වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 13 වැනිදා බ්‍රහස්පතින්දා




මල් කියන්නේ කාට කාට ළමයින්ටයි පාට පාට

මල් කියන්නේ කාට කාට ළමයින්ටයි පාට පාට

සංගීත ආශ්‍රමයක තිස් වසරක්

- නන්දා මාලනී

මාධුර්යයේ සප්ත ස්වරයෙන් ඇය ගයන්නීය. දශක ගණනක් පුරාවට පැමිණි ඒ හඬ අදටත් එසේමය. ප්‍රවීන සංගීතවේදිනී විශාරද නන්දා මාලනී නම් වූ ඇය සිංහළ සුභාවිත ගීතයේ රිද්මය යි. ශ්‍රවණ ආරාධනා, සත්‍යයේ ගීතය, පවන, ශ්වේත රාත්‍රිය නම් ඒක පුද්ගල ප්‍රසංග හරහා ඇය රසික හදවත් සනසාලූ අයුරු අපූරුයි. යහපත් සංගීත රුචියක් මෙන්ම ප්‍රබුද්ධ සංගීත රසික පිරිසක් බිහි කිරීමේ අභිප්‍රායෙන් ඇය පවත්වන්ට යෙදුණු සංගීත ආශ්‍රමයට දැන් තිස් වසරකි. ඇය සතුව තිබෙන්නා වූ මිල කළ නොහැකි වූ ඒ සංගීත ඥානය ඉදිරි පරම්පරා වෙත දායාද කිරීමේ මෙහෙවරෙහි සන්ධිස්ථානයක නැවතුණු ඈ ඔබ අමතන්නීය.

“ ඇත්තටම මම සංගීත ආශ්‍රමය පටන් ගත්තේ 1984 වසරේදී. මේ වෙනකොට අවුරුදු තිහක් ගතවෙලා තියෙනවා. ඉතින් මම සංගීත ආශ්‍රමය පටන් ගන්නකොට මේ තරම් ජනතාව අතර ජනප්‍රිය නැහැ. නමුත් මම සෞන්දර්යය විශ්වවිද්‍යාලයෙන් සංගීත අධ්‍යාපනය ලබලා පිටවෙලා තිබුණා. ළමා මණ්ඩපයේ ඉඳලා සිංදු කියලා චිත්‍රපට කිහිපයක පසුබිම් ගීත ගායනා කරලා ගුවන් විදුලියේ සරළ ගී කියලා ඒ අත්දැකීම් තිබුණා.

ඒ අනුව මම හිතුවා ළමා මණ්ඩපයේ අත්දැකීමුත් සමඟ ළමුන් වෙනුවෙන් සංගීත අධ්‍යාපනය ලබාදීම කාලයේ අවශ්‍යතාවයක් කියලා. මුලින් පටන් ගන්නකොට ළමයි හිටියෙත් නැහැ මාව දන්නේ නැති නිසා. ළමුන් දහතුන් දෙනෙක් උවමනාවෙන් එකතුකර ගත්තා. මම දන්න කියන අයට කියලායි ඔවුන් සහභාගි කරවා ගත්තේ. එහෙම පටන් අරන් ක්‍රමයෙන් ක්‍රමයෙන් වර්ධනය වී අද වන විට සංගීත ආශ්‍රමයෙන් විශාල දරුදැරියන් පිරිසකට සංගීත ඥානය ලබා දී තියෙනවා. එය තමයි මගේ සතුට.

මේ වේලාවේ මට මතක් වෙන්නේ මට මේ ගමන එන්න මඟ පෑදු මගේ ගුරු මෑණියන්. මම ඉගෙන ගත්තේ කොටහේන ගුණානන්ද විද්‍යාලයේ. ඒක ඉතා අඩු පහසුකම්වලින් යුතු වූ පාසලක්. නමුත් සාහිත්‍ය කලාවට විශාල තැනක් දුන්නා. මට මතකයි අපි එක දවසක් වෙස්සන්තර නාට්‍ය රඟ දැක්වූවා. ඒ කාලයේ ටවර් හෝල් නාට්‍ය ශිල්පීන් හැටියට සිටි විශාල පිරිසක් එදා අපි කළ වෙස්සන්තර නාට්‍යයට උදව් කළා. එහි ක්‍රිෂ්ණජිනා උනේ මම. ඉන් පසුව විදුර ජාතකය කළා. එහිත් රජුගේ දියණිය ලෙසින් රඟපෑවේ මම.

