වර්ෂ 2015 ක්වූ සැප්තැම්බර් 17 වැනිදා බ්‍රහස්පතින්දා




වැරැදි නොකරන මිනිසෙක් ලොවේ නැත

වැරැදි නොකරන මිනිසෙක් ලොවේ නැත

 ‘මහරජ අජාසත්’ වූ ගයාන් වික්‍රමතිලක කියයි

මේ දිනවල තිරගත වන සනත් අබේසේකරගේ ‘මහරජ අජාසත්’ චිත්‍රපටයේ අජාසත් රජුගේ චරිතයට පණ පොවන්නේ ගයාන් වික්‍රමතිලක ය. පුංචි තිරයෙන් නරඹන්නගේ හදවත බැඳගත් ඔහුගේ මේ සිනමා ආගමනය පිළිබඳත්, කලා කටයුතු පිළිබඳ ඇතුළු බොහෝ දේ පිළිබඳත් ගයාන් සමඟ කළ සාකච්ඡාවකින් මේ ලිපිය සැකසිණි.

මේ දවස්වල ලැබෙන ප්‍රතිචාර එහෙම කොහොමද?

මෙතෙක් රඟපෑ චිත්‍රපටවලට වඩා මේ චිත්‍රපටයට මට ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් ලැබැණු ප්‍රතිචාර බොහොමයි. ඒ වගේම චිත්‍රපටය නැරැඹුව බහුතරයක් මගේ රඟපෑම වගේම චිත්‍රපටය ගැනත් සුබ පතනවා.

චිත්‍රපටය ගැන තිබුණු විචාර ඔබ දුටුවාද?

ඕනෑම දෙයක් කරන්න ගියාට පස්සේ ඒක හොඳට විචාරය කරන අය ඉන්නවා. සමහර අය දේෂ සහගතව විවේචනය කරනවා. සමහර අය මධ්‍යස්ථව විවේචනය කරනවා. චිත්‍රපට විචාරයක් විදියට මා දකින්නේ යම් චිත්‍රපටයක සමස්තය විචාරයට ලක්කිරීමයි. එහි වැරැදි සොය සොයා අඩුපාඩුම පමණක් කියන එක නොවෙයි. එහෙමත් නැත්නම් සොයාගෙන ගොස් ඔහු මරන ජාතියේ විචාර නොවිය යුතුයි. ඒ ඔස්සේ නිර්මාණකරුවාට වැරැදි හදාගෙන අලුත් දෙයක් කළ හැකිවිය යුතුයි.

ඔබ ඔය විදියට පැවසුවත් ඔහුගේ කලින් චිත්‍රපටවලදි විචාරකයන් ඒ සියලු අනතුරු ඇඟවීම් කළා නේද ?

විචාරකයෝ අනතුරු ඇඟවීම් කරලා තියෙන්නේ සනත් අබේසේකර සිනමා ක්ෂේත්‍රයට උවමනා නැහැ කියන එකද මා දන්නේ නැහැ. නමුත් සනත් අබේසේකර ළඟ හොඳ අධ්‍යක්ෂවරයෙක් සතු ගුණාංග තිබෙනවා. ඒ වගේම මමත් මේ ක්ෂේත්‍රයේ වසර දොළහකට වඩා වැඩි කාලයක් ඉන්නවා. ඒ කාලය ඇතුළේ මට මුණ ගැසුණු සමහර අධ්‍යක්ෂවරුන්ට සාපේක්ෂව සනත් අබේසේකර හොඳ අධ්‍යක්ෂවරයෙක් කියලා මා සිතනවා.

සිනමාව කියන්නේ රූපය ප්‍රබල වුණු මාධ්‍යයක් විදියට එය ප්‍රබල වුණු බවක් හෝ සිනමාවේ තිබිය යුතු අක්ෂර, අභ්‍යාස මේ චිත්‍රපටයේ දකින්නට නොමැති වීම ගැටලුවක් ?

