|
ගුරුතුමියගේ 75 වැනි උපන්දිනයට සිසුවියගෙන් තිළිණ
නර්තනයට පෙම්බැඳි වෛද්‍යවරිය උදුම්බරා සෙව්වන්දි වෛද්‍ය උපාධියත්, නර්තන විශාරද උපාධියත් ලැබුණේ එකම වසරක
භරත නාට්‍යම් අරංගේත්රම් උත්සවය මෙම 15 වැනිදා මරදාන ටවර් හිදී
වෛද්‍ය, නර්තන විශාරද උදුම්බරා සෙව්වන්දි කුමාරි ඉදිරිපත් කරන භරත නාට්‍යම් අරංගේත්රම් උත්සවය නොවැම්බර් 15 වැනිදා ජනපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් මරදාන ටවර් රඟහලේදී පැවැත්වේ. සීතල මීදුමෙන් වට වූ සුන්දර තුරුලතාවලින් පිරි පරිසරයක හැදී වැඩුන ඇය කලාවට ලැදි වුනේ පුංචිම පුංචි සන්දියේ පටන්මයි. ඒ වුනත් ඇයගේ සෞන්දර්යාත්මක සිහිනය ඇයට දකින්නට නොහැකි වූයේ වෛද්‍යවරියක වීමේ සිහිනය ඇයටත් පෙර ඇයගේ පියා දුටු නිසාම වෙන්න ඇති. කාලයත් සමගින් අද ඇයගේ මේ සිහින ද්විත්වයම යථාර්ථයක් බවට පත් වී හමාරය. වෛද්‍ය, නර්තන විශාරද උදුම්බරා සෙව්වන්දි කුමාරි. අපි ඇයගෙන්ම ඒ ගැන අසමු. “මම හැදී වැඩුනේ නුවරඑළිය හා වැලිමඩ ප්‍රදේශ අතර වූ නුගතලාව නම් සුන්දර ග්‍රාමයේ. වැලිමඩ ප්‍රාථමික විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ මම ඉන් අනතුරුව ඇතුළත් වුණේ වැලිමඩ මධ්‍ය මහා විද්‍යාලයට. මගේ අම්මා ගුරුවරියක ලෙසින් සේවය කළෙත් එහිමයි. සෞන්දර්ය විෂයට නර්තනය තෝරා ගන්න ලොකු ආසාවක් තිබුණත් මගේ තාත්තා ටිකක් අතමැති වුණු නිසා මම චිත්‍ර විෂයත් ඉංග්‍රීසි සාහිත්‍යයත් තෝරා ගත්තා. ඒ වුණත් නර්තනයට තිබුණු ලැදියාව නම් ටිකක්වත් අඩු වුණේ නැහැ. පාසලේ විවිධ උත්සව අවස්ථාවල මම නර්තනයන් ඉදිරිපත් කළේ හරිම ආසාවෙන්. කලාවට තිබු ලැදියාව නිසාම සමස්තලංකා පාසල් සංගීත හා නාට්‍ය තරගාවලියේ සංගීත රංග ගී නළුවේ ගීත රචනා ජාතික සූරතාවය අඛණ්ඩව වසර පහක් පුරාවට දිනා ගන්නත් මට හැකියාව ලැබුණා. ඊට අමතරව සිංහල භාෂා, ඉංග්‍රීසි සාහිත්‍ය සහ චිත්‍ර තරග රැසකින් ජයග්‍රහණ දිනා ගන්නට හැකි වුණෙත් ඒ නිසාම වෙන්න ඇති. මේ හැම ජයග්‍රහණයක් අතරේදීම නර්තනය වෙනුවෙන් වූ විශේෂ ඇල්මක් මගේ හිතේ සුවිශේෂ අයුරින් සටහන් වුණා.” * ඒ වගේම ඔබ අද නර්තනයෙන් විශේෂ ස්ථානයටකට පැමිණියේ, තවත් සුවිශේෂ චරිතයක් ලෙසින් ? “පාසැල් කාලයේ සෞන්දර්ය අංශයෙන් ගොඩක් ජයග්‍රහණ ලබා ගත්තත් උසස් පෙළට මුහුණ දුන්නේ ජීව විද්‍යා අංශයෙන්. එයින් ඉහළින්ම සමත්ව කරාපිටිය වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වෙන්න අවස්ථාව ලැබීම මට කලා ජීවිතයේත් දොරටු විවර කළා. එය මට මගේ ජීවිතයේ සුවිශේෂ කඩඉමක්. කරාපිටිය වෛද්‍ය පීඨය මගේ නර්තන හැකියාව වෙනුවෙන් වේදිකාවේ ඉඩකඩ වෙන් කළා. විවිධ ප්‍රසංග මෙන්ම ‘සිතුම් සියවැල්’ කලා උළෙල ඒ වෙනුවෙන් කදිම තෝතැන්නක් වුණා. ඒ දක්වා සියළු නර්තනයන් ඉදිරිපත් කළේ ඒ පිළිබඳ හැදෑරීමක් නොකිරීමෙන්. ඒ නිසාම නර්තන විෂය පිළිබඳවත් නිසි අධ්‍යාපනයක් ලබා ගත යුතුයි කියා මම හිතුවා. ලංකාවේ ප්‍රවීණ නර්තන ආචාරිණියක වන මිරැන්ඩා හේමලතා ගුරු මෑණියන් යටතේ නර්තනය හදාරන්න අවස්ථාව ලබා ගත්තේ ඉන් පසුවයි. ගාල්ලේ පිහිටි එතුමියගේ කලායතනයෙන් මම නර්තනය ප්‍රගුණ කළා.” * වෛද්‍ය සිසුවියක ලෙසින් නර්තනය වෙනුවෙන් වෙනමම කාලයක් ඔබට වෙන් කරන්න සිදු වුණා ? ඇත්තෙන්ම ඒක ලොකු අභියෝගයක් වුණා. වෛද්‍ය සිසුවියක ලෙසින් අධ්‍යාපනය ලබන අතරේ නර්තනය හදාරන්නත් මම ලොකු කැපකිරීමක් කළා. 