|
හැට පැන්නත් බිමින් නොයන කමල්
ඉන්දියානු සිනමාව කමල් හසන් නම් නළුවා හඳුන්වන්නේ ‘ලෝකයටම එකයි. පළමුවැනියාත්, අන්තිමයාත්’ ඔහු ලෙසයි. ‘විශ්වීය වීරයා’ ඒ ඔහුට පටබැඳි තවත් නාමයකි. පුදුමයක් නොවෙයි, ෆිල්ම් ෆෙයාර් සම්මාන 18 කට වඩා දිනාගෙන සිටින එකම ඉන්දීය නළුවා ඔහුය. 1954 වසරේ නොවැම්බර් 7 වැනි දින උපන් මේ විශිෂ්ට රංගධරයා මේ වසරේ සැමරුවේ හැට වැනි උපන් දිනයයි. හැට පැන්නත් තවමත් ඔහු රජ ගමනේය. ලබන වසරේ ද ඔහුගේ සිනමාපට ත්‍රිත්වයක්ම තිරගත කිරීමට නියමිතය. උත්තම විලයන්, පාපානසම් සහ විශ්වරූපම් 2 ඒ සිනමාපට තුනයි. ඔහු මොහොතකටවත් ක්‍රියාවිරහිත නොකරන යන්ත්‍රයක් මෙන් ක්රියාකාරීය. එක දිගටම ඔහු රූගත කිරීම්වල යෙදී සිටින්නේය. රංගනය කමල් හසන්ට පරපුරෙන් උරුම වූ දායාදයක් නොවෙයි. ඔහුගේ පියා ඩී. ශ්‍රීනිවාසන් හමුදා නිලධාරියෙකි. නීතිඥයෙකි. එක් සොයුරියක සහ සොයුරන් දෙදෙනකු සිටින පවුලක බාලයා වූයේ කමල් හසන්ය. අධ්‍යාපනය ලැබීම සඳහා මදුරාසියට ගිය ද කමල්ගේ සිත ගියේ රංගනයටය. ඒ වී එම් සිනමා සමාගම් අධිපති ඒ. වී. මෙයියප්පන්ගේ බිරිය කමල් හසන්ගේ මවගේ මිතුරියක වූවාය. තම පියාගේ ආශීර්වාදයෙන්ම ඒ වී එම් සිනමා සමාගමේ නවතම නිෂ්පාදනය ‘කල්ලතුර් කන්නම්මා’ සිනමාපටයට රංගනයෙන් දායකවීමට කමල් හසන්ට හැකි විය. ‘කල්ලතුර් කන්නම්මා’ රඟන විට ඔහු සිවු හැවිරිදි කුඩා දරුවෙකි. තමන් ඉපදුණේ සිනමාව උදෙසාමය යන්න සනාථ කරමින් පළමු රංගනයෙන්ම කමල් ජනාධිපති රන් සම්මාන හිමිකර ගත්තේය. ළමා නළුවකු ලෙසින් සිනමා පට තුනකටම ඔහු රංගනයෙන් දායක විය. සිනමා කර්මාන්තයේ ‘අ’ සිට ‘අඞ ‘ දක්වාම ඉගෙනීමට ඔහු මුල පිරුවේ ළමා වියේ සිටය. නව යොවුන් වියේදී ඔහු සහාය නළුවකු ලෙස රංගනයට එක් විය. වැඩිහිටියකු ලෙස ඔහුගේ මුල්ම රංගනය ඇතුළත් වූයේ 1970 ‘මානවන්’ සිනමාපටයේයි. එය නර්තන ජවනිකාවකි. 1970 සිට 1974 වනතුරුම කමල් සහාය නළුවකු ලෙස රංගනයට එක්වූවේය. ඔහු 1971 තිරගත වූ ‘අන්නායි වෙලන්කානි’ සිනමාපටයේ සහාය අධ්යක්ෂ ලෙසින් ද කටයුතු කළේය. ඔහු මලයාලම් සිනමාපටවලට දායක වූවේය. පළමු ෆිල්ම් ෆෙයාර් සම්මානය හිමි වූයේ ඔහු රැඟූ ‘කන්‍යාකුමාරි’ (1975) මලයාලම් සිනමාපටයටයි. කේ. බාලචන්ද්‍ර අධ්‍යක්ෂණය කළ ‘අපූර්ව රාගන්ගල්’ ඔහු ප්‍රධාන චරිතයක් රඟපෑ දමිළ සිනමාපටය වූ අතර ඔහුට දමිළ සිනමාවේ රංගනය සඳහා ප්‍රථම