වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 13 වැනිදා බ්‍රහස්පතින්දා




නුඹේ සෙනෙහස සුවඳ දිදී දැනුණා මට අම්මේ

ගේයපද රචකයකු තමා සිත්ගත් ගීත පිළිබඳ කරන ආවර්ජනය

නුඹේ සෙනෙහස සුවඳ දිදී දැනුණා මට අම්මේ

නව පරපුරේ ගීත රචක අමිල තේනුවර

මෙවර ‘මතක ගී පොත’ට අතීත මතකය ගෙනහැර පාන්නේ අමිල තේනුවරයි. කවියකු මෙන්ම ගීත රචකයෙක් ලෙස අප හමුවට පැමිණෙන ඔහු ලියූ ගීත අතර වර්තමානයේ වඩාත් ජනප්‍රිය වූ ගීතය වූයේ අමරසිරි පීරිස් ගයන ‘ඉකි ගසා හඬන අතීතයක’ ගීතයයි. මේ ගීතයට පසුගියදා පැවැති හිරු ගෝල්ඩන් සම්මාන උළෙලේ හොඳම ගීත රචනයට මෙන්ම ජනප්‍රිය ගීත රචනයට හිමි සම්මානය ද හිමි විය. ‘මම අහන්නෙ නම් නෑ රත්තරනේ’, ‘විශ්වය විනිවිද’, ‘තවත් කවුරුවත් නැති බව දැන දැන’, ‘සක්වාලිහිණි’ ඔහු ලියූ, ජනප්‍රිය වූ අනෙක් ගීතයි. මේ වන විට ඔහු ‘පුරහඳ වරදේ බැඳේ’, ‘තටු බිඳුණු හදවතක්’, ‘අත් අකුරු මල් වඩම්’, ‘හෝඩි පොතේ මනමාලි’, ආදී කවි පොත් රැසක් ද ‘සඳරැස් ඇඟිලි තුඩු’, ‘ඉකි ගසා හඬන අතීතයක’ යන ගීත පොත් දෙකක් ද, ළමා කතා පොත් කිහිපයක් හා ‘ඔරායන්ගේ ප්‍රේම සක්මන’ යන කෙටි කතා සංග්‍රහයක් ද එළි දක්වා ඇත.

අවට වන පියසෙන් නැඟෙන රැහැයියන්ගේ ස්වරය පරදවා ඇසෙන්නේ අම්මා කුස්සියේ පොල්ගාන හඬේ ලතාවයි. තාත්තා අසනීප වූ දා පටන් පවුල්බර කරට ගත් ඈ අප පස් දෙනාගේ කුස පුරවන්නට නොවිඳිනා දුක් වින්ඳාය. අපේ ගමට හිරු නැඟෙන්නටත් පෙර අවදි වන ඕ කුලියක් මලියක් කරන්නට යන්නට පළමුව කුමන හෝ දෙයක් රත් කර දෙන්නට උත්සුක වූයේ බඩගින්නේ අප පාසල් යවන්නට තිබූ අකැමැත්ත නිසාය. සුපුරුදු ලෙස උදෑසන අප අවදි වන්නේ ඇගේ ළයාන්විත ස්වරයෙනි.

‘අමිල පුතේ නැඟිටින්න’

එනමුදු අද ඇගේ ළයාන්විත ස්වරයෙන් මගේ නම නොකිය වෙයි. ඒ නිසාම ටිකක් වැඩිපුර පැදුරේ නිදන්නට මම ඉටා ගතිමි. ඒ අප දෙදෙනාගේ සුපුරුදු කාර්යය වෙනසකට ලක් වූ නිසාය. එනම් අම්මා අද වැඩට නොගොස් නිවසේ නතර වූයේ මට පණු බෙහෙත් ගන්නට යෑමටය. පණු බෙහෙත් සිහිපත් වන විට මම යළිත් දෙනෙත් තද කර පියා ගත්තෙමි. මන්ද පණු බෙහෙත් බිව්ව විට සුපුරුදු ලෙස දං, බෝවිටියා, හිඹුටු කන්නට මට හැකි නොවන බව මතකයට නැඟීමෙනි. පාසල් යන්නට සූදානම් වන අප නිවෙස එකම කාලගෝට්ටියකි. ඒ කාලගෝට්ටිය දැන් නොඇසෙයි.

