වර්ෂ 2015 ක්වූ සැප්තැම්බර් 17 වැනිදා බ්‍රහස්පතින්දා




ග්‍රැන්විල් අදටත් ජීවත් වෙනවා

ග්‍රැන්විල් අදටත් ජීවත් වෙනවා

බිරිය ශ්‍යාමලී

ජනප්‍රිය නළුවකු හා ගායකයකු ලෙසින් ප්‍රසිද්ධියක් ලබා සිටි ග්‍රැන්විල් රොඩ්රිගෝ අප අතරින් වියෝ වී මේ වන විට දාසය වසරක් ඉක්ම ගොසිනි. එදා පුංචි තිරයේ, වේදිකාවේ, සිනමාවේ මෙන්ම ප්‍රසංග වේදිකාවේ ද ඔහු රඟපෑ චරිතයන් මෙන්ම ගායනයන් ද මේ දහසය වසක් අදත් ප්‍රේක්ෂක රසික හදවත්වලින් දුරස් නොවී පවතී.

කවුරුත් නොසිතූ නොපැතූ මොහොතක ජීවිත රඟමඬලෙන් සමුගෙන ගිය ග්‍රැන්විල්ගේ අද පවුලේ තොරතුරු සොයා අපි පිය මැන්නේ 42/3, ඇලෙක්සැන්ඩ්‍රා වත්ත, ජාඇල නිවහන සොයාගෙනය. ග්‍රැන්විල්ගේ දයාබර බිරිය ශ්‍යාමලී රොඩ්රිගෝ අපට හමු වූයේ එහිදීය. මේ ඇය හා කෙරෙන සංවාදාත්මක කතාබහකි.

* ග්‍රැන්විල් නැති වෙලා අවුරුදු දාහතකටත් ආසන්න වෙලා නේද?

එයා නැති වෙලා නැහැ. අදටත් ජීවත් වෙනවා.. එයා කිව්ව කෙරුව හැම දෙයක්ම අපිට ඉතිරි කරලා තමයි එයා කායිකව ජීවිතයෙන් සමු ගත්තේ.

*  එදා වගේම අදත් ඔබ කලා ක්ෂේත්‍රයේ අයත් එක්ක සමීප වෙලාද කටයුතු කරන්නේ?

ග්‍රැන්විල් හිටපු කාලේ නම් ගොඩක් අය මම හඳුනා ගත්තා. අද වෙන කොට කලා ක්ෂේත්‍රයට එන අය නම් මම හඳුනන්නේ නැහැ. ඒ දවස්වල ග්‍රැන්විල් සමඟ එකට හිටිය බොහෝ දෙනා මට නිතර හමු නොවුණත්, නිතර කතාබහ නොකළත්, කලාකරුවකුගේ අවමඟුලකදී ඕනෑ තරම් හමු වෙනවා. ඒ වෙලාවට නංගී අපිට අමතක වෙලා නම් නැහැ. ඕනෑ උදව්වක් තියෙනවා නම් කියන්න ග්‍රැන්විල් වෙනුවෙන් අපි අදටත් ඉන්නවා කියනවා.

*  ග්‍රැන්විල්ගේ හදිසි අභාවයත් එක්ක ඔබ දරුවෝ තුන් දෙනාත් සමඟ නොසිතූ ලෙස අසරණ වුණා?

ඒ වෙලාවේ මම මොනවද කරන්නේ කියලවත් මට හිතාගන්න බැරිව ගියා. මා ළඟ ජීවත් වෙන්නවත් හරි හමන් මුදලක් තිබුණෙත් නැහැ. ඒ වෙන කොටත් අපේ මෝදර ගෙදර හදන්න ගෙයයි ඉඩමයි බැංකුවට උගස් කරලා තිබුණේ. ග්‍රැන්විල්ගේ යාළුවෝ එකතු වෙලා මමත් දරුවො තුන් දෙනාත් වෙනුවෙන් පදනමක් ඇති කළා. ජැක්සන් ඇන්තනී, කමල් අද්දරආරච්චි, ශ්‍රියන්ත මෙන්ඩිස්, ජයන්ත චන්ද්‍රසිරි මේ අය එකතු වෙලා සියලු කලාකරුවන්ගේ දායකත්වය අරන් අපිට රුපියල් ලක්ෂ පහළොවක් හොයලා දුන්නා. ඒ මුදල බැංකුවේ තැන්පත් කරලා ලැබෙන පොලී මුදලින් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වියදම් කරන්න ඒ මුදල මම යොදා ගත්තා. ඒ අතරේ අපේ මෝදර ගෙදර එක තට්ටුවක් කුලියට දීලා එයින් ලැබෙන මුදලින් අනෙක් අවශ්‍යතා සඳහා මම මුදල් හොයා ගත්තා. මගේ අම්මත් තාත්තත් හිටියේ ඉතාලියේ. එයාලත් මට උදවු කළා.