මේ චිත්‍රපටය ඔය කියන ගැටලු තිබෙනවා නම් එවැනි නිර්මාණ කළ එකම පුද්ගලයත් සනත් අබේසේකර නොවෙයි නේ. ඒ වගේ ගැටලු සහගත චිත්‍රපට නිසා ශ්‍රී ලාංකේය සිනමාව දෙදරා ගිහින් තිබෙනවා. මිනිස්සු සිනමාවෙන් ඈත්වෙලා තිබෙනවා. එහෙනම් ඒකටත් වගකිවයුතු අධ්‍යක්ෂවරු ඉන්නවා. චිත්‍රපටයක් විවේචනය කරන්න ඕන ඒ පිළිබඳ දැනුමක් තිබෙන කෙනෙක්. නැත්නම් ඒ කර්මාන්තයේ නියැළිලා ඉන්න කෙනෙක්. ඒ නිසා මම හිතන්නේ ඕනෑම කෙනෙක් දෙස සාධාරණව හා මානුෂිකවයි බැලිය යුත්තේ. විශේෂයෙන්ම මෙහි නිෂ්පාදකවරයා වන සුනිල් ටී ප්‍රනාන්දු කියන්නේ සෑහෙන්න කාලයක් ක්ෂේත්‍රයේ රැඳීලා ඉන්න කෙනෙක්. ඔහු වැනි නිෂ්පාදකවරු නිසයි යම් තරමකට හෝ චිත්‍රපට හැදෙන්නේ. මොන ප්‍රශ්න ආවත්, සිනමාව කඩාගෙන වැටුණා කිව්වත් ඔවුන් චිත්‍රපට කරන්නේ සිංහල සිනමාව වෙනුවෙන්. ඒකට අපට දොස් කියන්න බැහැ. සනත් අබේසේකරගේ හතර වැනි චිත්‍රපටයයි මේ. ඒ නිසා තව තව නිර්මාණ එකතු කරන විට කිසියම් අඩුපාඩුවක් තිබෙනවා නම් ඒ දේවල් හදා ගනිමින් ඉදිරියට ඔහු හොඳ ගමනක් යාවි කියලා මා සිතනවා.

ඔබ කියන විදියට එහෙම නම් ලංකාවේ විචාර කලාවක් ඇත්තේ නැද්ද ?

ලංකාවේ තිබෙන්නේ විචාර කලාවකට වඩා දේශ සහගත විචාරයක්. මේ අතර හොඳ දැනුමකින්, උගත්කමකින් පරිපූර්ණ වුණු චිත්‍රපට විචාරකයෝ ඉන්නවා. ඔවුන් සාධාරණව චිත්‍රපට විචාරය කරනවා. හැබැයි මේ අතර සමහරු ඉන්නවා කැමරාවක් ඉස්සරහට ඇවිත් දෙබසක් කියා ගන්න බැරි චිත්‍රපට විචාරය කරන අය. මේ අය මෙහෙම කරන්නේ මොන දැනුමක් ඇතිවද? ඒ වගේම ඒගොල්ලො පත්තරවලටත් ආටිකල් ලියනවා. ඔය චිත්‍රපටයේ මගේ රංගනය අධි රංගනයක් කියලා මං දැක්කා පත්තරේක ආටිකල් එකක් ලියලා තියෙනවා. මම කියන්නේ අධිරංගනයක් විදියට ඒක අධ්‍යක්ෂවරයා දකින්නේ නැත්නම් ප්‍රවීණයෝ විදියට රවීන්ද්‍ර රන්දෙණිය වගේ රංගධරයෙක්, ජීවන් කුමාරතුංග වගේ රංගන ශිල්පියෙක් දකින්නේ නැත්නම් ඒ වගේ කෙනෙක් කොහොමද දකින්නේ මගේ රංගනය අධි රංගනයක් කියලා. ඒදේ කිව්ව ඒ මනුස්සයා සිනමාවට කිසිම සම්බන්ධයක් නැති කෙනෙක්. මම නම් ඒ මනුස්සයාගේ නමවත් දන්නේ නැහැ.

අජාසත්ගේ රජුගේ චරිතය ඔබටම ලැබෙන්න විශේෂ හේතුව කුමක් ද?

