වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 13 වැනිදා බ්‍රහස්පතින්දා




සරසවියට ස්තුතියි! මගේ සහකරු ලැබුණා

සරසවියට ස්තුතියි! මගේ සහකරු ලැබුණා

අද යුග දිවි එළැඹෙන ගයත්‍රි රාජපක්ෂ

ගයත්‍රි - අනුරාධ සුබ මංගලම්

මේ දිනවල දිගට හරහට නළු නිළියන්ට මංගල සීනු හැඩ වෙනවා. නව පරපුරේ රංගන ශිල්පිණී ගයත්‍රි රාජපක්ෂ තමයි එහෙම යුග දිවියට පිවිසෙන අලුත්ම තාරකාව. ඇගේ විවාහ මංගලෝත්සවය අද දිනයේදී කිරිල්ලවල වයිට් පැලස්හිදී පැවැත්වීමට නියමිතයි. මල්සර හීසර වැදුණු ගයත්‍රි තම ජීවිතයේ දෙවැනි උපත ගැන කතා කළේ හරිම සතුටින්.

එයා තමා බඹා කෙටූ එක්කෙනා කියලයි ගයත්‍රි කියන්නේ.

* කවුද ඔහු? නම මොකක්ද?

පොඩ්ඩක් ඉන්න. මම මේ ඔක්කෝටම කලින් සරසවිය පත්තරේට ස්තුති කරනවා.

* ඒ මොකටද?

සරසවිය හින්දා තමයි මට මගේ ඉරණම්කරුවාව මුණ ගැසුණේ.

* බොහොම සන්තෝසයි. ඔහුගේ නම කියන ගමන් ඒ විස්තරයත් කියමු?

එයා තමයි අනුරාධ මධුසංඛ. අනුරාධ සරසවිය පාඨකයෙක්. එහි පළ වූ මගේ ලිපියක් ඔහු ආසවෙන් කියවලා තියෙනවා. පස්සේ මගේ දුරකතනයට ඔහු කෝල් එකක් ගන්න තීරණය කරලා.

* ඉතින්?

මට නම් ඔහුව එදා සාමාන්‍ය රසිකයෙකු විදිහට පමණයි දැනුණේ.

* මොනවද අනුරාධ පළමු දුරකතන ඇමතුමේදී කිව්වේ?

මං හරි චාම් කෙනෙක් කියලා හිතුනලු. ඒකලු කතා කළේ.

* ඉතින් ඊට පස්සේ?

අනුරාධ ඉඳලා හිටලා මට කෝල් කරනවා. විස්තර අහනවා. ක්‍රම ක්‍රමයෙන් අපි යාළුවො වුණා.

* දිගින් දිගටම කතා කරන්න ගත්තම ඇණයක් කියලා හිතුණෙ නැතිද?

කවදාවත් නැහැ. ඔහුගේ විනීතකමට මං ප්‍රිය කළා.

* අනුරාධ කලාවට ළැදි කෙනෙක්ද?

ඔව්, ගොඩත් චිත්‍රපට, ටෙලි නාට්‍ය නරඹනවා.

* මොනවද ඔහු නරඹලා තියෙන ඔබ ඉන්න නිර්මාණ?

ආදරණීය පූර්ණමා, සඳට අහස ආදරෙයි.

* අනුරාධ ආදරය කරන්නේ ඔබ තුළ සිටින නිළියට නොවේද?

එහෙම නම් මං එයාව මගහැරලා ගොඩක් කල්. අනුරාධට මගේ නිළිකම වැදගත්. නමුත් ගයත්‍රි රාජපක්ෂ කියන සාමාන්‍ය තැනැත්තියටයි ඔහු ආදරය කරන්නේ. ඒක මට විශ්වාසයි.

* අනුරාධ වෙන්න ඇති ඔබට විවාහ යෝජනාව ගේන්න ඇත්තේ?

හරියටම හරි. මං හිතන්නේ කාලයක් තිස්්සේ ඔහු මා ගැන බලාපොරොත්තුවෙන් ඉඳලා තියෙනවා.

* ඔබ ඔහුට මොන වගේ ප්‍රතිචාරයක් ද දැක් වූයේ?

සද්ද නැතුව ඉඳලා අම්මලාගෙන් ඇවිත් අහන්න කිව්වා.

* එතකොටත් ඔබ අනුරාධව දැකලා තිබුණාද?

ඔව්. මගේ නංගිගේ සම්මුඛ පරික්ෂණයකට ඇයත් එක්ක ඔහු වැඩ කරපු ඔෆිස් එකට ගියා. එහිදී මං ඔහුව දුටුවා.

