|
අසූ වසක් ගෙවුනද මිහිරි ලංකා ගීතය
ලෝක සිනමා ඉතිහාසය ආරම්භ වනුයේ කතාන්දර කියන්නට සිතාගෙනම නොවේ. එහි ආරම්භයේ "ලුමියර් සහෝදරවරු " සිය මුල්ම චිත්‍රපට දැක්ම ඉදිරිපත් කරද්දී එහි ඇතුළත්ව තිබුණේ ලුමියර් ෆැක්ටරියේ සේවා මුරනිමා වීම, දුම්රිය ස්ථානයට යෑම, දරුවකුට කෑම කැවීම වැනි දර්ශන පෙළකි. මෙම දර්ශන සහිත චලන චිත්‍ර වසර දෙක, තුනක් ගත වද්දී එය කතා කියන්නටත්, තොරතුරු දැන ගන්නටත් යොදා ගැනිණ. එක අතකින් කියන්නේ නම් සිනමාවේ ආරම්භය ලුමියර් සහෝදරවරු වාර්තාකරණයේ යෙදීමේදී ඇමෙරිකානු සිනමාවේ පුරෝගාමියා වන (ඇමරිකානු ඇත්තන් සිනමාවේ උරුමය ලුමියර් සහෝදරවරුන්ට දෙන්නට එතරම් කැමැත්තක් දක්වන්නේ නැත) තෝමස් අල්වා එඩිසන් සිනමාව ආරම්භයේම එය කතා කීමේ මාලාවක් ලෙස ඉදිරියට ගෙන යන්නට උත්සාහ දැරුවේය. සිනමාවේ මුල් දශකය ගෙවෙද්දී එහි ප්‍රකාශන රීතියේ බලවත්කම අවබෝධ කරගත් බොහෝදෙනා එය මුදල් ඉපැයීමේ සහ ආත්මාභාෂණයේ උපකාරයක් ලෙස යොදා ගත්හ. එඩිසන්ගේ සගයෙකු ලෙස දොරට වඩින එඩ්වින් එස්පෝටර් සිනමා කතා කලාවේ පුරෝගාමියා වූයේය. එහෙත් වාර්තා චිත්‍රපට කලාව වෘත්තාන්ත චිත්‍රපටවලට වඩා පරිබාහිරව නිදැල්ලේ වැඩිණ. බොහෝ විට වාර්තා චිත්‍රපට කලාව ලොව පුරා ගොඩනැගු?නේ රාජ්‍ය අනුග්‍රහයත් ඇතිවය. ඒ තුළ ප්‍රචාරක වාදයට වඩා එහාගිය නිර්මාණාත්මක ප්‍රකාශනයක් බවට පත් කරන්නට බොහෝ සිනමා කරුවන්ට හැකිවිය. 1932 වසරේ හිට්ලර්ගේ දරුණු නාසිවාදය පැතිරෙද්දී ඔහු පිළිබඳව ලීනා වෙස්මුලර් විසින් තනන ලද වාර්තා චිත්‍රපට ලොව විශිෂ්ටතම වාර්තා චිත්‍රපට ලෙස අදට ද සැලකේ. හිට්ලර් එබඳු වුවද ලීනාගේ චිත්‍රපට කලාත්මක අතින් ඉහළ අගයක් ගත්තේය. ලෝක වාර්තා ඉතිහාසයේ බිහි කරන ලද විශිෂ්ටතම චිත්‍රපටයක් මේ වසරේ අවුරුදු අසූව සමරන්නේය. ඒ මෙරට පාදක කොටගෙන තැනුන සෝංග් ඔෆ් සිලෝන් චිත්‍රපටය යි. නැතහොත් ලංකා ගීතය යි. ලංකා ගීතය කියා සිංහලෙන් ලියුවාට එය තැනුවේ සුද්දන් පිරිසකි. එයට දායක වූ ලාංකිකයන් අතර කැපී පෙනෙන්නේ ලයනල් වෙන්ඩ්ට් පමණි. එහි කතිකයා වනුයේ ලයනල් වෙන්ඩ්ට් ය. ලෝකයේ බිහි වූ මාහැඟි වාර්තා