මේ හැම එකකම තිබුණේ ගීත. එදා මේ ගීත පුරුදු කළේ සිල්වෙස්ටර් මාස්ටර් කියන ජ්‍යෙෂ්ඨ ටවර් හෝල් ශිල්පියෙක්. මගේ පාසලයි මට සංගීත ක්ෂේත්‍රයට මූලික අඩිතාලම දැමුවේ. එන් මාග්‍රට් පෙරේරා ගුරුමෑණියන් තමයි එදා මගේ පන්ති භාර ගුරුතුමිය වුණේ. ඇය යි මගේ දස්කම් එදා හඳුනා ගත්තේ. එදා සති දෙකකට වරත් පාසලේ සමිති පැවැත් වුණා. එහිදී මම කවි ගායනා කළා.

ඒ කාලයේ මම ගොඩක් ජනප්‍රිය වෙලා හිටියේ කවි කියන්නයි. සමස්තලංකා කවි ගායනා තරගවලින් පාසලට ජයග්‍රහණ රාශියක් ගෙන එන්න එදා මට හැකි වුණා. මගේ දක්ෂතා හඳුනා ගෙන මා ගුවන්විදුලි සංස්ථාවේ ළමා මණ්ඩපයට භාර කළේ මාග්‍රට් ගුරුමෑණියන් තමයි. ඒ කාලේ දක්ෂ දරුවෙක් හිටියොත් ගිහින් කියන්න පුළුවන්. කරුණාරත්න අබේසේකර සහ සරත් විමලවීර නම් ප්‍රවීණ ශිල්පීන් දෙනොගේ ළමා මණ්ඩපයේ තමයි මම එදා හිටියේ. ළමා මණ්ඩපයේ මම සිංදු කියනවා අහලා තමයි අමරදේව සර් මාව ගලන ගඟකි ජීවිතේ ගීතයට තේරා ගත්තේ.”

නවසිය හැට දෙකේදී මෙරට නිපදවූ ප්‍රථම සිංහල වර්ණ චිත්‍රපටය මෙන්ම පණ්ඩිත් අමරදේවයන්ගේ පළමු සංගීත අධ්‍යක්ෂණය වූ ‘රන්මුතුදූව‘ චිත්‍රපටයෙන් ඇයට චිත්‍රපට පසුබිම් ගායන අවස්ථාව හිමි විය. ඒ අනුව “ගලන ගඟකි ජීවිතේ” නම් වූ ඇගේ පළමු චිත්‍රපට ගීතයෙන් 1963 පළමු සරසවි චිත්‍රපට උලෙළේ දී ඈ හොඳම පසුබිම් ගායිකාවට හිමි සම්මානය හිමි කරගත්තාය. එමෙන්ම සරසවිය සම්මාන සහ ජනාධිපති සම්මානයන් ද වැඩිම සංඛ්‍යාවකින් පිදුම් ලද ගායිකාව වන්නේද ඇයයි.

“ගලන ගඟකි ජීවිතේ
දයාලූ ලෝකයේ
මිහිර පතා ආදරේ...
ලපලු නටයි ගං තෙරේ”

“ඊට පස්සේ තමයි මම හිතුවේ මගේ සංගීත ඥානය තව තවත් වර්ධනය කරගත යුතු බව. අපේ රටේ සිටි දක්ෂතම ගුරුවරයා බී. වික්ටර් පෙරේරා සර්ගෙන් තමයි මම ප්‍රථමව සංගීත දැනුම වගේම ඉන්දීය භාත්ඛණ්ඩ විභාගයට අවශ්‍ය වූ දැනුම ලබා ගත්තේ. එතුමා වෙත මා යොමු කළේ අමරදේව සර්. අද කාලේ වගේ නෙවෙයි එදා විභාග සඳහා අපි ඉන්දියාවට යා යුතුම වුණා. ඒ අනුව බොහොම අමාරුවෙන් උත්තර භාරතයේ ලක්නව් විශ්වවිද්‍යාලයට ගියා. ඒ වෙනකොව එහි ඉහළ අධ්‍යාපනය ලබමින් ගුණදාස කපුගේ එහි සිටියා. අධ්‍යාපනය අවසානයේ මම මේ සංගීත ආශ්‍රමයේ ආරම්භය සිදු වුණා.”

