වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 13 වැනිදා බ්‍රහස්පතින්දා




එදා මාව අරන් ගියේ හතරවැනි තට්ටුවට කියා දැන සිටියේ නෑ

එදා මාව අරන් ගියේ හතරවැනි තට්ටුවට කියා දැන සිටියේ නෑ

එරින් විජේකෝන්

ප්‍රසංග වේදිකාවේ ප්‍රථම නිවේදිකාව මමයි

මිහිරි මතකයන් හා අමිහිරි සිදුවීම් හමුවේ දෝළනය වෙන ජීවිතයේ අමතක කළ නොහැකි සිදුවීම් බොහෝ අප අතර රැඳෙයි.

මේ එවැනි කතාවකි.

1989 වසර අතීතයේ මතකයන් ඇති බොහෝ දෙනකුට නැවත අකුරු කළ යුතු නොවෙයි. එම වසරේ ජූනි මාසයේ සරසවිය පුවත්පතේ විශාරද නන්දා මාලිනීගේ ගී ප්‍රසංගයක් පිළිබඳ පළ වන්නේ හැඟුම්බර කාලීන ගී පද දෙකක් සමඟිනි. ඉදෙන්නට හැකි නම් බතක් වී නොඉදෙනා බතක් ඇති පැළක රහසින් . . . ගීතයත් ‘සඳ එළිය ගඟක් වී මා නුවන් ඉවුරේ . . . ගී දෙක ඇස ගැටෙන්නේ රූපවාහිනියේ නිෂ්පාදකවරියකටයි.

ගීතයේ වූ හැඟුම්බර අර්ථය නිසාම විශාරද නන්දා මාලිනීට ‘ගීයක රාවය’ වැඩසටහනට ඇය ඇරයුම් කරන්නේ තමා ආදරය කළ ගී කටහඬක් වෙනුවෙන් අවකාශය ලබා දෙන්නටයි. මෙම වැඩසටහන ජාතික රූපවාහිනියේ පටිගත කිරීමත් සමඟම මෙම නිෂ්පාදිකාව රහස් පොලීසිය විසින් ප්‍රශ්න කිරීම සඳහා හතරවැනි මහලට කැඳවන්නේ නිල නොලත් වාරණයක් ලැබූ ගායිකාවකගේ රූපවාහිනී වැඩසටහනක් පටිගත කිරීම ගැන ප්‍රශ්න කිරීමටයි.

යොවුන් නිෂ්පාදිකාවක ලෙසින් එදා ඒ අභියෝගාත්මක වැඩසටහනට මුහුණ දුන් ඇය අද ජාතික රූපවාහිනියේ අධ්‍යාපන වැඩසටහන් අංශයේ විධායක අධ්‍යක්ෂිකාව ලෙස දිගු ගමනක් පැමිණියේ මාධ්‍ය දිවියේ වසර 32 කටත් වඩා දිගු අත්දැකීම් සම්භාරයක් ලබමිනි. ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙසින් අපගේ මතකයෙ රැඳි ඇය එරින් විජේකෝන් අප හා පිළිසඳරට එක් වුණේ කොළඹ සරසවිය පරිශ්‍රයේ රැඳි මොහොතකයි.

* රූපවාහිනියේ පුරෝගාමී සාමාජිකාවක් වූ ඔබ අද විශාල වගකීමක් දරන අධ්‍යක්ෂිකාවක්. එදා ඔබ මුහුණ දුන් සිදුවීම අද දකින්නේ කොහොමද?

ඇත්තටම මාව එදා රහස් පොලීසියේ ප්‍රශ්න කරන්න එක්ක ගියේ හතරවැනි තට්ටුවට කියලා දැනගෙන හිටියේ නෑ. නමුත් අත්දැකීම් අඩු තරුණ වයසේදී එම සිදුවීම ගැන මට තද බියක් දැනුණා. හැබැයි ඒ වැඩේ මම ඉතාම ක්‍රමානුකුලව ක්‍රමවත්ව කරලා තිබුණු නිසා ‘ගීයක රාවය’ වැඩසටහන ප්‍රචාරය වුණා. එදා එම ප්‍රශ්න කිරීමට මාව එක්ක ගියේ ඒ කාලේ රටේ පැවැති වාතාවරණය නිසයි. මම සතුටු වෙන තව දෙයක් තමයි එදා ඒ වැඩසටහන පටිගත කළා පමණක් නොවෙයි නන්දා මාලිනී මහත්මියගේ අලුත් ගීත තුනක් පටිගත කළා. ඒ වගේම ගුණදාස කපුගේ, සෝමතිලක ජයමහ වැනි ප්‍රවීණ මම ඉතා අගය කරන, ආස කරන කඩහඬවල් පළමුවරට රූපවාහිනියට ගේන්න මට හැකි වුණා.

* එරින් විජේකෝන් කියන චරිතය අපට මුලින්ම හමුවන්නේ පුංචි තිරයේ නිවේදිකාවක් ලෙසයි. එදා ඔබ මාධ්‍ය ජීවිතය පටන් ගත්තු ආකාරය කොහොද?

