වර්ෂ 2015 ක්වූ සැප්තැම්බර් 17 වැනිදා බ්‍රහස්පතින්දා




දමයන්ති-රංජිත් කැදැල්ලට යමු

දමයන්ති-රංජිත් කැදැල්ලට යමු

අපේ විවාහ ජීවිතයට අවුරුදු හතළිහක් ප්‍රවීණ ගායිකා දමයන්ති ජයසූරිය කියයි

අපි ඒ නිවහනට ගොඩ වැදුණේ වරින්වර කඩා හැලෙන හද්දනෝරා වැස්සත් අරගෙනම. සීරුවට වහින වැස්සත් සමඟ පැමිණෙන සුළඟ වැස්ස තව තවත් වැඩි කළා. මුළු අහසම කළු වලාකුළුවලින් පිරිලා. අහස් ගැබේ උන් කළු වලාකුළු මිහිකත දෙසම බලාගෙන හිනා වෙනවා. ඒ හිනාවෙන් විහිදුණු කැල්ම මිහිකත වෙත පැමිණියේ වැස්සක ආශිර්වාදයෙන් කියලයි මට නම් සිතුණේ. ඒ ආශිර්වාදයත් විඳීමින්ම පැමිණි අපව පිළි ගන්න ඔවුන් සැදී පැහැදී සිටියා.

“රංජිත් - දමයන්ති ”

පුවත්පත් කලාවේදියකුගේ හා ගායිකාවකගේ සුසංයෝගයෙන් සැදුණු සොඳුරු කැදැල්ල සුන්දර කරන්න තවත් අමුත්තන් දෙන්නෙක් ඇවිත් සිටියා. ඒ ඔවුන්ගේ මුනුපුරන් දෙන්නා.

“ මේ දෙන්නා නිසා අපේ ජීවිත තවත් අර්ථවත් වෙලා. ”

දමයන්ති ජයසූරිය කිව්වේ නිවුන් දරුවන්ගෙන් බාලයා නිර්වාන් දම්රුසී නයනජිත් කුමාර ඇගේ ළමැදට තුරුලු කරගන්නා ගමන්.

“ දම්මි කියන්නේ නම් ඇත්තම තමයි. අපේ මුනුපුරාලා දෙන්න තමයි දැන් අපේ මුළු ජීවිතයම වෙලා තියෙන්නේ. ”

එහෙම කිව්වේ සරසවිය පුවත්පතේ හිටපු කර්තෘවරයෙක් වුණු ඒ.ඩී. රංජිත් කුමාර. ඔහුගේ තුරුල්ලේ නැළවෙමින් සිටියේ නිවුන් දරුවන්ගෙන් පළමු වැන්නා. නිරාශ් දම්රුසී නයනජිත් කුමාර. අවුරුද්දයි මාසයක් පමණ වයස වුණු මේ පැටව් දෙන්නා අපව දුටුව විතරයි සිනහවක් නැඟුවේ මහ හඬින්.

“ තාත්තා....... තාත්තා........”

“ සීයා......... සීයා............”

මැරුවෙන් මාරුවට වරින්වර දෙන්නාම කෑගහන්න ගත්තේ තරගයට වගේ. පුතාලගේ කෑගැහිල්ලට එතනට ආව ඔවුන්ගේ ලේලි නදීකා චාන්දනී පුතාල දෙන්නා වඩා ගත්තා. ඒ අපේ කතාබහට ඉඩකඩ සලසමින්.

“කාලයකට පස්සේ විවේකයක් ලැබිලා වගෙයි ”

මා ප්‍රවීණ පුවත්පත් කලාවේදියෙක් වුණු ඒ. ඩී. රංජිත් කුමාරගෙන් විමසුවේ ඔහු ඉන්න සැහැල්ලු ඉරියව්ව දුටුවනම.