ෆිල්ම් ෆෙයාර් සම්මානය ද ඊට හිමි විය. 1960 සිට 2012 දක්වා වූ වසර පනස් දෙකක කාලයේදී ඔහු දමිළ, තෙළිඟු, කන්නඩ, මලයාලම්, හින්දි ඇතුළු ප්‍රධාන ඉන්දීය භාෂා සිනමාපට දෙසියයකට අධික ගණනක රඟපා තිබිණි. කමල් හසන්ගේ රංගන, නර්තන, ගායන හැකියාව පමණක් නොව පිටපත් රචනයට ඇති කුසලතාව ද වැඩි දියුණු වූයේ තම යොවුන් වියේදීමය. ‘උනර්විගල්’ (1976) සිනමා පිටපත ඔහු ලිව්වේ වයස අවුරුදු දහ අටේදීය. කමල් කර්නාටක සංගීතය හැදෑරුවේ ආචාර්ය බාල මුරලික්රිෂ්ණ යටතේය. ‘තේවර් මගන්’ සිනමාපටයට ඔහු ගැයූ ‘ඉන්ජි ඉඩුපසාගි’ ගීතය පසුබිම් ගායකයකු ලෙස ඔහුට තිබෙන මනා හැකියාවට තිබෙන සාක්ෂියකි. ඔහු අධ්යක්ෂණයට පිවිසියේ ‘චාචි 420’ (1997) සිනමාපටයෙනි. කමල් හසන්ගේ දියණිවරුන් වන ශ්රැති හසන් සහ අක්ෂාරා ද මේ වන විට පියාගේ අඩි පාරේ යමින් රංගනයට පිවිස සිටිති. දෙවරක්ම විවාහ වී දෙවරක්ම දික්කසාද වී සිටින ඔහු දැන් එකට වාසය කරන්නේ ඔහු සමඟ අසූව දශකයේ සිනමාපට කිහිපයකම රඟපෑ ගෞතමී තදිමාලා සමඟය. කමල් හසන්ගේ මුල්ම බිරිය වානි ගන්පතිය. ඒ විවාහය දස වසරකට සීමා විය. ඉන් පසු 1988 වසරේදී සාරිකා සමඟ විවාහ වූ අතර එය පැවතුණේ දාහතර වසරකි. ශ්රැති සහ අක්ෂාරා සාරිකාගේත්, කමල් හසන්ගේත් දියණිවරුන්ය.
* කමල් හසන්ගේ විනෝදාංශය මැජික් කලාවයි * ඔහු රැඟූ සිනමාපට හතක්ම විදේශීය සිනමා අංශයෙන් ඔස්කාර් සම්මාන සඳහා නිර්දේශ වී තිබේ. * කමල් හසන්ට දමිළ, ඉංග්‍රීසි, තෙළිඟු, හින්දි, මලයාලම්, බෙංගාලි, කන්නඩ, ප්‍රංශ යන භාෂා ඉතා චතුර ලෙස කථා කළ හැකිය.
කමල් හසන්ගේ විශිෂ්ට රංගනයන් ඇතුළත් වූ සිනමාපට 10 ක්
* නාගම් (1987) * මූන්ඩෘ මුඩිචු (1976) * මූන්ඩ්‍රම් පිරායි (1982) සද්මා (1983) * පුෂ්පක විමාන (1987) * ඒක් දූජේ කේ ලියේ (1991) * අපූර්ව රාගන්ගල් (1975) * අවායි ෂන්මුගි (1996), චාචි 420 (1997) * සාගර් (1985) * ඉන්දියන් (1996) * හේ රාම් (2000)
සිය හැටවෙනි ජන්ම දිනය වෙනුවෙන් කමල් හසන් ඉන්දියාව පවිත්‍ර කිරීමේ කර්තව්‍යයට මුල පුරයි
කමල් හසන් සිය හැට වැනි උපන් දිනය සැමරුවේ කලාකාමී හදවතක සංවේදීභාවය ප්‍රකට කරමිනි. ඒ තමිල්නාඩුවේ විල් විසි පහක් පවිත්‍ර කිරීමේ ‘නර්පානි ඉයාක්කම්’ ව්‍යාපෘතිය අරඹමිනි. නැවුම් ජලය ඉන්දියානු වැසියන්ගේ ප්‍රබල අවශ්‍යතාවකි. මධම්බක්කම් විලෙන් ඇරඹූ ව්‍යාපෘතියට කමල්ට රසික සහාය නොමඳව ලැබිණි.
|