වර්ෂ 2015 ක්වූ සැප්තැම්බර් 17 වැනිදා බ්‍රහස්පතින්දා




මේ මගේ අත්දැකීම් කොටසක් මරු කතරක උපන් පුතෙක් ගැන නිව්ටන් ගුණසේකර ලියයි
තමන්ගේම කෘතියක් පිළිබඳ සාහිත්‍යවේදියෙකු දක්වන අදහස් ඇතුළත් අලුත්ම ලිපි මාලාව

මේ මගේ අත්දැකීම් කොටසක්

මරු කතරක උපන් පුතෙක් ගැන නිව්ටන් ගුණසේකර ලියයි

“ඇලීම් බැඳීම් සහිත ජීවිතය කෙතරම් කටුකදායකද? දෙමාපියන්ට, සහෝදර සහෝදරියන්ට අප විසින් ඉටු කළ යුතු යුතුකම් හා මෙහෙවර කොතෙක් තිබේද? එහෙත් අද එම යුතුකම් ඉටු කිරීමට ශක්තිය ඇත්තේ අප කීයෙන් කී දෙනාටද? දැන් තාත්තාගේත් අම්මාගේත් එකම බලාපොරොත්තුව මා පමණි. ඔවුන් සිතන්නේ මා ඔවුන්ගේ ගැලවුම්කරුවා බවය. එහෙත් මා දැන් ජීවත් වෙන්නේ මරු කතරක බව දන්නේ මා පමණි.

ඒ දිනවල සුලෝචනාට මා කෙතරම් ආදරය කළාද? කවදා හෝ ඇය මගේ ප්‍රිය බිරිඳ වෙනු ඇතැයි. මම සිතුවෙමි. ඇය වෙනුවෙන් මා කොතරම් පරිත්‍යාගශීලි වීද? එහෙත් එම සුසුදු බැති පෙම බිඳී ගිය හැටි...? ඒ හද දවන වේදනාවෙන් කෙතරම් කාලයක් මා දුක් වින්දාද? යම්තමින් හෝ වේදනාව තුනීකර ගැනීමට මට උදව් වූයේ මීනාය.”

හැත්තෑව දශකයේ සරසවි ශිෂ්‍යයෙකුව සිට විවිධාකාර දුක් ගැහැට වලට මුහුණ දුන් ගුණසිරි නම් උපාධිධාරි තරුණයාගේ ජීවිතයේ හැළහැප්පීම් සමඟින් සමාජ, ආර්ථික, දේශපාලන පසුබිම සමඟින් යථාර්ථය අකුරු කළ අපූරු නවකතාවක් ලෙසින් ‘මරු කතරක උපන් පුතේ’ නවකතාව විශේෂ වේ. එය ජනප්‍රිය නවකතා රචකයෙකු වූ නිව්ටන් ගුණසේකරගේ රචනයකි. ගුවන්විදුලි මාධ්‍යයේ වසර ගණනාවක අත්දැකීම් වලින් පිරිපුන් වූ හෙතෙම ලේඛනයේ විවිධ අංශ යටතේ තම නිර්මාණ කෞශල්‍ය ගෙන හැර දැක්වීය. වර්තමානයේදී ද පාඨකයාට ජීවිතාවබෝධය ලබාදීම වෙනුවෙන් කැප වී සිටින ඔහු සාහිත්‍යධරයෙකු තමන් කැමැති කෘති අතරින් වඩාත්ම සිත් ගත් කෘතිය ගැන කතා කරන ‘මං සලකුණු’ වෙනුවෙන් තෝරා ගත්තේ ‘මරු කතරක උපන් පුතේ’ නවකතාවයි.

ඔබේ ලේඛක ජීවිතයේදී ‘මරු කතරක උපන් පුතේ’ කෘතිය සන්ධිස්ථානයක්?