ගීතය සමාජ මෙහෙවරක්....

“ඇත්තටම මම හිතන්නේ ගීතයෙන් තමයි පුදුම විදියේ සමාජ සේවයක් කළ හැකි වෙන්නේ. මම මගේ මුල් කාලයේ සරළ ගී වැඩසටහන් සඳහා දායක වෙලා ඉන් පසුව ක්‍රම ක්‍රමයෙන් වයස මුහුකුරා යෑමත් සමග ගීතයෙන් විශාල සමාජ මෙහෙවරක් කළ හැකිය යන ආදර්ශය සමගින් කටයුතු කරන්න මා පෙළඹුණා. චිත්‍ර ප්‍රදර්ශනයකින් අපට සමාජයේ අඩුපාඩු පාට මගින් පෙන්වා දෙන්න පුළුවන්. කෙටි චිත්‍රපට, චිත්‍රපට වගේම පොත පත ආදියෙනුත් අපට එය පෙන්වා දෙන්න පුළුවන්. නාට්‍ය ලෝකය තමයි මෙහි වැඩි කොටසක් ඉටු කළේ. මේ වෙනුවෙන් කැප වෙන්න මට තව වෙන හේතුවකුත් තිබුණා.

මම අන්ත දුප්පත් පවුලක හැදී වැඩුන කෙනෙක්. මගේ තාත්තා ඇඳුම් මහන්නෙක්. අපේ පවුලේ නවදෙනෙක්. අම්මා ගෘහණියක්. තාත්තාගේ තනි ධෛර්යයෙන් තමයි අපේ පවුලේ හැමෝම හැදුනේ. අපි මේ දුක දැක්කා. එහිදිත් අපි පුදුම විදියට පංති පරතරය දැක්කා. එය තුළින් කෙතරම් මානසික පීඩාවක් ඇති කරනවාද යන්න අපි හොඳීන්ම අත් වින්දා. තාත්තාගේ පඩියෙන් බොහොම අමාරුවෙන් ජීවත් වෙන්න හදනකොට අපිව පිළිකෙව් කළ අය පවා හිටියා.මගේ තාත්තා පුදුම ධෛර්යවන්ත තාත්තා කෙනෙක්. හරියට ලෝහ පිළිමයක් වගේ. අපිට ඉගැනුවේ සාධාරණත්වය. පණ ඇති කෙනෙක් විදියට ජීවත් වෙන්න කියා දුන්නා. මං හිතනවා මගේ තාත්තාගේ ආවේශය තමයි මට තියෙන්නේ. වත්තේ පාරේ එක එක ජාතික කෑම වෙළෙන්දන් ගියත් අපිට කවදාවත් ඒවා ගන්න ලැබුණේ නැහැ. මොකද තාත්තා ළඟ සල්ලි නැති බව අපිත් දැන ගෙන හිටියා. අපි හිටියේ ඇත්තටම පුංචි මුඩුක්කුවක් වගේ ගෙදරක. එහි ඉස්සරහ පැත්තේ ගස්ලබු පැළයක් පැළවෙලා තිබුණා. එහි ගස්ලබු ගෙඩි ගොඩක් පළ දරලා තිබුණා. අපට පළතුරු කන්න නොලැබුණා කාලයක එය අපිට ආශිර්වාදයක් වගේ දැණුනේ. එහි පළමු ගෙඩිය කන්න එදා පෙරුම් පිරුවා. පුංචි පුංචි ළමයි නම දෙනෙක්. තාත්තා පොඩි ඉණිමගක් තියලා නැගල කිව්වේ “ කුරුල්ලො විදලා. ඒක කුරුල්ලන්ට තියමු කියලා”. එදා අපිට හරියට තරහ ගියා. ඒ වුණත් එදා තාත්තා අපට කියලා දුන්නේ ලොකු ධර්මයක්.

හැමදාම බත් කනකොට තාත්තා බත් මිටක් අයින් කරනවා. අපිටත් කියනවා එහෙම කරන්න කියලා. අපිට ලැබෙන්නේ පිඟානට බෙදලා දෙන බත් ටික විතරයි. බඩගිනි වුණත් නැතත් ඊට වැඩිය දෙන්න දෙයක් ඇත්තටම තිබුණේ නැහැ. ඒ බත් මිට අපිට ලොකු දෙයක් වුණත් අපිත් එහෙම බත් මිටක් අයින් කළා. ඒ නිසා මේ පීඩාව එක්ක මේ අසාධාරණය අපිට පෙණුනා. ඒ නිසා හැම විටම ගීතය තුළින් යම්කිසි සමාජ මෙහෙවරක් කරන එක මගේ ජීවිතයේ පාඨයක් කර ගත්තා. සමාජයේ එක් කොටසකට හොඳට ජීවත්වෙද්දී තවත් පිරිසක් අන්ත දුක් විඳීනවා. මම තරුණ වියට එළැඹිලා විවාහ වෙලා කාන්තාවක් අම්මා කෙනෙක් හැටියට ටිකෙන් ටික පත් වෙනකොට මේ පීඩාව තමයි දැක්කේ. ඒ අසාධාරණය තමයි දැක්කේ. මගේ පුංචි කාලෙම මට කියන්න පුළුවන් වුණා

“මිරිවැඩි සඟලක් ඉල්ලා හැඬුවෙමි
පා යුග නැති ඔබ දකින තුරා....
කුංකුම අංජන ඉල්ලා හැඬුවෙමි
නෙත් යුග නැති ඔබ දකින තුරා...”

කියලා. එදා අපි සපත්තු පැළඳුවේ නැහැ. සත විසිපහට තිබුණු ලී සහ හම්පටි වලින් හදපු කට්ටා සෙරෙප්පු කුට්ටමක් තමයි මට තිබුණේ. කට්ටා සෙරෙප්පු දාගෙන ඇවිදින කොට ගොඩක් ඈතට සද්දේ ඇහෙනවා. ඒ කාලේ ඉස්කෝලේ ළමයි මට කිව්වේ කට්ටයා කියලා. ඒත් මම ඒ කවදාවත් දුක් වුණේ නැහැ. තාත්තා අපිට හොඳ පුරුදු ඉගැන්නුවා. හැමදාම බුදුන් වැඳලා අම්මාට තාත්තාට වැඳලා තමයි කෑම කෑවේ. ජීවිත අත්දැකීම්වලිනුයි අපි බොහෝ දේ ඉගෙන ගත්තේ. ජීවිතේ කිසිම දිනක මම මඟුල් ගෙවල්වල ගීත ගායනා කරලා නැහැ. ඒ තැන කකාබිබී ඉන්න තැනක්. මගේ ළමයිගේ විවාහ මංගල උත්සව වලවත් සංගීතය තිබුණේ නැහැ ඒක නෙවෙයි මම හිතුවේ ගායනය කියලා. ඒක හරිම වටිනා විෂයක්. පොතක් ලියලා දෙන්න බැරි දෙයක් අපිට ගීතයකින් කියන්න පුළුවන්. එය නිකම්ම නිකම් දෙයකට අපි එය පාවිච්චි කරනවා නම් අපිට ලැබුණු කටහඬ මොකටද?

ඒ කට හඬ සමාජ මෙහෙවරකට යොදවන්න පුළුවන් නම් එය තමයි අගනාම දේ. මම එදා

“උඬගු ලියන් ගොතා බඳීන
නීල වරල සරසන්නට
මා පිපුනේ නැත.......
මේ දෙරණේ..”

ගීතය ගායනා කරනකොට අපේ රටේ යුද්ධයක් තිබුණේ නැහැ. මොන යුද්ධද? අපි දන්නෙත් නැහැ. දැකලත් නැහැ. ඒ වුණත් එහෙම සිංදුවක් මටත් කියන්න ලැබුණා. ඩෝල්ටන් අල්විස්ගේ පද රචනාවට පණ්ඩිත් අමරදේවයන් සංගීතය නිර්මාණය කරලා අහන්න ලැබුණා. ඒ ගීතය ගායනයට මා තෝරා ගන්නත් මොකක් හරි විශේෂයක් තියෙන්න ඇති. ඒ නිසා මම හිතන්නේ අපි මේ අපිට ලැබුණු කටහඬ නිකම්ම හුළඟේ පාවෙන දෙයක් හැටියට යවන්නේ නැතුව සමාජයේ සුබ සිද්ධිය යහපත උදෙසා, අඩුපාඩු පෙන්වා දෙන්න යම්කිසි හඬක් නඟන්න ඕනි කියන එකයි මගේ දැක්ම. ඒකෙන් මම කියන්නේ නැහැ මම ආදර ගීතයෙන් බැහැර වුණා කියලා. හුඟ දෙනෙක් මම තරම් ආදර ගීත ගයලා නැතුව ඇති.