‘පුතේ ඔය නිදා ගත්ත ඇති. දැන් ගිහින් මුහුණ සෝදා ගන්න’

අම්මා මා අමතන්නේ තවමත් නිදාගෙන සිටී යැයි යන සැකය ඇගේ සිතේ රජ කරන බැවිනි. දනි පනි ගා පැදුරෙන් නැඟිට්ට මම කුස්සිය සොයාගෙන ගියේ අඟුරු කෑල්ලක් ගැනීමටය. එකල අප දත් මඳින්නට පුරුදු වී සිටියේ අඟුරුවලිනි. අඟුරු කෑල්ලක් වික විකා නිවසේ සිට අඩි සියයක පමණ ඈත පිහිටි ළිඳ වෙත යන්නට මා පා එසැවූයේ එසැනෙනි. අම්මාත් මා පසුපස වැටුණාය. උස්ව පිහිටි තේක්ක ගස් පඳුරු අතරෙන් වැටී ඇති අඩි පාරේ ගමන් කළ මම අම්මාට පෙර දුවන්නට වූයේ ළිඳ අසල වූ වෙරළු ගසේ ගෙඩි අහුලා ගැනීමටය. අම්මා ළිඳ ළඟ වාඩි වී රෙදි සෝදන්නට වූවාය. ඇයට උදව් කිරීමට සිතූ මම ගැඹුරු ළිඳෙන් වතුර අදින්නට පනිට්ටුව ළිඳට දැමීමි.

ළිඳේ වතුර පිරී තිබුණේ හරි අඩකි. වතුර පුරවා ගත් පනිට්ටුව උඩට ඇදිය යුත්තේ දෑත්වල වීරියෙනි. මම මගේ දෑතේ වීරියෙන් පනිට්ටුව උඩට අදින්නට වීමි. පනිට්ටුව මා පය තබා තිබූ පොල් කොටය ළඟට පැමිණ තිබේ. ඉන් පනිට්ටුව උස්සා උඩට ගැනීමට මට මහත් වෙහෙසක් දරන්නට සිදු වෙයි. වෙනදා ඒ කටයුත්ත කරන්නේ අම්මාය. එහෙත් අද මම ම එය කරන්නට තීරණය කළෙමි. පය ලිස්සා ගියේ ඉබේමය. මට මතක පනිට්ටුවත් සමඟ මා ළිඳට වැටෙන බව පමණකි. මා ළිඳට වැටෙනු දුටු අම්මා කෑ ගැසුවේ සැතපුමකට පමණ ඇසෙන වේගයෙනි. අවට සියල්ලන්ම එක් රොක් වූයේ සැනෙනි. මා කඹයක ආධාරයෙන් ගොඩට ගැනිණි. දෙවරක් යට ගිය වග මට යන්තමට මතකය. තුන්වැනි වර මම කඹය අල්ලා ගතිමි. (ළිඳට වැටුණු පසු සිදු වූ සියලු දේ මා පසුව දැන ගත්තේ නෑදෑයකුගෙනි) ඒ වන විට අට හැවිරිදි වියේ පසු වූ මා බලන්නට පාසලේ යහළු යෙහෙළියන් ද පැමිණි වග මගේ මතකයේ අද වනතුරුත් ලියැ වී තිබේ.

ඒ අතීතය යළි යළිත් මතකයට නැඟෙන මේ ගීතයට මම දැඩි සේ ආදරය කරමි.

දවසක් පැළ නැති හේනේ
අකාල මහ වැසි වැස්සා
තුරුලේ හංගාගෙන මා
ඔබ තෙමුනා අම්මේ
පායනතුරු හිටි පියවර
හිටියා ඔබ අම්මේ

කොළඹ වීදි යට කරගෙන
නින්දා වැහි වැගිරෙනදා
බිරියකගේ සෙනෙහෙ ගියා
යෝධ ඇළේ නැම්මේ
නුඹේ සෙනෙහස සුවඳ දිදී
දැනුණා මට අම්මේ

කොළඹ අහස කළු කරගෙන
මුහුදු සුළඟ හඬලන කොට
ඔටුන්න බිම දා දුවගෙන
එන්නද එක පිම්මේ
මං එනතුරු ඉඳිකඩ ළඟ
ඉන්නවාද අම්මේ . . .

 

ගේය පද – රන්බණ්ඩා සෙනෙවිරත්න

සංගීතය – ගුණදාස කපුගේ

ගායනය – ගුණදාස කපුගේ

ජීවිත කාලයේදී සෑම දිනෙකම මගේ ජීවිතය හා බද්ධ වන මේ ගීතයේ වැස්සත් සමඟ අම්මාගේ සෙනෙහෙස සමපාත කරන අයුරු අපූරුය. අහස් කුසෙන් වැටෙන වැස්ස යම්කිසි ප්‍රතිලාභයක් අපේක්ෂා නොකරන්නේ යම් සේ ද අම්මාත් එවැනිමය. අම්මාගේ සෙනෙහස සිහිපත් වන එවැනි සිදුවීම් රැසක් මගේ ජීවිතයේ එයි. ඉන් තවත් සිදුවීමක් මෙසේ මම මතකයට නඟමි.

මේ සිදුවීම සිදු වූයේ මට වයස හයේදී පමණය. අප විසුවේ අම්මාගේ මහ ගෙදරය. අග හිඟකම්වලින් දැඩි සේ පීඩා විඳි අප ජීවත් වූයේ බොහෝ දුෂ්කරතා මැදය. ඒ දුෂ්කරතා කෙතරම් ද කිවහොත් අප පාසලේ දෙන ගෙදර වැඩ කළේ කුප්පි ලාම්පු එළියෙනි. විදුලි බල මණ්ඩලය තිබුණේ අපගේ නිවෙස ඉදිරිපස වුව ද විදුලිය ගැනීමට තරම් වත්කමක් අපට නොතිබුණි. ඒ නිසා අප සියලු කටයුතු කළේ කුප්පි ලාම්පු එළියෙනි.

එමෙන්ම අපගේ නිවෙසේ වහල සෙවිලි කර තිබුණේ ද ගම් උළුවලිනි. වැහි කාලය පැමිණි කළ වහලේ උළු අතරෙන් පෑදුණු හිඩැස්වලින් වැහි බින්දු බිමට පතිත වන අයුරු අපූරු චිත්‍රයක් බව ඇත්තය. එනමුදු ඉන් අප විඳි පීඩාව කෙතරම්දැයි වචනයකට නැඟිය නොහැකි තරම්ය. නිවෙස කොපමණ පරණ වූයේ ද යැයි පැවසුවහොත් එක්වරම වහල පහත් වූයේ අප කිසිවෙකුත් නොසිතූ විලසිනි. අම්මා මුදලක් ණයට ගෙන පහත් වූ වහල නැවතත් පිළිසකර කිරීම පිණිස පිරිසකට බාර දුන්නාය. ඒ අය වහල උස්සා කරු ගසා තිබුණි. ඒ එක් දිනෙක හදිසියේම පැමිණි බාප්පා වහලේ කරු කිහිපයක් ගලවා දැමූයේ අප සමඟ පැවැති ආරවුලකටය. එදින මොර සූරන වැහි ඇද හැලෙන දිනයකි. අප මුහුණ පෑයේ නොසිතූ අකරතැබ්බයකටය. ඉන් පසුබෑවේ අම්මා නොවේ. ඈ ඒ අනෝරා වැස්සේ ගොස් ඊට අවශ්‍ය පිළියම් යෙදීමට තරම් දක්ෂ කාන්තාවක් වූවාය. අපේ ජීවිතයේ අත්වාරුව වූයේ ඇයය. අප අද සිටින කුමන තරාතිරමක වුව ද සෙවණැල්ල වූයේ ඇය ය. ඒ නිසා මේ ගීතය මගේ ජීවිතයට විශේෂිතය.

කරුණාරත්න දිවුල්ගනේ ගයන මේ ගීතය ද කාලයක් මගේ දුක සැප බෙදා ගන්නා ලද්දේ යැයි පැවසීම අසත්‍යයක් නොවේ.