‘මරු කතරක උපන් පුතේ’ කෘතිය එළිදැක් වුණේ මගේ දෙවැනි නව කතාව ලෙසින්. පළමු නවකතාව ලිව්වේ සරසවියට. ‘ආදර ලෝකය’ නම් වූ එය පින්තූර කතාවක් ලෙසින් පළ වුණා. ඉන් පසුව ‘එක විදියක ගැහැණියක්’ නමින් පොතක් වශයෙන් නිකුත් කළා. මගේ නවකතා ජීවිතයේ ආරම්භ වූයේ එයයි. ඉන් පසුව තමයි මම ‘මරු කතරක උපන් පුතේ’ කෘතිය රචනා කළේ. එය යථාර්ථය, සමාජ පසුබිම, දේශපාලන පසුබිම පාදක කරගෙන රැකියා විරහිත උපාධිධාරියෙකුගේ කතාවක් ගෙන එනවා. මුල් කෘතියේ පිටකවරයේ සිතුවම සිත්තම් කළේ ප්‍රවීණ මාධ්‍යවේදී ඒ. ඩී. රංජිත් කුමාර. එහි දැක්වුණේ භාව චිත්‍රයක්. 1970 වසරේ එළි දුටු මෙම කෘතිය මගේ දෙවැනි නවකතාව වගේම දයාවංශ ජයකොඩි මහත්තයාගේ දෙවැනි ප්‍රකාශනය වුණා.

‘මරු කතරක උපන් පුතේ’ කෘතියේ වර්තමාන පිටපත් එහි මුල් කෘතියෙන් වෙනස්?

මට වෙනසක් කරන්න සිදු වුණේ අලෙවිය අඩු වූ නිසා. මම දයාවංශ ජයකොඩි සහ සමාගමට යන විට නිතර අසන්න ලැබුණේ මේ පොතේ අලෙවිය අඩු බවයි. මේ පොතට ඒ තරම් පාඨක ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. කොහොම හරි මේ පොත අලෙවිය පැත්තෙන් එතරම් සාර්ථක වුණේ නැහැ. ප්‍රකාශකයා මගේ පොතේ අලෙවිය අඩු බව ප්‍රකාශ කිරීම හිතට තදබල ලෙසින් දැනුණා. ඒ අවස්ථාවේදී ජයකොඩි මහත්තයා තමයි යෝජනා කළේ ටිකක් ආදරයට බර කරලා කතා ලියන්න කියලා. මුල් කෘතියේ කැරැල්ල ගැන සඳහන් වුණේ නැහැ. මුල් කෘතිය රචනා කරන විට 1970දී කැරැල්ලක් ඇති වෙලාවත් නැහැ.

නමුත් පොදුවේ උපාධිධාරින්ට රැකියා නොමැති වීම නිසා විවිධ ප්‍රශ්න එදත් තිබුණා. සිව් වසරක විශ්වවිද්‍යාල අධ්‍යයන කාලය වෙනුවට වසර දහයක් පමණ ගත කළ අයත් හිටියා. උපාධිය අරගෙන විශ්වවිද්‍යාලයෙන් පිටවෙලා රැකියා නැතුව පීඩා විඳි තරුණ තරුණියන්ද හිඟ වුණේ නැහැ. රැකියාව තරුණයෙකුගේ ජීවිතයට අත්‍යාවශ්‍ය දෙයක්. රැකියාවක් නොමැතිවීම නිසා තරුණයෙකුට විවාහ වෙන්න තියා ආදරය කරන්නවත් බැහැ. එවැනි තරුණයෙකුගේ අත්දැකීම් මුල් කරගත් මරු කතරක උපන් පුතේ කෘතිය වසර 39ට පසු නැවත සංස්කරණය කිරීමේදි 71 කැරැල්ල හා සම්බන්ධ කරමිනුයි රචනා කළේ.

මේ කෘතියට ඔබේ සත්‍ය අත්දැකීම් එකතු වෙලා ඇති?

ඇත්ත වශයෙන්ම එය මගේ කතාව කිව්වත් වඩා නිවැරදියි. මේ කතාව තුළ සියයට හැත්තෑපහක් විතර මගේ අත්දැකීම් තියෙනවා. මම මේ කෘතියට වඩාත් කැමැති වෙන්නේත් ඒ නිසා තමයි. මේ කතාවේ එන සලිතා සත්‍ය ජිවිතයේත් මගේ නෑනා. ඇය මගේ අම්මාගේ මල්ලිගේ දියණිය යි. අපි දෙන්නා අතරේ ප්‍රේම සම්බන්ධයකුත් තිබුණා. මීනා නම් ද්‍රවිඩ තරුණියත් සැබෑ ජිවිතයේ මට හමු වූ චරිතයක්. ඇයටත් මම ප්‍රේම කළා. ඇය ද්‍රවිඩ තරුණියක වීම මේ කතාවට යම් ප්‍රබලත්වයක් ගෙන එනවා. ඒ කාලයේ සිංහල - දෙමළ ලෙස බෙදීම් තිබුණේ නැහැ. එතැන සිංහල කාන්තාවක් සිටියා මේ හැඟීම පාඨකයාට එතරම් නොදැනෙන්න ඉඩ තිබුණා. නමුත් මෙම සිදුවීම තුළින් මානව දයාව ඉස්මතුවීම වගේම ජාතීන් අතර සම්බන්ධයක් ගොඩනැඟෙනවා. පුවත්පත් ආයතනයේ වෘත්තිය සමිතිය පිහිටුවීමට ගොස් ඇතිවන ගැටුම්කාරි සිදුවීමත් මම සැබෑ ජිවිතයේ මුහුණු දුන් සිදුවීමක්.