*  මහත්තයා නැති වෙන කොට ඔබේ පුතුන් තිදෙනාම පුංචි දරුවෝ. කොහොමද ඒ අයගේ තොරතුරු?

මහත්තයා නැති වෙන කොට ලොකු පුතා චිරත්ට අවුරුදු දොළහයි. දෙවැනි පුතා තිසල්ට අවුරුදු දහයයි. පොඩි පුතා මධුපට අවුරුදු හතරයි. තිසල් පුතා තමයි අද මාත් එක්ක ඉන්නේ. එයා ඩයලොග් ආයතනයේ විධායක ශ්‍රේණියේ රැකියාවක් කරනවා. ලොකු පුතත්, පොඩි පුතාත් ඕස්ට්‍රේලියාවේ. ලොකු පුතා නම් එහෙ ගුරුවරයෙක් ලෙස රැකියාව කරනවා. පොඩි පුතා නම් තවම එහෙ ඉගෙන ගන්නවා.

*  ආදරණීය ග්‍රැන්විල් ඔබට හමු වන්නේ කොහොමද? විවාහ යෝජනාවකින්ද?

අපෝ නැහැ. අපි දෙන්නා අතර ප්‍රේම සම්බන්ධයක් ඇති වුණා. එයා කතෝලික. මම බුද්ධාගමේ. එයා මට මුලින්ම හමු වුණේ දහම් පාසලේ භක්ති ගීත කියන්න ගිහින්. මෝදර මිලින්දාරාමයේ මම දහම් පාසල් ශිෂ්‍යාවක්. එයා කතෝලික වුණත් පන්සලේ හාමුදුරුවොත් එක්ක හුඟක් සමීපයි. ඒ නිසාම භක්ති ගීත කියන්න ආවා.

*  ඔබට ග්‍රැන්විල් හමුවෙන කොටත් ඔහු රංගනයට අවතීර්ණ වෙලාද?

ඔව්. ඒ වෙන කොට චිත්‍රපට, වේදිකා නාට්‍ය එහෙම රඟපාලා තිබුණා. මම එයාව හඳුනා ගත්තේ 1984 දී. අපි දෙන්නා විවාහ වුණේ 1987 දී.

*  ආගම් දෙකක වුණ නිසාම ඔබට දෙමාපිය ආශිර්වාදය ලැබුණාද?

විවාහයත් සමඟ මම කතෝලික ආගමට ආවා. අපේ සම්බන්ධය පටන් ගන්න කොටම ග්‍රැන්විල් කල් නොයවා ඉක්මනින්ම ඇවිත් අපේ දෙමාපියන් හමුවෙලා කැමැත්ත ලබා ගත්තා.

*  ග්‍රැන්විල් රඟපෑ මොන වගේ නිර්මාණයක්ද ඔබ මුලින්ම නැරැඹුවේ කියලද මතක?

තාරාවෝ ඉගිලෙති වේදිකා නාට්‍යය.

*  ඔහුගේ රංගනයන් ගැන මොනවද ඔබෙන් ඇසුවේ?

මගේ ඇක්ටින් හොඳ ද, මම ඕවර් ගියාද කියලා තමයි මගෙන් අහන්නේ.

*  දරුවෝ පසුකාලීනව කලාවට එන්න උත්සාහ කළේ නැද්ද?

එහෙම විශේෂයක් තිබුණේ නැහැ. පුතාලා ඉස්කෝලේ නම් කලා කටයුතුවලට සම්බන්ධ වුණා. මම වැඩිපුර මහන්සි ගත්තේ පුතාලා තුන් දෙනාව අධ්‍යාපනය පැත්තට නැඹුරු කරන්න තමයි.

*  ඔහු මියගිය අවධිය වන විට රංගනය පැත්තට වඩා ප්‍රසංග වේදිකවේ ජනප්‍රිය චරිතයක් වී තිබුණා නොවේද?

ඔටා දමඤ්ඤා කැසට් පටයත් සමඟ එයා ගායනය පැත්තෙන් ඉදිරියට ගියා. ප්‍රසංග වේදිකාවේ ඔටා දමඤ්ඤා ගීතයට විශාල ඉල්ලුමක් තිබුණා නිසාම ප්‍රසංග සඳහා රටේ දුර බැහැරින් පවා ආරාධනා ලැබුණා.

