|
අශෝක පීරිස් වෙනුවෙන් අදටත් ගෙදර එන්නේ ජගත් චමිල විතරයි
ටෙලිවිෂනය - සිනමාව බැබල වූ අශෝක පීරිස් ගැන කියන චිත්‍රා පීරිස්
මිනිහෙක්ට දෙන්න ඕනෙ දෙයක් දෙන්න ඕනෙ අත දික් කරලා ලෝබකම හිතේ හංගගෙන. දෙන්නන් වාලේ කිසිවක් දුන්නාට කිසි වැඩක් නැහැ. අශෝක හැම වෙලාවේම කිව්ව දෙයක් තමයි ඕක. එයාගේ හිත හරි ඉක්මනට උණු වෙනවා. කවුරු හරි මොනවා හරි දෙයක් ඉල්ලගෙන ආවොත් ඒ කියන කෙනා බොරුවක් කළත් අශෝක බොහොම සංතෝසයෙන් ඒ ඉල්ලීම ඉටු කරලා දෙනවා තමන්ට කළ හැකි උපරිමයෙන්. ඔය වගේ සල්ලි ඉල්ලගෙන ගිය අය කොච්චර නම් ඇතිද? එයා මට ආදරේට කතා කළේ අම්මී කියලා. අපි දෙන්නා පුදුම ආදරයකින් ජීවත් වුණු දෙන්නෙක්. අපි දෙන්නගේ හමුවීම සිද්ධ වුණෙත් පාසල් කාලයේදීමයි. මම ඉගෙන ගත්තේ වේල්ස් කුමරි විද්‍යාලයේ. අශෝක ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ. රාවතාවත්ත ශ්‍රද්ධ වූ එම්මානුවෙල් දෙව් මැදුරේ තරුණ සමිතියේ සභාපති අශෝක, මම ලේකම් ලෙසත් තනතුරු දෙක හොබන්න සිද්ධ වුණු නිසා එකිනෙකා ළඟින් ඇසුරු කරන්න ලැබුණා. සමිතිය සංවිධානය කළ නාට්‍යවල අපි දෙන්නට රඟපාන්න ලැබුණා. ඒ නාට්‍යවල මගේ පෙම්වතා අශෝක. කොහොම හරි අපේ සමීප හඳුනා ගැනීම ටිකෙන් ටික ආදරයකට පෙරලුණා. ඒත් එයා ඒක මගෙන් අහන්න කලින් එයා ඒ ගැන ඇහුවේ එයාගේ අම්මාගෙන්. අම්මා කියලා තිබුණා මගේ අකැමැත්තක් නෑ, ඒත් ලොකු බලාපොරොත්තු තියා නොගෙන කාලයට ඉඩ දෙන්න කියලා. කොහොම හරි මම පේරාදෙණිය සරසවියට තේරුණා. විශ්ව විද්‍යාලයට ගියත් අපි ලියුම් මඟින් දුක සැප බෙදා ගත්තා. දැන් ඉතිං ටික ටික ප්‍රේමය මෝරන කොට ඒ කාලේ සත දහයේ මුද්දර ගහපු ලියුම් මිටි ගණන් පේරාදෙණියෙන් මොරටුවට එනවා. මොරටුවෙන් පේරාදෙණියට යනවා. විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පස්සේ මම ගුරු වෘත්තියට එක් වුණා. අශෝක වැල්ලවත්ත රෙදිමෝලේ සුපවයිසර් කෙනෙක් ලෙස රැකියාව කළා. කොහොම හරි අපි දෙන්නා 1964 අප්‍රේල් 25 වැනිදා විවාහ වුණා. අශෝක චිත්‍රපට නළුවෙක් වුණෙත් අහම්බෙන්. එයා වැඩ කළ වැල්ලවත්ත රෙදිමෝලේ චිත්‍රපටයක් රූගත කරන්න ඇවිත් තිබුණා. ඒ චිත්‍රපටයේ සීන් එකක් තිබිලා තියෙනවා ආයතනයේ හිමිකරු එයාගේ පුතාට තමන්ගේ ආයතනය පෙන්වන්න. එක අංශයක ප්‍රධානියෙක් ලෙස හිටපු අශෝකව තරුණ හාම්පුතාට ආයතනය පෙන්වන්න තෝරාගෙන තිබුණා. ටෝනි රණසිංහ හා ජේ.