|
සිංහල සිනමාවේ එදා මෙදාතුර හොඳම දුෂ්ඨ චරිතය නිරූපණය කළේ රවීන්ද්‍ර
ජනක් ප්‍රේමලාල් සිත් ගත් චරිත ගැන අනාවරණය කරයි
සිත් ගත් දේ රිසි සේ පවසන්නේ පුදුම හතටයි. පුදුම හතට සිත් ගත් දේ පවසන්න පැමිණෙන්නේ ඔබට ළෙංගතු රංගන ශිල්පියෙක්. ගුරු පියෙක් ලෙසින් වසර ගණනක සේවය අවසානයේ දැන් පූර්ණකාලීනව රංගනයට යොමු වී ඇති මේ අවධියේ ලද විවේකයෙන් ඔහු පුදුම හතට පැවසූයේ රිදී තිරයේ සහ වේදිකාවේ දුටු චරිත අතරේ සුවිශේෂ මතක සටහන් ඇති කළ චරිත හතට පණ පෙවූ රංගන ශිල්පීන් හත් දෙනෙකු පිළිබඳවයි.
ගාමිණී ෆොන්සේකා සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මහතා මා සිත් ගත් රංගන ශිල්පීන් අතරේ ඉහළම සිටින තැනැත්තායි. පරසතු මල් චිත්‍රපටයේ බොනී මහත්තයා ලෙසත්, නිධානය චිත්‍රපටයේ විලී අබේනායක ලෙසත් ඔහු මට සුවිශේෂ වෙනවා. ගාමිණී ෆොන්සේකා අපේ සිනමා ඉතිහාසයේ චරිත රාශියකට පණ දුන් රංගන ශිල්පියෙක්. ඒ වුණත් විලී අබේනායක සහ බොනී මහත්තයාගේ චරිත ද්විත්වය ඒ අතරේ ඉතාම වෙනස් ආකාරයෙන් සිටින බවයි මගේ අදහස. ජාත්‍යන්තර මට්ටමේ රංගන කෞෂල්‍යයකින් හෙබි ජාත්‍යන්තරයට අභියෝග කළ හැකි දේශීය රංගන ශිල්පියෙක් නම් ඒ අනිවාර්යයෙන්ම ඔහුම තමයි. ඒ නිසා මම හිතන්නේ ඔහුගේ රංගනයන් අපේ සිනමා ඉතිහාසයට වගේම රංගන ක්ෂේත්‍රයට සදාතනික මතක ලෙසයි. සත්‍ය වශයෙන්ම ඒ රංගනයන් රංගනය පවතිනතාක් කල් ඇගයෙන චරිත. ඒ වගේම රංගන ක්ෂේත්‍රයෙන් ඉදිරියට එන නව පරපුරට අධ්‍යනය කළ යුතුම රංගනයන්. ඒ තුළින් ඔහු ඔවුන්ට කියා දෙන පාඩම් වටිනාකමින් ඉතා ඉහළයි. ජෝ අබේව්ක්‍රම ජෝ මහත්තයා මා බෙහෙවින් අගයන සිංහල සිනමාවේ චිත්‍රපට රාශියක් විවිධාකාර චරිතවලින් හැඩ කළ අපූරු රංගන ශිල්පියෙක්. ඒ වගේම කෙතරම් චිත්‍රපට ගණනකට රංගන දායකත්වය ලබා දුන්නත් ඒ සෑම එකක්ම එකිනෙකට වෙනස් වූ රසික සිත් තුළ සදා රැඳෙන චරිත වීම විශේෂයි. වැලිකතරේ ගෝරිං මුදලාලි, දෑස නිසා චිත්‍රපටයේ විරූපි මිනිසා, තුංමං හන්දිය චිත්‍රපටයේ වගේම සොල්දාදු උන්නැහේ චිත්‍රපටවලත් විවිධාකාර වූ චරිත දෙස බලන විට එය අමුතුවෙන් පැහැදිලි කළ යුතු වන්නේ නැහැ. මුල්කාලීනව බොහොමයක් හාස්‍ය මුසු වූ චරිත ඉදිරිපත් කළත් පසුකාලිනව චරිතාංග නළුවෙකු ලෙසින් නිර්මාණ රාශියක් ඔහුගේ රංගනයෙන් හැඩ කරන්න මේ අපූරු රංගන ශිල්පියා සමත් වුණා. ඒ අතරේ ගැමි චරිත නිරූපණයේ සුවිශේෂත්වයක් දැක් වූ ඔහුගෙන් හිස් වූ එම හිඩැස පුරවන්න අද කෙනෙකු නොමැති වීම කලාවට ළෙංගතු