ඔබයි රම්‍ය සඳ කිරණ ඝන අන්ධකාරේ...
ඔබයි සෞම්‍ය තරු එළිය ගිම්හාන කාලේ......
සදානන්ද කරවූ ඔබේ මධුර රාවෙන්
පිපී ආමි අරවින්දයක් සේ තටාකේ......

..........................

කලා වැවෙන් ගත් දිය දෝතක් සේ
වටී වටී ඔබ මටමැ වටී...
බෝධියකින් වට බෝ කොළයක් සේ
අගී අගී ඔබ මටමැ අගී...

..............

මගේ සඳ ඔබ මගේ සඳ ඔබ...
එදා සඳ නොව මෙදා සඳ ඔබළ
මගේ සඳ ඔබ මගේ...

ආදරයෙන් වියුක්ත වෙලා ජීවිතය ගෙන යන්න බැහැ. මම වුණත් අද මෙතැන ඉන්නේ රටක ජනතාවක් ආදරය කළ නිසා. ඒ නිසා ජීවිතය ගොඩක් ශක්තිමත්. අපි යමක් කළා කියන අදහස තියෙනවා.

“දහසක් ඉපදී මිය යන පොළවේ
මමත් මියෙන්නට උපන් කෙනෙක් වෙමි
මා මළ බව මුලු රටට දැනෙන ලෙස
මිය යන්නට මා පෙරුම් පුරන්නෙමි”
මමත් එහෙම හිතනවා.”

එදා ස්වර්ණමය කාලයයි. අද තාක්ෂණය දියුණුයි.....

“අපි ක්ෂේත්‍රයට එන කාලේ ස්වර්ණමය කාලේ. එදා අපට ඉහළම ළමා ගීත තිබුණා. අදටත් තියෙන්නේ ඒ ළමා ගීත. එදා අපට ලැබුණේ හොඳම දේවල්. අපි සරළ ගී වැඩසටහන් වලට එනකොට අපි පරීක්ෂණ සඳහා මුහුණ දුන්නා. ඒ සඳහා පරීක්ෂකවරු ආවේ ඉන්දියාවෙන්. ‘ඒ’, ‘බී’, ‘සී’,’ඩී’ සහ ‘විශිෂ්ඨ’ ශ්‍රේණිය විදියට වර්ග කළා. විශිෂ්ඨ ශ්‍රේණියට තේරුණු කිහිප දෙනා අතරට මමත් ඇතුළත් වුණා. එහිදි අපට පැය භාගයක සරළ ගී වැඩසටහනක් ලැබෙනවා. ඒ කාලයේ මේ විදියට චැනල් තිබුණේ නැහැ. මේක ඇහුවේ කණෙන් විතරයි. ඒ වගේම අපි ගැයුවේ සජීවිව. එදා හුස්ම හිර වුණා නම් හුස්ම හිර වුණාම තමයි. වැරදුනොත් වැරදුනාම තමයි. ඒ කාලයේ චිත්‍රපට ගීත වුණත් එහෙමයි. පළමු වතාවට මම ඉයර් ෆෝන් එකක් දාලා ගීතයක් ගායනා කළේ ‘පොඩි මල්ලී’ චිත්‍රපටය වෙනුවෙන්. මහාචාර්ය සුනිල් ආරියරත්න එය අධ්‍යක්ෂණය කළා. වික්ටර් රත්නායකයන් එය සංගීතවත් කළා. ඒ වගේම අපට රටේ සිටි විද්වත්ම කණ්ඩායමත් ඇසුරට ලැබුණා. ගුවන්විදුලියේ කොරිඩෝවේ ඇවිදගෙන යනවිට පවා එදා මහගමසේකර, ඩෝල්ටන් අල්විස්, චන්ද්‍රරත්න මානවසිංහ, අරිසෙන් අහුබුදු, විමල් අබේසුන්දර වැනි වූ දැවැන්තයන් අපට හමු වුණා. ඔවුන් සමග අපි එදා හරි හරියට වැඩ කළා. අපට ඔවුන්ගේ පූර්වාදර්ශ ලැබුණා. ඒ වගේමයි ගීත රචකයන්. ඔවුන් කවදාවත් මුදල් බැලුවේ නැහැ.

