වර්ෂ 2015 ක්වූ සැප්තැම්බර් 17 වැනිදා බ්‍රහස්පතින්දා




 ගුරු වෘත්තියට වඩා රංගනයට මං කැමැතියි

ගුරු වෘත්තියට වඩා රංගනයට මං කැමැතියි

හිරු නාළිකාවේ දිග හැරෙන වස්සානේ ප්‍රේමය ටෙලි සිතුවමේ චාරුව ඔබට මතකද? ඒ චරිතයට පණ පොවන්නේ මෙන්න මෙයා. නම ඉනෝමි අලුත්වල. දැනගන්න කැමැති ඇති නේද ඇය ගැන.

ඉනෝමි කියන්න ඔබේ විස්තර?

මොනවද දැනගන්න ඕනෑ. අහන්න ඕනෑ දෙයක්.

ඔබේ ගමනේ ආරම්භය ගැන කතා කළොත් හොඳයි පළමුව?

මං රංගනයට එකතුවන්නට ගොඩක් ආසවෙන් හිටියා. ඒත් අවස්ථාව ලැබුණේ නැහැ. සංජීවනී වීරසිංහ අක්කා තමයි මාව මුලින්ම රඟපාන්න එක්කගෙන යන්නේ. ඇය මාව කැළුම් පාලිත මහීරත්න මහතාට හඳුන්වා දෙනවා. ඔහු මට මුල්ම අවස්ථාව දුන්නා. ඒ ඔහුගේ විසුළ අහස යට ටෙලි සිතුවමේ.

මොකද හිතුණේ?

ගොඩක් සතුටු වුණා. එහි ප්‍රධාන නිළිය වූ අමන්දාගේ යහළුවෙක් හැටියටයි මං රඟපෑවේ. ඩයලොග් එහෙමත් තිබුණා. ඒ වුණාට බය නැතුව හොඳට රඟපෑවා.

ඉනෝමි ඊට පසුව රඟපෑ නාට්‍ය ගැන මතක් කිරීමක් කරමු?

හේඩි, මුතුපලස, වරාමලී, සියපත් අරණ, කෝරලේ මහත්තයා සහ වස්සානේ ප්‍රේමය.

අතරින් වැඩිපුරම ප්‍රතිචාර ලැබුණේ?

චාරුට හොඳ ප්‍රතිචාර ලැබුණා. මුතුපලසටත් එහෙමයි. වරාමලී හි මං කරපු චරිතය ගැන සෑහෙන්න දෙනා කතා කළා.

ඔබ වෘත්තීයෙන් ගුරුවරියක් නේද?

ඔව්.

මොන පාසලේද ඔබ සේවය කරන්නේ?

මහරගම බුවනෙකබා මහ විද්‍යාලයේ. හය වසරෙන් ඉහළ ළමයින්ට ගණිතය විෂය තමයි මං උගන්වන්නේ.

හොඳ ගණන් කාරියක් එහෙනම්?

සැබෑ ජීවිතයේ නම් එහෙම ගණන් කාරියක් නෙවෙයි. නමුත් මං ගණිතය හොඳට උගන්වනවා කියලා ළමයි කියනවා.

ගුරුවරියක් විදිහට ඔබට ලැබෙන චරිත ගැන ඔබ සැලකිලිමත් වෙනවාද?

නැහැ.

ඒ කියන්නේ ලැබෙන ඕනෑම චරිතයක් බාර ගන්නවා?

මේ වෙනකම් මට ලැබුණේ මට කරන්න පුළුවන් සහ ගැළපෙන චරිත. ඒක නිසා ඒවා බාර ගත්තා. ඉදිරියේදීත් එහෙම වෙයි කියලා හිතනවා. මට ලැබෙන චරිත නම් ගැටලුවක් නැහැ.

එහෙනම් මොකක්ද තියෙන ගැටලුව?

මට තියෙන එකම ගැටලුව තමයි චරිතවලට අදාළ ඇඳුම් තෝරන එක. මොකද මගේ වෘත්තියත් එක්ක ඕනෑවට වඩා නිරාවරණය වන ඇඳුම් අඳින්නත් බැහැනෙ. ඒ හින්දා සුදුසු ඇඳුමක් ඇඳගෙන තමයි රඟපාන්න යන්නේ.

පාසලේ ළමුන් මොකද කියන්නේ තමන්ගේ ගණිත ගුරුවරියගේ රඟපෑම් ගැන?

එයාල හරිම ආසයි මාව ටී වී එකෙන් දකින්න. උගන්වලා ඉවර වෙද්දී ළමුන් අහනවා මොනවද ඊළඟ වැඩ කටයුතු කියලා.

ළමුන් ඔබව අපහසුතාවයට පත් කරන අවස්ථා නැතිද?

තියෙනවා. තියෙනවා. මේ දවස්වල මගේ වෙළෙඳ දැන්වීමක් විකාශය වෙනවා. ඒක ගැන කිය කියා ඕනෑවට වඩා විහිළු කරනවා. ඇතැම් අවස්ථාවලදී ඒ විහිළු ඕවර් යන අවස්ථා තියෙනවා. මොලේ කල්පනා කරලා ඒවාට මුහුණ දෙනවා.