නමුත් එම සිදුවීම් අමු අමුවේ මෙයට ඇතුල් කළේ නැහැ. ඒ සිදුවීම් සියල්ල මම මෙම නවකතාවට ඇතුල් කළේ මගේ පරිකල්පන ශක්තියෙන් නිර්මාණය කළ සිදුවීම් ලෙසයි. ඒවා කලාත්මකව කාව්‍යාත්මක හැඟීමක් පාඨකයාට දැනෙන අයුරින් ඉදිරිපත් කරන්න මම වග බලා ගත්තා. පෞද්ගලික අත්දැකීම් මිශ්‍රවීම කෘතියක සාර්ථකත්වයට බලපානවා. පරිකල්පන කතාවලට වඩා අත්දැකීම් ඇසුරෙන් කෙරෙන නිර්මාණ හෘදයාංගමයි.

ඔබ නවකතා රවනයේදී විවිධත්වය සොයන කෙනෙක්?

කරුණාසේන ජයලත් එහෙම සාහිත්‍ය ක්ෂේත්‍රයට පිවිසි කාලයේ ජනප්‍රිය රැල්ලක් පැවතුනා. ‘ගොළු හදවත’ ලියවුණේ ඒ කාලයේ. කුමාර කරුණාරත්න වැනි ලේඛකයෝ ජනප්‍රිය වෙලා. ඉතිං විකිණෙන්නේ නැති පොත් ලියලා වැඩක් නැහැනේ කියලා හිතලා ජනප්‍රිය ධාරාව පැත්තට යොමු වෙන්න මමත් තීරණය කළා. ඉන් පසු ‘හද දවන ගිනි’, ‘සකුරා මලක්’, ‘චාරුලතා’ වගේ පොත් පෙළක් රචනා කළා. ඒ පොත් වලට පුදුම විදියේ ඉල්ලුමක් තිබුණා. පාඨකයන් අතරේ පුදුම විදියට ජනප්‍රිය වුණා. ඒ නිසා මම මුලින් ආරම්භ කළ විදග්ධ ශෛලියෙන් ජනප්‍රිය නවකතා රැල්ලට ගියා. ඒ කාලයේ ගුණදාස අමරසේකර මහත්තයා අපට දොස් කිව්වා. ලෝකය ගැන දන්නේ නැති ලිං මැඩියෝ කියමින් චෝදනා කළා. ඒ වෙනුවෙන් විවාද පවා පත්තර වල පළ වුණා.

‘ඉරබටු තරුව’, ‘වතුසුදු මල’, ‘මිරිඟු නදිය’, ‘රුවන් මාළිගා’ වැනි නවකතා කිහිපයක් මම ජනප්‍රිය ශෛලියෙන් රචනා කළා. වයසෙන් මුහුකුරා ගොස් වැඩිහිටියන් බවට පත් වන විට මේ යොවුන් පුංචි කොල්ලන්ගේ කෙල්ලන්ගේ ආදරයට වඩා පවතින සමාජය පිළිබඳ පාඨකයා යම් පරිඥ්ඥානයක් ඇති කරන නවකතා රචනය ගැන මම උනන්දු වුණා. ඉන්පසුව මම ප්‍රේමය ගැනම කියන්නේ නැතුව මම තවත් නවකතා කිහිපයක් රචනා කළා. යොවුන් නවකතා රචනයත් මට ඉතාම ප්‍රිය වුණා. ඒ අනුව රචනා කළ ‘අපේ කාලයේ වීරයෝ ‘නවකතාවට 2003 වසරේදී හොඳම යොවුන් නවකතාවට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමි වුණා.