“ පසුගිය කාලයේ මම මහන්සි වෙලා වැඩ කළ විසිවැනි සුමති සම්මාන උලෙළත් පැවැත්වුණා. ඒ සම්මාන උලෙළේ දි මෙතෙක් කළ මගේ සේවය අගයලා යූ.ඩබ්ලිව්. සුමතිපාල අනුස්මරණ සම්මානයත් හිමිවුණා. ඒක මම හරියට අගය කරනවා. මම මෙතෙක් කළේ අනෙක් අයට සම්මාන ලබා දෙන්න උදව් වෙන එකයි. ඒත් ඒ කාරණය වෙනස් කරමින් මෙවර සම්මාන උලෙළේදි ඔවුන් මාව පුදුමයට පත්කළා. ඒ ඒ උලෙළේදීම මේ සම්මානය මට ලබාදීමෙන්. ඒ වුණත් මා වඩාත් පුදුමයට පත්වන්නේ මේ සම්මානය ගැන මා කලින් දැනගෙන නොසිටීමයි. ඒ සියලු දේ සඟවා ගනිමින් මා පුදුමයට පත්කිරීමටයි ඔවුන්ට උවමනා වී තිබුණේ. මේ සියලු කටයුතුවලින් පස්සේ මේ දවස්වල මම ඉන්නේ විවේකයෙන්. මේ කාලයේ සිනමාව ගැන පොතක් ලියාගෙන යනවා. මීට පෙර මගේ ජීවිත අත්දැකීම් අලලා ලියූ ‘ කොස්ගස් හන්දියේ ’ පොත නැවතත් අලුත් වෙනවා. ඒ මට අත පසුවුණු හා මෑත කාලයේ ලැබූ අත්දැකීම් අලලා ලියැවුණු බොහෝ කාරණා සමඟින්. ඉදිරියේදී ඒ පොත එළි දැක්වීමට සිතාගෙන සිටිනවා. ඒත් සමඟම මුනුබුරන්ගේ සුරතල් මැද කාලය ගෙවෙනවා. ”

පුවත්පත් කලාවේදියෙක් ලෙස ගෙවුණු ජීවිතේ දී ඔහු තවත් සම්මානයක් ලැබුවේ ඊටත් කාලයකට ඉහතදී. ඒ ජීවිතයේ එක් වතාවක් පමණ හිමිවන සරසවිය සම්මාන උළෙලේ රණපාල බෝධිනාගොඩ සම්මානයයි. මේ සියලු දේ ලැබුවත් රංජිත් සිය බිරියත් සමඟ ගෙවන්න කැමැති බොහොම සරල, සැහැල්ලු ජීවිතයක්. ඒ සැහැල්ලු ජීවිතය තව තවත් සැහැල්ලු වෙන්නේ මුනුපුරන් නිසා.

“ මුනුපුරන් සමඟ ගෙවන ජීවිතේ කොහොම ද ? ”

නිතරම කතාව අවසන් වෙන්නේ ඒ අයගෙන් නිසා ඔවුන් ගැන විශේෂයෙන් ඇසිය යුතු යැයි මා සිතුවා.

“අපි දෙන්නටම අපේ ජීවිගේ කැප කරන්න වෙලා තියෙන්නේ මේ දෙන්නා වෙනුවෙන්. මුනුපුරෝ දෙන්නාටත් දැන් අප දෙදෙනා නැතුවම බැහැ වගෙයි. ”

මුනුපුරන් ගිය දෙස බලමින් ඔහු පවසන්නේ හදවතේ නැගුණු සැබෑ සෙනෙහසින්. ඒ කතාවටම අලගු තබන දමයන්තිගේ හදවතේ හැංගුණු සෙනෙහසේ කතාව කියන්නේ ඇගේ නෙත් සඟල.