ගුරු වෘත්තියට ද රංගනයට ද ඔබ වඩාත් කැමැති?

ඇත්තම කිව්වොත් ගුරු වෘත්තියට වඩා මං කැමැතියි රංගනයට.

එහෙනම් ඔබ ඇයි වෘත්තීය නිළියක් නොවන්නේ?

ගුරු වෘත්තිය ස්ථිරයි. මාසෙ අන්තිමේට පඩියක් ගන්නවා කියලා දන්නවානේ. රංගනයේදී එහෙම නැහැ.

ඔබට දැනෙන විදිහට ගුරු වෘත්තියේද කලා ක්ෂේත්‍රයේද ප්‍රශ්න වැඩි?

මට දැනෙන විදිහට ක්ෂේත්‍ර දෙකම එක වගේ. නරක මිනිස්සු මේ කොයි තැන්වලත් ඉන්නවා. හොඳ අයත් ඉන්නවා. ගැටලුත් තියෙනවා. කටකතාත් හැදෙනවා.

ඒත් කලා ක්ෂේත්‍රයේ හැදෙන කටකතා බොහොම ඉක්මනින් ප්‍රසිද්ධ වෙනවා නේද?

ඒක ඉතින් ඒ කාලේ ඉඳලා තිබුණු පොදු ධර්මතාවයක්නේ. මෙහි ඉන්න මිනිස්සු ප්‍රසිද්ධ නිසා ඉක්මනින් කටකතා පැතිරෙනවා. අනික මේ ෆීල්්ඩ් එක ගැන මිනිස්සු අවධානයෙන්නෙ ඉන්නේ. හැබැයි ලංකාවේ තරම් ජරා කතා හදන කලා ක්ෂේත්‍රයක් තියෙන රටක් තවත් නැතුව ඇති.

ලංකාවේ හැර වෙන රටක ඉපදුනා නම් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද ඒ වෙලාවට?

හිතෙනවා. ස්විඩනය වගේ රටක ඉපදුනා නම් වෙන රටකට ගියත් පිළිගැනීමක් තියෙනවා. මෙහෙ අය වෙනත් රටවලට යද්දී එයාර්පෝට්වල මිනිස්සු අපි දිහා බලන්නේ හරිම සැකෙන්. නිළියක් කියලා කිව්වටත් වැඩක් නැහැ. අන්න එහෙම වෙලාවට තමයි හිතෙන්නේ වෙනත් රටක ඉපදිලා නිළියක් වුණා නම් හොඳයි කියලා.

රඟපාන්න ගිහිල්ලා වෙච්ච අමතක නොවන අත්දැකීම් මොනවද තියෙන්නේ?

සිරිපැරකුම් චිත්‍රපටයේ මං රඟපෑවේ අන්තඞපුර පාලිකාව හැටියට. පිටපතේ හැටියට අපිට ගලෙන් පහළට පනින්න තිබුණා. ඒ දර්ශනය ගන්න මොහොතේ ගලෙන් පැනපු පාර මගේ දනිස්ස මගෙ ඔළුවෙ වැදුණා. හප්පේ තරු පෙනුණා. ඒ සිදුවීම කවදාවත් අමතක වෙන්නේ නැහැ.

ඉදිරියේදී රඟපාන්න කැමැත්තෙන් ඉන්න චරිතයක් තියෙනවාද?

ඔව්. මං ආසයි හද්ද ගැමි චරිතයක් කරන්න.

මේ වන විට ඔබ පෙම්වතියක්ලු?

ඒක නම් ඇත්ත. හැබැයි කවුද කියලා කියන්න බැහැ. ඉදිරියේදී සියල්ල හෙළි කරන්නම්.

ගුරුවරියක් වීම රංගන කටයුතුවලදී පහසුවක් වූ අවස්ථා තිබේද?

රංගන කටයුතුවලට වඩා රංගන ජීවිතයේදී මට පහසුවක් වෙච්ච අවස්ථා තියෙනවා. මං ගුරුවරියක් කියලා දැනගත්තම බොහෝ දෙනෙක් මගෙත් එක්ක අනවශ්‍ය විහිළු කරන්නේ නැහැ. මට ගෞරවයෙන් කතා කරන්නේ. මට ඒක පහසුවක්.

ඉනෝමිගේ ගම කොහෙද?

ගම වැලිගම, ඉන්නේ මහරගම.

උපන් දිනය?

මාර්තු 10.

ඔබ ඉදිරියේදී දැකගන්නට හැකි නිර්මාණ මොනවාද?

සාරංග මෙන්ඩිස්ගේ මුතුවැස්ස ටෙලි නාට්‍යයෙන් මාව දැක බලා ගන්න පුළුවන්.

ඔබ ගැන කෙටියෙන් හඳුන්වන්න බලන්න?

හරිම සංවේදී කෙනෙක්.