පුද්ගලයෙකු ලෙසින් මගේ හිතේ තියෙන්නේ කණගාටුවක්. ජෝ මහත්තයා නම් වූ අද්විතීය රංගන ශිල්පියා අපට සිනමාවට ඉතිරි කර ගිය දේ බොහෝයි. වර්තමානයේ නවකයන්ට මෙවැනි වූ රංගන ශිල්පීන්ගේ රංගනයන් අධ්‍යනයෙන් ලබා ගත හැකි දැනුම අති විශාලයි. ඒ නිසාම ඔහු ඉදිරියට එන නවකයන්ට ශ්‍රේෂ්ඨ ගුරුවරයෙක්. ටෝනි රණසිංහ සිංහල සිනමාව සිය රංගන ප්‍රතිභාවෙන් ඒකාලෝක කළා වූ රංගන ශිල්පියෙක් ලෙසින් මා ටෝනි රණසිංහයන් හඳුන්වන්න කැමැතියි. ඔහුගේ රංගන චරිත අතරේ දුහුළු මලක් චිත්‍රපටයේ සුරවීරගේ චරිතය විශේෂ ආකාරයෙන් මගේ හිතේ සටහන්ව තියෙනවා. මුහුණේ ඉරියව් දැක්වීම එම චරිතයේ කැපී පෙනෙන ආකාරයෙන් මා දුටුවා. ඇහිපිල්ලමක් ගැහීම වගේම නළල රැළි ගැන්වීම වගේ වූ ඉතා සියුම් වූ හැඟීම් ප්‍රකාශ කිරීම ටෝනි රණසිංහයන් සුරවීර නම් වූ කථිකාචාර්යවරයාගේ චරිතයෙන් ඉතා උසස් මට්ටමෙන් ගෙනහැර දැක්වූවා. වෙනත් කිසි රංගන ශිල්පියෙකුට ළඟා විය නොහැකි පරිද්දෙන් ඔහු එය ඉටු කළ බව මගේ විශ්වාසයයි. තම පවුල තුළ වූ ගැටුම්කාරී තත්ත්වය මනසට කා වැදුණු පසු එය මුහුණින් ඉදිරිපත් කිරීමයි එහිදී විශේෂ වුණේ. දුහුළු මලක් චිත්‍රපටය නැරඹූ මොහොතේ පටන් එය සිහිවන වාරයක් පාසා එම විශේෂත්වය සුවිශේෂ ලෙසත් මගේ හිතට දැනෙනවා. ටෝනි රණසිංහයන් මා කැමැතිම චරිත අතරේ අති විශිෂ්ටයෙක් බවට පත් කරලූයේ දුහුළු මලක් චිත්‍රපටයේ සුරවීරගේ චරිතයයි. රවීන්ද්‍ර රන්දෙණිය රවීන්ද්‍ර රන්දෙණිය නම් වූ රංගධරයා මා දකින්නේ මෙරට සිංහල සිනමාවේ එදා මෙදාතුර වූ දුෂ්ඨතම චරිතය නිරූපණ්‍ය කළ රංගන ශිල්පියා ලෙසයි. ඒ දඩයම චිත්‍රපටයේ ජයනාත්ගේ චරිතයයි. තම ආදරවන්තිය මෝටර් රථයට යට කර මරා දමන්න තරම් කෲර වූ සල්ලාල වූ ජයනාත්ගේ චරිතය තරම් දුෂ්ඨ චරිතයක් මා මෙතෙක් දැක නැහැ. රවී සිනමාවට පැමිණියේ ආදරණීය පෙම්වතා ලෙසින්. එවැනි වූ ආදරබර චරිතවලින් ජනප්‍රියත්වයට පැමිණෙන කිසිවෙකුත් මෙවැනි වූ දුෂ්ඨ, කළු චරිත භාරගන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒ සිනමාවට ළබැඳි රසික රසිකාවන්ගේ ආදරය වගේම ජනප්‍රියත්වය අහිමි වේ යැයි හිතන නිසාවෙන්. ඒ වුණත් රවී ඒ අභියෝගය ජයගත් විශිෂ්ඨ රංගධරයෙක්. එහිදී සිගරට් පැකට්ටුවෙන් සිගරැට්ටුවක් මුව තුළට ගන්නා දර්ශනය මට කිසිදාක අමතක නොවන එකක්. සිගරට් පැකට්ටුව පමණක් අතින් අල්ලාගෙන මුවින්ම සිගරට් එක ගැනීම ජයනාත්ගේ චරිතයේ සුවිශේෂ ලක්ෂණයක්. යහපත් සුදු චරිත පමණක් සොයන රංගන ශිල්පීන් හට ප්‍රේමණීය