බී.එල්. ගුණසේකර එක්ක අශෝක ඒ දර්ශනයට පෙනී සිටියා. දෙලොවක් අතර කියලයි මට මතක. අශෝකගේ පුංචි අම්මා කෙනෙක් හිටියා ලීනා ප්‍රනාන්දු කියලා. එයා ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයාව හොඳට හඳුනනවා. එයා තමයි කියලා අශෝකට රඟපාන්න චාන්ස් එක අරන් දීලා තිබුණේ. මම නම් මුලින් මුලින් කොහෙත්ම කැමැති වුණේ නැහැ අශෝක රඟපාන්න යනවට. මම කිව්වේ අශෝක අපි ඉන්න විදියට ඉමු. ඕවට ගිහින් අන්තිමට කොහෙන් කෙළවර වෙයි ද දන්නේ නැහැ කියලා. එතකොට අශෝක කිව්වේ අම්මී නරක් වෙන මිනිහා රඟපාන්න ගියත් ගෙදර හිටියත් නරක් වෙනවාමයි කියලා. පස්සේ ඉතිං මමත් ඔය ගැන කල්පනා කළා. මගේ සිතුවිල්ල මෝඩ දෙයක් කියලා මටම හිතුණා. ඒ නිසාම මම ඒක හිතෙන් අයින් කර ගත්තා. අශෝක රඟපෑ හැම චිත්‍රපටයක්ම තිරගත වෙනදාට මාව එක්ක ගියා පෙන්වන්න. එදාට ඉතිං නළු නිළියොත් ඇවිත් ඒ අයට මාව අතින් අල්ලගෙන ගිහින් හඳුන්වලා දෙනවා. කොහොම හරි ඔය දේවල් එක්ක ඒ එකිනෙකා හඳුන ගන්න කොට මගේ හිතේ තිබුණු සැක සංකා ඉබේටම දුරු වුණා. මමත් හරිම සන්තෝසෙන් අශෝකගේ රඟපෑම් රස වින්ඳා. ඒ කාලේ අද වගේ නළු නිළියන් ගැන කට කතා ගෙතිලා තිබුණේ නැති තරම්. රටේ සාමාන්‍ය මිනිස්සු පවා පුදුම විදියට නළු නිළියන්ට ආදරය කළා. අශෝක ෂූටිං යන කොට මම තමයි ඇඳුම් පැක්කරලා අවශ්‍ය කරන බෙහෙත් එහෙම තිබුණොත් ඒවා දාල ඒවට ඕනෑ කරන වෙන වෙනම ලේබල් ගහලා ඇඳුම් බෑග් එක ලෑස්ති කරන්නේ. එයා ඕක ලෑස්ති කරනදාට මුලින් මුලින් කිව්වා අම්මී හිතලා බලන්න මට ඔයා ඔය විදියට පැක් කරන ඔය බෑග් එක අරන් ගිහින් තුන් හිතකින්වත් වෙන ගෑනියෙක් එක්ක නිදා ගනියි ද කියලා. ඒ තරමට එයා මට ළෙංගතු වී හිටියා. අශෝක මගෙන් වෙන් වෙලා දෙවියන් වහන්සේ ළඟට ගිහින් දැන් අවුරුදු හතක්. 2007. 12. 