චිත්‍රපටයක් වන්නේ නමුදු සෝංග් ඔෆ් සිලෝන් යනු වෙළඳ දැන්වීමකි. එය තනන්නේ ලංකා ඉතිහාසය හෝ ජන ජීවිතය හෝ සුන්දරත්වය හෝ ලොවට කියාපෑමේ පරම රමණීය අභිලාශයෙන් නොවේ . එය තනන්නේ මෙරට තේ රසය ලෝකයට කියාපාන්නටය. එහෙත් මේ චිත්‍රපටය අපේ පරම මියුරු තේ කෝප්පයකටත් වඩා රසවත්ය. විශිෂ්ටය. සර්වකාලීන ගුණයෙන් අනූනය. 1934 වසරේ සෝංග් ඔෆ් සිලෝන් නිර්මාණය කරනුයේ බ්‍රිතාන්‍යය අධිරාජ්‍ය තේ වෙළඳ මණ්ඩලයේ එක් පාර්ශවයක් වූ ලංකා තේ ප්‍රචාරක මණ්ඩලයේ අවශ්‍යතාවය පරිදිය. එය පැවරෙන්නේ බ්‍රිතාන්‍ය තැපැල් අමාත්‍යාංශය යටතේ පැවති චිත්‍රපට අංශයටය. මේ කියන කාලයේ අපේ මුල්ම කතානාද චිත්‍රපටය "කඩවුනු පොරොන්දුව" ත් කරන්නට හීන බලා තිබුණේ නැත. වාර්තා චිත්‍රපටය නිර්මාණය කිරීමට පැවරෙන්නේ බැසිල් රයිට් නම් වූ බ්‍රිතාන්‍ය ජාතික වාර්තා සිනමා කරුවාටය. 1907 වසරේ ජූනි මාසයේ උපත ලද බැසිල් රයිට් වාර්තා සිනමා කරුවකු, සිනමා ගුරුවරයෙකු, විචාරකයෙකු ආදී වශයෙන් නන්වැදෑරුම් කීර්තියට පත්ව 1987 වසරේදී පරලොව සැපත් විය. ඔහු තනන ලද වාර්තා චිත්‍රපට අතර කොන්ක්විස්ට් , චිල්රන් ඔෆ් ස්කූල් වැනි වාර්තා චිත්‍රපට කැපී පෙනිණ. කෙසේ වෙතත් ඔහුගේ නිර්මාණ අතර අග්‍රගන්‍ය නිර්මාණ ලෙස සලකනුයේ සෝංග් ඔෆ් සිලෝන් චිත්‍රපටයයි. 2007 වසරේ බැසිල් රයිට්ගේ ජන්ම ශත සංවත්සරය බ්‍රිතාන්‍ය චිත්‍රපට ආයතනය මගින් ඉහළින් සමරනුලද අතර ඔහුගේ සියළු නිර්මාණ ඩිජිටල් තාක්ෂණය යටතේ යාවත්කාලීන කෙරිණ. සෝංග් ඔෆ් සිලෝන් චිත්‍රපටය නිර්මාණය පසුපස තවත් දැවැන්ත හස්තයක් විය. ඒ හස්තය ජෝන් ගියර්සන්ගේ ය. ගියර්සන් සලකනුයේ බ්‍රිතාන්‍ය වාර්තා සිනමාවේ අප්පොච්චි හැටියටය. ඒ අවධියේ බ්‍රිතාන්‍ය චිත්‍රපට ඒකකයේ මහ පුටුව හෙබවූයේ ගියර්සන්ය. ඔහු සිනමා කරුවකුට අමතරව සමාජ විද්‍යාඥයකු ලෙසද පතලව සිටියේය. බැසිල් රයිට් සමඟ චිත්‍රපටයේ කැමරාව හසුරවනු ලැබුවේ ජෝන් ටේලර්ය. චිත්‍රපටය සඳහා පාදක කොට ගන්නා ලද්දේ දෙවන රාජසිංහ රජ සමයේ සිරකරුවකුව මෙහි සිටි ඉංග්‍රීසි ජාතිකයෙකු වූ රොබට් නොක්ස්ගේ ඇතැම් විස්තරයන්ය. කෙසේ වෙතත් මේ චිත්‍රපටය නරඹන විට