2012 වසරේදී වෛද්‍ය හා ශෛල්‍ය වෛද්‍ය උපාධිය ලබනවා සමගම එම වසරේ අගභාගයේ දී භාත්ඛණ්ඩ නර්තන විශාරද උපාධිය ලබා ගන්නත් හැකි වුණේ ඒ කැප කිරීමේ සාර්ථකත්වය නිසාමයි. ඒ වන විට බොහෝ දෙනා පැවසුවේ සංගීත විශාරද වෛද්‍යවරුන් සිටියත් නර්තන විශාරද වෛද්‍යවරුන් පිළිබඳ අසා නොමැති බවයි. එයත් මට විශේෂ සතුටක් වුණා. * වෛද්‍ය ජීවිතය සමගින් නර්තනය ජීවිතයත් ඉදිරියට පැමිණි අයුරු සහිපත් කරමු ? පසුගිය වසරේදී මට සීමාවාසික පත්වීම ලැබුණේ ශ්‍රී ලංකා ජාතික රෝහලට. එහිදී වාත්තීය ජීවිතය වෙනුවෙන් මම ගොඩක් කාර්ය බහුල වුණා. මගේ පූර්ණ අවධානය රෝගීන්ගේ සුවපත්භාවය වෙනුවෙන් කැපකළ යුතු වුණා. ඉන් අනතුරුව මම බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ සේවයට එක් වුණා. එහිදීත් පුංචි දරුවන් වෙනුවෙන් විශාල කැපකිරීමක් කරන්නට බැඳී සිටිනවා. මේ සමඟ කාර්යබහුල වුණු මම නර්තන පුහුණුවීම් සිදුකළේ රාත්‍රී 8.30 පමණ සිට මධ්‍යම රාත්‍රිය දක්වායි. * එය මල්ඵල ගන්වමින් අද ඔබේ නර්තන දිවියේ සුවිශේෂ කඩඉමක් අභියසට ඇවිත් ? මෙය මගේ ජීවිතයේ සුවිශේෂතම දවසක්. සීමාවාසික පත්වීම ලද කාලයේ සම්භාව්‍ය ප්‍රසංගයක් වෙනුවෙන් කාලය වෙන් කරගන්න අපහසු වුණා. දැන් මම ඒ වෙනුවෙන් කාලයක් හොයා ගත්තා. ඒ අනුව නොවැම්බර් 15 වැනිදා මරදාන ටවර් රඟහලේදී මගේ අරංගේත්රම් ප්‍රසංගය ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිණියගේ ප්‍රධානත්වයෙන් යුතුව පවත්වන්න සූදානම්. මේ දිනයත් සුවිශේෂි වෙන්නේ මිරැන්ඩා හේමලතා ගුරුමෑණියන්ගේ 75 වැනි ජන්ම දිනයත් එදිනටම යෙදී තිබීම නිසායි. එතුමියගේ උපන්දිනය දා මගේ අරංගේත්රම් ප්‍රසංගය පවත්වන්න ලැබීමත් වාසනාවක්. * වෛද්‍යවරියක ලෙසින් ඔබ උගත් මේ නර්තනය සමාජයට දායාද කරන්නත් වැඩපිළිවෙලක් ඇති ? දැනටමත් ඒ වෙනුවෙන් කටයුතු කරමින් සිටින්නේ. නර්තනය වෛද්‍ය විද්‍යාවට චිකිත්සාවක් ලෙස යොදා ගැනීම පෞද්ගලික මට්ටමෙන් ක්‍රියාත්මක වුණත් රජයේ රෝහල් වල එය ක්‍රියාත්මක කෙරුණේ නැහැ. නමුත් මම විශේෂඥ වෛද්‍ය මහාචාර්ය මනෝරි සේනානායක මහත්මියගේ උපදෙස් පරිදි එය දැන් රිජ්වේ ආර්යා ළමා රෝහලේ ක්‍රියාත්මක කෙරෙනවා. සෙමෙන් මනස වැඩෙන දරුවන් වෙනුවෙන් චලන චිකිත්සාවක් ලෙසින් එය ක්‍රියාත්මක කරනවා. ඇත්තටම මට වෛද්‍ය විද්‍යාව වගේම නර්තනයක් මෙලෙස සමාජයට වැඩදායක ලෙසින් ඉදිරිපත් කරන්න ලැබීම ගැන දැනෙන්නේ අසීමිත සතුටක්. * ඉදිරි අනාගතය ගැනත් සටහනක් තබමු ? කෙතරම් කාර්යබහුල වුණත් වෛද්‍යවරියක ලෙසින් රටට සේවය කරන්න ලැබීම ගැන හිතට දැනෙන්නේ විශාල තෘප්තියක්. ඒ අතරේ ළමුන් වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරන්න මම ගොඩක් කැමැතියි. රිජ්වේ ආර්යා ළමා රෝහල තෝරා ගත්තෙත් ඒ නිසාමයි. ඉදිරියේදී ළමා රෝග පිළිබඳ පශ්චාත් උපාධිය ලබා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරියක වීම මගේ අරමුණයි.
|