24 වැනිදා තමයි එයා හදිසියේ හෘදයාබාධයකින් නැති වුණේ. අපේ පල්ලියේ මංගල්‍යය යෙදිලා තිබුණෙත් නත්තලත් එක්කම වගේ. හරියට දෙසැම්බර් විසිහත් වෙනිදා. එදා පල්ලියේ සංවත්සරයත් යෙදිලා තිබුණ නිසාම උත්සවය ඉහළින්ම සමරන්න කවුරුත් සූදානම් වුණා. ඒ වෙනුවෙන් සොරෝලයක් පවත්වන්න තීරණය වුණා. මේකේ සියලු සංවිධාන කටයුතු කැමැත්තෙන්ම භාර ගත්තේ අශෝක. ඒ වෙනකොට යම් යම් මත නිසා පල්ලියෙන් ඈත් වෙලා හිටිය උදවිය යළිත් එකතු කිරීම් දූත මෙහෙවර ෆාදර්ත් එක්ක එකට එකතු වී තමන්ගෙම දෙයක් විදියට කරන්න අශෝක භාර ගත්තා. එයා උදේ ඉඳලා රෑ වෙනකන් හැම අස්සක් මුල්ලක් නෑර පයින් ඇවිදිමින් මුළු මොරටුවේම පල්ලියේ සාමාජිකයන්ගේ ගෙවල්වලට ගිහින් මේ විසිරුණු බැතිමතුන් එකතු කිරීමේ කටයුත්ත කරලා ගෙදර එන්නේ රෑ දෙගොඩ හරියේ. අශෝක හැම අස්සක් මුල්ලකම ඇවිදිලා මඩ නාගෙන එන්නේ. මම ඉතිං උණු වතුර උණු කරලා නාවල සෝදල තමයි කෑම දීලා නිදි කරවන්නේ. ඔය අතරේ සොරෝලයේ ගීතිකා තෝරන්න ඒවා පුහුණු කරන්න ඔය වගේ වැඩවලට පුදුම විදියට අශෝක මහන්සි වුණා. ඔය අතරේ විදේශ ගතවෙලා හිටිය මගේ පොඩි පුතත් පවුලේ කට්ටියත් එක්ක ඒ අවුරුද්දේ දෙසැම්බර් විසි තුන් වැනිදා ලංකාවට ආව සතුටටත් එක්ක අශෝක යෝජනා කළා පවුලේ ඔක්කොම එකතු කරගෙන මහ ඉහළින් පාටියක් දාමු කියලා. මම ඒත් කිව්වා නත්තලට තව දවස් දෙකයි. අපි එදාට කොහොමත් පාටියක් ගන්නවනේ. එදාටම කරමු කියලා. ඒත් අශෝක කිව්වා එදාටත් ගමු. අද නම් පාටිය දාන්න ඕනෑමයි කියලා. ඉතිං එදා අශෝක පුදුම විදියට සංතෝස වුණා. දරුවො තුන් දෙනයි, මුණුබුරන්, මිණිබිරියන් එක්ක පුදුම විදියට සංතෝස වුණා. පහුවදා දෙසැම්බර් 24 වැනිදා අශෝකට බඩේ අමාරුවක් හැදුණා. අපිත් හිතුවා කලින් දවසේ කාපු මොනව හරි දේකට අජීර්ණයක් හැදිලා ඇති කියලා. අමාරුව අඩුවෙන් නැති තැන අශෝක ලොකු පුතත් එක්ක ගිහින් බෙහෙත් අරගෙන ආවා. ඒ එන ගමන් අශෝක නත්තලට නත්තල් ගහකුත් අරගෙන ඇවිත් ගේ ඇතුලේ තියලා දරුවොත් එක්ක ඒක ලස්සනට සැරසුවා. ඔය අතරේ මගේ පොඩි පුතා කිව්වා අම්මේ අපි රට ඉඳල ආවට මොකුත් ගත්තෙත් නැහැ. ළමයින්ට මොනව හරි ඇඳුම් ටිිකක් ගන්න එක්ක දෙහිවලට යමුද කියලා. මමත් ඉතිං පුතාගේ බබා ළඟ තියාගන්න නිසා ඒ අයත් එක්ක ගියේ ගෙදර අයට කියලා මහත්තයට කෑම දෙන්න. මස් වර්ග මොනවත් දෙන්න එපා කියලා. ඒ ගිහිල්ලත් ලොකු