|
අපේ ජීවිතය වූ දූ අපට තවත් සතුටක් ගෙනාවා
ටෙනිසන්ගෙන් නාට්‍ය දන්සලක්
සයුර පිස හමන මඳ සුළඟ හිරුගේ රශ්මිය නිසා ඇතිවන දාහය මදකට හෝ නිවාලයි. එහි සොඳුරු සුවය විඳිමින්ම මොරටුව විල්ලෝර වත්තට ඇදෙන රථය ගමන් කරන්නේ ඔහු සොයාගෙන ය. “ටෙනිසන් කුරේ” නිතරම සිනහවකින් මුවඟ සරසාගෙන සිටින මේ අපූරු හාස්‍යෝත්පාදක රංගන ශිල්පියාව අප මේ බලන්නට යන්නේ දිගු කලකට පසුවය. ඔහුගේ කැදැල්ල අසල අප ගිය රථය නතර කළා පමණි. අප සවනත වැකුණේ ගිටාරයකින් නැගෙන සුමියුරු නාදයයි. “කවුද මේ ගිටාරය වයන්නේ ?” මගේ සිතේ පැන නැගුණේ එවැනි ගැටලුවකි. මගේ ගැටලුව හඳුනාගත් ලෙසින්දෝ මාලන් අයියා ඊට පිළිතුරු දුන්නේය. “ටෙනී තමයි ඔය ගිටාරය වයන්නේ ” ඔහු පැවසුවේ රංගන ක්ෂේත්‍රයේ බොහෝදෙනෙකු ටෙනිසන් කුරේ හඳුන්වන ‘ටෙනී’ යන ආදරණීය නාමයෙන් අමතමිනි. අපි ඔහුගේ කැදැල්ලට එබිකම් කළෙමු. “ආ...... එන්න. එන්න. මම මේ ඔයාලා එනකම් පුංචි තාලයක් ඇල්ලුවා” සුපුරුදු සිනාව මුවඟට නඟාගත් ඔහු අප කැඳ වූයේය. ඔහු අත වූයේ බොක්ස් ගිටාරයකි. ගිටාරය පැත්තකින් තැබූ ඔහු සැටියේ අසුන් ගත්තේ දිගු කතාබහට මුල පුරන අටියෙනි. “විහිළුවෙන් තහළුවෙන්ම ද ජීවිතය ගෙවෙන්නේ ? ” ඔහු කළ විහිළු කිහිපයක් අවසානයේ මම විමසුවෙමි. “විහිළු, තහළු, නාට්‍ය රඟපාන විට කරනවා තමයි. ඒ වුණත් ඒ හාස්‍ය කියන එක පොඩ්ඩක් විතර මගේ ඇඟේ තියෙනවා. මේ නිසා ගෙදර දි වුණත් මම කැමැතියි සතුටෙන්, විමෝදෙන් කාලය ගත කරන්න. මේ ටිකකට කලින් මම දුව විවාහ කරගත්ත පුතාට එයාගේ උපන් දිනයට සුබ පතලයි ආවේ.” හාස්‍යෝත්පාදක රංගන ශිල්පියෙක් වුණත් ටෙනිසන් කුරේ කියන්නෙත් වගකීම් රැසක් තියෙන පියෙක් වග ඔහු අපට කියා පෑවේ ය. ඒ කතා අතර ඔහුගේ මුවෙන් නිතර කියැවුණේ සිය මුනුබුරා හා මිනිබිරිය ගැන වීම ද විශේෂත්වයකි. “අපේ පවුලේ මුලින්ම සතුට රැදිලා තිබුණේ මගේ දූ මධූ මිහිරි නිසා. එයා තමයි අපි දෙන්නගේම ජීවිතය වුණේ. එයා ලොකු මහත් වෙනවා දැකලා අපි සතුටු වුණා. අද ඈ ගුරුවරියක්. උගන්වන්නේ බිෂොප් කොලේජ් එකේ. විවාහ වෙලා අපට තරමක් ඈතින් එයා හිටියත් තවමත් ඉන්නේ ඒ කාලයේ හිටිය දුවම තමයි. ඒ කාලයේ තිබුණු ඇගේ කටයුතු තවමත් වෙනස් වෙලා නෑ. ඒ වගේම ඈ අපට තවත් සතුටක් අරගෙන ආවා. ඒ තමයි අපේ මුනුබුරා හා මිනිබිරිය.” මුනුබුරා චන්දෘ ය. දස වසරක් වයසැති චන්දෘ පුතා දඟකාරයෙකි. කටකාරයෙකි. මිනිබිරිය මින්ද්‍රි ය. සත් හැවිරිදි වයසැති ඕ ද ඊට දෙවැනි නොවේ. “මුනුබුරා ඉගෙන ගන්න වගේම සංගීතයට හරි හපනා. එයාට ගිටාරය වයන්න පුළුවන්. නිතරම අපේ ගෙදරට ආවට පස්සේ ගිටාරය අරගෙන වයනවා විතරක් නෙවෙයි, ගිටාරය වයන හැටි මටත් කියලා දෙනවා. මෙන්න මෙහෙමයි කෝඩ් ගහන්නේ. මේ ඇඟිල්ල තියෙන්න ඕන මෙහෙමයි. මේ ඇඟිල්ල තියෙන්න ඕන මෙහෙම නෙවෙයි, මේ විදියටයි කියලා එයා මට ගිටාර් එක ගහන්න උගන්වනවා. ඉතිං ඒ අයගේ සුරතල් මැද ගෙවෙන දවස් වඩ වඩාත් සුන්දරයි.” ඒ සුන්දරත්වය සිහියට නැඟුණු හෙයින්දෝ ඔහුගේ මුවඟට නැවතත් සොඳුරු සිනහවක් නැඟෙයි. “සමහර දවසකට අපි පවුලේ හැමෝම එකතු වෙනවා. එකතු වෙලා සින්දුවක් කියලා බොහොම සොඳුරු සාජ්ජයක් දමනවා. පවුලේ නෑදෑයන් වුණත් එහෙමමයි. ඒ අයගේ ගෙදරකට එකතු වෙන්නට නොහැකි වුණොත් අපේ ගෙදරට හැමෝම එකතු වෙනවා. හැමෝම හොඳට කාලා බීලා, ගීත ගයලා ජීවිතයේ තිබෙන ඒකාකාරී බවෙන් ඈත් වෙන්න අපි නිතරම උත්සාහ ගන්නවා. එහෙමත් නැතිනම් හැමෝම එකතුවෙලා විනෝද ගමනක් යනවා. මොකද මගේ වගේම වයිෆ්ගේ අයටත් පවුලේ අනිත් අයටත් හොඳට සින්දු කියන්න පුළුවන්. ඒ නිසා හැමෝගෙම එකමුතුව බොහොම සුන්දරයි. ” ටෙනී අයියාගේ සොඳුරු කතාබහ අතර සාලයට එබී බලන්නේ ඔහුගේ ආදරබර බිරියයි. “ඔය එබිලා බලන්නේ දැන් තේ ගේන්නද කියලා අහන්න. මොකද ඔයාලා එනවා කියලා කිව්ව දවසේ ඉඳන් අපේ බිරින්දෑ ඔයාලට සංග්‍රහ කරන්න සූදානම් වෙනවා. ඒ එයාගේ හැටි තමයි. කාටවුණත් එයා එහෙමමයි. අපේ ගෙදරට ආව කාට වුණත් තේ එකක්වත් නොබී නම් ඈ යන්න දෙන්නේ නැහැ.” ඒ අතර ඇගේ දෙඅතෙන් සැකසුණු තේ වගේම කෑමත් සාලයට එන්නේ අපගේ මේ සුහද කතාබහ අතරතුරමය. “කතාව පැත්තකින් තියලා මේ සංග්‍රහය භුක්ති විඳලා ඉන්න.” වැඩි කතාබහක් නැති ඈ සිනාමුසුව අපට ආරාධනා කරන්නීය . ඇඟේ සංග්‍රහය අතරතුරම ටෙනී අයියාගේ කතා පෙට්ටිය නොනවතියි. “මට බොහොම සොඳුරු බිරියක් ලැබිලා තිබෙනවා. ඈ තමයි මගේ සියලුම කටයුතු ඉටු කරන්නේ. මගේ නිර්මාණකටයුතුවලදී දින දෙන එකේ ඉදන් සියල්ලම හොයලා බලන්නේ ඈ තමයි. මම දන්නේ ඈ සියලු කටයුතු හොයලා බැලුවාට පස්සේ ඒ කටයුතුවලට යන්නට තමයි. මේ දවස්වල නම් ඈ ඉන්නේ තරමක් අසනීපයෙන්. ඒත් අසනීපයෙන් ඉන්නවා කියලා නිකං ඉන්න සිරිතක් ඇයට නැහැ. ගෙදර දොර හැම වැඩක්ම කරන්නේ ඈ තමයි. ඒ වගේ බිරියක් ලැබුණු මම බොහොම වාසනාවන්තයෙක්.” ඒ වාසනාවන්තයා, මුළු රටම හිනස්සන අලුත් කටයුත්තකට මුල පිරුවේ මේ ළඟඳීය. ඒ ගැනත් නොඅසාම සිටිය නොහැකිය. “මම හිතුවේ මිනිස්සුන්ගේ මනස සුවපත් කරන්න නාට්‍ය දන්සලක් දෙන්නයි. මුලින්ම ඒක මොරටුව ජනතාව වෙනුවෙන් කරන්න ෂෙරින් කුමාරතුංගයි, එයාගේ දුව මල්ෂා කුමාරතුංගයි සමඟ මම කතා කරගෙනයි සිටියේ. මේ අදහස මම හිරු අධ්‍යක්ෂ මණ්ඩලයටත් ඉදිරිපත් කළා. ඔවුන් මට ඒ කට ඉත සිතෙන් කැමැත්ත ප්‍රකාශ කළා. පහසුකම් සැපයුවා. ඒකට ඔවුන්ට ස්තූතිය පුද කළ යුතුයි. මේ වනවිට කිහිපතැනකම ‘අයෑම් ශ්‍රී ලංකා’ නාට්‍යය පෙන්නුවා. ඉදිරියටත් පෙන්වනවා. ඒ තැන්වල දහස් ගණනක් සෙනඟ. ඒ අය හිනාවෙන හිනාවිල්ල දැක්කම මට දැනෙන්නේ පුදුම සතුටක්. කලාකරුවෙක් විදියට ඉපදුණු අපි මිනිසුන්ට යමක් කළ යුතුයි.” ඔහු සිතන්නේ එහෙමය. අනෙක් කෙනෙක් ගැන වැරදියට නොසිතන ඔහු සියල්ලම සිදුවන්නේ යහපතට බවද සිතන්නේ අන් අයටද සිතන්නට යමක් ඉදිරිපත් කරමිනි. “ටෙනිසන් කුරේ කියන ඒ හාස්‍යෝත්පාදක ශිල්පියා දන්නේ විහිළු කරමින් අන්‍යයන් සිනහ ගස්සන්නට පමණක් නොවේ. ජීවිතය පිළිබඳව අපූරු ලෙස සිතන්නටද ඔහු හපනෙකි. මේ සොඳුරු අපූරු මිනිසා සමඟ ගෙවුණු හෝරා කිහිපය අපට කියූ කතාවයි ඒ.” ඔහුගේ කැදැල්ලෙන් සමුගන්නා අවසාන මොහොතේ මට සිතිණි.
|