ඊට පස්සේ චැනල් රැසක පැමිණීම සිදු වෙනවා. මෙය මුදල්ම පමණක් උපයන දෙයක් බවට පත් වෙනවා. ඒ සමඟ සම්භාව්‍ය සංගීතය සේදීලා ගිහින් සියල්ල වෙළෙඳ ලෝකයක් බවට පත් වෙනවා. හොඳ වැඩක් කරන්න පිරිසක් සිටියත් ඔවුන්හට මේ නව ක්‍රමයෙන් බාධක පැමිණෙන්න පටන් ගන්නවා. මම වුණත් එක තැන පල් වෙන්න කැමැති නැහැ. ජීවිත අලුත් අලුත් විදියට ගතකළ නිසා තමයි සංගීත ජිවිතයේ වසර හැටක ගමනක් මට එන්න හැකි වෙලා තියෙන්නේ. මේ වෙනවිටත් අපට හොඳ අලුත් පිරිසක් බිහි වෙලා ඉන්නවා. දක්ෂයන්ට වේදිකාවක් හදලා දෙන එක හොඳයි. එහි සළැස්ම සහ එහි ඉදිරිය පිළිබඳවයි ප්‍රශ්නය තියෙන්නේ. නැතුව මෙහි දක්ෂයෝ නොමැතිකම නෙවෙයි. තමන්ගේ ඉදිරි ගමන සකසා ගන්න ඔවුන්ට යම්කිසි ඥානයක් අවශ්‍ය වෙනවා. මගේ අදහස නම් ඔවුන්ට හොඳ මඟපෙන්වීමක් අවශ්‍ය වෙනවා. රට, ලෝකය පිළිබඳ යහපත් පූර්වාදර්ශ ඔවුන්ට දෙන්න ඕනි. ඒ නිසා අපි ඔවුන් ළං කරගත යුතු වෙනවා. මගේ අදහස එයයි. මම හරි ආසයි අලුත් අය එක්ක වැඩ කරන්න. නාලිකා රාශියක් තිබුණත් ඔවුන් රසික ජනතාවට දෙන දේ ගැන සිතිය යුතු වෙනවා. ඔවුන් රසිකයන්ට ලබා දෙන්නේ රසිකයන්ට අවශ්‍ය දේ නෙවෙයි. ඔවුන් කැමැති දේ. මේ ගැන අපි මීට වඩා සිතිය යුතු වෙනවා. මොකද රටේ අනන්‍යතාවය සම්පූර්ණයෙන්තියෙන්නේ කලාව සහ සාහිත්‍යය තුළ. එය බිඳුණු දවසට සියල්ල අහිමි වී යනවා.

