|
ලීනා ඇවිත්
රේඛාව අහිමිවීම ගැන අදටත් මට ඇත්තේ දුකක්
වයස අවුරුදු හැත්තෑ අටක් වුව ද තවමත් ඇයට ඇත්තේ දශක දෙක තුනකින් ළාබාල පෙනුමකි. එය ද අපේ තාරකාවගේ සුවිශේෂීභාවයකි. තාරුණ්‍යයෙන් යුතු පෙනුමකින් ඇය නව යොවුන් වියේ මතකයන් අවදි කළේ සිනමාවට කළ කැපවීමට සහතික පතකින් හෝ අගැයුමක් නොලැබීම පිළිබඳ සිත් වේදනාවකිනි. අප රඟපාන කාලයේ සම්මාන තිබුණේ නැහැ. මට මතකයි නළඟන සිනමාපටයේ සැමියාගේ ආදරය නොලැබී උමතු වන චරිතය ඒ වසරේ හොඳම නිළිය ලෙසින් සම්මාන ලැබිය යුතු චරිතය බවට ජයවිලාල් විලේගොඩ මහතා පුවත්පතකට ලියා තිබුණා. අවාසනාවකට අප රඟපාන කාලේ සම්මාන තිබුණේ නැහැ. සිනමාවට, වේදිකාවට, පුංචි තිරයට දායක වුණත්, අදටත් කළ සේවයට අගැයීමක් ලැබුණේ නැහැ. ඒත් අතීතය සුන්දරයි. කොළඹ ආනන්ද බාලිකාවේ ඉගෙන ගන්න කාලෙ ඉඳලම රඟපෑමේ උමතුව තිබුණා. දෙවැනි පන්තියේ ඉගෙන ගනිද්දී නාට්‍යයක රඟපෑවා මතකයි. පාසලේ නැටුම් කණ්ඩායමේත් මා කැපී පෙනෙන සාමාජිකාවක්. වසන්ත කුමාර, පණීභාරත, ජයශාන්ත වැනි ගුරුවරුන්ගෙන් පාසලේ නර්තනය හැදෑරුවා. වයස අවුරුදු 12 මගේ ජීවිතයේ සුවිශේෂී කඩඉමක්. ඒ ශේෂා පලිහක්කාර මහතාගෙන් නැටුම් ඉගෙන ගත්තේත්, හා හා පුරා කියලා සිංහල චිත්‍රපටයක් බැලුවේත් ඒ වයසේ දී නිසයි. කැලෑහඳ මා දුටු මුල්ම සිංහල චිත්‍රපටයයි. රුක්මණී දේවියගේ රංගනය දැක මා උමතු වුණා. පන්තියේ ළමයින් ඉදිරියේ මා ඇයගේ රඟපෑම් ඉදිරිපත් කළා. ඔවුන් මාව නිළියක් වන්න දිරිමත් කළා. දවසින් දවස අපේ කාලයේ නිළි රැජන ඩේසි අක්කා හෙවත් රුක්මණි දේවි දැක ගැනීමේ සිහිනය දලුලන්න ගත්තා. මීගමුවේ ඥාති නිවෙසකට යද්දී රුක්මණී – එඩීගේ ජයරුක් නිවසට ගොඩ වැදුණා. මාත් සමඟ ටික වේලාවක් කථා කරමින් සිටි ඩේසි අක්කා මට ගීතයක් ගයන ලෙස පැවසුවා. ඇය කැලෑහඳට ගැයූ දෙවා ගිනි මවාලා ගීයම මා ගැයුවා. රඟපාන්න කැමැතිදැයි ඇය මගෙන් විමසුවා.
