|
එයා පරිණතයි - මම බොළඳයි
නදීකා චන්ද්‍රසේකර සමඟ දිගු කලකට පසු කතාබහක්
* කොහොමද නදී? බොහොම කාලකට පස්සේ ඔයා මාධ්‍යයට ආවේ? ඒක නම් ඇත්ත. පහුගිය ටිකේ ටෙලි නාට්‍ය කලාව ඇතුළේ තිබුණු ප්‍රශ්නත් එකක් මම නිහඬව ඉන්න තීරණය කළා. ආර්ටිකල් කළෙත් නැහැ ඒ හින්දා. * එතකොට ඔබේ ජනප්‍රියත්වය? මං හිතන්නේ ඒක නම් අඩු වුණේ නැහැ. එදත් අදත් මගේ වාසනාවට ජනප්‍රියකම කිරුළක් වගේ මගේ හිස මත තියෙනවා. නිහතමානී ආඩම්බරයකුත් දැනෙනවා. * නිළියක ලෙසින් අතුරුදන් වූ නදී නැවත මතුවන්නේ අධ්යක්ෂිකාවකගේ භූමිකාවත් සමඟින්? ඒ චරිත මාරු වුණේ හදිස්සියේම නෙවෙයි. බොහොම සීරුමාරුවට, හිමිහිට ක්ෂේත්රය අධ්‍යනය කරමිනුයි අධ්යක්ෂණයට පිවිසුණේ. * මොන වගේ අධ්‍යයනයක් ද ඔබ විසින් සිදු කළේ? මම වැඩ කළේ දී. ග. සෝමපාල, මොහන්ජි රංගනාථ වැනි උසස් ගණයේ නිර්මාණ කළ අධ්යක්ෂවරුන් එක්ක. එවන් වූ දර්ශන තලයන් හි කාලයක් තිස්සේ සිටීමත් සමඟ නිතැතින්ම මට අත්දැකීම් එකතු වුණා. ඒ වගේම මම රූපවාහිනී අභ්‍යාස ආයතනයේ කැමරාකරණය පිළිබඳ හැදෑරුවා. ඉන් මා එළියට එද්දී විවිධ හේතූන් මත හොඳ අධ්යක්ෂවරු නිහඬයි. ක්ෂේත්රය තුළ ඇති අර්බුද මත හෝ පෞද්ගලික කාරණා මත එහෙම වෙන්න ඇති. ඒ දෙස මං බලාගෙන හිටියේ හරිම දුකෙන්. ඉතින් මට හිතුණා අධ්යක්ෂණයට පිවිසිලා හොඳ ගුණාත්මක නාට්‍යයක් කරන්න. * ඔබ ඔය නොකියා කියන්නේ ඔබේ පළමු අධ්‍යක්ෂණය වන ළාසඳ පාමුළ ඉතා උසස් නාට්‍යයක් කියලද? කොහෙත්ම නැහැ. * එහෙනම්? මේක වෙනස් නාට්‍යයක්. එය හොඳද නැද්ද කියලා පේ්රක්ෂකයා තීරණය කරයි. * ඇයි ප්‍රේක්ෂකයින්ට හැම දෙයක්ම තීරණය කරන්න බාර දෙන්නේ? ප්‍රේක්ෂකයින් තරම් හොඳ විනිශ්චයකරුවන් නැහැනෙ. ඔවුන් තමා නිර්මාණකරුවකු ශක්තිමත් කරන්නේ. * ඔබ ඔහොම කිව්වාට ළාසඳ පාමුළ ප්‍රේක්ෂක ඉල්ලුමට නිර්මාණය වූ ටෙලි නාට්‍යයක් නෙවෙයිනේ? ඔබ ඔය කියන්නේ රැල්ලේ ටෙලි නාට්‍ය ගැන වෙන්න ඇති? * ඔව්? ළා සඳ පාමුල මඟින් කියන කතාව හරි ප්‍රබලයි. අපේ ජීවිතයට පොත් ඉතාම වැදගත්. කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියලා කියමනක් තියෙන්නේ නිකමට නෙවෙයිනෙ. පොත් කියවීමෙන් ඈත් වීම තුළින් මිනිස්සුන්ගේ ජීවිත බොල් වෙනවා. කෙටියෙන්ම කිව්වොත් පොත් පරිශීලනයෙන් ඈත් වුවොත් අපට කුමක් ද වන්නේ යන්න තමයි මෙමඟින් මා විවරණය කරන්න උත්සාහ ගත්තේ. * වෙන නාට්‍ය තරම ළාසඳ පාමුළ ජනප්‍රිය වේවිද? මට ඒක කියන්න අමාරුයි. හැබැයි දැනටමත් රේටින්ග්ස් හොඳයි. * බොළඳ ප්‍රේම කතාවක් කළා නම් මීට වඩා ජනප්‍රිය වෙන්න තිබුණා? අද තියෙන තත්ත්වෙත් එක්ක එහෙම වේවි. නමුත් ඒ ජනප්‍රියත්වය කෙටි කාලයයි නේද. * නදී හදන්නේ මේ උඩු ගං බලා පීනන්නද? හරියටම හරි. මං කොහොමත් රැල්ලට