චරිත සමඟින් ක්ෂේත්‍රයට පැමිණ ජයනාත් වැනි වූ දුෂ්ඨ චරිතයක් මවා රවීන්ද්‍ර නම් අපූරු රංගධරයා දුන් පාඩම ඉතාම වටිනා එකක්. ඒ වගේම රවීන්ද්‍ර රන්දෙණිය නම් වූ මහා රංගධරයාගේ රංගන කුසලතා රටම හඳුනාගත් චරිතයක් ලෙසත් ජයනාත්ගේ චරිතය මා දකිනවා. හෙන්රි ජයසේන සිංහල වේදිකාවේ එදා මෙදාතුර නිරූපිත අසහාය චරිතයක් ලෙස හෙන්රි ජයසේනයන් ඉදිරිපත් කළ අසඩක්ගේ චරිතය මා කැමැතිම චරිත අතරේ සුවිශේෂ වෙනවා. මට මතකයි මගේ පාසල් කාලයේ හොරණ අරුන්දතී රංග ශාලාවේදියි ප්‍රථමයෙන් හෙන්රි ජයසේනයන්ගේ හුණුවටය නාට්‍යය නැරඹුවේ. එදා ඔහු අසඩක් ලෙසින් ඉදිරිපත් කළ චරිතය වෙනත් කිසිම නළුවෙකුට ළඟා විය නොහැකි ආකාරයෙන් ඉදිරිපත් කළා. වේදිකාවට ප්‍රවිෂ්ඨ වන වේලාවේ පටන්ම අවසානය දක්වා මුළු රංග ශාලාවේම අවධානය දිනා ගැනීමට ඔහු සමත් වුණා. එහිදී ඔහුගේ හඬ පෞරුෂ්‍ය ඉතා වැදගත්ම සාධකය ලෙසින් මමත් අවබෝධ කර ගත්තා. වේදිකාව යනු සජීවි රංගනයක්. එහිදී අවසන් පෙළ දක්වාම හඬ විහිදිය යුතු අතරම මුල් පෙළට එය ඝෝෂාවක් ද නොවිය යුතු වෙනවා. හෙන්රි ජයසේනයන්ගේ රංග විලාශය සමඟින් වූ විශිෂ්ට හඬ පාලනය මුළු ප්‍රේක්ෂකාගාරයම වශී කර ගන්න සමත් වුණා. අසඩක්ගේ චරිතය සුවිශේෂි වගේම බොහොම අසීරු චරිතයක්. ඒක හරියට කඹේ යනවා වගේ එකක්. ඒ වුණත් හෙන්රි ජයසේනයන් එම චරිතය ඉතා අපූරුවට ගෙනහැර දැක් වූවා. වේදිකා නාට්‍ය කලාව පවතිනතාක් කල් එය ජිවමාන වනු ඇති අතරම වේදිකා නාට්‍ය රංගනය හදාරන්නන්ට තිබෙන කදිම නිදර්ශකයක්. ධර්මසිරි බණ්ඩාරනායක මකරා නාට්‍යයේ ලාන්ස් ලොට් ලෙසත් ඒකාඅධිපති නාට්‍යයේ මහා ඒකාධිපතියා ලෙසත් වන චරිත ද්විත්වයම ධර්මසිරි බණ්ඩාරනායක නම් වූ සුවිශේෂ කලාකරුවා මා සිතේ තවත් සුවිශේෂ වන්නට හේතු වුණා. මෙම චරිත ඇත්තටම පුදුම එළවන සුළුයි. මට මතකයි මේ නාට්‍ය අතුරින් මකරා නාට්‍යය මම නැරඹුවේ පාසල් කාලයේදීයි. එදත් අපේ ප්‍රේක්ෂකාගාරය බොහොම නොසන්සුන්. දහදිය දමන තරමට රස්නයෙන් පිරි ශාලාව, කැඩුණු කබල් පුටු වැනි අගහිඟකම් සමඟින් එය සන්සුන් කරවීම තරමක් අපහසු කාරණයක්. ඒ වුණත් එදා සෙනඟ පිරි ඒ නාට්‍ය ශාලාවේ තිරය විවර කිරීම සමඟින් ඔහු නිහඬ කළේ වචන දෙකකින්. ‘කවුද ගෙදර’. ඒ ඔහුගේ පළමු දෙබසයි. ප්‍රේක්ෂකාගාරය මීයට පිම්බා වගේ නිහඬයි. එදා ඔහු වයස අවුරුදු විසි නමයක් වගේ කාලයක මෙම නාට්‍ය නිෂ්පාදනය කර, අධ්‍යක්ෂණය කර ඔහුම ප්‍රධාන චරිතයට පණ පෙවීමත් අභියෝගයක්. එය ඇත්තටම මවිත කරවන දෙයක්. නමුත් ඔහු එය අති සාර්ථක අයුරින් ඉදිරිපත් කරන්නට වග බලා ගත්තා. 