බී. ඒ. ඩබ්. ජයමාන්නයන් ලංකාගේ චරිතයට මා තෝරා ගත්තා. ඒත් යම් මතභේදයක් නිසා සිනමාපටය නිපද වුණේ නැහැ. ඒ අහිමිවිමේ දුක සන්සිඳුණේ පාසලේ සිවපතිකා නාට්‍යයේ කුවේණි ලෙස රඟපාමින් ගීත පහක් ගැයූ දිනයේයි. ශේෂා පලිහක්කාර නැටුම් ගුරුතුමා ‘අහංකාර ස්ත්‍රී’ සිනමාපටයේ ‘ලංකා මාතා’ නැටුම් ජවනිකාවට මගෙන් පෙනී සිටීමට කැමැතිදැයි ඇසුවා. ඔහු මාපියන්ගේ කැමැත්ත ලබා ගත් නිසා නැටුම් ජවනිකාවට පෙනී සිටියා. රවීන්ද්‍ර රූපසේන මුලින් හඳුනා ගත්තේත් ඒ සිනමාපටයෙන්. එම නැටුම් ජවනිකාවේ ඡායාරූපයක් ජයවිලාල් විලේගොඩ මහතා දිනමිණ සිනමා පිටුවේ පළ කළා. තාරුණ්‍යයෙන් ජීවිතය සුන්දර වෙද්දී මාපියන් සිනමා ගමනට තහංචි දැම්මා. හොඳටම හිත රිදුණේ රේඛාව අහිමිවීමෙන්. ශේෂා පලිහක්කාර මහතා, ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා සමඟ පැමිණ රේඛාවේ ප්‍රධාන චරිතයක් රඟන්න මට අවසර දෙන ලෙස මාපියන්ගෙන් ඉල්ලා සිටියා. ඔවුන් ඒ වන විට අටේ පන්තියේ සිටි මට රංගනයට තහංචි දමා අවසානයි. පසුව මල්ලිකා පිලපිටිය රැඟුවේ ඒ චරිතයයි. රේඛාවෙන් සිනමා ගමන ඇරැඹීමට නොහැකි වීම ගැන අදත් දුක් වෙනවා. රංගන අවස්ථා මඟ හැරීමෙන් ඇති වූ සිතේ දුක දුරු කර ගැනීමට හේවුඩ් එකට බැඳී චිත්‍ර ශිල්පය හැදෑරුවා. කොහොම වුණත් දිගින් දිගටම තහංචි දැමීමෙන් ප්‍රයෝජනයක් නැති බව මාපියන් දැනගත්තා. රවීන්ද්‍ර රූපසේන, විල්ෆ්‍රඩ් සිල්වා, සිරිල් පී. අබේරත්න දවසක් අපේ නිවෙසට පැමිණියේ ‘සුරතලී’ සිනමාපටයේ ප්‍රධාන තාරකාව ලෙස මාව තෝරාගෙන මාපියන්ගේ කැමැත්ත ඊට ලබා ගන්නයි. ‘සුරතලී’ රූගත කිරීමට ගොස් මදුරාසියේ වාහිනී චිත්‍රාගාරයේ ගත කළ දින කිහිපය මගේ සිනමා ජීවිතයේ සුන්දරම දවස් කිහිපයක්. ‘සුරතලී’ ලෙස සිංහල සිනමාවට දොරට වැඩි පසු සිනමාපට ගණනාවක රඟන්න ඇරැයුම් ලැබුණා.
රවීන්ද්‍ර සේවය කළේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සැලසුම්කරුවකු ලෙසයි. ඩේසි අක්කාට තිබෙන ගෞරවයට අප ‘නළඟන’ සිනමාපටයේ රඟපෑවා. ප්‍රථම වරට මා උප ප්‍රධාන චරිතයක් රඟපෑවේ ‘නළඟන’ සිනමාපටයේයි. විවාහයෙන් අපට දුවකුත්, පුතකුත් ලැබුණා. 1967 දී මා සිනමාවෙන් ඈත්වුණා. 1978 දී රවීන්ද්‍ර රූපසේන හදවත් රෝගයකින් හදිසියේ මියයාමෙන් පසු හුදෙකලා වූ මා යළිත් රංගනයට පිවිසුණා. 1979 දී සුමිත්‍රා පීරිස්ගේ ‘ගඟ අද්දර’ සිනමාපටයේ වසන්ති චතුරාණිගේ මව ලෙස සිනමාවේ දෙවැනි ගමන ඇරැඹුණා. වාලම්පුරි, යහළු යෙහෙළි, පාරමිතා, කිරි සුවඳ, කලියුගය, ගේ කුරල්ලෝ වැනි චිත්‍රපටවල රඟපෑවා. තට්ටු ගෙවල්, ජුලියස් සීසර් මා රැඟූ වේදිකා නාට්‍යයයි. අද මා ජීවිතයේ සැඳෑ සමය දරු මුනුබුරන් සමඟ ගත කරනවා. කැනඩාවේ සිටියත් තවමත් සිනමාවට බැඳි පෙම එලෙසින්ම පවතිනවා.
|