ඉන් පසුව තමයි මම ඇඩ්ලින් විතාරණ සිද්ධියෙන් යථාර්ථවාදි අයුරින් සැබෑ නම් ගම් යොදා ගනිමින් දඩකෙළිය නවකතාව රචනා කළේ. ඒක ආන්දෝලනාත්මක නවකතාවක් බවට පත් වුණේ ඇඩ්ලින් විතාරණගේ දියණියක විසින් වන්දි ඉල්ලා නඩු මඟට බැසීමෙන්. කිසිම අපහාසයක් සිදු නොවූ බවට නඩු තීන්දුව ලැබුණා. එය වැදගත් වන්නේ ලේඛකයාට සහ ප්‍රකාශකයාට සැබෑ නම්ගම් යොදා ගනිමින් යහපත් චේතනාවෙන් ඕනෑම දෙයක් ලියන්න හැකි ලෙසින් තීන්දුව ලැබීමයි. ඒක දැන් ටෙලි නිර්මාණයක් බවට පත් කරන්නත් සූදානම් වෙනවා. ‘සැඩ පහර’ ලිව්වේ අනුරාධපුර රජරට සේවයේ පාලකවරයා වශයෙන් සේවය කරනවිටදීයි. එය උතුරුමැද පළාත් සාහිත්‍ය තරඟයෙන් ප්‍රථම ස්ථානය ලැබුණා.

පරිවර්තන අංශයටත් මම මගේ අවධානය යොමු කළා. ඒ අංශය කෙරෙහිත් මා උනන්දු කළේ දයාවංශ ජයකොඩි මහත්මයා. ‘සුදු වැද්දා’ ඒ කාලයේ ජනප්‍රිය නවකතාවක්. ආර් එල් ස්පිට්ල්ගේ ‘වයිල්ඩ් බෝයි’ ඇසුරෙන් රචනා වූ ඒ පොත ඒ වනවිට වෙළෙඳ පොළේ තිබුණේ නැහැ. පුළුවන් නම් ඒක පරිවර්තනය කරන ලෙස ජයකොඩි මහතා මට ආරාධනා කළා. මම ඒක ‘මහබැද්දේ සුදු වැද්දා’ නමින් මම එය පළකළා. ඒ පොතටත් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඉන් පසුව පරිවර්තය කළ පොත ‘සුදු ගෝණා’. සුදු වැද්දා පොතේ දෙවැනි තෙවැනි කෘති මගේ පරිකල්පන ශක්තිය මෙහෙයවා කළ නිර්මාණ.

ආගමික පැත්ත ගැනත් හිතලා මම කෘති රචනා කරන්න පෙළඹුණා. සුප්‍රකට පඬිරුවනක් වූ ගංගොඩවිල සෝම හිමිගේ චරිතය හා උන්වහන්සේගේ දේශනා ඇතුළත් කෘතිය ‘අවිඳු අඳුර දුරු කළ සෝම සමිඳු’ නමින් රචනා කළා. මගේ ‘සඳගිරි අරණ’ කෘතියත් මිනිසා ගැන කතා කරන අපූරු කෘතියක්. ඊළඟට අපේ රටේ සුන්දරත්වය, වටිනා ස්ථාන ආදිය ගැන කියවෙන ඒවාය මාර්ගෝපදේශ සපයන ‘සිරිලක සිරි - සිරි විසිතුරු’ කෘතිය රචනා කළා.

එකම අංශයටකට කොටු වෙන්නේ නැතුව විවිධත්වය කරා යා යුතුයි. මූලික වශයෙන් දැනුම, අත්දැකීම් පරිකල්පනය මෙහෙයවමින් ලේඛකයෙක් නව මාවත් විවර කරගෙන ඉදිරියට යා යුතුයි. විවිධ විෂය සොයා බලා ඒවා පාඨකයාට ඉදිරිපත් කරනවා නම් හොඳයි. පාඨකයා උනන්දු වන්නේ එවිටයි. පාඨකයාට අලුත් අලුත් දේ දෙන්න මම කැමැතියි.

නමුත් කෙටි කතා එකතුවක් එළි දක්වන්නේ බොහෝ කලකට පසුවයි?