1976 වසරේ රාජ්‍ය නාට්‍ය උළෙලේ ඒකාඅධිපති නාට්‍ය වෙනුවෙන් හොඳම නළුවා ලෙසත් සම්මානනීය වූ මෙම රංගවේදියා රටම හඳුනා ගත්තේ මේ චරිත ද්විත්වයට වූ කැපවීම නිසා බවයි මගේ හැඟීම. ඒ වගේම රඟපෑම් වර්ගීකරණය කර උදාහරණ ගෙනෙනා විටදී තාත්වික නාට්‍ය අංශයේ අති විශිෂ්ඨ රඟපෑම වෙනුවෙන් ඔහුගේ නම මා සැමවිටම සිහිපත් කරනවා. ආචාර්ය ජයලත් මනෝරත්න ආචාර්ය ජයලත් මනෝරත්නයන්ගේ විශිෂ්ඨ රඟපෑම් අතරේ සුවිශේෂ අයුරින් මා දකින්නේ රතු හැට්ටකාරී වේදිකා නාට්‍යයේ රජතුමාගේ චරිතයයි. හැටේ දශකයේ වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ ස්වර්ණමය යුගයක් සමඟින් 1974 වසරේදී නිර්මාණය වූ රතු හැට්ටකාරී වේදිකා නාට්‍යයේදී ජයලත් මනෝරත්න නම් වූ විශේෂ රංගධරයාගේ රංගනය ඔහු ක්ෂේත්‍රයේ ඉස්මතු කරන්න සමත් වූවක්. ඊට පෙර ඔහු සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය කණ්ඩායම සමඟින් චරිත ඉදිරිපත් කළා. බොහොමයක් තැම්පත් චරිත අතරේ සිට පැමිණ රතු හැට්ටකාරී නාට්‍යයේ චරිතයෙන් ඔහුගේ සැඟ වී තිබූ ප්‍රතිරූපයන් සියල්ල එකට කැටි වී අපූරුවට ඉදිරිපත් කෙරුණා. පසුකාලීනව හැත්තෑව දශකය අග භාගය වගේම අසූව දශකයේ දී හාස්‍යෝත්පාදක නාට්‍ය කලාවක් බිහි වුණත් රතු හැට්ටකාරි වේදිකා නාට්‍යයේ රජුගේ චරිතයෙන් ජයලත් මනෝරත්නයන් අපට හාස්‍ය මේ යැයි පෙන්වූවා. ඒ තුළින් ඔහු ප්‍රේක්ෂකයන් මවිත කරන්නත් සමත් වූ බවයි මගේ හැඟීම. කුමක් හෝ දෙපිට කැපෙන වචන දෙකක් කියලා ප්‍රේක්ෂකයන්ගේ හාස්‍ය මතු නොකර රංගනය තුළින් හාස්‍ය මතු කරන අපූරු චරිතයක් ලෙසත් මා එය දකිනවා. ඒ පිළිබඳ අධ්‍යයනය කරන්නා වූ විද්‍යාර්ථීන් හට කදිම නිදර්ශනයක් ලෙසත් මා එය සඳහන් කර සිටිනවා. ජෝ මහත්තයා වගේම ජයලත් මනෝරත්න නම් රංගවේදියාණන් අපට සිටින විශිෂ්ඨ චරිතාංග නළුවෙක්. ඒ වගේම අද හාස්‍ය ලේබලය අලවා ගත් නළු පරම්පරාවට වඩා හරවත් අයුරින් හාස්‍ය වින්දනය ලබා දුන් අපූරු රංගධරයෙක් ලෙසින් ඔහු මා සිත් ගත් රංගන ශිල්පින් අතරේ සුවිශේෂ වෙනවා. අපේ සිනමාවට, ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට වගේම වේදිකාවට මෙවැනි වූ රංගධරයන් ආශිර්වාදයක්. ඒ වගේම ඔවුන්ගේ එම විශිෂ්ඨ රංගනයන් සදාතනික මතක ලෙසින් රසික සිත් තුළ රැඳී පවතිනවා. මා සිත් ගත් රංගන ශිල්පින් රාශියක් සිටියත් ඒ අතුරෙන් හත් දෙනෙකු පිළිබඳ පමණක් මා සඳහන් කළේ මේ පුදුහ හත නිසාම පමණයි.
|