මම ඇත්තටම ජීවවත් වන්නේ ගමේ. මගේ පාසල යටියන්තොට ඇන්. ඇම්. පෙරේරා මධ්‍ය මහා විද්‍යාලය. ගමේ පාසලකට ගියත් අපි කොළඹට දුරස් නැහැ. අපි නාට්‍ය බැලීම, හොඳ සිංහල දැනුම තිබෙන දක්ෂ ගුරුවරු අපේ පාසල්වල හිටියා. ඒ වගේම අපේ ගෙදර තිබුණේ කලාව රස විඳින පොත පත කියවන ගැමි පරිසරයක්. ඒකත් සමඟ මම උසස් පෙළ අවසන් කරලා ජාතික තරුණ සේවා සභාවට සම්බන්ධ වෙනවා. එහිදී තරුණ සේවා සභාවේ පළමු සංස්කෘතික කණ්ඩායමට ඇතුළත්වීමේ වාසනාව මට ලැබෙනවා. එම කණ්ඩායමේ මම, සෝමසිරි මැදගෙදර, චන්ද්‍රලේඛා, චන්ද්‍රසේන, මර්සලින් පතිරණ වගේ අය මේ කණ්ඩායමේ ඉන්නවා. අවුරුදු තුනක් තරුණ සේවා සභාවේ අපි ලබන පුහුණුව හරහා මාධ්‍ය ක්ෂේත්‍රයට හොඳ පදනමක් සකස් වෙනවා.

මේ පුහුණු කාලයේදී මගේ විශේෂ හැකියාවක් ලෙස නිවේදන හැකියාව ජාතික තරුණ සේවා සභාව හඳුනා ගන්නවා. ලංකාවේ බාහිර ප්‍රසංග ඉදිරිපත් කරන ප්‍රථම නිවේදිකාව හැටියට මම තමයි මුලින්ම වේදිකාවට නඟින්නේ. ඊට පෙර මම නිවේදිකාවක් වේදිකාවේදී දැකලා තිබුණේ නැහැ. අපි කරපු යොවුන් ගී සංගීත කණ්ඩායමේ පළමු නිවේදිකාව වෙන්නේ මමයි. එතැනින් පටන් ගත්තු මාධ්‍ය ජීවිතය තරුණ සේවා සභාවේ සිටින ගමන් මම ගුවන් විදුලියේ ‘බදාදා පිළිසඳර’ වැඩසටහන කළා. තරුණ සේවා සභාවේ පුහුණුව අවසන් වෙනවාත් සමඟම 1983 ජාතික රූපවාහිනිය සඳහා පුහුණු සහායක නිෂ්පාදිකාවන් බඳවා ගැනීම සඳහා පරීක්ෂණයක් පවත්වනවා. ඒ කාලයේ එම පරීක්ෂණයට 12000 කට වැඩි පිරිසක් සහභාගි වුණා.

පරීක්ෂණ තුනකින් සමත් වෙලා අපි 24 දෙනෙක් පළමු පුහුණු කණ්ඩායමට තෝරා ගත්තා. අපට එහිදී අවුරුදු තුනක හොඳ පුහුණුවක් සමඟ ජාත්‍යන්තර පුහුණුවක් සඳහාත් මට අවස්ථාව ලැබුණා. එයට අමතරව රූපවාහිනී අභ්‍යාස ආයතනයේදී තවත් පුහුණුවක් ලැබුවා. ඇත්තටම එදා අපි ලබපු ප්‍රායෝගික පුහුණුව තමයි අද මම මේ ඉන්න තැනට ඒමට වඩාත් වැදගත් වුණේ. අපේ මේ මුල්ම පුහුණු කණ්ඩායමට හේම නලින්, අතුල රන්සිරිලාල්, දයාරත්න රටගෙදර වගේ අද මාධ්‍ය ක්ෂේත්‍රයේ සිටින ජ්‍යෙෂ්ටයන් රැසක් ඒ අතර සිටියා.

* ඔය සිදුවීම් අතර ඔබේ මාධ්‍ය ජීවිතයේ අමතකම නොවෙන සිදුවීම් තවත් ඇතිනේ?

මගේ ජීවිතය ගත්තොත් මුළු ජීවිතයම පියවරෙන් පියවර අභියෝගාත්මක අත්දැකීම් පිරුණු එකක්. මම ගමෙන් රූපවාහිනියට පැමිණීමත් එක්තරා අභියෝගාත්මක අත්දැකීමක්. ඉන් පසු ගැහැනියක් ලෙස පිරිමින් කේන්ද්‍රීය වූ රූපවාහිනි මාධ්‍යයට එක්වීම තවත් එකක්.

මට ජාත්‍යන්තර සම්මානයක් හමුවෙනවා ‘සමනල තටු සිඳින්නෙපා’ කියලා. මම කළ සිංහල වැඩසටහන ජාත්‍යන්තරයට ගෙන ගියේ ච්ධ ව්ධබ ඛ්භබ ඕභබබඥපටතර එඪදඵ කියලා. එහි රඟපෑවේ මගේ පුතාමයි. ඒක ටිකක් අපහසු රඟපෑමක්. ඒකේ තිබුණා අලියෙක් ගාවට යන කොටසක්, දිය ඇල්ලක් ගාව, මුහුදු දර්ශනයක් තිබුණා. මගේ පුතා ඉපදෙන්නේ 1998 දී. 2009 ඔහු මට අහිමි වුණේ ඩෙංගු රෝගය නිසයි.