මම සාහිත්‍ය ලේඛනයට ප්‍රවිෂ්ඨ වුණේ කෙටි කතාවෙන්. ඒ වුණත් මම කෙටි කතා සංග්‍රහයක් එළි දැක්වූවේ එයින් හළිස්වසරකට පසුවයි. මම මුලින්ම කෙටි කතාවක් රචනා කළේ, ජනතා පත්තරයට. ඒ කාලයේ මම ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ විශ්වවිද්‍යාල ප්‍රවේශ පන්තියේ ඉගෙනුම ලබමින් සිටියේ. පාසල් සමයේදීම මාර්ටින් වික්‍රමසිංහ, කේ ජයතිලක වැනි සාහිත්‍යධරයන් ඇසුරු කරන්න ලැබීමත් මගේ ජීවිතයේ වාසනාවන්ත සිදුවීම්. ඉන් පසුවත් මම වරින්වර දිනමිණ, සරසවිය පුවත්පත් සහ ශ්‍රී සඟරාව ආදියට නිතරම කෙටිකතා රචනා කළා. පසුගිය වසරේ සංස්කෘතික දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කළ කෙටිකතා තරගයකට මම මගේ නවතම කෙටිකතා එකතුවක් ඉදිරිපත් කළා. ‘වැලිමළුවේ ප්‍රේමය’ නම් වූ එයට දෙවැනි ස්ථානය හිමි වුණා. සංස්කෘතික දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කළ එය මේ වන විට විකිණී අවසන්.

ඔබ නවකතා රචනයට ලැදි වුණත් වසර ගණනාවක් පුරා ඔබේ වෘත්තිය ජීවිතය බැඳී තිබුණේ ගුවන්විදුලිය සමඟයි. මෙම ක්ෂේත්‍ර දෙක ඔබේ නිර්මාණ වෙනුවෙන් ගලපා ගත්තේ කෙසේද?

ගුවන්විදුලි ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න පෙර මම සංචාරක මණ්ඩලයේ සේවය කළා. එහිදී සිංහල මාධ්‍යයෙන් සඟරාවක් නිකුත් කරන්නත් කටයුතු යෙදුවා. එය ඉතාම සාර්ථකව නිකුත් කෙරුණා. පුවත්පත් කලාවටත් මගේ තිබුණු අසීමිත ආසාව නිසාම දෙවසරක් පමණ දවස පුවත්පතේ සේවය කළා. ‘මරු කතරක උපන් පුතේ’ කෘතියේ ගුණසිරි පුවත්පත් ආයතනයක සේවයට බැඳෙන්නේ ඒ හේතුව නිසා. මම ලේඛන කලාවට පිවිසියේ ගුවන්විදුලි ක්ෂේත්‍රයෙන් ඉවත් වූ පසුවයි. නමුත් ගුවන්විදුයේ සේවයේ නිරතවන විටදී ගුවන්විදුලි රඟමඬල ඇතුළුව ගුවන්විදුලි නාට්‍ය රැසක් රචනා කළා. වසර විස්සක් පුරා අනුරාධපුර නුවරකලාවියේ අත්දැකීම් හා ජන ජීවිතය ඇතුළත් කර ‘ගෙවුණු කාලය මනරම්’ කෘතිය රචනා කළා.

කාලාන්තරයක් මුළුල්ලේ ඔබ ලද අත්දැකීම් අනුව වර්තමානයේ තරුණ පුරපුර ගැන තිබෙන අදහස?

වර්තමානයේ ලේඛනයට යොමු වූ දක්ෂ තරුණ පිරිසක් අපට දකින්න ලැබෙනවා. මගේ හැඟීම නම් ඔවුන්ගේ වැඩි නැඹුරුවක් තිබෙන්නේ කවියට බවයි. නවකතා රචනා කරන දක්ෂයන් පිරිසකුත් ඉන්නවා. කාල රාමුව ගත්තොත් අපේ කාලය හා වර්තමානය අතර ලොකු වෙනසක් තියෙනවා. කෘතිවල අන්තර්ගතය වෙනස්. වර්තමානයේ ලේඛක ලේඛිකාවන් කඩිමුඩියේ ලියන බවක් දකින්න තියෙනවා. ඒ වගේම වාණිජ නැඹුරුවක් තමයි තියෙන්නේ. එක දිගට ලියලා සාහිත්‍ය මාසය වෙනකල් බලාගෙන සිටින පිරිසකුත් ඉන්නවා. ඒවුණත් පපඩම් බදිනවා වගේ පොත් එළිදැක්වුවාට ඒවා සාර්ථක වෙන්නේ නැහැ. ඒ අතරේ සාධනීය මට්ටමෙන් හොඳ නිර්මාණත් එළිදකිනවා. අපි ඔවුන් උනන්දු කරවා ගෞරව දැක්විය යුතුයි.