අපිට එදා සරළ ගී වැඩසටහනක් සඳහා මුදලක් නියමිතය තිබුණා. ඇත්තටම ඒක තේ කෝප්යක් බොන්නවත් මදි. එදා කලා ශිල්පීන් කිසිවෙක් මුදල් ගැන හිතුවේ නැහැ. මොකද අප අගය කළේ එදා අපට ලැබුණු වේදිකාව ගැනයි. හොඳම වාද්‍ය ශිල්පීන් ගොන්නක් ඇතුළේ හිටියා. අද පටිගත කරන දේ සතියකින් රසිකයන්ට අහන්න ලැබෙනවා. පටිගත කරනවා බලන්නත් තවපිරිසක් ඇවිත් ඉන්නවා. ළමා මණ්ඩපයේ අපට සත පහක්වත් ගෙව්වේ නැහැ. අපට ලැබුණේ වාහනයක්. ඒක තමයි අපේ විනෝද සාගරය. ඒකේ තමයි සිංදු කියන්නේ නටන්නේ. වැඩසටහන ඉවර වුණාම කරු අයියා (කරුණාරත්න අබේසේකර) අපි හැමෝම එක්කරගෙන ගිහින් ඔහුගේ මුදල් වලින් අපට කැන්ටිමෙන් කන්න අරන් දෙනවා. අද එහෙම නෙමෙයි ළමයට වවුචරයක් එවනවා. අද හැමදේම මුදල් බවට පත් වෙලා. ගොඩක් අය කියන්නේ මුදල් දීලා තමයි මෙය ප්‍රචාරය කර ගත්තේ කියලා. මගේ ජීවිත කාලයේ එහෙම කරලත් නැහැ. කරන්නෙත් නැහැ. පුවත් පත් ක්ෂේත්‍රයෙන් මේ සඳහා විශාල හඬක් නැගුවා. මට මතකයි මගේ ගීත තහනමකට ලක් වූ අවස්ථාවේදීත් ඔවුන් තමයි කතා කළේ. මම ඔවුන්ගේ ඒ සේවය වෙනුවෙන් හිස නමා ආචාර කර සිටිනවා. අපේ අසාධාරණත්වයද අපේ නිර්මාණද සියල්ල රටට පෙන් වූයේ ඔවුන්.”

දරුවන්ට දිය හැකි හොඳම දේ ....

“සාහිත්‍ය කලාවට පෝෂණ ගුණයක් අවශ්‍යයයි. සංගීත ආශ්‍රමයට දරුවන් එවන දෙමව්පියන්ට මම හැමදාම කියන්නෙත් එයයි. එය දරුවන්ගේ ඔළුවට දැමීමයි මගේ පළමු වෑයම. කන්න දුන්නට ලස්සන ඇඳුම් දුන්ට කොහේ හරි එක්කරගෙන ගියාට වැඩක් නැහැ. සාහිත්‍ය කලාව ගැන දැනුම ළමා මනසට ලබා දෙන්න. ඒක දෙන්න නම් අනිවාර්යනේම සෞන්දර්ය විෂයක් හැදෑරිය යුතු වෙනවා. මුහුදු වෙරළට ගියොත් සාහිත්‍ය කලාව පිබිදුනු දරුවා එය දකින්නේ කිරි පාටට. රළ බිදෙන හඩ ඔහුට ලස්සනට ඇසේවී. එසේ නැති දරුවාට මුහුද පෙනෙන්නේ නිකම්ම නිකම් මුහුදක් විදියට විතරයි. සෞන්දර්ය විෂයක් ප්‍රගුණ කළ ළමයාගේ කතා බහ වෙනස්. ඇඳුම, ඉරියව් වෙනස්. ඔවුන් ලෝකයේ දේවල් නිවැරදිව තෝරා ගන්නවා. එවැනි ළමයි උස් මහත් වෙනකොට අපි තහංචි දාන්න ඕනි වෙන්නේ නැහැ. මම ගීත ගායනයට පිවිසි කාලයේ මේ තරම් තාක්ෂණයක් තිබුණේ නැහැ. ඒ වුණත් මේ දක්වා ජීවිතයේ මම කවදාවත් ජංගම දුරකථනයක් පාවිච්චි කරලා නැහැ. ලැප්ටොප් ද ඊ මේල් ද ෆේස් බුක් ද මේ මොකුත් තිබුණේ නැහැ. ඒ වුණත් මට ඒකෙන් පාඩුවක් වුණෙත් නැහැ. මම මගේ ගමන ඇවිත් තියෙනවා. නමුත් අපට තාක්ෂණය ඕනෑ. මේ තාක්ෂණය නිසා නරක පැත්ත වැඩියි. අමරදේව සර් ඇතුළු ප්‍රවීණයක් රැසක් මේ තාක්ෂණික දියුණුව එක්ක ගීත සොරා ගන්න පිරිසක් නිසා නිහඬ වෙලා ඉන්නවා..”

කළ යුතු දේ....