වෙලාවක් ගියේ නැහැ. අපි බඩුත් අරන් ආපහු ආවා. ඒ එනකොට අශෝක ඇඳට හේත්තු වෙලා හිටියා. මම කෑම කෑවද කියලත් ඇහුවා. නැහැ කිව්වා. ඒ පාර මම බත් ගෙනත් අශෝකට කැව්වා. කිසිම වෙහෙසක් නැතිව බත් කෑවා. ඊට පස්සේ ගෙනා බෙහෙත් එහෙමත් දීලා දැන් නිදාගන්න කිව්වා. ඒත් අශෝක නිදා ගත්තේ නැහැ. ඔය අතරේ පල්ලියේ සොරෝලෙ කෙරෙන හැටි පිළිබඳ අශෝක සැලසුම් කරලා තිබුණ විදිය ගැන දැනගන්න ළමයෙක් ගෙදරට එන්න තිබුණා. එදා ඒ ළමයා එන බව කියලා තිබුණ වෙලාවටත් කලින් අපේ ගෙදරට ආවා. කවමදාකවත් අශෝක පිටස්තර කෙනෙක් තමන්ගේ නිදන කාමරයට ගත්තේ නැහැ. එදා අශෝක මට කිව්වා අර ළමයට මගේ කාමරයට එන්න කියන්න කියලා. මම ඇවිත් කිව්වා. පුතා අංකල්ට අද සනීප නැහැ. අන්න පුතාට කාමරයට කතා කරනවා කියලා. අශෝක සොරෝලෙ කෙරෙන හැටි සම්පූර්ණයෙන්ම ඒ ළමයට විස්තර කරලා දුන්නා. ට පස්සේ අශෝක ඒ ළමයගෙන් ඇහුවා පුතා අපි මේක වීඩියෝ කරලා පල්ලියේ අයට දෙමු කියලා. ඒ පාර ඒ දරුවා කිව්වා ඒකට ලොකු මුදලක් යනවා. අශෝක අංකල්ට අතින් කයිට් වෙන වැඩක් කියලා. ඒ පාර අශෝක කිව්වා මට එයා ඇලවෙලා හිටිය ඇඳ ළඟ තිබුණ රාක්කයෙන් ග්‍රීන් පාට ඩී. වී. ඩී. එක අරන් දෙන්න කියලා. රාක්කයේ තිබුණේ කොළ පාට කවරය තිබුණ ඩී. වී. ඩී එකයි. ඒත් මම ඒක අරගෙන ආපහු හැරෙන කොටම අශෝකට නින්ද ගිහින්. මම ආ තාත්ති කියලා දුන්නත් ගත්තෙත් නැහැ. මම ඇඟට අත තියලා හෙලෙව්වත් අශෝක ඇහැරුනෙත් නැහැ. මට මහ වෙනසක් දැනුණා. මම පහළ තට්ටුවේ හිටිය පුතාලට කෑගැහුවා. එයාල දුවගෙන ඇවිත් අශෝකව කළුබෝවිල රෝහලට අරගෙන ගියා. ඒත් වැඩක් වුණේ නැහැ. දොස්තරලා කරන්න පුළුවන් හැම දෙයක්ම කළා. කොහොම හරි දොස්තරලා කියලා තිබුණා අශෝකව ඉස්පිරිතාලෙට ගේන කොටත් එයාගේ පණ ගිහින් කියලා. මම අර ගෙදරට ආපු පුතාගෙන් ඇහුවා ඒ වෙලාවේ අංකල්ට මොකද වුණේ කියලා. එයා කිව්වා ඇන්ටි අනික් පැත්ත හැරෙන කොටම අංකල්ගේ ඇස් පිය වුණා. මම හිතුවා අංකල් බේත් අරන් නිසා නින්ද ගියා කියලා. දෙවියන් වහන්සේට සේවය කරමින් ඉන්නා අතරේ අශෝක ජීවත් වෙලා ඉන්න කාලේ කිව්ව දෙයක් තමයි අම්මිගේ ජීවිතය කෙළවර වෙන්න කලින් මගේ ජීවිතයේ අවසානය ළඟා වෙන්නයි මම නිතර යාඥා