අජාසත් රජුගේ චරිතයට මට ආරාධනා ලැබෙන්නේ මීට ගොඩක් කාලයකට කලියෙන්. එහෙම වෙන්න මගේ යම්කිසි විශේෂත්වයක් අධ්‍යක්ෂවරයා, නිෂ්පාදකවරයා, ජීවන් කුමාරතුංග කියන අය දකින්න ඇති කියලයි මා නම් සිතන්නේ. ඒ චරිතයට හොඳට පණ පොවන්න පුළුවන් පුද්ගලයා විදියට ඔවුන් මාව දකින්න ඇති කියලයි මා සිතන්නේ. එමෙන්ම මා සිතන්නේ ඒ චරිතය සාර්ථකව නිරූපණය කළා කියලා. මොකද අද රටේ යම්කිසි නිර්මාණයක් කරන්න කාස්ට් කරන්න ගියාට පස්සේ නළුවෝ නැහැ. නිළියෝ නැහැ. ඒ තත්ත්වය අධ්‍යක්ෂවරයෙක් විදියට මාත් ලැබුව අත්දැකීමක්. කොහොම වුණත් මේ චිත්‍රපටයට සාධාරණයක් ඉෂ්ට කරා කියලා මා සිතනවා. කාට හෝ මම අජාසත්ත කළ විදිය හරියන්නේ නැත්නම් සනත් අබේසේකරගේ ‘මහරජ අජාසත්’ හරියන්නේ නැත්නම් එයාලට ගැළපෙන කෙනෙක් දමලා මීට වඩා හොඳ චිත්‍රපටයක් කරන්න පුළුවන්. ඒක හැමෝටම විවෘතයි.

මේ චරිතයට පිවිසීමේ පසුබිම නිර්මාණය කර ගත්තේ කොහොම ද?

මම රංගනය සඳහා දායක කර ගන්නේ මගේ මානසික මට්ටමයි. හේතුව මගේ පෞද්ගලික ජීවිතයේ ඇතිවුණු පෞරුෂත්වය. එතැනින් එහාට ගියාට පස්සේ පෞද්ගලික ජීවිතයේ දි මා සියුම් හැඟීම් දැනීම්වලදී ප්‍රතික්‍රියා දක්වන ලද ආකාරය. මේ සියලු දේ ඔස්සේ මා තිරපිටපත කියවලා ඒ මගින් මවා ගන්නා චිත්ත රූප ආදී සියල්ලක්ම හා අධ්‍යක්ෂවරයාගේ යෝජනා හා අදහස් එකතු කරලයි අජාසත්ව නිර්මාණය වුණේ. ඒ හැම දෙයකම සංකලනයක් විදියට දර්ශන තලය ඇතුළත මගෙන් නිර්මාණය වුණු අජාසත් තමයි ඔය සිටින්නේ. ඒ නිසා මේ කියන කරුණු කාරණා සියල්ල එකතු කරගෙන අජාසත්ව චරිතය සියයට හැත්තෑපහක ප්‍රමාණයක් සාර්ථකව නිර්මාණය කරගන්න පුළුවන් වුණා කියලා මා සිතනවා.

ඒ කියන්නේ මේ චරිතයට ප්‍රවීණයන්ගෙන් පවා ඔබට ස්තූතිය හිමිවුණා.

ඔව්. ප්‍රවීණ රංගධරයෙක් වුණු රවීන්ද්‍ර රන්දෙණිය වගේම ජීවන් කුමාරතුංග ඇතුළු ප්‍රවීණ නළු නිළියන් රැසක් බොහෝ වෙලාවක් මේ චරිතය අගය කිරීම් කළා. ඒ පිළිබඳ මා ගොඩක් සංතෝෂ වෙනවා. ඒ වගේම මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාත් චිත්‍රපටය නරඹන්න ආවා. අපේ රටේ මුල් පුරවැසියාගේ පටන් මගේ චරිතය, ජීවන් අයියාගේ චරිතය ඇතුළු අනෙක් චරිතත් අගය කිරීමට ලක්වුණා. අපේ රටෙන් බහුතරයක් මේ චිත්‍රපටයට කැමැති බවයි අපට පෙනෙන්නේ. අපේ රටේ නිර්මාණ කිරීමේදී සීයයට සියයක් දෙනාවම තෘප්තිමත් කරන නිර්මාණ කරන්නට නොහැකියි. ඒ නිසා නිර්මාණයකට බහුතරයක් හොඳයි කියනවා නම් මා පිළි ගන්නේ බහුතරයේ මතයයි. මේක විචාරය කරන සියයට පහ ගැන නොවෙයි.

මීට පෙරත් මේ චිත්‍රපටය නිෂ්පාදනය වූවක්. ඒ නිර්මාණය ඔබ නරඹලා තිබෙනවාද?