ඒ සඳහා ලයනල් වෙන්ඩ්ට්ගේ දායකත්වය සහමුලින් ලැබෙන්නට ඇති වග මගේ විශ්වාසයයි. එයට හේතුව ලයනල් වෙන්ඩ්ට්ගේ සමකාලීන ක්‍රියාකාරකම් ලංකා ගීතයේ ජීවයට මුළුමනින්ම හේතු වූ වග පෙනෙන බැවිනි. ලයනල් වෙන්ඩ්ට්ගේ ජීවිත කාලය ඉතා කෙටි එකකි. එහෙත් ඔහු එම කාලය ඇතුළත සියවසක වැඩ කළ මිනිසෙකි. චිත්‍රපටය ඇරඹෙනුයේ ඉතා මියුරු ස්වරයෙන් ප්‍රසස්ති ගීතයක් ගායනා කිරීමත් සමඟය. මේ ගීතයේ ගායකයා දේවාර් සූරියසේන නොවන වග මට විශ්වාසය. මන්ද එම හඬ ඉතා ප්‍රශස්ත සිංහල හඬක් බැවිනි. එම හඬ මැකීයත්ම අඳුර සහ ආලෝකය තල්පත් රාශියක් අතරින් එකවරම වටහා ගත නොහැකි ප්‍රතිමාවක ලක්ෂණද දැකගත හැකි වේ. ඒ දැවැන්ත බුදු පිළිමයකි. මිනිත්තු තිස් අටක් පුරා ධාවන වන ලංකා ගීතය පරිජේද හතරකින් සමන්විතය. තේ ප්‍රචාරක කටයුත්තක් වන්නේ නමුදු මේ කතාව කියන්නට බැසිල් රයිට් යොදාගනුයේ ලාංකික ජන ජීවිතයේ සිදුවීම්ය. අපේ මිනිසුන්ගේ ජීවන රටාවය. ඔවුන්ගේ බිළිඳු වියේ සිට ජීවිතයේ සිය බොහෝ ක්‍රියාකාරකම් මෙන්ම රැකී රක්ෂා, ඇඳහිලි හා විශ්වාසද මේ වාර්තා සිනමා කෘතිය සඳහා රිද්මයානුකූලව භාවිතා කොට තිබේ. එහි එක් අවස්ථාවක අපි දකිනුයේ උඩරට දුම්රිය මාර්ගයයි. එහෙත් අප රූපයක් දකින්නේ නැත. ඒ වෙනුවට දුම්රියේ නාදය සමඟ කඳුකරයේ එකදිගට ධාවනය වන රූපරාමුවකි. මේ හඬ හා රිද්මය අප දුම්රිය ගමන්කරන අයුරු දැනෙන්නට සලස්වයි. එය බිංගෙයකට යන්නාක් සමඟම රූපය ජේදනය වනුයේ දැවැන්ත හස්තියෙකුටය. මේ හස්තියා ලවා මහ ගසක් පෙරළනු ලැබේ. සෝංග් ඔෆ් සිලෝන් නිපදවන අවධිය ලෝක සිනමාවට ශබ්දය ඇතුල් වූ මුල් යුගයයි. එහෙත් මේ චිත්‍රපටයේ ඉතාම නිර්මාණශීලී අංගයක් වනුයේද එහි එන ශබ්ද මිශ්‍රනයයි. වසර අසූවකට පසුව පවා අන්තර් ජාලයේ යූටියුබ් අඩවියෙන් සෝංග් ඔෆ් සිලෝන් නරඹද්දී පවා එහි ශබ්දය මෙහෙයවා ඇති ආකාරය විශ්මයජනක හැඟීමක් දනවයි.