*  මත්පැන් පොදක්, දුම්වැටියක් කටේ තිබ්බේ නැති විරල ගණයේ පුද්ගලයෙක් නේද ඔබේ සැමියා?

එයා ඒදේට පුරුදු වෙලා හිටියේ නැහැ. හැබැයි එයා දිහා බලපු කවුරුවත් එක පාරට එහෙම විශ්වාස කරන්නෙත් නැහැ. අරක්කු සිගරැට් බොන යාළුවොත් ඕනෑ තරම් ආශ්‍රය කළා. ඒ වගේ බොන තැන්වල එකට හිටියා. ඒත් ඒ දේට එයා පෙළඹුණේ නැහැ. රංගනයේදී නම් ඒ වගේ චරිත හරි අපූරුවට නිරූපණය කළා.

*  ඒ නොබොන හේතුව ලෙස ඔහු කියා තිබුණේ මොකක්ද?

ඒකට ප්‍රධාන හේතුව හැටියට ග්‍රැන්විල් මට කිව්වේ එයාගේ තාත්තා අම්මාගේ පවුල් ජීවිතය කියලා. ග්‍රැන්විල්ගේ තාත්තා මත්පැන් සිගරැට්වලට ලොල්ව සිටි පුද්ගලයෙක් නිසා නිතර අම්මත් තාත්තාත් අතර බහින්බස්වීම් තිබුණලු. මේ බහින්බස්වීම් ගෙදර නිතර ඇතිවෙන කොට අම්මා ගෙදරින් පවා යන්න ගියාලු. පවුල තුළ ඇති වෙන අසමගිය එයා පොඩි කාලේ ඉඳලම දැක්ක නිසා මෙයා මේ පුරුද්දට ඇබ්බැහි වෙලා නැහැ.

*  ඔහුගේ රසික රසිකාවියෝ අදටත් ඔබලා සමඟ සමීපද?

එහෙම නැහැ. සමහරු නම් හිතවත් කට්ටිය කෝල් කරලා කියනවා ග්‍රැන්විල් ඉන්න ටෙලි නාට්‍යයක්, චිත්‍රපටයක් යනවා කියලා.

*  ඔබේ පවුලේ සමීපතමයන් වූ රසික රසිකාවියනුත් හිටියා නේද?

නුවර පදිංචි වෙලා හිටිය චමිල්කා මිතුරිය ඒ වගේ කෙනෙක්. එයා බැඳලා හිටියේ පේරාදෙණිය රෝහලේ ජගත් කියලා වෛද්‍යවරයෙක්. මෙයාලා අපේ ගෙදර ආව ගියා. අපිත් එයාලගේ ගෙදර ගියා - ආවා. ග්‍රැන්විල් ඉන්න කාලේ පටන් අපි අතර සමීප සම්බන්ධයක් තිබුණා. එත් දැනට අවුරුදු පහකට විතර ඉඳලා එයාලගෙන් තොරතුරක් නැහැ.

*  ඇත්තද අදටත් ග්‍රැන්විල් නමින් මෝදර ගෙදර ලිපිනය සඳහන් වෙනවා කියන්නේ?

මෝදර ගෙදර ගේට්ටු කණුවේ අදටත් ග්‍රැන්විල් රොඩ්රිගෝ, 88, රජමල්වත්ත පාර, මෝදර, කොළඹ 15 නමින් ලිපිනය සඳහන්. ඒකයි මම කලිනුත් කිව්වේ ග්‍රැන්විල් මගෙන් වෙන් වෙලා ගිහින් තියෙන්නේ කයෙන් පමණයි කියලා.

*  ඒ කියන්නේ අදටත් ග්‍රැන්විල් නාමය මිනිසුන් තුළ තියෙනවා?

ඔව්. නැහැ කියන්න බැහැ. කොහේ ගිහින් හරි මම වැඩක් කර ගන්න ගියත් නමේ අගට රොඩ්රිගෝ නමේ කොටසත් මෝදර ලිපිනයත් තියෙන කොට සමහරු අහනවා අර නළුවෙක් හිටියේ ග්‍රැන්විල් රොඩ්රිගෝ කියලා, එයාලගේ කවුරු වද්ද කියලත්. අදටත් මගේ පුතාලගේ නමින් නෙමේ බොහෝ අය කතා කරන්නේ, මේ ග්‍රැන්විල් රොඩ්රිගෝ ගේ පුතාලා කියලා තමයි එයාලව හඳුන්වලා දෙන්නේ, කතාබහ කරන්නේ.