කරන්නේ. මම එහෙම කරන්නේ අම්මිට දුකක් වෙනවා දකින්න තරම් මට ශක්තියක් නැති හින්දා කියලා. දැන් අශෝක නැති වෙලා අවුරුදු හතක්. මම අශෝක නැහැ කියලා හිතන්නේ නැහැ. එයා මාත් එක්ක අදටත් ඉන්නවා කියලා මට දැනෙනවා. නත්තලත් එක්කම තමයි අශෝකගේ ගුණ සැමරුම යෙදෙන්නේ. මම කරන්නේ එයා වෙනුවෙන් නත්තල් කෑම වේලක් දෙනවා මොරටුවේ ශන්ශයින් හෝලි නිවාසයට. මමත් එයා වෙනුවෙන් නැති බැරි අයට උදවු කරනවා. අශෝකගෙන් උදවු ගත්තා වගේම සමහරු අදටත් මගෙන් ඒ වගේ දේවල් බලාපොරොත්තුව එනවා. එයා රඟපෑ චිත්‍රපට අදටත් රූපවාහිනියෙන් විකාශය වෙනවා. මම ඒවත් නරඹන අවස්ථා තියෙනවා. සමහරු නම් කතා කරලා කියනවා එයා ඉන්න චිත්‍රපටයක් අද ටී. වී. එකේ යනවා කියලා. එයා නැති වුණත් හරි කවුරුවත් එයා ගැන සිහිපත් කරනවා තියා මේ ගේ පැත්ත පළාතේ ආවේ නැහැ. ජගත් චමිල විතරයි අදටත් එයා වෙනුවෙන් මේ ගෙදරට ආපු එකම කෙනා. ලෝකෙ කොහේ ගියත්, සම්මාන පිට සම්මාන ගත්තත් ජගත් චමිල පුතාගේ ගුරු ගෞරවය අදටත් අශෝක වෙනුවෙන් තියෙනවා. මාව කොහේදි දැක්කත් වැඳ වැටිල අශෝකව සිහි කරලා ජගත් පුතා කතාබහ කරනවා. තිස්ස අබේසේකර ඉන්න කාලේ නම් අසංකා එක්ක මෙහෙ ඇවිත් ගියා. දුරකථනයෙන් කතා කළා. ඒත් තිස්සත් හදිසියේ නැති වුණා. අදටත් දමයන්ති ජයසූරිය, රංජිත් කුමාර යුවල මගෙන් දුක සැප විමසනවා. උපන් දිනයට වුණත් කතා කරලා සුබපතනවා. අවුරුද්දට වුණත් ඇවිත් යන්න තරම් ඒ දෙපළ කරුණාවන්ත වෙලා තියෙනවා. ඒ ඇරෙන්න නම් අශෝක එක්ක රඟපාපු කිසිම කෙනෙක් අද වෙනකන් කතා කරලවත්, ඇවිත් ගිහින්වත් නැහැ. අශෝකගේ රසිකයෝ කීප දෙනෙක් නම් ගෙදරට කතා කරනවා. ඒ අතරින් නොවැරදීම අදටත් අකුරැස්සේ ළමයෙක් කතා කරනවා. අපිට හිටියේ දරුවො තුන් දෙනයි. ප්‍රකාශ්, එශාන්ත පුතාල දෙන්නත් මේනකා දුවත්. අද මේ හැමෝම විවාහ වෙලා දරුවොත් ඉන්නවා. දුව පූජකතුමෙක් සමඟ විවාහ වෙලා ඉන්නේ. අශෝක නැති පාලුව ටිකක් හරි මගෙන් ඈත් කරන්නේ මගේ දරුවන්ගේ දරුවෝ. එයාලගේ ආදරයත් මගේ දරුවන් තුන් දෙනාගේ ලේලිලා දෙන්නාගේ රැකවරණය මැද දෙවියන් වහන්සේ වෙනුවෙන් සේවය කරමින් මම ජීවත් වෙනවා. 24/16, පීරිස් මාවත, ඉඩම, මොරටුව නිවහනේ ලිපිනයයි.
|