ඒක ගොඩක් පැරැණි චිත්‍රපටයක්. ඒ නිර්මාණය නරඹන්න මට අවස්ථාව ලැබුණේ නැහැ. ඒකට ප්‍රධාන හේතුව වුණේ මේ චිත්‍රපටය ගැන හොයන විට ගින්නෙන් විනාශ වූ බව දැන ගන්නට ලැබීමයි. කොහොම වුණත් ඒ චිත්‍රපටය නොබැලුව එක හොඳ යැයි කියලා මට සිතෙනවා. නැත්නම් අපි මනුස්සයෝ විදියට ඒ චිත්‍රපටයේ සිද්ධ වුණු දේවල් මේ නිර්මාණයේත් සිදුවේවි. මොකද යම්කිසි ඵෙතිහාසික චිත්‍රපටයක, ටෙලි නාට්‍යයක රංගනයෙන් දායක වනවිට එකේ ශෛලිගත ආකාරයෙන් රංගනයේ යෙදෙන්න ඕනෑයි කියන එක මගේ සිතේ තිබුණා. ඒ රංගනය සම්පූර්ණ ශෛලිගත වුණොත් ඒක සාමාන්‍ය ජීවිතයේ ප්‍රේක්ෂකයන්ගෙන් ඈත්වෙලා යන්න පුළුවන්. මේ නිසා සියුම් විදියට තමයි මා ඒ ශෛලිගත රංගනය මේකට ආදේශ කළේ. නරඹන්නන්ට කරදරයක් නොවන ආකාරයටයි ඒදේ සිද්ධ වුණේ.

ප්‍රවීණ ශිල්පිනියගෙන් හා ශිල්පීන්ගෙන් රංගනයේදී ඔබට ලැබුණු සහයෝගය කොහොමද ?

ජීවන් කුමාරතුංග මහත්මයාත්, සබීතා පෙරේරා මහත්මියත් මා දකින්නේ ඉතාමත් නිහතමානී රංගන ශිල්පීන්, ශිල්පිනියන් විදියටයි. ඔවුන් අප කුඩා කාලයේ සිටම අපේ සිත්වල ජීවත්වුණු වීරයන්. ඒ අයත් සමඟ මේ ක්ෂේත්‍රයට ආධුනිකයන් විදියට වැඩ කිරීමේදී ලැබුණු සහයෝගය මම අගය කරලා සලකනවා. ආධුනිකත්වයක් දෙන්නේ නැතිව චරිතය මනා පෞරුෂයකින් ඉදිරියට අරගෙන යෑම සඳහා මට දුන් සහයෝගය ඉතා අගෙයි. ඉදිරියේදී අපෙන් සිදුවිය යුත්තේත් එයමයි. මොකද ප්‍රධාන චරිත කරමින් හැමදාම මේ විදියේ වයසේ පසු වෙන්න අපට බැහැ. මාත් ජීවිතයේ කවදහරි දවසක වයසට යනවා. ඒ වනවිට අපේ මේ බැටන් එක ගන්න තව පරපුරක් බිහිවිය යුතුයි. ඒ පරපුර දෙස සුහදත්වයකින් බලලා අත දිගු කිරීමයි අප එදාට කළ යුත්තේ.

කොහොමද ඉතිං ජීවිතේ ?

ඉස්සරට වඩා ගොඩක් සැහැල්ලුවෙන් මම ගැන ගොඩක් හිතලා වැඩ කරනවා. ඒ වගේම රට වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් ගැන හිතන්න ඉඩකඩක් තිබෙනවා. ඉදිරියට කරන නිර්මාණ ගැන හොඳීන් සිතලා වැඩ කරන්න පුළුවන් කාලයක් මේ ගෙවෙන්නේ. මේ නිසා මම ගොඩක් සංතෝෂයෙන් හොඳීන් ජීවත් වෙනවා.

පසුගිය දවස්වල තිබුණු නඩුහබ අවසන් ද?

ඒ සියලු දේවල් ඉවරයි. ඒත් සමහර අයට නම් ඒවා තාම ඉවර නැහැ. මම නම් ඒ දවස්වලම ඒවා ඉවර කරලා දාලා තිබුණේ. වැරැදි නොවෙන මනුස්සයෙක් මේ ලෝකයේ නැහැ. මමත් පෘථග්ජන මනුස්සයෙක්. මගේ අතිනුත් ජීවිතයේ වැරැදි සිද්ධ වෙලා තිබෙනවා. ආපසු වැරැද්දක් නොවෙන විදියට ජීවිතේ හදාගෙන එක පාත් එකක යන එකයි මගේ ඉලක්කය වෙන්නේ. එවැනි ජීවිතයක් ගෙවන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රාර්ථනා කරනවා.

ඒ කියන්නේ ඔබ චතුරිකාව විවාහ කර ගන්නවා ?

අනිවාර්යයෙන්ම.