“ මහත්තයා නිවෙසේ නවතින්න අරගෙන දැන් මාසයක් විතර වෙලා. ඒ වනතුරුත් වැඩිපුරම මුනුපුරන් සමඟ කාලය ගත කරන්න ඉඩ ලැබුණේ මටයි. එකම වයසේ ඉන්න දෙන්නෙක් නිසා ඒ අයව බලා ගන්න එකත් ලේසි පහසු නැහැ. මම වගේම දුවත් ඒ කටයුත්ත වෙනුවෙන් බොහොම මහන්සි වෙනවා. ඇයට මේ ජීවිතය ගැන ඒ තරම්ම අත්දැකීම් නැති නිසා ඒ කටයුතුවලට සහයෝගය දක්වමින් මුනුපුරන් හුරතල් කරන විට කාලය ගත වෙනවා දැනෙන්නේ නැහැ. ”

මුනුපුරන් වෙනුවෙන් කොයිතරම් කාලය වෙන් කළත්, සිය සැමියාගේ සුවදුක් සොයන්නත් දමයන්ති අමතක කරන්නේ නැහැ. ඒ කියන්නේ රංජිත් සුපුරුදු වැඩරාජකාරිවලින් ඈත් වුණත් නිකම්ම නිවෙසට වෙලා කාලය කා දමන්න කැමැති කෙනෙක් නොවෙයි. ඔවුන්ගේ විවාහ ජීවිතයට අවුරුදු හතළිහක්.

“ ඔබගේ කටයුතුවලට බිරියගෙන් පෙර පරිදිම සහයෝගය ලැබෙනව ද? ”

මා විමසුවේ දමයන්ති දෙසම බලාගෙන.

“ නිවෙසට වෙලා කරන්න වැඩකටයුතු රාශියක් මට ඉතිරි වෙලා. රැකියාව කරන කාලේ ඒ වෙනුවෙන් කැපවෙලා කටයුතු කළා මිසක් හරියට පොතක් පතක් කියවන්න, චිත්‍රපටයක් බලන්න වෙලාවක් තිබුණේ නැහැ. ඒ නිසා චිත්‍රපට නැරැඹීමත්, පොතපත කියැවීමටත් මගේ කාලය වෙන්වෙලා. එදා වගේම අදත් මා කුමන කාර්යයක නිරත වුණත් දම්මි මා වෙනුවෙන් ඉටුකළ යුතු යුතුකම් වගේම නිවසේදී ඇගෙන් සිදුවිය යුතුකම් ඉටු කරන්නෙත් බොහොම සතුටෙන්. ”

ඒ.ඩී.රංජිත් කුමාර කියන්නේ සත්‍යයක් වග අපට හැඟුණේ දමයන්තිගේ මුවඟ රැව්දෙන සිනාවෙන්.

“ කොයිතරම් ප්‍රමාද වෙලා නිදා ගත්තත් මම උදේ පහ වනවිට අවදි වෙනවා. තවමත් එදා වගේම අදත් නිවෙසේ උයන පිහන කටයුතු කෙරෙන්නේ මගේ අත් දෙකෙන්. මම නිතරම හිතන දෙයක් තමයි බිරියක්, මවක් විදියට මගෙන් වියයුතු යුතුකම් සියල්ල මා අතින්ම සිදුවිය යුතුයැයි කියන කාරණය. මුනුපුරන් නිසාම දුවත් සිය ගුරු වෘත්තියෙන් ඉවත් වුණා. මොකද අද ළමයෙක් සමාජයට දායාද කරනවා කියන්නේ ලෙහෙසි පහසු දෙයක් නොවෙයි. ඒ වගකීම පැහැර හැරුණොත් පැහැර හැරුණම තමයි. නිවෙස අතුපතු ගාන වැඩ කරන්න නම් කෙනෙක් එනවා. ඒ මා මුනුපුරන්ගේ කටයුතුවලට උදව් වනවිට ඒ කටයුතු කරන්න කාලය නොමැති නිසා. ”

දමයන්ති නිවෙසේ කටයුතු කරන්නේ පිළිවෙළකට. ඒ පිළිවෙළ කොයිතරම්ද කිව්වොත් විදුලි බිල, වතුර බිල් ගෙවන්න වැඩි දවසක් කල් නොගන්න ඈ පරිස්සම් වෙනවා. ඒ කටයුත්ත විතරක් නොවෙයි උයන පිහන කටයුතු වුණත් එහෙමයි.