“මේ තරම් දුර ඇවිත් රටේ වැඩ කොටසකට දායක වෙන්න සවිය ආවා. ඒ අතින් මම ගොඩක් ආඩම්බර වෙනවා. පරම්පරා ගණනාවක් අපි හඳුනනවා. ආපසු හැරිලා බැලුවොත් මම කළ දේ ගැන විශාල සතුටක් තියෙනවා. ඒ වගේමයි මගේ සංගීත ආශ්‍රමය වෙනුවෙන් පූර්ණ අවධානය යොමු කරලා තියෙන්නේ. මම සංගීත සංදර්ශන පිටුදැකපු කෙනෙක්. ගායනයක් තුළින් ඉදිරිපත් කරන්න පුළුවන් භාවමය අත්දැකීම සංදර්ශනයකින් දෙන්න බැහැ. ගීතය කියන්නේ ඉතාම පුළුල් විෂයයක්. පොතකින් කියන්න බැරි දේ විනාඩි තුනක් වැනි කාලයකින් කියා දෙන්න පුළුවන්. වසර තිහක් පුරාවට මෙය පත්වා ගෙන ඒමත් ලෙහෙසි දෙයක් නෙවෙයි. මේ දරුවන්ගේ දෙමව්පියනුත් මා හොඳීන් හඳුනා ගෙන සිටිනවා. මම චැනල්වල තරඟවලට යවන්නවත් ළමයි පුහුණු කරන්නේ නැහැ. මම ඒ කිසි විනිශ්චයකට යන්නෙත් නැහැ. මේ ගැන නම් දෙමව්පියන් වගකියන්න ඕනි. ළමයා කියන්නේ පුංචි මලක්. අපි ඒ මලට පිපෙන්න ඉඩ දෙන්න ඕනි. එතකොට තමයි මලේ හැබෑම ලස්සන තියෙන්නේ. සිනිදු බව තියෙන්නේ. නියම පැහැය ලැබෙන්නේ එවිටයි. මල් කවදාවත් බලෙන් පුබුදන්න හොඳ නැහැ.

මම දරුවන්ට කියන්නේ ලැබෙන දෙයින් සැනසෙන්න කියලා. එය මම කියන්නේ අම්මා කෙනෙක් විදියට. ඊට වැඩි දෙයක් හිතා ගත්තොත් ජීවිතයේ සැළසුම් නැහැ. අනිත් කාරණය තමයි සෑම දරුවෙක්ම පුළුවන් හෝ බැරි හෝ සෞන්දර්ය විෂයක් හදාරන්න ඕනි. ඒ තුළින් තමයි ඔවුන්ගේ පෞරුෂ වර්ධනය ඇති වෙන්නේ. ආදරණීය මව්පියන්ට මම කියන්නේ ළමයින් හරි මඟට දාගන්න කල් අවධානයෙන් ඔවුන සමගින් ඉන්න. ඉන් පසුව මිතුරන් මෙන් අවශ්‍ය පහසුකම් සළසා දෙමින් අපිට ඔවුන් හරි පාරේ යන හැටි දුර ඉඳන් බලාගෙන ඉන්න පුළුවන්. අපි අලුත් නිර්මාණ කරන්න ඕනි. ළමුන් වෙනුවෙන් සංගත තැටියක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මම ළමා කාලයේ ගායනා කළ ගීත කිහිපයකුත් එයට ඇතුළත්.”

වහින්නට හැකි නම් ගිගුම් දී
වියලි ගම් බිම් වලට ඉහළින්
ඉදෙන්නට හැකිනම් බතක් වී
බතක් නොයිදෙන පැළක රහසින්

රැදෙන්නට හැකිනම් ළමා කැළ
හඩන දෙතොළක සිනාවක් වී
පිපෙන්නට හැකිනම් තුරින් තුර
නෙළා ගත හැකි වන මලක් වී

නිදන්නට හැකිනම් දෙනෙත් තුළ
සබෑවන සුබ සිහිනයක් වී
ගැයෙන්නට හැකිනම් දොරින් දොර
ලොවම පූබුදන ගීතයක් වී ....

මේ ඇයගේ ප්‍රාර්ථනය යි. අඩසියවසකටත් වඩා වැඩි සංගීත දිවියේ දේශීය සංගීතයේ පෝෂණය වෙනුවෙන් කැප වෙමින් පැමිණි ගමනේ තිස් වැනි වසරයි. ඇයගේ ප්‍රාර්ථනය දැයේ දූදරුවන් සංගීත ඥානයෙන් පෝෂණය කිරීමයි. එය අපට, අපේ කලාවට මහඟු සම්පතකි.