|
මං සෙට්වල තේ ඇදලත් තියෙනවා
මුතු කැට සිහිනයේ සරනේරිස් ශාන් බන්දු වීරසිංහ අතීත මතක අවදි කරයි
තවත් කලක් ගත වූයේය. යාපහුව මධ්‍ය මහා විද්‍යාලයේ සෙවණෙන් හැදී වැඩුණු මේ ක්‍රීඩා තරුව ජය පිට ජය ලබමින් තම පාසල ඉදිරියෙන්ම තැබුවේය. වයස අවුරුදු දහය වෙද්දී නම කියූ සැනෙන් කලාපයම දන්න හඳුනන ක්‍රීඩා තරුවක ලෙස ඔහු දිලුණේය. අපොස සාමාන්‍ය පෙළ විභාගය ජය ගනිමින් පාසල් අධ්‍යාපනයට සමු දුන් මොහු ඉන් අනතුරුව පෞද්ගලික අධ්‍යාපන ක්‍රමය යටතේ උසස් පෙළ හැදෑරීමට ගම්පහට පැමිණියේය. ජීවිතයේ සංක්‍රාන්තික සමයක් වූ මේ යුගයේදී ඔහුගේ හිත තුළ කලාව ඉපැදෙමින් තිබුණේ මලල ක්‍රීඩකයා වැළලෙමිනි. පෞද්ගලික පන්ති අතර එදා පැවති නාට්‍ය තරගයේදී නාට්‍යයක් නිපැද වූ අපේ කතාවේ නායකයා ඉන් සම්මාන රැසක් ද එක් කර ගත්තේ මලල ක්‍රීඩකයකු ලෙස ගොඩ නගා ගත් නම කලාව තුළින් දිදුලනමිනි. ‘ශාන් බන්දු වීරසිංහ’ නම් මලල ක්‍රීඩකයා කලාවේ අත් පොත් තබන්නේ එලෙසිනි. මම එතැන් සිට මතකය පෙළ ගැස්සීම ඔහුටම බාර කරමි. ‘ඒ නාට්‍ය තරගයේ විනිශ්චයට හිටියේ ජයලාල් රෝහණ හා ප්‍රසාද් සූරියආරච්චි. ඔවුන් මගේ රංගනය ගැන හොඳ විචාරයක් ලබා දුන්නා. ඒ නාට්‍යයේදී මටත් සම්මානයක් ලැබුණා. මා තුළ ජීවත්වුණ කලාකරුවාට හැමෝම එදා සුබපැතුම් එක් කළා. ඒ වන විටත් මං සුදර්ශියට නිතරම ආවේ නාට්‍ය හා රංග කලාව ගැන හදාරන්න. මට ඕනෑ වුණා හොඳ නිර්මාණකරුවෙක් වෙන්න. මේ ගමනේදී වේහැල්ලේ පියතිලක මහත්මයා මට ගොඩාක් උදව් කළා. අත දුන්නා. එතුමා අධ්‍යක්ෂණය ගැන වගේම පිටපත් රචනය ගැනත් මට කියලා දුන්නා. ඒ දවස්වල මං නිර්මාණ කිහිපයක වැඩ කටයුතුවලට සම්බන්ධ වුණා. මුලින්ම තේ හදන්න ගියේ. එතන ඉඳන් නිර්මාණයක සම්බන්ධ වෙන්න තියෙන හැම එකටම ගියා. මට උවමනා වෙලා තිබුණේ කොච්චර දුක් විඳල හරි, හරි දේ ඉගෙන ගන්න.