මගේ ජීවිතයේ කලකිිරීමත් සමඟ සියල්ල එපා වෙන ගතියක් මට ඇති වුණා. මගේ ජීවිතයේ වටිනාම දේ අහිමිවීමත් සමඟ එදා ඒ ඇති වූ කම්පනය මම මකා ගත්තේ මාධ්‍ය ජීවිතයේ මගේ කිසිම දෙයක් මඟ හරින්නේ නැතුව කරගෙන ගිය නිසයි. මට ඇති වූ අහිමි වීම මම අමතක කරන්න විවිධ වැඩ කටයුතුවල සම්පූර්ණයෙන් නිරත වෙනවා. ඒ වගේම මගේ උසස් අධ්‍යාපනයේ කටයුතු සඳහා කාලය යොදවනවා.

එයින් මම විශාල ආත්ම තෘප්තියක් වගේම හුදකලා නොවී සිටීමෙන් විශාල සැහැල්ලුවක් ලබනවා. ඒ වගේම මගේ දුව දැනට පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක ඉගෙනුම ලබනවා. මට රූපවාහිනී සංස්ථාවෙන් පවරලා තිබෙන වගකීම අනුව ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කරනවා වගේම ග්‍රාමීය පාසල්වල දරු දැරියන්ට අපේ රූපවාහිනිය හරහා විශාල සේවයක් සිදු කිරීමට කැප වෙනවා.

* ඇත්තටම ඔබ මෙවැනි දිගු ගමනක් ඒමේ රහස කුමක්ද?

ඒ ගමනේ කිසිම රහසක් නැහැ. මේ මාධ්‍ය ජීවිතයේ ඉදිරියට ආවේ පියවරෙන් පියවර. මුලින්ම නිෂ්පාදන සහකාරවරියක්, සහකාර නිෂ්පාදිකාවක්. ඉන් පසුව නිෂ්පාදිකාවක්, නිවේදිකාවක්, සහකාර අධ්‍යක්ෂිකාවක්, නියෝජ්‍ය අධ්‍යක්ෂිකාවක්, අධ්‍යක්ෂිකාවක් ලෙස මගේ කටයුත්ත නිවැරැදිව කැපවීමෙන් අවුරුදු 32 ක්ම සේවය කළා. මවක් ලෙස මටත් දරුවන් ලැබෙන්න ඉන්න කොට ඇති ශාරීරික අපහසුකම් තිබුණා.

නමුත් ඒ නිසා මගේ රාජකාරී කටයුතු අතපසු කළේ නැහැ. මම මගේ දුව ලැබෙන්න ඉන්න කාලේදී යශෝධා සමඟ හින්දි ගී ජඩචපබ ඵඩධඹ එකක් කළා. ඊට පස්සේ පුතා ලැබෙන්න ඉන්න කාලේ සරිගමපදනී කියලා ශාස්ත්‍රීය වැඩසටහනක් කළා. මගේ වෘත්තීය ජීවිතයේ කිසි දවසක නැවතුණේ නැහැ. සෑම කාලයකම වැඩ කළා. 83 දී රස දහරින් පටන් අරගෙන ගීයක රාවය වැඩසටහන, දොළොස්වෙන හෝරාව, මාවතේ අපි, සඳමඬල වගේම බෞද්ධ වැඩසටහන් රාශියක් කළා. මුලින්ම රූපවාහිනි ඉතිහාසයේ ජඩචපබ ඵඩධඹ කියන දේ පටන් ගැනීම කළේ මගේ ‘ආවර්ජනා’ වැඩසටහනින්.

සංගීත වැඩසටහන් තමයි වැඩපුරම කළේ. ඒ වැඩසටහන්වල විවිධ ආකෘති සොයාගෙන මම ගියා. එම වැඩසටහන් හරහා විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණයන් රාශියක් හඳුනා ගැනීමට අවස්ථාව ලැබුණා. ඒ වගේම අපගේ අධ්‍යාපන අංශයට පසුගිය වසරේදී හොඳම අධ්‍යාපන වැඩසටහන සඳහා සුමති සම්මානය ලැබීමක් මගේ ජීවිතයේ ලබන විශාල සතුටක්. ඊට අමතරව ආනන්ද විදුහලේ ‘සංදේශය’ සම්මාන උළෙලේදී හිමි කරගත් සම්මානයත් අපේ ජාතික රූපවාහිනියට ලැබීම හොඳ ඇගයීමක් වගේම එය වටිනා සම්මානයක්.

* මෙවැනි අභියෝගාත්මක දිගු ගමනක් ආ ඔබට සුබපැතීමට අපගේ පාඨකයන්ට ඔබේ දුරකකතන අංකය කියමු?

071-4299089