වර්ෂ 2015 ක්වූ සැප්තැම්බර් 17 වැනිදා බ්‍රහස්පතින්දා




‘ජීවත් වෙන්න ඕනෙ මෙහෙමයි’ ක්‍රිස්ටි කලාකරුවන්ට කියා දෙයි

‘ජීවත් වෙන්න ඕනෙ මෙහෙමයි’ ක්‍රිස්ටි කලාකරුවන්ට කියා දෙයි

සැඳෑ සමයයි ජීවිතේ
ගෙවන්නේ මා අද දිනේ
දෙපා වාරුව පමණකී මට
මගේ තනියට ළඟ සිටින්නේ . . .

චන්ද්‍රසේන හෙට්ටිආරච්චි ගයන මේ ගීතයේ මුල් පේළි හතර සටහන් කළේ පුංචි කතාවක් කියන්න. නිකම්ම නිකම් කතාවක් නෙවෙයි. ඒක සෑහෙන්න වැදගත් කතාවක්. විශේෂයෙන් කලා ලොව ඉන්න කොයි කාටත් එය වැදගත්ම වැදගත් වේවි. මේ කතා පොඩ්ඩේ අන්තයක අපට සිටින ජ්‍යෙෂ්ඨම නළුවකු වන ක්‍රිෂ්ටි ලෙනාඩ් පෙරේරා ඉන්නවා. ඒකත් මතක් කරන ගමන් රැල් බුරුල් හැරලා තවත් අගය නොකර මේක කියන්නම්කො. අපේ කලා ලෝකේ කලාකරුවෝ ඉන්නවා නේද . . . ඒ අයගෙන් බහුතරයක් තමන්ගේ අනාගතය ගැන හිතන්නේම නැහැ. තමන්ට සැඳෑ සමයක් තියෙනවා කියලා හිතන්නේම නැහැ. අඩුම තරමේ තමන් මනුස්සයෙක්, කාලෙකදී තමන්ට අඟහිඟකම් මතුවේවි කියලා හිතන්නෙම නැහැ. හිතන්නේ තමන් අමරණීය කෙනෙක් කියලා. ඒ අතරේ සමහරු ඉන්නේ හැමදාම නත්තල් ගානට.

එහෙම ඉඳලා වයසට ගියාට පස්සේ තමයි තරු පේන්නේ. තමන්ට ලැබෙන වැඩ අඩු වෙලා ආදායම සෘණ වෙන කොට තරුයි, හඳයි, උල්කාපාතයි පේනවා. ඊට පස්සේ අරයගෙන් සල්ලි ඉල්ලනවා, රජයට බනිනවා, දරුවො සලකන්නේ නැහැ කියනවා. ඉවරයක් නැහැ අඳෙීනාව. ඒත් ජීවිතේට පත්තරයකින් හෝ වෙනත් මාධ්‍යයකින් දැකලා තියෙනවාද ක්‍රිෂ්ටි ලෙනාඩ් එහෙම කියලා තියෙනවා. ඔහු අදටත් ජීවත් වෙන්නේ රජෙක් වගේ. ඒකට හේතුව ක්‍රිෂ්ටි කිව්වේ මෙන්න මෙහෙම. ඇත්තටම ඒක අපි හැමෝටම මහඟු ආදර්ශයක්. 'කලාකරුවකු විදිහට සල්ලි හම්බු වෙන කාලේ දවසකට රුපියලක් හරි ඉතුරු කරන්න, එහෙම කරලා අනාගතයේදී ජීවත්වන්නට මගක් සාදාගන්න. කලාකරුවෝ කියන්නේ හිඟන්නෝ නෙවෙයි. වයසට ගියත් අපි කලාකරුවන් කියන ගරුත්වය රැකගන්න ඕනෑ'

අන්න එහෙමයි ක්‍රිෂ්ටි කිව්වේ. ඔහු මේ වන විට ජීවත් වන්නේ ඒ කාලේ තමන් හම්බු කරලා ඉතුරු කරගත්තු මුදල්වලින්.