දේවල් කරන කෙනෙක් නෙවෙයි. උඩුගං බලා යන අයට දිනන්න හරිම අපහසුයි. නමුත් කවදා හරි දිනනවා. ඒ දිනුම සදාකාලිකයි. * නදී දැනටමත් දිනලද ඉන්නේ? සමහර නවක අධ්යක්ෂවරු නාට්‍යයක් කෙරුවට පස්සේ ලැබෙන ප්‍රතිචාරත් එක්ක කලකිරෙනවා. ආයේ දෙවැනි නිර්මාණයට අතගහන්න බයයි. නමුත් මට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර මත මගේ දෙවැනි අධ්‍යක්ෂණයටත් හිත ගියා. * ඒ කියන්නේ නදී ආයෙත් නාට්‍යයක් නිර්මාණය කරනවා? එහෙම තමයි හිතාගෙන ඉන්නේ. * ළාසඳ පාමුළ නාට්‍යයේ ඔබ ඔබේ සැමියාගේ චරිතයට පණ පොවන්න යොදා ගන්නේ ලූෂන් බුලත්සිංහලව. ලොකු වයස් පරතරයක් තියෙන සැමියෙක්? අන්න එතන තමයි කතාව තියෙන්නේ. එයා පරිණතයි. ඒ වුණාට මම බොළඳයි. ඒ හින්දා බොහෝ සෙයින් මත ගැටුම් එනවා. කතාව ගලාගෙන යන්නෙ එතකොට. * නාට්‍යයේ කැමරා කෝණ සැකසුවේ කවුද? ඒ මොකද එහෙම ඇහැව්වේ. අවුල් වගේද? * නැහැ. රිදම් එකක් තියෙනවා? මම පෙර කිව්වා වගේ මං ලබාගත්තු අත්දැකීම්වලින්මයි මෙහි කැමරා කෝණ මවිසින් නිර්මාණය කළේ. මේ වෙලාවේ මට කැමරාකරණය උගන්වපු රූපවාහිනියේ මනමේන්ද්‍ර මහත්මයාවත් මතක් කළ යුතුමයි. * ළාසඳ පාමුළ හරහා ඔබ මේ උත්සාහ කරන්නේ සමාජය යහමඟට ගන්නද? නාට්‍යයකින් සමාජයක් හදන්න බැහැ. මම මේ කරන්නේ තිත්ත කසායවලට මීපැණි දාල දෙනවා වගේ වැඩක්. * ඉදිරියේදී නදීව දිගටම අපට හමුවන්නේ අධ්‍යක්ෂිකාවක හැටියටද? අධ්‍යක්ෂණය කරනවා, ඒත් එක්කම රඟපානවා. කෙදිනකවත් රංගනයෙන් නම් ඈත් වන්නේ නැහැ. * නදීට වඩාත් ලෙහෙසි අධ්‍යයක්ෂණය ද, රංගනයද? දෙකම ලෙහෙසි නැහැ. එකිනෙකට වෙනස් වගකීම් දෙකක්. අධ්යක්ෂවරියක වුණට පසුව ගැහැනු ළමයකු විදිහට මං නොයෙකුත් ප්‍රශ්නවලට මුහුණ දුන්නා. ඒ හින්දාමදෝ කොහෙද දැන් හිත ගොඩක් හයියයි. රංගනයේදී එවන් තත්ත්වයකට මුහුණ දුන්නේ නැහැ. * ළාසඳ පාමුල නළු නිළින් පෙළ මතක් කළොත්? ලූෂන් බුලත්සිංහල, ඩබ්ලිව්. ජයසිරි, හේමසිරි ලියනගේ, දයා අල්විස්, මොරීන් චාරුණී, බුද්ධික ජයරත්න, පියුමි ශානිකා, රොඩ්නි වර්ණකුල, චමිල අත්තනායක, උදේනි අල්විස්, තරුෂි පෙරේරා, නිනෝ අරලිය ජයකොඩි, නිම්මි පි‍්‍රයදර්ශනී, මධු හංසි සමඟ මම. මෙහි තිර රචනය ලීල් ආනන්ද ගජනායක. සෑම සතියේ දිනකම රාත්‍රී 8.30ට විකාශය වෙනවා. * ඔබේ රංගන දායකත්වය ලැබුණු ඉදිරි නිර්මාණ මොනවද තියෙන්නේ? දැනට මෙය පමණයි. චිත්‍රපටයකට ඇරැයුම් ලැබුණා. කාලෙකට පසු ලැබුණු ඒ ආරාධනාව ගැන හිතමින් කාලය ගත කරනවා. * කොහොමද ඔබගේ පුද්ගලික ජීවිතයේ තොරතුරු? හොඳයි, හොඳයි. * කසාද බැන්දත් හරි නදීව මහත්තයත් එක්ක දැක්කේ බොහොම අඩුවෙන්? එයා ඉතින් රටනෙ. * හස්බන්ඩ් මාධ්‍ය ඉදිරියට එන්නේ නැත්තේ ඇයි? එයාට මාධ්‍ය ඇලජික්නේ, ඒකයි.
|