රෝගී දැසේ ඇස රඳවන්නට
ඇයි ද පමා වෙන්නේ
ඔබ ළඟ නැතිදා කෙලෙසකදෝ හද
ගිමන නිවී යන්නේ

සමීප සයනේ සාද තෙපුල් මැද
දැවි සිත සුවපත් වේ
තනිකම දැවටී දෑසේ දෑලෙන්
හුනු කඳුළැලි වෑහේ

ජීවක දෑතේ පහස ලැබූවත්
සුව නෑ ළං වන්නේ
එපා කිසිත් වෙන දෑස පතන රුව
දිව ඔසුවක් වැන්නේ

 

ගේය පද – මහින්ද දිසානායක

සංගීතය – උපාලි ජයලත්

ගායනය – කරුණාරත්න දිවුල්ගනේ

මේ ළඟදී දිනෙක මා අසනීප වූයේ අහම්බයෙනි. උණ රෝගයකින් දැඩි සේ විඩාපත් වී මගේ ශරීරයේ උණ සති කිහිපයක් පැවතුණි. අවසානයේ මා ප්‍රතිකාර ගත් වෛද්‍යවරයා පැවසූවේ මා රෝහල්ගත විය යුතු බවය. ඒ අනුව මම රාජගිරියේ රජයේ රෝහලට ඇතුළත් වුණෙමි. හදිසියේම මගේ රුධිර පට්ටිකා ප්‍රමාණය අසීමිතව පහළ බැස්සේ වෛද්‍යවරු නොසිතූ ලෙසිනි. ඒ අනුව මට ඩෙංගු බවත් එය රක්තපාතය දක්වා වර්ධනය වී ඇති බවත් මා දැනගත්තේ වෛද්‍යවරුන්ගේ කතාබහෙනි. එවිට මගේ සිතට පිවිසි වේදනාව කොපමණදැයි දන්නේ මා පමණි. ඒ අවස්ථාවේ මගේ සිතට දැනුණු තනිකම, පාළුව කෙතරම් ද යන්න දන්නේ එවැනි අවස්ථාවකට පත් වූ අයෙකු පමණි.

එහෙත් මගේ එක් මිතුරෙක් මා අසලම සිටියේ මගේ දුක සැප දෙක ගැන නිරන්තර සොයමිනි. ඔහු කොපමණ මට ළං වූයේ ද යැයි කිවහොත් ඒ දැනුණු තනිකම, පාළුව, අසරණකම මකා ගනු සඳහා මා කළේ ඒ මිතුරා පැමිණෙනතුරු මඟ බලා සිටීමය. ඒ සිටි අයුරු මට අද ද මැවි මැවී පෙනෙයි. රෝගීන් බලන වේලාව වන විට මා රෝහලේ කොරිඩෝව දෙස බලා සිටින්නේ නෙත් අයාය. ඒ ඔහුගේ ළබැඳි මිතු දම විඳින්නටය. සමහර විටෙක වෙන අයෙකුට ඔහු යැයි රැවටෙන වාර අනන්තය. එසේ ඔහු එතයි සිතා සිටිය ද ප්‍රමාද වූ කළ මා සිතට සිහිපත් වන්නේ මේ ගීතයයි. මම කාටත් හොරෙන් මේ ගීතය මුමුනමි.

ඒ කාලය ඇතුළත මා රෝහලේ යහන මත සැතපී සිටින විට විවිධ සිතුවිලි මා සිත තව තවත් රෝගී කරයි. එවිට සැබෑ ලෙසම ගීතයේ මෙන් සිත සුවපත් කළ හැකි අයෙක් වේ නම් යන සිතුවිල්ල මසිත පෙළයි. කලාකරුවෙක් ලෙස කවියෙක් ලෙස, හිමි වූ සංවේදීකම සමඟ ආදරය වෙනුවෙන් අප රැවටීමට පත් වී ඇතැයි එවිට මට සිතෙයි. එහෙත් අප අපේක්ෂා කරන ආදරයට සත්‍ය ලෙසම රූපයක් දිය හැකි නම් යන සිතුවිල්ල මා සිත වෙලා ගන්නේ එවිටමය. මන්ද එය සිතට අපූරු ඔසුවක් බැවිනි. අද ද බොහෝ දෙනා දුකට පත් වන්නේ ඒ ඔසුව නොමැති නිසා යැයි මට හැඟෙයි. මේ කාරණාව මට තදින් දැනෙන්නට පටන් ගත්තේ මා රෝහල්ගතව සිටි කාලයේය. ඒ නිසා මේ කාලයේ වඩාත් මා ප්‍රිය කරන ගීතය බවට පත් වූයේ ද මේ ගීතයමය.