“ උයන පිහන කටයුතු සිදු වෙන්නේ කොහොම ද? ”

දමයන්ති නම් සැබෑ ගෘහිණියගේ දක්ෂකම ඔබට මනාව හෙළි කරන අයුරිනුයි මා ඈ සමඟ කතාබහට පිවිසියේ.

“ මම සතියටම උයන පිහන දේ පිළිබඳ මෙනු එකක් හදනවා. අද දවසට උයන්නේ මොනවද ? හෙට දවසේ උයන්නේ මොනවද? ඊළඟ දවස්වල උයන්නේ මොනවද ? කියලා. එතකොට සතියටම හරි යන්න බඩු ගෙනැත් තියන්න පුළුවන්. ඒ වගේම වෙනස් කෑමවේල් කිහිපයක් රස විඳීන්නත් පුළුවන්. ඒ විතරක් නොවෙයි කාලය ඉතුරු කර ගන්නත් හැකියාව ලැබෙනවා. ඒ ඉතුරු වෙන කාලයේ උපරිම ප්‍රයෝජන ගන්නටත් අපට හැකියි. ඒ කාලයේ වෙනත් කාර්යයන් රැසකම නියැළෙන්නත් හැකියි. අද කළ යුතු දේ අදම කරන එකයි මගේ අනෙක් කාර්යය වන්නේ. එවිට සියලුම වැඩ පිළිවෙළකට කිරීමට හැකියාව මට ලැබෙනවා. ”

මේ අතර ඇගේ ඒ අදහසට අඟුල්පත් තිබ්බේ දමයන්තිගේ සැමියා.

“ අපේ නිවසට අවශ්‍ය උයන පිහන බඩු ගේන්නේ මමයි, පුතයි. දම්මිගේ අදහස්වලට අනුවයි ඒ සියලු කටයුතු සිදු වෙන්නේ. ”

ජීවිතේ විදිය, අනියත බව වටහාගෙන සිටින දමයන්ති ජීවිතය දෙස බලන්නේ මධ්‍යස්ථවයි. හැකි අයුරින් සියල්ලන්ටම උදව් කරමින් ආගමික නැඹුරුවත් සමඟ ගෙවෙන ජීවිතයේ සැහැල්ලුව කොතරම් ද කියලා ඈ දැනටමත් දන්නවා.

“ ජීවිතයේ සැදෑ සමයේ දී නගරයෙන් ඈතකට වෙලා නිදහසෙන් කාලය ගත කරන්න ද සිතාගෙන ඉන්නේ ? ”

ඔවුන් නිවී සැනසුන ජීවිතයට ප්‍රිය කරන වගක් හැඟුණා. ඊට පිළිතුරු බැන්දේ දමයන්ති.

“ අපි දෙන්නම ඉපැදුණේ නගරබදවනේ. විවේකයක් ලැබුණු විටෙක දුවගේ ගම් පළාතට යන්න අපි බොහොම කැමැතියි. ඒ ප්‍රදේශයේ තිබෙන නිල්පාටට පෙනෙන ගහකොළත්, කුරුල්ලන්ගේ කචිබිචියත් සිතට ගෙනෙන්නේ සැනසීමක්. අවසාන කාලයේ ඒ වගේ පළාතකට වෙලා පොතක් පතක් කියවගෙන, නිදහස් ජීවිතයක් ගත කරන්න ඇත්නම් කියන පුංචි හැඟීමක් අපේ සිත්වල තිබෙනවා. ”

ඒ සොඳුරු කැදැල්ලේ සෙනෙහස, සතුට පිරිලා. ඉතිරිලා. ඈතට යන අපගේ සවනත වැකුණේ මුනුපුරන්ට ඇසෙන්න ගයන දමයන්තිගේ නැළවිලි ගීයක මියුරු ස්වරය. ඒ මියුරු ස්වරය රසවිඳමින්ම අප ආපසු ගමනේ යෙදුණේ සතුටෙන්.