මේ අතරතුරේ යම් යම් දේවල් ලියන්න පටන් ගත්තා. මං ලියන දේවල් ගැන මිතුරන් අතරේ කතාබහ ඇති වුණා. මේ කාලේ තමයි මං ගීතා පුවත්පතේ නිදහස් ලේඛකයකු බවට පත් වෙන්නේ. ගීතා පත්තරේ වැඩ කරන කාලේ එවකට යොවුන් ජනතා පුවත්පතේ කර්තෘ ඇන්ටන් සැම්සන් මහත්මයා (වර්තමානයේ ‘තරුණී’ පුවත්පතේ කර්තෘ) මට ලියන්න වගේම ඡායාරූප ලබා ගන්නටත් අවස්ථාව දුන්නා. ඒ විදියට තමයි මාධ්‍යවේදියෙක් වුණේ. මම ඔහුගේ කතාවට මඳක් බාධා කරමි. මට දැන ගත යුතුව ඇත්තේ ඔහුගේ මුල්ම රංගන අත්දැකීමේ මතකයන්. ‘එක්තරා අධ්යක්ෂවරයකුට උවමනා වුණා ටෙලි නාට්‍යයක් නිර්මාණය කරන්න. ඔහු අතේ පිටපතකුත් තිබුණා. නමුත් නිෂ්පාදකවරයෙක් හිටියේ නැහැ. ඒ කාලේ වෙද්දී ධම්මික සිරිවර්ධන ටෙලි නාට්‍ය නිෂ්පාදකයන්ගේ ලැයිස්තුවේ ඉහළට ගිය කෙනෙක්. ඔහු මගේ මිතුරු ඡායාරූප ශිල්පී ක්‍රිෂාන් ශෂික රණසිංහගේ මිත්‍රයෙක්. මමයි ක්‍රිෂානුයි අර අධ්‍යක්ෂවරයයි ගියා ධම්මික මුණ ගැහෙන්න. නමුත් ධම්මික ඒ පිටපතට කැමැති වුණේ නැහැ. ‘මල්ලි ඔයා රඟපාන්න කැමැති නැද්ද. මං හිතන්නේ ඔයාට ඒක ගැලපේවි’ ධම්මික අයියා මට එහෙම කිව්වා. වැඩේ ඉවර වෙලා ක්‍රිෂානුයි මමයි කතාවක් දාගෙන හිටියා. එතනදි ක්‍රිෂාන් කිව්වා ධම්මික කියන්නේ හොඳ දැක්මක් තියෙන දක්ෂ ව්‍යාපාරිකයෙක්. ඒ නිසා අර රඟපාන්න කියපු එක ගැන හිතල බලන්න කියලා. මං ඒ ගැන එච්චර හිතුවේ නැති වුණාට ක්‍රිෂාන් ඒ ගැන මට මතක් කළා. මං මුලින්ම සංජය ගුණවර්ධනගේ ‘අමායා’ ටෙලි නාට්‍යයේ දේවින්ද කියල චරිතයකට තමයි ගත්තේ. ධනංජය සිරිවර්ධනගේ යාළුවට තමයි මං රඟපෑවේ. ප්‍රථම රංගන මතකය ශාන්ට ගෙන ආවේ අතීත මිහිරියාවකි. ධනංජය හා ශාන් මේ දිනවල අපට එකට හමු වන්නේ මුතු කැට සිහිනයෙනි. දැන් එතැන නවතිමි. ‘මුතුකැට සිහිනය’ මට වෙනම චරිතයක් ලබා දුන්න නාට්‍යයක්. මං ඒකේ රඟපාන්නේ සරනේරිස් කියන චරිතය. හැමෝගෙන්ම යහපත් ප්‍රතිචාර ලැබෙනවා. ඒ වගේම ප්‍රවීණයන්ගෙන් පැසසුම් ලැබෙන්නේ හරිම ළෙන්ගතුව.
‘ඇත්තෙන්ම මං විවිධ චරිතවලට කැමැති කෙනෙක්. හොඳ දුෂ්ඨයෙක් වෙන්නත් ආසයි. ඒ වගේම සමාජයේ දැකිය හැකි විවිධ සමාජ පන්තිවල චරිතවලට මං කැමැතියි. දැන් නවතින්නේ ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය අසලය. ඇත්තතෙන්ම රොඩ්නි විදානපතිරණ මහත්මයා තමයි මාව තරුණයා පුවත්පතට සම්බන්ධ කර ගන්නේ. එතන තමයි මගේ ජීවිතේ හැරවුම් ලක්ෂය. එදා ඉඳන් අද වෙනකල්ම විජය පුවත්පත් සමාගමේ සේවය කරනවා. මේක අහම්බෙන් ආපු ගමනක් නෙවෙයි. අනෙක මේ ගමන හොඳ සැලසුමක් ඇතිව ආපු එකක්. ඒ ගමනේ ඉදිරිය කොහොමද? මම අසමි. ඇත්තෙන්ම ඉදිරියේදී කලාවත් එක්ක ජීවත් වෙන්න ආසයි. දේශපාලනයට එන්න කියලා ආරාධනාත් තිබෙනවා. කොහොම වෙතත් ඉදිරියේදී මං දේශපාලනයට එනවා කියලා තීරණය කරලයි තියෙන්නේ. 0778304498 අංකයෙන් ඔබටත් ඔහු හමු විය හැකියි.
|