වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 13 වැනිදා බ්‍රහස්පතින්දා




කලාකරුවන්ගේ එකමුතුවක්

කලාකරුවන්ගේ එකමුතුවක්

ශ්‍රී ලාංකේය කලාකරුවන්ගේ ජාතික සංවිධානයේ මැතිවරණ සම්බන්ධීකරණ කාර්යාලයක් කොළඹ 07 ගිල්බට් ක්‍රෙසන්ට් හි ආරම්භ විය. මෙය විවෘත කෙරුණේ සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී. බී. ඒකනායක සහ ලිය අභිමන් සංවිධානයේ සභාපතිනි පුෂ්පා රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙනි.

මේ අවස්ථාවට නිළි රැජන මාලිනී ෆොන්සේකා, සිරිල් වික්‍රමගේ, ඩග්ලස් සිරිවර්ධන ඇතුළු කලාකරුවන් සහ සම්භාව්‍ය අමුත්තන් රැසක් සහභාගි විය.

සොනික් දින පොතට ඔබගේ තොරතුරු දන්වන්න

සොනික් ශබ්දාගාර අධිපති, ප්‍රවීන සංගීත ශිල්පී කීර්ති පැස්කුවල් 1997 සිට සෑම වසරක් පාසාම නොමිලේ නිකුත්කර බෙදා හරිනු ලබන සොනික් දින පොත සහ දුරකථන නාමාවලිය – 2015 කෘතිය නව මුහුණුවරකින් යාවත්කාලීන කර නිකුත් කිරීමේ කටයුතු දැන් ආරම්භ කර ඇත. ඒ සඳහා සංගීතය හා සම්බන්ධ සියලුම කලාකරුවන්ගේ සහ ආයතනයන්ගේ දුරකථන අංක සහ ලිපින එක්රැස් කිරීම මේ දිනවල සිදු කෙරේ.

මේ වන විටත් මෙහි නම් සඳහන්ව ඇති කලාකරුවන්ගේ දුරකථන අංක වෙනස්ව ඇත්නම් හෝ නිවැරදිව සඳහන් නොවේ නම් එය නිවැරදි කර හෝ නව අංකයන් සඳහන් කරමින් සහ නව පරපුරේ කලාකරුවන්ගේ තොරතුරුද ඇතුළත් කරමින් සොනික් දින පොත – 2015, පැස්කුවල් සවුන්ඩ්ස් ඔෆ් මියුසික්, අංක 24/1, මල්වත්ත පාර, කොහුවල, නුගේගොඩ යන ලිපිනයට තැපැල් මගින් හෝ [email protected] යන විද්‍යුත් ලිපිනයට හෝ 077-0212043 හෝ 071-8954214 යන අංක වෙත කෙටි පණිවිඩ මගින් දැනුම් දීමට ඔබට හැකිය.

ප්‍රදීප් සේතුංග විවාහ වූදා

නව පරපුරේ රංගන ශිල්පියකු වන ප්‍රදීප් සේතුංග පසුගියදා විවාහ දිවියට ඇතුළත් විය. ඔහුගේ අතගත් සහකාරිය වූයේ නිසංසලා සේනානි බුලත්සිංහලයි. කඩවත ඉමල්කා හෝටලයේ පැවති ප්‍රදීප් - නිසංසලා විවාහ දින ඔවුන් සේයාරුවකට මුහුණ දුන් අයුරුයි මේ.

සඳ කුමරිය සේ එළි දකියි

නවක ගායන ශිල්පී තරිඳු මධුශාන්ගේ කුලුඳුල් සංයුක්ත තැටිය ‘සඳ කුමරිය සේ’ පසුගියදා නිකුත් විය. මේ සඳහා සමන් චන්ද්‍රනාත් වීරසිංහ, කුමාරසිරි පතිරණ, සිනෙත් මාලක පද රචනා දායකත්වය ලබා දී ඇති අතර ගී තනු නිර්මාණය විශාරද සුජාතා අත්තනායක, කුමාරසිරි පතිරණ සහ සිනෙත් මාලකගෙනි.

මහානාම විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ තරිඳු ගායනයෙන් ඉදිරියට යාමට අපේක්ෂා කරන අයෙකි. ඔහු ජනප්‍රිය රංගන ශිල්පිනී නිමාලි කපුගේගේ පුතණුවන්ය. සේයාරුවින් දැක්වෙනුයේ තරිඳුගේ සඳ කුමරිය සේ නිකුත් කළදා එය තම මවට පිරිනැමූ මොහොතයි.