එහි මුල් අරමුණ වූ තේ ගැන කියන්නට යන්නේ එහි අවසාන මිනිත්තු කීපයේය. ඉන් අනතුරුව එය නැවත බුද්ධ වන්දනාව කෙරෙහි යොමුවේ. අති දැවැන්ත බුදු පිළිමයක් අප දකිනුයේ ඉන් අනතුරුවය. 1934 දී තැනූ මෙම චිත්‍රපටය 1935 දී බ්‍රසල්ස් අන්තර්ජාතික සිනමා උළෙලේදී හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගත්තේය. ලංකාව පිළිබඳ බොහෝ ඉතිහාස ශාස්ත්‍රඥයන් අතිශය රමණීය හා වැදගත් ග්‍රන්ථ රාශියක් යටත් විජිත පාලන සමයන්හිදි ලියා ඇත්තේය. එහෙත් රූපය භාවිතාකරමින්කළ නිර්මාණ අතර සෝංග් ඔෆ් සිලෝන් හා සමකළ හැකි හෝ එයට සමීප විය හැකි හෝ නිර්මාණයක් නැත. 1908 තරම් අතීතයේ ලංකාවේ බොහෝ දර්ශන ඇතුළත් කොට තැනුනු වාර්තා ස්වරූපයේ නිහැඬ චිත්‍රපටයක් ඇමෙරිකාවේ ස්මිත් සෝනියන් කෞතුකාගාරයේ තැන්පත් කොට ඇත්තේ ය. එය ලංකා පිළිබඳ තැනුනු මුල්ම වාර්තා චිත්‍රපටය ලෙස සැලකේ. එයින් පසුව බොහෝ වාර්තා චිත්‍රපට තැනුනද සෝං ඔෆ් සිලෝන් හා එය සමකළ නොහැක්කේ එය නිකම්ම නිකම් රූප එකතුවක් නොවන බැවිනි. එහි සෑම රූපරාමු වක්ම යටිපෙළ අර්ථයක් ඇති කරයි. මුළු මහත් රූප පද්ධතියම ඒකීය ආලෝක රටාවකින්ද එයටම ගැළපෙන රිද්මයකින්ද ඔපමට්ටම්ය. 1934 වසර වන විට ලෝකයේ වාර්තා චිත්‍රපටි අලුත් රටාවකින් එළි දක්වන අවධියයි. බ්‍රිතාන්‍ය වාර්තා චිත්‍රපට ආයතනය (Crown Film Unit) පිහිටවනු ලබන්නේද එම වසරේමය. බැසිල් රයිට් මෙන්ම හාම්ප්‍රි ජෙනින්ස් ද ගියර්සන් යටතේ වාර්තා චිත්‍රපට නිර්මාණයට එකතු වන්නේ එහි දීය. එබැවින් ඔවුන්ගේ මුල්ම වාර්තා චිත්‍රපට අතර සෝං ඔෆ් සිලෝන් ද ඇත. අපේ රටේ වාර්තා චිත්‍රපට අංශය අරඹන්නට තවත් වසර 12ක් ගත විය. එය ආරම්භ කිරීම අහඹු සිදුවීමකි. අතරමංවූ ඉතාලි සිනමා කරුවන් තිදෙනෙකු ඒ ගෞරවය ලබාගනිති. සෝංග් ඔෆ් සිලෝන් ආභාශය අපේ වෘතාන්ත සිනමා කලාවට එක් වන්නට එයින්ද වසර නවයක් ගත වුණි. ඒ ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස් රේඛාවේ නිර්මාණය කිරීමත් සමඟය .එසේ වන්නේ කෙලෙසද?. ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස් යනු වාර්තා සිනමාකරුවෙකු බැවිනි. ඔහු කටයුතු කරනුයේ ගියර්සන්ගේ වෘත්තීය සඟයෙකු මෙන්ම තවත් විශිෂ්ට වාර්තා සිනමා කරුවකු වන රැල්ෆ් කීන්ගේ සහාය අධ්‍යක්ෂකවරයා හැටියටය. ඉතිං ලංකා ගීතය සදාකාලිකවම අපේ සිනමාවේ රිද්මයට ගුරු නොවූයේයැයි නම් නොසිතෙන්නේ මන්ද? |