා, සක්විති සුවය, යස ඉසුරු, වැල්ලේ තැනූ මාලිගා, ඩොරින්ගේ සයනය, මල් වරුසා, පූජා, පොඩි විජේ, දොළොස් මහේ පහන, සාගරයක් මැද වගේ චිත්‍රපටවල මම රඟපෑ චරිත ප්‍රේක්ෂකයන්ට අදටත් මතක ඇතැයි මා විශ්වාස කරනවා.

ඔබ අවසන් වරට රඟපෑවේ ‘දිය යට ගින්දර’ චිත්‍රපටයේයි. ඒ මීට දශකයකට පමණ පෙර. නැවත සිනමාවට එන්න අදහසක් නැද්ද?

හොඳ චරිතයක් ලැබුණොත් රඟපානවා. මා රඟපෑමෙන් ඈත්වෙලා නෑ. එත් මට සුදුසු, වයසට ගැළපෙන චරිතයකට ආරාධනා ලැබුණේ නෑ. ඉදිරියේදී ලැබුණොත් බලමු.

කලං අයියා තාම කොල්ලා වගේ. කොහොමද මේ තාරුණ්‍යය රැකගෙන ඉන්නේ?

කොල්ලා වගේ වුණාට ඇත්තටම දැන් වයස 73 ක් නේ. මම තවම ව්‍යායාම කරනවා. උදේට අපේ ග්‍රවුන්ඩ් එක වටේ රවුම් පහක් දුවනවා. උදේ 9.30 ට විතර මට වයිෆ් හැමදාම කොළ කැඳ කෝප්පයක් හදලා දෙනවා. තුන් වේලටම කන්නේ බත්. ඉතින් නිරෝගීව ඉන්නවා. දැන් ඉතින් පවුල් බරකුත් නෑනේ. දූලා දෙන්නටයි, පුතාටයි වෙන්න ඕනෑ යුතුකම් කළා. මට ජීවිතේ ගැන තියෙන්නේ සතුටක්.

‘දුක දිනූ දිවියක අමරණීය සැමරුම් - කලං’ කෘතිය දොරට වඩිනදා මම හිතන්නේ පුංචි උත්සවයක් පැවැත්වෙනවා?

ඔව්. පොත් ප්‍රදර්ශනයට සමගාමීව 20 වැනිදා සවස 6.00 ට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී තමයි මේ පොත දොරට වඩින්නේ. මේ ග්‍රන්ථයේ කතුවරයා සුජිත් ලක්මාල් වීරසේකර ඉතා මහන්සියෙන් ඔහුගේ උපාධි නිබන්ධනය සඳහායි මුලින් මෙය රචනා කළේ. එහි ඇතැම් කොටස් ඉවත් කර නව ග්‍රන්ථයක් ලෙස මෙය එළි දක්වනවා. ප්‍රවීණ සිනමා නළු සනත් ගුණතිලක තමයි ප්‍රධාන ආරාධිතයා. ගුණසිරි සිල්වා හා නුවන් නයනජිත් කුමාර යන සිනමා විචාරකයන් මා පිළිබද කෙටි දෙසුම් පැවැත්වීමට නියමිතයි. මේ අවස්ථාවට එක් වෙන ලෙස මා සැමට ආරාධනා කරනවා.