* එදාවත් කිසිදු විශේෂත්වයක් දැනුණේ නැද්ද?

නැහැනෙ. ඒක තමයි පුදුම වැඩේ.

* එහෙනම් ඇයි ඔහුට ඔබ කැමැත්ත දුන්නේ?

පසුකාලිනව කල්පනා කරලා බලද්දී අපේ අදහස් හොඳට ගැලපෙනවා කියලා වැටහුණා. ඔහුත් මමත් එක අවුරුද්දේ එකම මාසේ ඉපදිලා තියෙන්නේ. ඒ වගේම මට නීති දාලා නැහැ. මම ගොඩක් නිදහසේ ඉන්න කැමැති කෙනෙක්. අනුරාධ මෙහෙම මට සලකන එක ගැන සතුටුයි.

* දැන් එහොම වුණාට ඉදිරියේදී කියයි ද දන්නෙ නැහැ රඟපාන්න එපා කියලා?

එහෙම නම් දැන්මම කියන්න එපායැ. නීති දානවා නම් මේ වන කෙටත් නීති දාන්න ඕනෑ.

* අනුරාධ කොහෙද දැන් වැඩ කරන්නේ? පදිංචිය එහෙම කොහෙද?

එයා රුසියාවේ අධ්‍යාපනය හදාරපු කෙනෙක්. කාලයක් එහෙ හිටියේ. නිවාඩුවකට ලංකාවට පැමිණි අතරතුරදියි මාව හමු වුණේ. ආයෙත් විදෙස් ගත වේවි. හැබැයි දිගටම නෙවේ.

එයාගේ ගම ඇඹිලිපිටිය.

* ඔබට ඇරියුම් ලැබුණේ නැද්ද විදෙස් ගත වෙන්න?

මං මේ රට දාලා යන්න හිතක් නැහැ. බලමු ඉදිරියේදී.

* විවාහයෙන් පසුව පෙම්වතියගේ චරිතය පෙර වාගේම කරනවාද?

ඔව්. කිසිම ප්‍රශ්නයක් නැතුව පෙම් ජවනිකා රඟපානවා.

* අද ඔබ දෙපොළගේ ජීවිතයේ සොඳුරුම දිනය. මොකද හිතෙන්නේ?

මට මුලු ලෝකෙම හමු වුණා වගේ අනුරාධ වගේ කෙනෙක් මගේ පිනට හිමි වුණේ. ඔහුට හොඳින් සලකනවා මං.

* ඔබ කැමැති වුණේ උඩරට මනාලියක් විදිහට සැරසෙන්නද?

ඒක මං කාලාන්තරයක් තිස්සේ හිතාගෙන හිටපු දෙයක්. ඒ විදිහ මට හොඳට ගැලපෙනවා. අනුරාධ ෆුල් සූට් එක අඳිනවා.

* ගයති‍්‍රට උයන්න එහෙම පුළුවන්ද?

මොකද බැරි.

* මොනවද අනුරාධ කන්න කැමැති?

සැමන් තෙල් දාලා, මෑ සහ පොල් සම්බෝල එක්ක බත්.

* හැබැයි ගයත්‍රිට තවම පොල් සම්බෝල හදාගන්න බැහැ කියලා ආරංචියි?

මට පොල් සම්බෝල හදන්න පුළුවන් බාගෙට. ඒවා හදන්න ඉගෙන ගන්නම ඕනෑ. නැත්නම් අනුරාධ තරහ වෙයි.

* විවාහයෙන් පසුව දෙන්නගේ පදිංචිය කොහේ වේවිද?

නිට්ටඹුව අපේ මහ ගෙවල් ආසන්නයේ අපි ගෙයක් හැදුවා. එහි පදිංචි වෙනවා.

* අනුරාධට ඔබේ මනාපය ලබා දුන් පසු ඔහුත් එක්ක ගිය පළමු ගමන මතකද?

අපි ඉස්සෙල්ලාම ගියේ නුවර දළදා මාලිගාවට.

* ගිහින් මොනවද ප්‍රාර්ථනා කළේ?

ඉක්මනට විවාහ වෙන්න ලැබෙන්න කියලා.

* එහෙනම් අනුරාධ සහ ඔබට සරසවිය අපි සුබ මංගලම් කියනවා.

බොහොම ස්තුතියි. අනුරාධවයි මාවයි එකතු කළ සරසවිය පුවත්පතට නැවත නැවතත් මා තුති පුදනවා. ඒ වගේම දීර්ගායුෂ පතනවා.