*  ග්‍රැන්විල් අප අතරින් වියෝ වූ ශෝචනීය දිනය ගැන කතා කළොත්?

එයාට ආරාධනයක් ලැබිලා තිබුණා මහරගම දහම් පාසලක ත්‍යාග බෙදාදීමේ උත්සවයකට. ඒකට යන අතරේ තමයි මේ රිය අනතුරට මුහුණපෑවේ. 1999 ජනවාරි 10 වැනිදා රිය අනතුරට පත් වෙච්ච ග්‍රැන්විල් ජනවාරි 14 වැනිදා අපිව දාලා යන්න ගියා. වෛද්‍යවරු නම් කිව්වේ එයාගේ ඇඟට විෂ බීජයක් ඇතුල් වෙලා තමයි මේ මරණය සිද්ධ වෙලා තියෙන්නේ කියලා.

*  ඔබ දෙපලගේ වෙඩින් ඇනවසරි එක මේ වියෝවට කොයි ආකාරයෙන් ද සම්බන්ධ?

ජනවාරි 17 වැනිදා තමයි ග්‍රැන්විල්ගේ දේහය භූමදානය කළේ. එදාට කොහොම හරි අපි දෙන්නාගේ විවාහයේ දොළොස් වෙනි සංවත්සරයත් යෙදිලා තිබුණ දිනය වුණා. ඒ දවසෙම දේහය මිහිදන් කළ යුතුයි කියලා අපි කලින් තීරණයක් අරන් තිබුණේ නැහැ. ඒ බවක් මට මතක් වුණෙත් දේහය මිහිදන් කළාටත් පස්සෙයි.

*  ඔහු දායක වූ නිර්මාණ වෙනුවෙන් මුදල් ලැබෙන්නත් තිබුණද?

අපෝ තිබුණා. හැබැයි කවුරුවත් ඒවා එයාගේ මරණෙන් පස්සේ ගෙනත් දෙන්නවත් ආවේ නැහැ. අදටත් ග්‍රැන්විල් මිය ගොස් අවුරුදු දාහතකටත් කිට්ටු වෙන්න ඇවිත්. ඒ අය ග්‍රැන්විල්ට ණයයි.

*  ඔබ අධිෂ්ඨානයෙන් ජය ගත් කාන්තාවක්?

මගේ අත් දෙකයි, අධිෂ්ඨානයයි මගේ ජීවිතයේ සාර්ථකත්වයට මුල් වුණා. මම ආදරණිය ග්‍රැන්විල් නැති වුණාට පස්සේ දරුවෝ තුන් දෙනා එක්ක ගොඩක් අසරණ වුණා. ඒ අසරණකමෙන් මම ගොඩ එන්න සැලසුම් සහගතව මට ලැබුණු මුදල් යෙදෙව්වා. මගේ මල්ලීගේ යාළුවෙක් හිටියා සුරේෂ් කියලා. එයාගේ ව්‍යාපාරයක් තිබුණා පරණ වාහන ගෙනත් හදලා විකුණන. එයා මගෙන් මුදලක් ඉල්ලා ගත්තා ව්‍යාපාරය කරගෙන යන්න. ඒ වෙනුවට මට එයාගේ ලාබෙන් මුදලකුත් මගේ මුදලට පොලියකුත් ලබා දුන්නා. 2000 වසරේ පටන් එයා අදටත් මාත් සමඟ මේ ගනුදෙනුවේ නියැලිලා ඉන්නවා. එයින් ලැබෙන මුදල්වලින් මම දරුවන්ට ඉගැන්නුවා. ජීවිතය ජය ගත්තා. ඒ ගැන මට තියෙන්නේ අප්‍රමාණ සතුටක්.

*  ඔබ ග්‍රැන්විල්ට සමු දුන්නේ පොරොන්දුවක් සපත කරමින් නේද?

ඔව්. එයාගේ දේහය මිහිදන් කරන්න ගෙදරින් ගෙනි යන මොහොතේ මම එයාගේ අත් දෙක අල්ලලා පොරොන්දුවක් වුණා මම එයාගේ බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉෂ්ඨ කරනවා කියලා. ඒ වගේම මම ඒ බලාපොරොත්තු එකක් නෑර අද වෙන කොට ඉෂ්ඨ කරලා තියෙනවා. ඒක ගැන මට තියෙන්නේ සතුටක්.